තැපැල් සංගම්වල ඇබ ගැසීම් නොතකා සේවකයන් අතර සටන්කාමිත්වය වැඩෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 ජූනි 06

බඳවා ගැනීමේ පටිපාටිය ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කල තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ දෙදින වර්ජනය නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු මුලුමනින් ම පාහේ අඩාල විය.

හාරදහසක් පමන වන සංගමයේ සාමාජිකයන් සියලු දෙනාම වර්ජනයට සහභාගී වුයේ තැපැල්පති රෝහන අබේරත්න විසින් සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර වර්ජකයන් වෙනුවට විකල්ප සේවකයන් යොදවන බවට එල්ලකර තිබූ තර්ජනය නොතකමිනි.

තැපැල් වර්ජනයේ මෙන්ම ඒ සමගම කැඳවුනු ජල මන්ඩල වර්ජනයේද වැදගත් ලක්ෂනයක් වූයේ සිංහල, දෙමල හා මුස්ලිම් වාර්ගික භේද නොතකා ඒවාට සහභාගි වීමයි.

වර්ජනය නිසා කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුව, මහනුවර, මාතර, ගාල්ල, යාපනය, ත්‍රිකුනාමලය, මඩකලපුව, රත්නපුර ඇතුලු නගරවල ප්‍රධාන තැපැල් කාර්යාල ඇතුලු කාර්යාල 653 න් සියයට 80 කට වැඩි ප්‍රමානයක ක්‍රියාකාරිත්වය අඩාල විය.

සේවකයන් අතර සටන්කාමිත්වය මොට කිරීමට සැදී පැහැදී සිටින තැපැල් නිලධාරි සංගමයේ නායකයන් වර්ජකයන්ට ගෙවල්වල රැඳෙන ලෙස අවවාද කලේ මොනම සාමූහික විරෝධතා ක්‍රියාවක වත් සංවිධානය නොකිරීමට වග බලා ගනිමිනි. අනතුරුව, දින දෙකකට සීමාකර තිබු වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ එය අවසන් කලේ ඊලඟ ක්‍රියාමාර්ගයක් ජුනි 10 සමිති කමිටු රැස්වීමේදී තීන්දු කරන බව ප්‍රකාශ කරමිනි.

තම ඉල්ලීම් ලබා නොදීම කෙරෙහි සමස්ථ තැපැල් සේවකයන් අතර ඇත්තේ බරපතල විරෝධයකි. එහෙත් තැපැල් වෘත්තීය සමිති පසුගිය වසර 12 තුල ම කලේ මෙම ඉල්ලීම් පදනම් කරගෙන පැන නැගුන තැපැල් සේවකයන්ගේ අරගල ආන්ඩුවේ බොරු පොරොන්දු වලට යටත් කර දියකර හැරීමය.

අමාත්‍ය මන්ඩල පත්‍රිකාවක් මගින් තැපැල් සේවකයන්ගේ ගැටගු විසඳන බවට දුන් එවන් පච පොරොන්දුවක් පිලිගෙන ජනවාරි 10 වෙනිදාට යොදාගෙන තිබුන වර්ජනය තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන විසින් නතර කලේ ය.

ආන්ඩුව තැපැල් දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කිරීමට පිඹුරුපත් සකසමින් සිටින තතු තුල ශ්‍රේනිවාදී සහ කට්ටිවාදී බෙදීමක් ඇති කිරීමේ ද්‍රෝහී ප්‍රයත්නයක තැපැල් සමිති නායකයෝ දැන් යෙදී සිටිති.

ඉරිදා ආරම්භ කෙරුන දෙදින වර්ජනයට තැවිසනිස හැර තැපැල් සමිති ඒකාබද්ධ පෙරමුනේ සෙසු සමිති සහභාගිවීම ප්‍රතික්ෂේප කලේය. මේ අතර අනෙකුත් සමිති විසින් ජුනි 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බවට නිවේදනය කර ඇති වර්ජනයට තැවිසනිස සම්බන්ද නොවන බව කියා ඇත.

වෘත්තීය සමිති විසින් නිර්මානය කරනු ලබන මෙම භේදකාරිත්වය හා තැපැල් සේවකයන්ගේ අරගලය දැනුවත් ව හුදකලා කිරීමේ වැඩපිලිවෙල තුඩුදෙනු ඇත්තේ ඔවුන් දිරිසුන් කොට අරගල දුර්වල කිරීමට හා ආන්ඩුවේ අත ශක්තිමත් කිරීමට ය.

වඩවඩාත් පැහැදිලිවන්නේ වෘත්තීය සමිති සහ කම්කරුවන් අතර පරතරය පලල් වෙමින් පවතින බවයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතා කල හලාවත තැපැල් කාර්යාලයේ විදුලි පනිවුඩකරුවෙක් ප්‍රකාශ කලේ කිසිම ආන්ඩුවක් කම්කරුවන්ගේ ප්‍රශ්න නො විසඳන බවය. “මගේ සේවාකාලය දැන් වසර නවය හමාරක්. තවම ස්ථීර කලේ නැහැ. තිබුන සුලු ශ්‍රේනි අහෝසි කරලා අලුතෙන් ඇතිකරපු තැපැල් සහායක ක්‍රමය නිසා උසස්වීම් ලබා ගන්නත් අමාරුයි. රුපියල් 1,180 ක. දවස් පඩියක් ගෙවන්නේ. ඒකෙනුත් රුපියල් 130 ක් කැපෙනව අර්ථසාධක වලට. මාසෙට වැඩ තියෙන්නේ දින 23 ක් හෝ 24 ක්. මාසෙටම ලැබෙන්නේ රුපියල් 25,000 ක් හෝ ඊට අඩු මුදලක්. කෑම වියදමයි ලමයින්ගේ ඉගෙනීම්වලට යන වියදමයි වත් ඒකෙන් පිරිමහ ගන්න බැහැ. ගෙදර ඉඳල වැඩට එන්න දවසකට රුපියල් 108 ක් යනවා. දවල් කෑම ගෙදරින් ගෙනෙනවා, උදේ කෑමටයි සවස තේවලටයි රුපියල් 150 ක් විතර යනවා.”

වෘත්තීය සමිතිවල භේදකාරී පිලිවෙත හෙලා දුටු ඔහු ජුනි 11 වෙනිදා වර්ජනයට සම්බන්ධ වන බව පැවසුවේ ය.

මාතර තැපැල් කාර්යාලයේ සේවකයන් කන්ඩායමක් සඳහන් කලේ තැපැල් සේවකයන් සියලු දෙනාටම මෙම ගැටලු පොදුවේ බලපාන නමුත් වෘත්තීය සමිතිවල මතභේද නිසා වර්ජනයට තමන් සම්බන්ද කර නොගත් බවය. “මේ විදිහට කරනවා නම් වෘත්තීය සමිතිවලින් වැඩක් නැහැ. ඒ ගොල්ල කරන වැඩ වලින් වෙන්නේ අරගලය දුර්වල වෙන එක. ඉල්ලීම් දිනා ගන්න නම් සියලු දෙනා එකතු වෙලා සටන් කරන්න ඕන.”

අම්බලන්ගොඩ තැපැල් කාර්යාලයේ සුලු සේවකයෙකු සඳහන් කලේ කම්කරුවන් තමන්ගේ ආන්ඩුවක් හදන්නේ නැතිව කිසිම අයිතියක් අද ආරක්ෂා කරගත නොහැකි බවය. “මේ විදිහට සටන් කරලා කම්කරුවන්ගේ අයිතීන් දිනන්න බැහැ. හැම රටකම දැන් කම්කරුවන්ගේ අයිතීන් මර්දනය කරනවා. ෆැසිස්ට් ආන්ඩු හදනවා. අයිතීන් දිනන්න නම් කම්කරුවන් තමන්ගේම ආන්ඩුවක් හදන්න ඕන. ඒකට සියලුම කම්කරුවෝ එකතු වෙන්න ඕනැ” යයි ඔහු පැවසුවේ ය.

Share this article: