සමිති නායකයෝ තැපැල් වර්ජනය පාවා දීමට සූදානම් වෙති:
වැටුප් ඉල්ලීම් ලබා දීමට “මුදල් නැත” යන තර්කය ප්‍රතික්ෂේප කරමු!

සමන් ගුනදාස විසිනි, 2018 ජූනි 28

25,000 ට අධික තැපැල් කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් සති දෙකක් ඉක්මවමින් පැවති වර්ජනය ජූලි 7 දක්වා තාවකාලිකව අවසන් කල බවට සමිති නායකත්වය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. ඉල්ලීම් ලබා දීම සඳහා දැවැන්ත මුදලක් ආන්ඩුවට වැය වන බවත්, එමඟින් අනෙකුත් සේවාවන්හි ද වැටුප් විෂමතා ඇතිවී එම සේවාවන් වලද වැටුප් වැඩි කිරීමට සිදුවන බවත්, තැපැල් කම්කරුවන්ගේ ඉල්ලීම් අධ්‍යනය කිරීම සඳහා යැයි ආන්ඩුව විසින් පත් කර ඇති කමිටුව සඳහන් කල බව මාධ්‍ය වාර්තාවන්හි පල විය.

ආන්ඩුව මෙලෙස තර්ක ගොතමින් සිටින්නේ තැපැල් කම්කරුවන්ගේ වැටුප් කැපීමට භාජනය කෙරෙන අන්දමට හා ඔවුන්ගේ රැකියා කොන්දේසි පහත වැටෙන අයුරින් තැපැල් ස්ථානාධිපති හා සුලු කම්කරු ශ්‍රේනි යනුවෙන් ශ්‍රේනි දෙකක් පමනක් සකසා උසස්වීම් හා වැටුප් ඉහලයාම් සීමා කෙරෙන අයුරින් බඳවා ගැනීමේ පටිපාටීන් වෙනස් කිරීමට පියවර ගෙන ඇති තතු යටතේ ය.

ජීවන වියදම පිම්මේ ඉහල යන තතු තුල, පසුගිය වසර 12 පුරා, තහවුරු කිරීමට උත්සාහ කල මෙම කප්පාදුවට එරෙහිව තැපැල් කම්කරුවෝ සටනට බටහ.

වැටුප් ඉල්ලීම් වලට එරෙහිව “මුදල් නැත” යන තර්කය ආන්ඩුව විසින් දමා ගසන්නේ තැපැල් කම්කරුවන්ට පමනක් නොවේ. එය මාර්තු - අප්‍රේල් මාස වල දින 44 ක් පුරා වර්ජනයේ යෙදී සිටි 15,000ක් විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන්ගේ සහ ජූනි මස මුලදී වර්ජනයට පිවිසි 12,000 ක් ජල සම්පාදන කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් වලට එරෙහිව ද යොදා ගනු ලැබිනි. සමිති නායකයෝ ද සටන් පාවා දීම සඳහා ආන්ඩුවේ තර්කය යහමින් යොදා ගත්හ.

මෙම කුතර්කයට කම්කරුවන් නතු විය යුතු නැත. තමා නිපදවන වටිනාකම් අත්පත් වන්නේ කාටද? එම සම්පත් බෙදී යාම සිදු වන්නේ කෙසේද? යන්න කම්කරුවන් විසින් සලකා බැලිය යුතුය.

මුදල් නැතැයි ආන්ඩුව කියන අතරේ ගෙවුනු 2017 මූල්‍ය වසර තුල පමනක් රටෙහි බැංකු ද ඇතුලු මහා ව්‍යාපාරික අංශයේ ශුද්ධ ලාභ ඉහල යාම් පිලිබඳ අදහසක් පහත දත්ත වලින් ලබා ගත හැක.

කොමර්ෂල් බැංකුව - රුපියල් බිලියන 16.5; සියයට 14.25ක වාර්ෂික ඉහල යාමක්

හැටන් නැෂනල් බැංකුව - රුපියල් බිලියන 16.5; සියයට 16.4 ක වාර්ෂික ඉහල යාමක්

ජෝන් කීල්ස් සමාගම - රුපියල් බිලියන 23; සියයට 28ක වාර්ෂික ඉහල යාමක්

ජෝන් කීල්ස් සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයක වත්කම් ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පලමු සමාගම ලෙස ද වාර්තා ගත විය.මින් හැඟවෙන්නේ කුමක්ද? රටෙහි සම්පත් වලින් අති දැවැන්ත පදාසයක් මෙම මහා ව්‍යාපාර වල හිමිකරුවන් අත ගොඩ ගැසෙන බවයි. මෙම ගොඩ ගැසීම සිදු වන්නේ යන්තම් දිවි ගැට ගසා ගත හැකි මට්ටමටත් පහලින් කම්කරු වැටුප් පවත්වා ගෙන යමින් හා කම්කරුවන්ගේ ජීවිත පිලිබඳ කිසිම තැකීමකින් තොරව වැඩපල කොන්දේසි පවත්වාගෙන යමින්, මහා ව්‍යාපාරයන් විසින් කරගෙන යන රුදුරු සූරා කෑමේ ප්‍රතිඵලයක් ලෙසය.

සංගතවලින් හා පොහොසතුන්ගේ ආදායම් බදු බදු ලෙස අය කරන්නේ සියයට 14 සිට 28 දක්වා වූ සොච්චමකි. මෙය දකුනු ආසියාවේ පවා අවම රේට්ටුවකි. “ආයෝජන රඳවා ගැනීම හා දිරි ගැන්වීම” සඳහා ආන්ඩුව මෙම පියවර ගෙන ඇත්තේ උපරිම සූරා කෑමේ කොන්දේසි සොයමින් ලෝකය පුරා සැරි සරන මූල්‍ය ප්‍රාග්ධනයට ඉඩ සලසා දීමටයි.

දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ගෙනගිය වර්ගවාදී යුද සමයේ සිට අද දක්වා ආයුධ සඳහා ද මහා ව්‍යාපාරික ආයෝජකයින්හට යටිතල පහසුකම් සැපයීම සඳහා ද ගත් නය කන්දරාව වෙනුවෙන් රජය දැවැන්ත වාරිකයන් ගෙවමින් සිටී. මහබැංකුවට අනුව මේ වසරේ නය වාරික ගෙවීම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක් වන අතරේ ලබන වසරේ එය ඩොලර් බිලියන 4.2 ක් වෙයි. 2020 සිට 2022 දක්වා වාර්ෂික නය වාරිකය ඩොලර් බිලියන 3.6 කි. මෙම නය ගෙවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් නය ලබා ගෙන ඇති ආන්ඩුව, ජාමූඅ හි නියෝග මත, වැඩ කරන ජනයා මත දැවැන්ත ලෙස බදු බර පටවමින් ද, සහනාධාර කපා දමමින් ද, රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කරමින් ද සිටියි.

2008 මහා ආර්ථික කඩා වැටීම සමග මෙම සූරා කෑම ජාත්‍යන්තර පරිමානව පිමි වලින් ඉහල ගොස් තිබේ. මෑතදී පලවූ වාර්තාවකට අනුව ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික දේපල ඇති “ඉතා ඉහල ශුද්ධ අගයක් ඇති පුද්ගලයින්”, මිලියන 18ක් අත ගොඩ ගැසී ඇති ධනස්කන්ධය පසුගිය වසර තුල සියයට 10.6 කින් ඉහල ගොස් ඩොලර් ටි්‍රලියන 70 ක් වී තිබේ. මින් සියයට 35 ක් පවතින්නේ ඩොලර් මිලියන 35 ට අධික අතිශයින්ම ඉහල ශුද්ධ අගයක් ඇති පුද්ගලයින් 174,000ක් අත වන අතර එම ධනය බැංකු හා කොටස් ගිනුම් ලෙසද, මහා මන්දිර, පුද්ගලික ජෙට් යානා, අති සුඛෝපභෝගී බෝට්ටු ආදී අතිපරිභෝජනයන් සඳහා ද යොදා ගැනේ.

ලොවින් කුසගින්න වසර 817 කට තුරන් කිරීම සඳහා මෙම ධනය ප්‍රමානවත්ය. පසුගිය වසරේ දෙසැම්බරයේ පලවූ ලෝක අසමානතා වාර්තාව ට අනුව ලෝකයේ පොහොසතුන් සියයට 10 අත ලොව සමස්ත සම්පත් වලින් සියයට 70 ක් තිබෙන අතර ලෝක ජනගහනයේ අඩු ආදායම් ලබන අර්ධය එනම් බිලියන 3.5 ක් අත පවතින්නේ එම සම්පත් වලින් සියයට 2ක් පමනි.

මෙලෙස අතිශය සුලුතරයක් අත ධනය කඳු ගැසෙන පසුබිම තුල අති දැවැන්ත බහුතරය වන වැඩ කරන ජනතාව තුල පැතිර පවතින දරිද්‍රතාවය ලොව සිසාරා යමින් පවතින අතර එය ලංකාව තුලද එසේමය. පසුගිය වසරේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය නිකුත් කල වාර්තාවකට අනුව ලංකාවේ, ඩොලර් 1.9 ට, එනම් රුපියල් 300 ට වඩා අඩුවෙන් දෛනික ආදායම් ලබන සංඛ්‍යාව ජනගහනයෙන් සියයට 6.7 ක් එනම් මිලියන 2.2 කට ආසන්නය. ඩොලර් 2 ට අඩුවෙන් අදායම් ලබන සංඛ්‍යාව ජනගහනයෙන් සියයට 9.9 කි. (කියවන්න: ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් දරිද්‍රතා උගුලේ

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වාර්තාවට අනුව ලංකාවේ ජනගහනයේ ඉහල ආදායම් ලබන සියයට 20, රටෙහි සමස්ත වාර්ෂික ආදායමෙන් සියයට 51.8 ක් ලබා ගනියි.

ආන්ඩුව කම්කරු පන්තිය හා දුගීන් මත බදු ඉහල දමමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව අය වැය පරතරය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 දක්වාම පහත දැමීමට ක්‍රියාත්මක වෙමින් සිටියි. අය වැය තුල ආන්ඩුවේ මුදල් වෙන් කිරීම් සැලකුවහොත් නය සඳහා වාරික හා පොලී ගෙවීම් වලින් අනතුරුව වෙන් කෙරෙන දැවැන්තම මුදල් සම්භාරය වන්නේ ආරක්ෂක හමුදා හා පොලිසිය වෙනුවෙනි. එනම් කම්කරු දුගී ජනයා ජීවත් කරවීම සඳහා වැටුප් හා සහනාධාර ආදියට නොව ඔවුන් මර්දනයට හා පීඩනයට ලක්කිරීම සඳහා යෙදවෙන රාජ්‍ය මර්දන යන්ත්‍රය පෝෂනය කිරීම සඳහාය.

2018 අයවැයෙන් රුපියල් බිලියන 290 ක් මිලිටරිය සඳහා වෙන් කෙරිනි. මෙම තත්වය ලෝක පරිමානව ගතහොත් පවතින්නේ අතිශයින්ම උග්‍ර මට්ටමකය. 2017 දී ලෝක පරිමානව මිලිටරිය සඳහා වියදම ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 1.7 ක් වන බව වාර්තා වුනු අතර ඉන් සියයට 13 කින් ලෝක දරිද්‍රතාව හා කුසගින්න තුරන් කල හැකිවන අතර සියයට 4 කින් ලෝක ජනගහනය සඳහා ආහාර සුරක්ෂිතතාවද, සියයට 5 කින් සෞඛ්‍ය අවශ්‍යතාද, සියයට 12 කින් සියල්ලන් සඳහා අධ්‍යාපනයද, සියයට 3 කින් පිරිසිදු ජලය හා සනීපාරක්ෂාවද ලබා දිය හැකිය.

මෙම දැවැන්ත සමාජ ධනය කම්කරු-පීඩිත මහජනතාවගේ අවශ්‍යතා සඳහා යොදාගත හැකි වන්නේ නිශ්පාදන බලවේගයන්හි පුද්ගලික අයිතිය සහ ලාභය මත පදනම් වූ ධනේශ්වර නිශ්පාදන-ආර්ථික ක්‍රමය, සමාජවාදී නිශ්පාදන-ආර්ථික ක්‍රමයකින් විස්ථාපනය කිරීමෙන් පමනි. එය සාක්ෂාත් කල හැක්කේ, මහා ව්‍යාපාර, බැංකු, දැවැන්ත වතු ඇතුලු ප්‍රධාන නිෂ්පාදන බලවේග කම්කරු පන්තියේ පාලනය යටතට ගනිමින්, ලාභය මත නොව මහජනයාගේ අවශ්‍යතා මත එම නිශ්පාදන බලවේග සංවිධානය කරන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි.

ධනේශ්වර උපකරන බවට පත්ව ඇති තැපැල් සමිති ඇතුලු සමස්ත වෘත්තීය සමිති මෙම වැඩපිලිවෙලට ඉඳුරාම සතුරුය. පසුගිය වසර 12 ක කාලය පුරාම ආන්ඩුවේ පුද්ගලීකරන හා වානිජකරන සැලසුම් කම්කරුවන්ගෙන් වසන් කරමින් ආන්ඩුවල බොරු පොරොන්දු මත කම්කරුවන්ගේ අරගල පාවා දෙමින් ආන්ඩුවල ප්‍රහාර දිගේලි කිරීම සඳහා තත්වය සකස් කර දීමට ක්‍රියා කල මෙම සමිති දැන් කම්කරුවන් වැඩට යැවීමට ආන්ඩුව වෙනුවෙන් වැඩට බැස සිටියි.

ධනපති ක්‍රමයේ ආරක්ෂකයින් වන සමිති වල පීඩනය හා ග්‍රහනය බිඳ දමමින් තැපැල් කම්කරුවන් තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්, ආන්ඩුවේ ප්‍රහාරයන්ගෙන් බැටකන සෙසු කම්කරුවන්ගේ, සිසුන්ගේ හා රැකියා විරහිත තරුනයන්ගේ මෙන්ම ගොවීන්ගේ හා අනෙකුත් සටන්කාමීන්ගේ ද සහාය ගොනු කර ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙල මත සටන ගෙන යාමට ඉදිරියට එන ලෙස තැපැල් කම්කරුවන්ට අපි කැඳවුම් කරමු.

Share this article: