එක්සත් ජනපදයේ නව ඩ්‍රෙඩ් ස්කොට් නඩු තීන්දුව: ශ්‍රේෂ්ඨාධිකරනය ට්‍රම්ප්ගේ සංචාරක තහනම අනුමත කර යි

The new Dred Scott: Supreme Court upholds Trump travel ban

2018 ජූනි 27

ට්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධී සංචාරක තහනම අනුමත කරමින්, ට්‍රම්ප්ට එරෙහිව හවායි නඩුවේ දී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකාරනය විසින් දෙන ලද තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාස කිරීමේ ලජ්ජා සහගත සන්ධිස්ථානයකි. එය ඇමරිකානුවන් මිලියන ගනනාවකගේ ද ලෝකය පුරා ගිනිය නො හැකි තවත් මිලියන ගනනාවකගේ ද පිලිකුලට හා කෝපයට ලක් වී ඇත.

එහි නීතිමය, දේශපාලනමය හා සදාචාරාත්මක බංකොලොත් භාවයේ දී, ජපාන-ඇමරිකානුවන් හිරබාරයට ගැනීම අනුමත කල එක්සත් ජනපදයට එරෙහිව කොරෙමත්සු, වාර්ගික වෙන්කිරීම අනුමත කල ෆර්ගසන්ට එරෙහිව ප්ලෙසී, හා වහලුන් පුද්ගලික දේපලක් වන අතර අයිතීන් නැත යි තීරනය කල සැනඩ්්ෆෝර්ඩ්ට එරෙහිව ඩ්‍රෙඩ් ස්කොට් වැනි නීචකම් සමග මෙම තීන්දුව පෙල ගැසෙ යි.

එරට දේශසීමා වැසීමේ ට්‍රම්ප්ගේ බලය අනුමත කරමින්, උසාවිය සංක්‍රමනිකයන්ට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ඔහුගේ ෆැසිස්ට්වාදී ප්‍රතිපත්ති නීතිගත කිරීමට ජනාධිපතිට අසීමිත අධිකාරිත්වයක් ප්‍රදානය කර ඇත. රටේ ඉහලම උසාවිය සංක්‍රමනිකයන් සඳහා නියමිත ක්‍රියාදාමය තුරන් කිරීම හා සමූහ හිර කඳවුරු ඉදි කිරීම ඇතුලුව නීති පැනවීමේ ට්‍රම්ප්ගේ ඒකාධිපති පියවරයන් කුමක් වුවත් අනුමත කර ඇති බවට දැන් ප්‍රශ්නයක් ඇත්තේ ම නැත.

මෙම තීරනයේ ප්‍රතිඵලයක් වසයෙන්, ඉරානය, සිරියාව, යේමනය, උතුරු කොරියාව හා වෙනිසුවෙලාවේ දල වසයෙන් මිලියන 250ක් වන ජනයා එක්සත් ජනපදයට ඇතුලු වීම වැලකීම ඵලදායී ලෙස ක්‍රියාත්මක වනු ඇත. තීන්දුවෙන් ඔහු නිදොස් කර ඇති බවට ඊයේ කයිවාරු ගැසූ ට්‍රම්ප්ට, මෙම තීන්දුව ප්‍රධාන දේශපාලන ජයග්‍රහනයකි.

“එක්සත් ජනපදයට ඇතුලුවන විදේශිකයන් එක්සත් ජනපදයේ උත්සුකයන්ට අහිතකර වනු ඇත යි” ඔහු විශ්වාස කිරීම සලකා බලා, ට්‍රම්ප්ට තීන්දු ගැනීමේ “පුලුල් පරාසයක්” හා “ඇතුලුවීමේදී බාධා පැනවීමට ඇති තරම් බලය” තිබෙන බවට උසාවිය තීන්දු කලේ ය.”

උසාවිය තහනම ක්‍රියාත්මක කිරීම සඳහා වන ට්‍රම්ප්ගේ විවෘත වාර්ගික අභිප්‍රාය නො සලකා හැරියේ ය. “මුස්ලිම් ජනයා එක්සත් ජනපදයට ඇතුලුවීම මුලුමනින් ම හා සම්පූර්නයෙන් ම වසා දැමීමක්” සඳහා වූ, 2015 ට්‍රම්ප්ගේ ඉල්ලීම සඳහන් කරන අතර, “එතෙර විදේශිකයන්ගේ ඇතුලුවීම පාලනය කිරීමේ ජාතික ආරක්ෂක නියමයක්” නිකුත් කිරීමේ ජනාධිපතිගේ “අධිකාරී බලය,” තහනම ආගමික වෙනස්කම්වලට එරෙහි පලමු සංශෝධනය උල්ලංඝනය කිරීමක් බවට පැමිනිලිකරු කරන ප්‍රකාශය නිෂ්ප්‍රභා කරන බව උසාවිය තීන්දු කලේ ය.

පහට හතරේ බහුතරයක තීන්දුව පැහදිලි කලේ, එහි නියමය “යම් හෙයකින් එක්සත් ජනපදය යුද්ධයක් අද්දර සිටීම”ඇතුලුව “ජාතික ආරක්ෂාව” හෝ “අර්බුද අවස්ථාවක” දැඩි පියවර ගැනීමට ජනාධිපති හා මිලිටරියට බලය ලබා දෙන බව යි.

ජාතික ආරක්ෂාව මුහුන දෙන හදිසි තත්වයන්ගේ අවදානම පෙන්වමින් ප්‍රජාතන්ත්‍ර අයිතීන් අහෝසි කිරීම යුක්ති සහගත කල නාසි විනිශ්චයකාර කාල් ෂ්මිඞ්ට්ගේ නීතිමය හේතු දැක්වීම් මීට සම්බන්ධය.

“ජාතික ආරක්ෂාව” හා “ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ” ව්‍යාජය යටතේ ඇමරිකානු පාලක පන්තිය වසර 20ක් තිස්සේ ලෝකය ත්‍රස්ත කර ඇත. ඉරාකය, ඇෆ්ගනිස්තානය, ලිබියාව හා සිරියාවේ මිලියන ගනනාවක් ඝාතනය කිරීම යුක්තිසහගත කිරීමට එක්සත් ජනපද ආන්ඩුව “ජාතික ආරක්ෂාව” පිටුවහල් කර ගෙන ඇත. ඩ්‍රෝන් ප්‍රහාර දියත් කිරීම, වධ හිංසා පැමිනවීම, දැවන්ත සෝදිසි කිරීම් පැවත්වීම හා විදේශයන් හි ආක්‍රමනකාරී යුද්ධ සඳහා වන හමුදා හා රට තුල රාජ්‍ය මර්දනයේ හමුදා සම්බන්ධ කරමින් “සමස්ත හමුදාවක්” ස්ථාපනය කිරීම සඳහා, මෙම මන්ත්‍රය සර්වකාර්ය තර්කයක් ලෙස සේවය කර ඇත.

දැන් “ත්‍රස්තවාදය මත යුද්ධය” සංක්‍රමනිකයන් මත යුද්ධය බවට පරිවර්තනය කර ඇත.

ආගමනය තහනම් කර ඇති රටවල් හතෙහි සංක්‍රමනිකයන් හෝ පුරවැසියන් ඇමරිකානු ජනතාවට එරෙහි තර්ජනයක් නියෝජනය කරතැයි යන්න අමු කෙප්පයකි.

එක්සත් ජනපදයට ඇතුලු වීමෙන් අවහිර කර ඇති අය ගලා එන්නේ ඇමරිකානු මිලිටරි මැදිහත් වීම්වලින් විනාස කෙරී ඇති සෝමාලියාව, සිරියාව, ලිබියාව හා යේමනය වැනි රටවලිනි, නැති නම් කුරිරු සම්බාධක පටවා ඇති උතුරු කොරියාව, වෙනිසුයුලාව හා ඉරානය වැනි රටවලිනි. එක්සත් ජනපදය ප්‍රධාන වග කිව යුත්තා වන යුද්ධය, ප්‍රචන්ඩත්වය හා දරිද්‍රතාවෙන් පලා යාමෙන් පසු සරනාගතයන් දහස් ගනනකට දැන් රැකවරනය අහිමි කෙරෙනු ඇත.

එසේම පසුගිය අඟහරුවාදා තවත් ප්‍රතිගාමී තීන්දුවක් මඟින් ගබ්සා විරෝධී අර්බුදකාරී ගර්භනී මධ්‍යස්තාන ගබ්සාව පිලිබඳ තොරතුරු සැපයිය යුතුය යන කැලිෆෝනියුනු නීතිය නිෂ්ප්‍රභා කලේය.

ඔබාමා විසින් පත්කරන ලද්දා වූ, සොන්යා සොටොමේයර් විසින් කෙටියෙන් සඳහන් කරන ලද පරිදි, සංචාරක තහනම් නඩුවේ විසම්මතික විනිශ්චයකාරවරුන් හතර දෙනා ට්‍රම්ප්ගේ නියෝගයේ වර්ගවාදී උපරිතානය පිලිගනිමින් එය සන්සන්දනය කලේ කොරෙමත්සු තීරනයට යි. නමුත් එය “ජාතික ආරක්ෂක” රාමුව පිලිගත්තේ ප්‍රතිපත්තිමය කාරනයක් ලෙස තහනම ත්‍රස්තවාදය වැඩි කර, ඒ මගින් “ජාතික ආරක්ෂාවට” තර්ජනයක් වනු ඇති බවට තර්ක කරමිනි. හිටපු රාජ්‍ය ලේකම් මැඩෙලින් ඕල්බ්‍රයිට්, හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් හා හිටපු ජාතික ඔත්තුසේවා අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර්ගේ සංචාරක තහනමට විරුද්ධව සොටෙමේයර් කෙටි සටහනක් ඉදිරිපත් කලා ය.

මුස්ලිම් (සංක්‍රමන) තහනමේ අත්දැකීම හෙලිදරව් කරන්නේ එහි අවසාන ක්‍රියාත්මක කිරීම තුල ඩෙමොක්‍රටික් පක්ෂයේ භූමිකාව යි. ට්‍රම්ප් තම සංචාරක තහනම පලමුව නිවේදනය කලේ 2017 ජනවාරි 27වැනි දා ය, එනම් ඔහු තනතුරට පත් වී සතියකට පසු ය. එවිට විරෝධතාකරුවන් දශදහස් ගනනක් ගුවන් තොටුපලවලට හා දේශසීමා මාරුවන තැන්වලට රොක් වූ අතර සති අන්තයේ විරෝධතා වර්ධනය විය.

විරෝධතාවන්ගේ තරම හා ව්‍යාප්තිය හේතුවෙන් කම්පිත ව, ඩෙමොක්‍රටික් පක්ෂය මැදිහත් වූයේ, නීති හඳුන්වා දී තහනමට එරෙහිව නීතිමය අභියෝග ගොනු කරනු ඇති ඩොමොක්‍රටික් දේශපාලඥයින් වෙත විශ්වාසය තබන ලෙස පෙලපාලිකරුවන්ට කීමට තම නියෝජිතයන් පිටත් කර යවමිනි. දැන්, ඩෙමොක්‍රටිකයන් අඟහරුවාදා නියෝගයට ප්‍රතිචාර දක්වමින් සිටින්නේ, තනහමට විරුද්ධවන අය 2018 අන්තර්වාර මැතිවරනයේ දී තමන්ට ඡන්දය ලෙස ඉල්ලමිනි.

ට්‍රම්ප්ගේ ජනාධිපතිත්වයේ සමස්තය වෙනුවෙන්, ඩෙමොක්‍රටික් පක්ෂය වැඩ කර ඇත්තේ ඔහුගේ දක්ෂිනාංශික ප්‍රතිපත්තිවලට වන විරුද්ධත්වය මර්දනය කරමින් හා තම ප්‍රතිගාමී රුසියානු විරෝධී උද්ඝෝෂනය හා නව මැකාතිවාදී #මමත් දඩයම පිටුපස ගාල් කරමිනි.

එහෙත් මෑත සතිවල සංක්‍රමනිකයන් මත උත්සන්න කෙරුනු ප්‍රහාරයෙන් ජනිත වූ කෝපය ඩෙමොක්‍රටික් ආරම්භකත්වයන් උඩුයටිකුරු කර ඇති අතර අලුත් වන මහා පෙලපාලිවල බලාපොරොත්තු ඉහල නංවා ඇත. එක්සත් ජනපද ආන්ඩුව ලමුන් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් පැහර ගෙන ඔවුන් කූඩුවල හිර කරන විට, ඩෙමොක්‍රටිකයන්ට එක්සත් ජනපදය තුල සමාජ බෙදීම්වලට ව්ලැඩිමීර් පුටින් මත දෝෂාරෝපනය කිරීම වඩා දුෂ්කර ය.

සංක්‍රමනිකයන් මත ප්‍රහාරය උත්සන්න කිරීම ගුරුවරුන්ගේ වැඩවර්ජන රැල්ල, මෝටර් රථ කම්කරුවන්ගේ කාර්මික ක්‍රියා හා යූපීඑස් (එක්සත් පාර්සල් සේවාව සමාගම) කම්කරුවන් දැවන්ත ලෙස වැඩවර්ජන තීරනයක් ගැනීම වැනි වැඩවර්ජන හා සමාජ අරගල රැල්ලට පාලක පන්තියේ ප්‍රතිචාරය යි.

සංක්‍රමනිකයන් දඩමීමා කර ගනිමින් ට්‍රම්ප් උත්සාහ කරන්නේ, සමාජ අසමානතාව හා පරිහානියට පත්වෙන ජීවන තත්වයන්ට එරෙහි කෝපය, රිපබ්ලිකාවනුවන් මෙන් ම ඩෙමොක්‍රටිකයන් නියෝජනය කරන බැංකු හා සංගතවලින් ඉවතට හැරවීමට යි. මෙහි දී ඔහු වැඩ කරමින් සිටින්නේ, සරනාගතයන් මත ඒ ආකාරයේ ම්ලේචඡ ප්‍රහාරන් ගෙන යන ලෝකය පුරා ධනේශ්වර ආන්ඩු සමග එක්ව ය.

එක්සත් ජනපද මිලිටරිය ට්‍රම්ප්ගේ සංක්‍රමනික විරෝධී බද්ධ වෛරය ප්‍රයෝජනයට ගනිමින් සිටින්නේ, කැලිෆෝර්නියා නගර ආසන්නයේ රැඳවුනු සිරකරුවන් ඇතුලුව, පුද්ගලයන් 120,000ක් රැඳවීමට සමූහ කඳවුරු ජාලයක් ඉදිකිරීම ඇරඹීමට ය. මේවා සංක්‍රමනිකයන් රැඳවීමට පමනක් නො ව, වැඩවර්ජනය කරන කම්කරුවන් හා දේශපාලන විසම්මතිකයන් රැඳවීමට යොදා ගනු ඇත. පාලක පන්තිය පන්ති අරගලයේ ඊ ලඟ අවධියට සූදානම් වෙමින් සිටින්නේ ඒ ආකාරයට ය.

ඩෙමොක්‍රටිකයන් මෙන් ම රිපබ්ලිකාවනුවන් සමග මුලුමනින් ම බෙදී වෙන් වීමෙන් පිටත සංක්‍රමනිකයන් මත ප්‍රහාරයට හා ඒකාධිපත්තිවය දෙසට වන ගමනට එරෙහිව ශඛ්‍ය සටනක් පැවතිය නො හැක. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට වන හදිසි තර්ජනය ඉල්ලා සිටින්නේ, පනත් ගත කෙරෙමින් තිබෙන පොලිස් රාජ්‍ය පියවරයන්ගේ කේන්ද්‍රීය ඉලක්කය වන, කම්කරු පන්තිය දැවන්ත ලෙස බලමුලු ගැන්වීමයි.

මෙම අන්තරායන් අභිමුවෙහි, සමාජවාදී වැඩසටහනක් අවශ්‍ය කෙරේ.ඒ අනුව, සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලන්නේ:

* එක්සත් ජනපදයේ රඳවා ගෙන සිටින සියලු ලමුන්. මෙන් ම ලෝකය පුරා කඳවුරුවල හා රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා ගෙන සිටින සියලු සංක්‍රමනිකයන් වහාම නිදහස් කිරීම

* ඇමරිකානු ගෙස්ටපෝව (සංක්‍රමනික හා රේගු බලගැන්වීම් - අයිසීඊ - හා රේගු හා දේශසීමා ආරක්ෂාව -සීබීපී) විසුරුවා හැරීම

* පිටුවාහල් කිරීමේ යාන්ත්‍රනය සමග සහයෝගිතාවය සක්‍රීයව අත්හිටුවීම

* එක්සත් ජනපදය තුල ලේඛන රහිත සියලු සංක්‍රමනිකයන් සඳහා වහා ක්ෂමාව සහ සංචාරය කිරීමේ හා වැඩ කිරීමේ අයිතිය සහතික කිරීම

* සංක්‍රමනික හා සංක්‍රමනික නොවන සියලු කම්කරුවන්ට රජයේ සේවාවා හා රැකියා පුහුනුව සඳහා ඩොලර් ට්‍රිලියන ගනනාවක ප්‍රතිපාදන. (සියලු දෙනා සඳහා ඇති තරම් ධනය හා ඉඩකඩ ඇත)

* මානව වර්ගයාට එරෙහි අපරාධ වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්, ජෙෆ් සෙසෙන්ස්, ස්ටීවන් මිලර් හා කර්ස්ජෙන් නීල්සන්ට නඩු පැවරීම

මෙම ඉල්ලීම් ජනතාව අතරට ගෙන යාමටත් එමෙන් ම සංක්‍රමනිකයන්ගේ හා සියලු වැඩ කරන ජනයාගේ අයිතීන් ආරක්ෂා කර ගනු පිනිසත් තමන්ගේ සමාජ, පාසල් හා වැඩපොලවල් බලමුලු ගැන්වීමටත්, වෘත්තීය සමිති හා ඩෙමොක්‍රටික් පක්ෂයෙන් ස්වාධීනව වැඩපොලවල හා අසල්වාසීන්ගේ කමිටු ස්ථාපිත කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම සටන මෙහෙය විය යුත්තේ, යුද්ධය, අසමානතාව හා මර්දනයේ මූලය වන ධනේශ්වර පද්ධතියට එරෙහි දේශපාලන අරගලය හා සමාජවාදය සඳහා සටන සමග මූලික අයිතීන් ආරක්ෂා කිරීමේ සටන වෙන් කල නො හැකි සේ බැඳී ඇතැ යි යන අවබෝධය සමගිනි.

එරික් ලන්ඩන්

Share this article: