කම්කරු පන්තිය ජූලියන් අසාන්ජ් නිදහස් කර ගැනීමට බලමුලු ගැන්විය යුතු ය!

The working class must mobilize to free Julian Assange!

2018 මැයි 30

වසර හයකට ආසන්න කාලයක් තිස්සේ, එක්සත් ජනපද මිලිටරිය හා ඔත්තුසේවා සංවිධාන හෙලිදරව් කල ජූලියන් අසාන්ජ්, වඩ වඩා දුෂ්කර හා අඩමාන කොන්දේශි යටතේ ලන්ඩනයේ ඉක්වදොර් තනාපති කාරයාලයේ කොටු කර, සිර අඩස්සියේ තබා ඇත. මාස දෙකකට අධික කාලයක් තිස්සේ ඔහුට, අමුත්තන් පිලිගැනීම, දුරකතන භාවිතය හෝ අන්තර්ජාලයට පිවිසීම තහනම් කර බාහිර ලෝකය සමග සම්බන්ධකම් අහුරා ඇත.

මෙම අපරාධයට හවුල් වූවන්, අධිරාජ්‍යවාදී බලවතුන් විසින් පුරුද්දක් ලෙස “මැර තන්ත්‍ර” ලෙස හෙලා දැක, මිලිටරි ආක්‍රමනය සඳහා ඉලක්ක කෙරුනු ආන්ඩු නොව, අධිරාජ්‍යවාදී බලවතුන් ම, එනම් ප්‍රධාන වසයෙන් එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව හා එක්සත් ජනපදය වේ.

දැන් ලෙනින් මොරිනෝගේ ඉක්වදෝරියානු ආන්ඩුව අසාන්ජ් එලියට දැමීම සඳහා බ්‍රිතාන්‍ය සමග ක්‍රියාකරී සාකච්ඡාවල නිරත වේ. පසු ගිය වසරේ මැතිවරනයෙන් පසු, මොරිනෝ එක්සත් ජනපදය සමග යලි මිත්‍රත්වයක් ඇති කර ගැනීමට තල්ලු වී ඇත. එයට, මාධ්‍යවේදියා වොෂින්ටනයේ වදකයන්ට හා යුද අපරාධකරුවන්ට බාර දීම ද ඇතුලත් වනු ඇත.

මිලිටරි දාමරිකකම්, ඝාතන, මාධ්‍යවේදීන් ඝාතනය කර ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදය කඩාකප්පල් කර, යටත් කිරීමේ සීඅයිඒ කුමන්ත්‍රන ඔහු ලෝකයා ඉදිරියේ හෙලිදරව් කල නිසා අසාන්ජ් ප්‍රහාරයට ගොදුරුවී සිටී. තම ආන්ඩු මෙනවා කරන්ට යනවා දැයි දැන ගැනීමට මිනිසුන්ට ඇති අයිතිය තහවුරු කරමින් ඔහු, මාධ්‍යවේදියෙකු වසයෙන් තමන් නඟන හඬ ගැන බැරෑරුම් ලෙස සැලකිලිමත් විය.

අසාන්ජ් අනියමිත ප්‍රශ්න වලට මුහුන දී සිටී. ලෝකයේ වඩාත් ම බලගතු ආන්ඩු මෙන් ම වඩාත් ම ප්‍රතිගාමී උත්සුකයන්ගේ කුමන්ත්‍රනයකට ඔහු මුහුන දෙයි.

එක්සත් ජනපදය තුල ඩෙමොක්‍රටික් පක්ෂය, තම රුසියානු විරෝධී උද්ඝෝෂනයේ හරි මැද, විකීලීක්ස් හා අසාන්ජ්ට හිංසා කිරීම තබා ඇත. මෙම උද්ඝෝෂනය, මැද පෙරදිග යුද්ධය හා රුසියාවට එරෙහි ආක්‍රමනය උත්සන්න කිරීමට මෙන් ම අන්තර් ජාලය වාරනය කිරීමට බල කිරීම පිනිස උපයෝගී කර ගනියි. අසාන්ජ්ට එරෙහි ප්‍රහාරයේ දී මෙම අරමුනු දෙක ඒකාබද්ධ කෙරේ. මේ අතර, ප්‍රමුඛ රිපබ්ලිකානුවෝ, අසාන්ජ් ගුවන්තනාමෝ බොක්කේ වද කඳවුරට මාරු කිරීම පමනක් නො ව ඔහු ඝාතනය කරන ලෙස පවා විවෘතව ඉල්ලා ඇත.

කෙසේ නමුත්, එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය අසාන්ජ් රඳවා ගැනීම මුලුමනින් ම දුෂ්ඨ හා මෙන් ම නො ඉවසිය හැකි ක්‍රියාවක් වන අතර, ලෝක දේශපාලන රංග පීඨයට නව බලයක් පැමින ඇත: ඒ ඔහුගේ ආරක්ෂාව සඳහා නව හැකියාවන් විවෘත කර ඇති, ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.

එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ පටන්, උතුරු අප්‍රිකාවේ ජනතාව, බ්‍රසීලයේ ට්‍රක්රථ රියදුරන්, ප්‍රන්සයේ දුම්රිය කම්කරුවන් හා තරුනයන්, ජර්මනියේ ගුවන් සේවා කම්කරුවන්, හා රුමේනියාවේ මෝටර් රථ කම්කරුවන් දක්වා ජාත්‍යන්තර කම්කරු පන්තිය, පැතිර යමින් තිබෙන සමාජ අරගල රැල්ලක නිමග්නව සිටිති.

අසමානත්වය, මර්දනය හා පන්ති සූරාකෑමට එරෙහි වැඩකරන ජනතාවගේ මෙම ව්‍යාපාරය, එහි තර්කයටම අනුව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සටන සමග මෙන් ම යුද්ධයට එරෙහි අරගලය සමග වෙලී ඇත.

එක්සත් ජනපදයේ ගුරුවරුන් විසින් ගෙන යන මෑත වැඩවර්ජනයෙන් පෙන්නුම් කරන්නේ, අන්තර්ජාලයට පිවිසීම හා තොරතුරු හුවමාරුව පන්ති අරගලයේ වර්ධනය සඳහා තීරනාත්මක වන බව යි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අරක්ෂා කර ගැනීමට සටන් කිරීමේ දී කම්කරු පන්තිය වැදගත් වනවා පමනක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කම්කරු පන්තියට ද වැදගත් ය!

සිය අරගලය සංවිධානය කිරීමට මෙන් ම පෙරට ගෙන යාමට ද කම්කරුවන්ට, නිදහසේ සන්නිවේදනය කිරීමට, අදහස් ප්‍රකාශ කිරීමට හා වැදගත්ම කාරනය වන, සත්‍ය දැන ගැනීමට නිදහස තිබිය යුතු ය. මෙම සම්බන්ධය දැනුවත්ව පිහිටුවීමෙන් එය අරගලයේ පදනම බවට පත්වේ.

කම්කරු පන්තිය අරගලයට පිවිසීමත් සමග, මුලින් අසාන්ජ් වීරයෙකු යැයි ප්‍රශංසා කර, ජාත්‍යන්තරව කීර්තිමත් තැනත්තෙකු ලෙස ඔහුට බුහුමන් දැක් වූ නමුත්, එතැන් සිට ඔහු නීචයෙකු ලෙස සලකන සංවිධාන අතර ප්‍රතිවිරුද්ධ ප්‍රපංචයක් ඉස්මතු වී ඇත.

ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය මෙම බලවේග විදහා දක්ව යි. ඉහල මධ්‍යම පන්තික ව්‍යාජ වම්මුන්ගේ දෘෂ්ටිවාදය මොවුන් පරමසාරය ලෙස ප්‍රකාශ කර යි. 2010 නොවැම්බරයේ දී ස්ත්‍රී දූෂනයක් පිලිබඳ ගොතන ලද සාක්ෂි මත ස්වීඩන නඩුපවරන්නෙකු විසින් අසාන්ජ්ට චෝදනා කිරීමෙන් පසු, “අප විකීලීක්ස් සමග නැගී සිටින්නේ මන්ද?”යන සිරස්තලයෙන් අයිඑස්ඕව අසාන්ජ් ආරක්ෂා කිරීමේ ප්‍රකාශයක් නිකුත් කලේ ය. එය ඔහුට එරෙහි ස්ත්‍රී දූෂන චෝදනවා ප්‍රතික්ෂේප කලේ “නරුම හා අවස්ථාවාදී” යැයි පවසමිනි.

එම ලිපිය ස්ත්‍රී දූෂනයට එරෙහි කාන්තාවෝ නම් කන්ඩායම විසින් ගාඩියන් පත්‍රයේ පල කරන ලද ප්‍රකාශනයක් සඳහන් කර යි: “කාන්තාවන්ගේ ආරක්ෂාවට මෙලෝ සම්බන්ධයක් නැති, දේශපාලන න්‍යායපත්‍ර සඳහා ස්ත්‍රී දූෂන හා ලිංගික හිංසා යොදා ගැනීමේ දීර්ග සම්ප්‍රදායක් තිබේ. එක්සත් ජනපදයේ දකුනේ, කලු පිරිමින් දඬුවම්වලට ලක් කිරීම හැමවිට ම යුක්තිසහගත කෙරුනේ ඔවුන් සුදු කාන්තාවන් දූෂනය කර හෝ ඔවුන් දෙස බැල්ම හෙලා තිබුනි යන පදනම මත ය.”

“අසාන්ජ්ට නඩු පැවරීම විසම්මතියට එරෙහි ආන්ඩුවේ යුද්ධයක කොටසක්” යැයි එය නිගමනය කලේ ය.

මෙම ප්‍රකාශනය දැන්, ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ආන්ඩුවල පූර්න අනුකම්පාවට අසාන්ජ් අත හැර ඇති එහි කතුවරුන් පිලිබඳ අධිචෝදනාවක් ලෙස නැගී සිටී. 2012 සිට, අයිඑස්ඕව තම තනුව වෙනස් කර තිබුනේ, “ජූලියන් අසාන්ජ් ස්ත්‍රී දූෂන චෝදනාවලට මුහුන දිය යුතු” බව ප්‍රකාශ කරමින් හා “ස්ත්‍රී දූෂන චෝදනාව බැරෑරුම් ව ගැනීම ප්‍රතික්ෂේප කිරීම” පිලිබඳ ව අසාන්ජ් හා ඔහුගේ ආධාරකරුවන්ට චෝදනා කරමිනි.

එමෙන් ම එතැන් සිට එය අයිඑස්ඕ ආස්ථානය වී ඇත. පසු ගිය හය වසර තිස්සේ අසාන්ජ් හිරබාරයේ තැබීම ගැන අයිඑස්ඕව එක ප්‍රකාශනයක් හෝ නිකුත් කර නැත. ප්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය, ජර්මනියේ වාම පක්ෂය, ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් හා ගිනිය නො හැකි අනෙකුත් ව්‍යාජ වාම පක්ෂ පිලිබඳව ද ඒ ආකාරයේ ම තක්සේරුවක් කල හැක.

ඉන්ටර්සෙප්ට් නම් ඔන්ලයින් ප්‍රවෘත්ති පත්‍රය 2018 පෙබරවාරියේ දී, “ලිංගිකත්වය වාදය” පමනක් නොව “යුදෙව් විරෝධය” මත ද චෝදනා කරමින් අසාන්ජ් ගැන අශිෂ්ට ප්‍රහාරයක් ගෙනගොස් ඇත. 2010දී විකීලීක්ස් සමග කිට්ටුවෙන් වැඩ කල හා 2013දී එඩ්වඩ් ස්නෝඩන් විසින් කරන ලද තොරතුරු කාන්දු කිරීම් ප්‍රසිද්ධ කල ගාඩියන් පත්‍රය, ඉක්වදෝරියානු තානාපති කාර්යාලයෙන් අසාන්ජ් දොට්ට දැමීමේ උද්ඝෝෂනයේ පෙරමුනේ සිටී.

මෙම මාරුවට බලපාන්නේ කුමක් ද? වෙනස් වීමේ අවස්ථාව පැමිනියේ ලිබියානු යුද්ධය හා සිරියාවේ තන්ත්‍ර වෙනස් කිරීමේ හෙහෙයුමේ ආරම්භයත් සමග ය. එම සිදුවීම් මඟින්, ඉරාකයේ යුද්ධයට විරුද්ධ යැයි ප්‍රකාශ කලා වූ ද, 2011 වෝල් වීදිය වාඩිලා ගනු විරෝධතාවේ දී මෙන්, සමාජ අසමානතාවට කටින් පමනක් සහාය ලබා දුන්නා වූ ද පොහොසත් ඉහල මධ්‍යම පන්තික පක්ෂවල දේශපාලනයේ වෙනසක් සිදුකරනු ලැබ ඇත.

ඊලඟ කාලපරිච්ඡේදයේ දී, අයිඑස්ඕ වැනි ව්‍යාජ වාම කන්ඩායම් මැද පෙරදිග තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමේ වඩාත් ම වාචික යෝජකයන් වූ අතර ජීවන ක්‍රමය හා ලිංගිකත්ව ප්‍රශ්න මත ඇලී ගැලී ඇත. මෙය උච්චස්ථානයට පැමින ඇත්තේ ප්‍රතිගාමී මමත් (MeToo) උද්ඝෝෂනයේ දී ය, නොයෙක් ආකාරයෙන් මෙහි මූලයන් ඇත්තේ අසාන්ජ් පිලිබඳ ව ගෙතූ බොරුව තුල ය.

වෙනත් වචනවලින් කිවහොත් අනන්‍යතා දේශපාලනය, පොහොසත් ඉහල මධ්‍යම පන්තිය හා ඇමරිකානු අධිරාජ්‍යවාදය අතර පෙර නො වූ විරූ ඍජු සන්ධානයක් ස්ථාපිත කිරීමේ මාධ්‍යයක් වී ඇත. ඕස්ට්‍රේලියාවේ සමාජවාදී විකල්පය “ප්‍රතීක අධිරාජ්‍ය විරෝධය” හෙලා දැකීමට ප්‍රසිද්ධියේ පෙරට ආ අතර, වාම ශාස්ත්‍රාලික ජුවාන් කෝල් “ගඩාෆිගේ මිනීමරු තන්ත්‍රයෙන් නිදහස් වීමේ” නැටෝ උත්සාහයන් “ජීවිත හා සම්පත් පරිත්‍යාග කිරීමට තරම් වටිනා” සිද්ධියක් යයි ප්‍රශංසා කලේ, “නටෝවට මා අවශ්‍ය නම්, මම එහි සිටිමි” යි ප්‍රකාශ කරමිනි.

ජූලියන් අසාන්ජ් මෙන් ම සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම ද ගෙන යා යුත්තේ, අධිරාජ්‍යවාදයේ එවැනි මධ්‍යම පන්තික ප්‍රචාරකයින්ට විරුද්ධ ව යි. අසාන්ජ් නිදහස් කර ගත යුතු නම්, ඔහුගේ නිදහස අත්කර ගනු ඇත්තේ කම්කරු පන්තිය යි. අසාන්ජ් ලෝකය පුරා කම්කරු හා තරුන ජනතාව අතර වඩාත් විශ්වාස කල හැකි මිතුරන් සොයා ගන්නවා ඇත.

මෙම අරමුන වෙනුවෙන්, ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය තීරනාත්මක ආරම්භකත්වයක් ගෙන ඇත. එය ජූනි 17දා සිඩ්නි නගරයේ පවත්වන පෙලපාලියේ දී අසාන්ජ්ගේ නිදහස සඳහා සටන අලුත්කිරීම හා පුලුල් කිරීම ඉල්ලා සිටී. එයට පසු, විකීලීක්ස් ආධාරකරුවන් ජූනි 19වැනිදා ලන්ඩනයේ දී හා වෙනත් නගරවල උද්ඝෝෂන සංවිධානය කරනු ඇත.

ජූනි 17 පෙලපාලිය, පුරවැසියෙකු ලෙස අසාන්ජ්ට හිමි විය යුතු අයිතීන් ඕස්ට්‍රේලියානු ආන්ඩුව විසින් ඔහුට දියයුතු බවත්, අධිචෝදනාව හා එක්සත් ජනපදයට උදර්පනය කිරීමට එරෙහිව ඔහු ඕස්ට්‍රේලියාවට යලි පැමිනීම සහතික කරන ලෙසත් ඉල්ලා සිටිනු ඇත.

ජූලියන් අසාන්ජ් ආරක්ෂා කර ගැනීමේ ජාත්‍යන්තර ආරම්භකත්වයන් ප්‍රචාරය හා ප්‍රසිද්ධ කර එයට හවුල් කරුවන් වන ලෙස අපි ලෝකය පුරා කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

ආන්ද්‍රේ ඩමොන්

Share this article: