සිංගප්පූරුවේ නායක හමුව හා වැඩෙන යුද තර්ජනය

The Singapore summit and the growing war threat

2018 ජූනි 13

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් යොන්ග් උන් අතර හමුව මෑත ඉතිහාසයේ වඩාත් ම ආවරනය කෙරුනු සිදුවීමක් වූයේ, එය සජීවී ව ලෝකය පුරා වාර්තා කිරීමට සිංගප්පූරු නගර රාජ්‍යයට මාධ්‍යවේදීන් දහස් ගනනක් ආකර්ෂනය කර ගනිමිනි.

බලයේ සිටින ඇමරිකානු ජනාධිපතිවරයෙකු හා උතරු කොරියානු නායකයෙකු අතර ඉතිහාසයේ පලමු වරට මුහුනට මුහුන ලා හමු වූ සමුලුව, “ඓතිහාසික” යැයි නැවත නැවතත් විස්තර කෙරී ඇත.

කෙසේ නමුත්, මිලියන තුනක පුද්ගලයින්ගේ ජීවිත බිලි ගත්තා වූ ද උතුරු කොරියාව නටබුන් තත්වයකට ඇද දැමුවා වූ ද ගැටුමක දී එක්සත් ජනපදය, උතුරු කොරියාව හා චීනයේ හමුදා සටන් විරාමයකට එකඟ වූවාට පසු, මේ දක්වා වසර 65ක් නිල වසයෙන් යුද තත්වයත සිටින රටවල් දෙකේ නායකයින් අතර මෙම කෙටි හමුවේ අවසාන ප්‍රතිඵලය කුමක් වනු ඇති දැ යි යන්න තවමත් අපහැදිලි ය.

ට්‍රම්ප් හා කිම් විසින් අත්සන් කෙරුනු වචන 400ක කෙටි ඒකාබද්ධ ප්‍රකාශනය රටවල් දෙක අතර “නව සම්බන්ධතාවන්” සොයා බැලීමට හා “කොරියානු අර්ධද්වීපයේ දිගු කල් පවත්නා හා ශක්තිමත් සාම පාලනයක්” ගොඩනැගීමට අනෝන්‍ය ගිවිසුමක් ද ප්‍රකාශයට පත් කලේ ය. ට්‍රම්ප් “කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුවට (ඩීපීආර්කේ) ආරක්ෂක සහතික ලබා දීමට කැප වූ” අතර, කිම් “කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවි හරනය සම්පූර්න කිරීමේ ඔහුගේ ස්ථීර හා නොසැලෙන කැපවීම යලිතහවුරු කලේ ය.”

ඊට එහා, මෙම ප්‍රකාශිත අරමුනු හා බැඳීම් යතාවත් කරන්නේ කෙසේ දැ යි යන්න ගැන සිංගප්පූරු ප්‍රකාශනය වැදගත් යමක් ඉදිරිපත් කර නොමැත.

“තම රටට බොහෝ ආදරය කරන” මෙම මිනිසා “ඉතා දක්ෂ” හා “බොහෝ කඩවසම්” අයෙකු ලෙස ට්‍රම්ප් කිම්ට ප්‍රශංසා කිරීම සමග, රැස්වීමේ හඬ සලකුනු කලේ, පසු ගිය වසරේ “පුංචි රොකට් මිනිසා” ලෙස ඔහු උතුරු කොරියානු නායකයා පිලිබඳ ඔහුගේ අවමන් කිරීම් මෙන් ම ඔහුගේ (කිම්ගේ) දිලිඳු හා පීඩිත ජාතිය “මෙම ලෝකය මීට පෙර දැක නො තිබෙන්නට ඉඩ ඇති අග්නිය හා ක්‍රෝධය” සමගින් “සම්පූර්නයෙන් විනාස” කිරීමට තර්ජනය කිරීමෙත් කැපී පෙනෙන වෙනසකි.

සමුලුවෙන් පසු පැවති මාධ්‍ය හමුවක දී, ට්‍රම්ප් උතුරු කොරියාව වෙත තම මිලිටරිවාදී ප්‍රතිපත්තියේ ගම්‍යයන් සඳහන් කලේ නිර්ලජ්ජී සමාජව්‍යාදියෙන් පෙලෙන්නෙකුගේ :(sociopath) අනියම් බව සමගිනි. “මෙය කිරීමට සිදුවීම සැබවින් ම මට ගෞරවයක්, මන්ද යත්, මම හිතනවා, ඔබ දන්නවා, විය හැකි ලෙස, ඔබට අහිමි වීමට ඉඩ තිබුනා, ඔබ දන්නවා, මිලියන 30ක, 40ක, 50ක පුද්ගලයින්” ඔහු පවැසී ය.

සිංගප්පූරු හමුව උතුරු කොරියාවට එරෙහි එක්සත් ජනපද යුද තර්ජනයේ අලුත් කිරීමකට පූර්විකාවක් බව ඔප්පු නො කෙරෙනු ඇති බවට පැහදිලි සහතිකයක් නොමැත. කැපී පෙනෙන ලෙස, ඔහු කිම් සමග අත්සන් කල නොපැහැදිලි ගිවිසුම සංයුක්ත කිරීමේ සාකච්ඡා, ඔහුගේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හා ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හට බාර දෙන බව ට්‍රම්ප් නිවේදනය කලේ ය. සීඅයිඒ අධ්‍යක්ෂ ලෙස සිටිය දී පොම්පියෝ, උතුරු කොරියානු න්‍යෂ්ටික අවි හරනය වැටී ඇත්තේ කිම් යොන්ග් උන් ඝාතනය කිරීම ඔස්සේ බව පෙන්වා දුන් අතර, බෝල්ටන් පෙබරවාරී මස තරම් මෑත දී, වෝල් ස්ට්‍රීට් ජර්නලය තුල කාරනය ඉදිරිපත් කලේ එරටට එරෙහිව අප්‍රකෝපිත බෝම්බ දැමීමේ ව්‍යාපාරයක් වෙනුවෙනි.

වඩාත් මෑත දී, බොල්ටන් යෝජනා කලේ උතුරු කොරියාව සමග එක්සත් ජනපද සාකච්ඡා “ලිබියානු ආදර්ශය” අනුගමනය කල යුතු බව යි. මුවම්මර් ගඩාෆි සමග ඔහුගේ ජනඝාතක අවි ඉවත් කිරීමේ ගිවිසුමකින් ඇරඹුනු මෙය අවසන් වූයේ එක්සත් ජනපදය පිටුබලය දුන් ඉස්ලාමීය මිලීෂියා බටයන්ගේ අතින් ගඩාෆි මැරුම් කෑමෙනි.

එක්සත් ජනපද මිලිටරි ආක්‍රමන යටතේ හා ආර්ථික සම්බාධක ඉදිරියේ අවිහරන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති රටවල් සමග ගනදෙනු කරද්දී වොෂින්ටනයේ වාර්තාව තදබල ලෙස යලිසහතික කරමින් තිබේ. “ලිබියානු ආදර්ශය” නීතිය යි, ව්‍යතිරේකයක් නො වේ.

ඉරාකය හා ලිබියාව එක්සත් ජනපද තන්ත්‍ර වෙනස් කිරීමේ යුද්ධවලට ලක් කෙරුනේ එම රටවල නායකයින්ගේ මරනවලින් අවසන් කරමිනි. ප්‍රධාන බලවතුන් සමග ටෙහෙරානයේ න්‍යෂ්ටික ගිවිසුම ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් ඒකපාර්ශ්වීයව කටු ගා දැමීමෙන් පසු දඬුවම්කාරී සම්බාධක අළුත් කිරීමකට මුහුන දෙමින් සිටින ඉරානය අඟහරුවාදා උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක් නිකුත් කලේ “ආපසු තම රටට පැමිනීමට පෙර” ට්‍රම්ප් සිංගප්පූරු ගිවිසුම අවලංගු කිරීමට ඉඩ ඇති බව පවසමිනි..

කිම් යොන්ග්-උන් සමග ගනදෙනු කිරීමේ දී වොෂින්ටනය පොලඹවන්නේ ඔහුගේ නොවැදගත් න්‍යෂ්ටික අවි ගබඩාව පිලිබඳ බිය මගින් නො වන අතර, ඊසාන දිග ආසියාවේ සාමය සඳහා මොනයම් හෝ සොයා බැලීමකින් පෙලඹවීම ඊටත් අඩු ය. ඊට වෙනස් ව, එය උත්සාහ කරමින් සිටින්නේ තම ප්‍රධාන තරඟකරුවන්ගේ, එනම් රුසියාව, චීනය, මෙන්ම ජපානය වැනි අනාගත තරඟකරුවන්ගේ වියදමෙන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ උත්සුකයන් ඉදිරියට ගෙන යාමට හා කලාපය තුල තම තත්වය ශක්තිමත් කර ගැනීමටත් ය. රුසියාව හා චීනය සමග දේශසීමා බෙදා ගන්නා උතුරු කොරියාව එක්සත් ජනපද සතුරෙකුගේ සිට අනුග්‍රාහක රාජ්‍යයකට මාරු කිරීම නියෝජනය කරනවා ඇත්තේ පෙනෙන තෙක් මානයේ ඇතැ යි පෙන්ටගනය හා ධවල මන්දිරය ප්‍රකාශ කර ඇති “මහා බල” පොරය සඳහා සූදානම් වීමේ වැදගත් පියවරකි.

ට්‍රම්ප් මෙම උත්සාහය දමා ගැසුවේ හැකි රලුම ආකාරයකට උතුරු කොරියාව “පැත්තකට දැමීමට ය.” ඔහු උතුරු කොරියානු නායකයා හා ඔහුගේ සහකරුවන්ට, (කලු/සුදු වර්නයෙන්ගෙන් ඉදිරිපත් කෙරුන) රටේ සම්පූර්න න්‍යෂ්ටික විනාශයේ විකල්පය සමග, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය යටතේ උතුරු කොරියාවේ සෞභාග්‍යමත් අනාගතයේ වෙනස පෙන්වන, (වර්නවත්) සිනමා පටයක ආකාරයෙන් හොලිඩ් නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද මිනිත්තු හතරක සිනමා ඇමිනුමක් පෙන්වූයේ ය.

සමුලුවට පසු මාධ්‍ය සාකච්ඡාවක දී, ඔහු උතුරු කොරියාව ගැන කතා කලේ ඔහු දේපල වෙලඳාම් සංවර්ධන ගනදෙනුවක් ගැන කතා කරන ආකාරයට ය. “උදාහරනයක් හැටියට ඔවුන්ට විශාල වෙරලවල් තියෙනවා”යි ඔහු පැවසී ය. “කොයි වෙලාවක හරි ඔවුන් තමන්ගේ කාලතුවක්කු මුහුදට පුපුරවන විට එය පෙනෙනවා, හරි ද?” මම කිව්වා, ‘ලමයෝ, බලපන් දර්ශනය. එය පිටුපස මහා මහල් නිවාසයක් හදන්නේ නැද්ද?’ මම පැහදිලි කලා, මම කිව්වා, ‘ඔබ දන්නවා ද, ඒක කරනවා වෙනුවට, එහි ලෝකයේ හොඳම හෝටල් හදන්න පුළුවන්.’ දේපොල වෙලඳාම් දෘෂ්ටිකෝනයකින් ඒ ගැන හිතන්න. ඔබට දකුනු කොරියාව තියෙනවා, ඔබට චීනය තියෙනවා, ඔවුන්ට මධ්‍යයේ ඉඩම් හිමි යි. ඒක කොච්චර නරක ද, හරි ද?”

මෙය නිව් යෝක් නගරයේ දේපල වෙලඳාම් සමපේක්ෂකයෙකුගේ අශිෂ්ට හා අර්ධ-අපරාධකාරී දෘෂ්ටිය පිලිබිඹු කරන අතර, ට්‍රම්ප්ගේ වචන මූලික අදහස ප්‍රකාශයට පත් කලේය.

තම වෙලඳ හවුල්කරුවන්ට එරෙහිව තීරුබදු පනවමින් සිටින්නා වූ ද රුසියාව හා චීනයට එරෙහිව මිලිටරි ආතතීන් උත්සන්න කරමින් සිටින්නා වූ ද, වොෂින්ටනය විසින් නායකත්වය දෙනු ලබන වෙලඳ යුද්ධය හා මහා බලවතුන් අතර ගැටීම්වලට වන තල්ලුව විසින් ආධිපත්‍යය ගන්නා, ගෝලීය සන්දර්භයෙන් බැහැරව සිංගප්පූරු ගිවිසුම වටහා ගත නො හැක.

සිංගප්පූරුව බලා යන ඔහුගේ ගමනට, ට්‍රම්ප් ජී7 සමුලුවෙන් නික්ම ගියේ, 1975 එම සමුලුව ඇරඹුන දා තැන් පටන් අවසන් ප්‍රකාශනය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කල පලමු රාජ්‍ය නායකයා වෙමිනි.

පසුව, ඔහු හා ඔහුගේ සහකරුවන් වොෂින්ටනයේ කිට්ටුම මිතුරා ලෙස පෙනී සිටි, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ, 1930ස් ගනන්වල ෆැසිස්ට්වාදී වාගාලංකාරවලට සමාන වචනවලින්, හෙලා දුටුවේ, “පිටිපස්සෙන් පිහියෙන් අනින්නෙකු” ලෙස චෝදනා කරමින් හා ඔහු සඳහා වෙන් කෙරුනු “අපායේ විශේෂ තැනක්” ඇති බව ප්‍රකාශ කරමිනි.

සිංගප්පූරුවේ ගිවිසුම හොදින් ඔප්පු කිරීමට ඉඩ ඇත්තේ, පෝලන්තය හා රුසියාව සමග අන්‍යෝන්‍යව ආක්‍රමනකාරී නොවන බවට සපත කරමින් නාසි ජර්මනිය විසින් 1930 ගනන්වල අත්සන් කෙරුනු ඒ ආකාරයේ ම ගිවිසුම්වල තමන්ගේ ම පූර්වාදර්ශයන් අනුව කෙටි නියෝගයකින් සම්පූර්න ආක්‍රමනයක් හඹා ඒමට ඇති ඉඩ ප්‍රස්තාය.

ඩෙමොක්‍රටික් පක්ෂයේ ට්‍රම්ප් විරෝධය මුලුමනින් ම දක්ෂිනාංශික බව සැලකිය යුතු ය. අඟහරුවාදා ඩෙමොක්‍රටික් පක්ෂ සෙනේට් සුලුතර නායක චක් ස්ෂූමර්, “ම්ලේච්ඡ හා මර්දනකාරී ඒකාධිපතිත්වයට එය බොහෝ කාලයක් කෑදර කමින් බලාසිටි ජාත්‍යන්තර නීත්‍යානුකූලභාවය ප්‍රදානය කර ” තිබීම වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපති හෙලා දුටුවේ ය. ඒවා නිවරැදිව “ප්‍රකෝපකාරී” යැයි විස්තර කරමින්, දකුනු කොරියාවේ එක්සත් ජනපද මිලිටරි අභ්‍යාස තහනම් කිරීම වෙනුවෙන් ට්‍රම්ප් හෙලා දැකීමට ද ඔහු පෙරට ගියේ ය. උතුරු කොරියාව සමග ගිවිසුමක් සැබවින් ම ඇති කර ගන්නේ නම්, ට්‍රම්ප් ඉරාන ගිවිසුම සමග කල ආකාරයට, ඩෙමොක්‍රටිකයන් එය ඉරා දැමීමට උත්සාහ කරනු ඇති බවට සෑම ශඛ්‍යතාවක් ම තිබේ.

වොෂින්ටනයේ බොහෝ සෝලි මෙන් ම රුසියාවට එරෙහිව දැඩි ස්ථාවරයක් ගැනීමට ඔහු අසමත් වීම මත එල්ල වන දෘඪ ප්‍රහාරයන්ගෙන් කතාන්දරය මාරු කිරීමේ ඔහුගේ අපේක්ෂාව, ට්‍රම්ප්ගේ සිංගප්පූරු ගමනට කරන ලද බලපෑම සුලුපටු නො වීය. උතුරු කොරියාව මත න්‍යෂ්ටික යුද තර්ජනයකින් ඉවතට හැරීමක් මවාපෑම මෙන් ම කොරියානු අර්ධද්වීපයෙන් හමුදා “ගෙදර” ගෙන ඒම ගැන ඔහුගේ හිස් කයිවාරු පවා ඇමරිකානු මහජනතාවගේ පලල් ස්ථරයන් අතර අනුකම්පාව ඇද ගන්නා බව ඔහු දනී.

නමුත් එක්සත් ජනපදය හා ලෝක ධනවාදය ග්‍රහනයට ගන්නා අර්බුදයේ තර්කනය හැරෙන්නේ ලෝක යුද්ධය වෙතට ය. මෙයට එරෙහි අරගලය සඳහා එකම ශඛ්‍ය පදනම පවතින්නේ ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය ජාත්‍යන්තරව බලමුලු ගැන්වීම තුල ය.

බිල් වෑන් ඕකන්

Share this article: