සමිති සමග සාකච්ඡා බිඳ වැටෙත්ම ආන්ඩුව තැපැල් සේවක වර්ජනයට එරෙහි මර්දනය තීව්‍ර කරයි

අපේ වාර්තාකරුවන් විසිනි ,2018 ජුනි 20

ආන්ඩුව සහ තැපැල් වෘත්තීය සමිති අතර සඳුදා පැවති සාකච්ඡා බිඳවැටීමෙන් පසුව වර්ජනය අඛන්ඩව පෙරට ගෙනයාමට තැපැල් සේවකයන් තීන්දු කිරීමත් සමග වර්ජනය බිඳීම සඳහා රාජ්‍ය මර්දනය තීව්‍ර කිරීමට ආන්ඩුව තීන්දු කර ඇත.

තැපැල් කාර්යාල විවෘත කිරීම සහ ඒ සඳහා ආරක්ෂාව සැලසීම තැපැල් කාර්ය මන්ඩල නිලධාරීන්ගේ වගකීමක් බව තැපැල්පති රෝහන අබේරත්න සඳහන් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය නම් පොලීසියේ සහාය ලබා ගන්නා ලෙස තැපැල් කාර්යමන්ඩල නිලධාරීන්ට දැනුම් දී ඇතැයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

නිලධාරීන් විසින් ඉල්ලා සිටියහොත් තැපැල් කාර්යාලවලට අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර විසින් පොලීසියට උපදෙස් දී ඇත.

සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අඟහරුවාදා සිට අවලංගු කර ඇති අතර එදින උදේ සිට සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන සියලුම තාවකාලික, අනියම්, ආදේශක සහ වැඩ බලන තනතුරු දරන්නන් ගේ රැකියාවන්හි ආරක්ෂාවට තැපැල් පරිපාලනය වග නොකියන බව ද තැපැල්පති සඳහන් කර ඇත.

සසප උද්ඝෝෂකයින් තැපැල් කම්කරුවන් සමග සාකච්ඡා කරයි

බඳවා ගැනීමේ පටිපාටය නිවැරැදි කිරීම හා උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථීර කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ජුනි 11 වෙනිදා සිට තැපැල් සේවකයන් ගෙනයන අඛන්ඩ වර්ජනය සතියක් ඉක්මවා ඇති අතර සඳුදා පැවති විරෝධතා උද්ඝෝෂනයට උතුරු නැගෙනහිර දෙමල හා මුස්ලිම් තැපැල් සේවකයන් ඇතුලු 4000 ක් පමන සහභාගී වුහ.

කොලඹ මධ්‍යම තැපැල් හුවමාරු කාර්යාලයේ සිට ඩි.ආර්. විජේවර්ධන මාවත, මරදාන, ටෙක්නිකල් හන්දිය හරහා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පාගමනකින් පැමිනි තැපැල් සේවකයෝ, පොරොන්දු වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු! උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථීර කරනු! සහ තැපෑල වනසන පාලක මන්ඩලය අහෝසි කරනු! ආදී සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන්පාඨ හඬ නගමින් පැයකට ආසන්න කාලයක් විරෝධතා උද්ඝෝෂනයක නිරත වූහ. වර්ජනයට 25,000 ක් පමන සහභාගී වී සිටින අතර වර්ජනය නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු මුලුමනින් ම අක්‍රිය වී ඇත.

විරෝධතා උද්ඝෝෂනය කැඳවුම් කලේ තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (තැවිනිස) සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුන විසිනි. සමිි නායකයන් සාමාජිකයන් ට මුලින් උපදෙස් දී තිබුනේ වර්ජනය කර නිවෙස්වලට වී සිටින ලෙස ය. ඒ කාලය තුල ආන්ඩුව සමග කිසියම් සම්මුතියක් ඇතිකරගත හැකිවෙතයි ඔවුහු බලාපාරොත්තු වූහ.

විරෝධතා උද්ඝෝෂනය සංවිධානය කෙරුනේ ආන්ඩුවට වැඩි බලපෑමක් යෙදීමේ අරමුන ඇතිව නමුත් එම උද්ඝෝෂනය අතරතුර වෘත්තීය සමිති හා ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීන් අතර පැවති සාකච්ඡා අසාර්ථක විය. තැපැල් සේවකයන්ගේ ගැටලු වලට විසඳුම් ලබාදීම පිනිස තවත් සති දෙකක හෝ තුනක කාලයක් අවශ්‍ය බවත් එතෙක් වර්ජනය නතර කරන ලෙසත් මෙහි දී ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීන් පවසා ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පොලිස් මාර්ග බාධක යොදා තිබූ අයුරු

සමිති වලට ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට සිදුවුයේ පසුගිය වසර 12 ක් පුරා ආන්ඩුවේ බොරු පොරොන්දුවලට යටත් කර ඔවුන් විසින් අරගලය යලි යලිත් පාවා දුන් තතු තුල යලිත් එවන් බොරු පොරොන්දු පිලිගැනීමට තැපැල් සේවකයන් අතර පවතින බරපතල විරුද්ධත්වය නිසා ය.

“මේ කතාව අපි දැන් අවුරුදු ගානක් අහල තියෙනව. බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කරල කැබිනට් පත්‍රිකාව නිකුත් කරන තුරු අපි පසු බසින්නෙ නෑ” යයි තැවිනිස ලේකම් එච්.කේ කාරියවසම් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

“හැකිනම් වර්ජනයේ නිරත තැපැල් සේවකයන් 25,000 ම දොට්ට දමන” ලෙස වෘත්තීය සමිති විසින් ආන්ඩුවට අභියෝග කර ඇතත් රාජ්‍ය මර්දනයට මුහුන දීමට සහ තැපැල් සේවකයන්ගේ අරගලය ආරක්ෂා කිරීම සඳහා කිසිදු ශක්‍ය ක්‍රියාමාර්ගයක් තැපැල් වෘත්තීය සමිතිවලට නැත.

සඳුදා උද්ඝෝෂනය තුල දී තැපැල් සේවකයන් ඇමතු තැවිනිස ලේකම් කාරියවසම් සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුනේ සභාපති චින්තක බන්ඩාර “ආන්ඩුවේ බොරු පොරොන්දු පිලි නොගන්නා” බවටත් “ජයග්‍රහනය දක්වා සටන ඉදිරියට ගෙන යන” බවටත් පාරම්බෑහ.

සාමාජිකයන් අස්වැසීම සඳහා “ජයග්‍රහනය දක්වා අරගලය පෙරට ගෙන යන” බවට සපත කරන නමුත් සමිති නායකයන් දැනුවත්වම යෙදී සිටිනේ ආන්ඩුව සමග සම්මුතියකින් කිනම් හෝ මොහොතක අරගලය නතර කිරීමේ මගක් සොයමිනි.

පහල සාමාජිකත්වයේ බලගතු විරෝධය නිසා මෙවර එය තනිවම කල නොහැකි බැවින් පන්ති සටන් පාවාදීම සම්බන්ධයෙන් කුප්‍රකට ලංකා බැංකු සේවක සංගමයේ, වරාය වෘත්තීය සමිති පෙරමුනේ, දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ, ලංකා වෙලඳ සේවක සංගමයේ (සීඑම්යූ) සහ රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ (රාසේවෘස) වෙට්ටපිත්තල නායකයන් ද ඔවුන් ගේ සහයෝගයට කැඳවාගෙන ඇත.

මෙම සමිති නියෝජනය කරමින් කතා කල සියලුම නායකයන් පොදුවේ සඳහන් කලේ සටන දිනනතුරු සහයෝගය දෙන බවය.

“ජයග්‍රහනයෙන් කෙලවර වෙන තුරු සටන ඉදිරියට ගෙන යාමට සහයෝගය දෙන” බවට ලංබැසේස ජ්‍යෙෂ්ඨ උප සභාපති චන්න දිසානායක කයිවාරුවක් ගැසූ අතර “සටන් ඒකාබද්ධ කිරීම අපේ වගකීමක්. ඒ නිසා මේ අරගලය වටා අනෙකුත් කම්කරුවන් එකතු කරන්න අප සටන් කරනවා” යයි රාසේවෘස සභාපති එච්. ඩබ්ලිව්. පියදාස එවැනිම කතාවක් කලේ ය.

මේවා අතරින් සමහර සමිති වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට සෘජුව සහයෝගය දුන් අතර රාජ්‍යසේවා වෘත්තීය සමිති සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පන්දම් අල්ලයි. එහි සභාපති එච්.ඩබ්ලිව්. පියදාස කම්කරු පන්ති සටන් පාවාදීමේ හිලව්වට රාජපක්ෂ ආන්ඩුවෙන් තානාන්තර ලබගත් අයෙකි.

රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන කම්කරු පන්තියට එරෙහිව අන්ත දක්ෂිනාංශික වර්ගවාදී ව්‍යාපාරයක් ඉස්මත්තට ගැනීමේ උත්සාහයක නිරතව සිටී. ඒ සඳහා මෛත්‍රිපාල සිරිසේන- රනිල් වික්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි වැඩෙමින් පවතින විරුද්ධත්වය ගසාකයි. පියදාස ඒ සඳහා ඒජන්තකම් කරන්නෙකි.

තැපැල් සමිති නායකයන් ගනන් බලමින් සිටින්නේ ආන්ඩුව සමග සම්මුතියකින් තැපැල් සේවකයන්ගේ අරගලය නතර කල නොහැකි නම් එවන් දක්ෂිනාංශික ව්‍යාපාරයක අත යටට එය තල්ලු කර දැමීමට ය.

ආන්ඩුව කෙරහි තැපැල් සේවකයන් ගේ කෝපය වර්ධනය වීම මෙන් ම ඔවුන් සහ තැපැල් වෘත්තීය සමිති අතර අගාදය ද පුලුල් වෙමින් ඇත.

සසප ප්‍රකාශනය කියවන තැපැල් කම්කරුවන්

වලස්මුල්ල ප්‍රදේශයෙන් පැමිනි තැපැල් ස්ථානාධිපතිවරයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් ට මෙසේ සඳහන් කලේ ය. “මම මේ රස්සාවට ඇවිත් අවුරුදු 5 කටත් වැඩියි. තව ම ස්ථිර කරලා නැහැ. වෘත්තීය සමිති දැන් තනිකරම බිස්නස් එකක් වෙලා තියෙන්නේ. ඔය චක්‍රලේඛය ආන්ඩුව කෙලින්ම එවන්නේ වෘත්තීය සමිති නායකයන්ට. ඒ ගොල්ලෝ අනුමත කරපුවාම තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. අපිව දැනුවත් නොකර ඒ ගොල්ලෝ ඒක අනුමත කරලා. දැන් අපිට කියනවා මේ චක්‍රලේඛයට විරුද්ධ වෙන්න කියලා.”

ආන්ඩුව ක්‍රියාවට දමා ඇති නව සැලසුම් වලින් තැපැල් සේවකයන්ගේ අයිතීන් ට බරපතල ලෙස පහර වදින බව දෙහිඕවිට ප්‍රදේශයෙන් පැමිනි තැපැල්කරුවෙකු ප්‍රකාශ කලේ ය.

“අලුත් ශ්‍රේනි ක්‍රමය නිසා අපේ අයිතිවාසිකම් වලට පහර වදිනවා. සුලු සේවක ශ්‍රේනි දහඅටක් තිබුනා. ඒ සියල්ලම තැපැල් සහායක කියල එක ශ්‍රේනියකට දමලා. එතොකොට නිලධාරීන්ට කැමති ඕනෑම වැඩක් අපට පවරන්න පුලුවන්. විරුද්ධ වෙන්න බැහැ. උසස්වීම් සහ වැටුප් වර්ධක පමා වෙනවා.” වසර 30 ක සේවා කාලයක් ඇති ඔහුගේ මාසික දල වැටුප රුපියල් 42,000 ක් පමන වේ. එයිනුත් නයවලට සහ අනෙකුත් අඩුකිරීම් වලින් පසුව අතට ලැබෙන්නේ රුපියල් 12,000 ක පමන මුදලක් බව ඔහු පැවසුවේය.

“බිරිඳට රක්ෂාවක් නැහැ. ලමයි තවම ඉගෙන ගන්නවා. ඒ ගොල්ලන්ට මාසෙකට විශාල වියදමක් යනවා. ඒ නිසා අතට ලැබෙන මුදලෙන් ජීවත් වෙන්න බැහැ.” වෘත්තීය සමිති කරන උද්ඝෝෂනවලින් විසඳුමක් ලැබෙයි කියල විස්වාසයක් නැති බව ද ඔහු සදහන් කලේ ය.

තැපැල් සේවකයන්ගේ රැකියා සහ සේවා කොන්දේසි වලට එරෙහි ප්‍රහාරය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග යටතේ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුව ක්‍රියාවට දමන ආර්ථික ප්‍රතිසංස්කරනවල කොටසකි. ආන්ඩුව විසින් පත් කර ඇති කැබිනට් අනුකාරක සභාව විසින් තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකර ස්වාධීන ආයතනයක් බවට පත් කල යුතුයි දැනටමත් නිර්දේශ කර ඇත.

තැපැල් සේවකයන්ගේ වර්ජනයට විරුද්ධව රාජ්‍ය මර්දනය තීව්‍ර කිරීමට ආන්ඩුව පියවර ගෙන ඇත්තේ තම ඉල්ලීම් සඳහා අරගලය පෙරට ගෙනයාමේ අධිෂ්ඨානය සහ සටන්කාමිත්වය ඔවුන් අතර වර්ධනය වන තතු තුල ය.

රැකියා සහ ජීවනතත්වයන්ට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව පෙරලිකාරී වී සිටින කම්කරු පන්තියේ සෙසු කොටස් තැපැල් සේවකයන්ගේ අරගලය වටා පෙල ගැසීමට ඇති හැකියාව කෙරෙහි ආන්ඩුව බියට පත්ව ඇත. එම තතු තුල පොලිස් රාජ්‍ය විධික්‍රමයන් තීව්‍ර කරමින් තැපැල් සේවක වර්ජනය මර්දනය කිරීමට ආන්ඩුව උත්සාහ කිරීම සමස්ත කම්කරු පන්තියට කෙරෙන අනතුරු ඇඟවීමකි.

Share this article: