තැපැල් සේවක අරගලය ආරක්ෂා කරනු!
කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!
සමාජවාදී වැඩපිලිවෙලට සටන් කරනු!

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2018 ජුනි 22

වැටුප් හා සේවා කප්පාදුවක් ඇති කරමින් 2006 සිට ක්‍රියාවට දමා ඇති නව සේවා පටිපාටිය ඉවත්කිරීම ඇතුලු ඉල්ලීම් ගනනාවක් මත ජුනි 11 වෙනිදා ආරම්භ කල තැපැල් සේවකයන්ගේ අඛන්ඩ වර්ජනය දෙවන සතියට එලැඹ ඇත. වර්ජනයට දිවයින පුරා 25,000 කට අධික තැපැල් සේවකයෝ සම්බන්ධ වී සිටිති. සඳුදා තැපැල් සේවකයන් 4000 ක් කොලඹ නගරයේ පැවති විරෝධතාවට එක්වූහ.

සිය ඉල්ලීම් වලට විසඳුම් ලැබෙන තුරු අරගලය අත් නොහැරීමට සේවකයන් ගෙන ඇති තීන්දුව නිසා අර්බුදයට ගොස් ඇති ධනපති ආන්ඩුව වර්ජනය බිඳීම සඳහා අවි අමෝරාගෙන සිටී. සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු ජුනි 19 වෙනිදා සිට අවලංගු කර ඇත. ඒ අනුව සේවයට වාර්තා කිරීමට අසමත් වන සියලුම සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව තැපැල් පති විසින් නිවේදනය කර තිබේ. විශේෂයෙන් එය දැනට එල්ල කර ඇත්තේ, තාවකාලික, අනියම්, ආදේශක සහ වැඩබලන තනතුරු දරන්නන් ට එරෙහිව ය. එමෙන් ම “සේවයට වාර්තා කරන්නන් සහ සේවා ස්ථාන ආරක්ෂා කිරීම පිනිස” පොලීසිය යෙදවීමට තීන්දුකර රාජ්‍ය දඩයමක් උසිගැන්වීමට ද ආන්ඩුව සූදානම්වේ.

ආන්ඩුවේ එල්ලය අනෙකුත් රාජ්‍ය අංශ “ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ” නමින් ගෙන යන සැලසුම් තැපැල් සේවාවේ ද ක්‍රියාවට දැමීමට කොන්දේසි සකස් කර ගැනීම යි.

එහෙත් තැපැල් වෘත්තීය සමිති යෙදී සිටින්නේ තැපැල් සේවකයන් වෙත අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය කැඳවා ගැනීම වලක්වා අරගලය හුදකලා කර ආන්ඩුව සමග සම්මුතියකට යාමට මාන බැලීමක ය. දහස් ගනනක් වන සේවකයන් පන්ති ක්‍රියාවල යෙදීම වලක්වා නිවාසවලට වී සිටින ලෙස දන්වා ඇති සමිති නිලධාරීන් ඊයේ සිට තමන් වටා සිටින ක්‍රියාකාරීන් ද ඇතුලු 30 ක පමන කන්ඩායමක් කැඳවා ගෙන කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අටවා ගත් පැලක ඊනියා සත්‍යග්‍රහයක් පවත්වා ගෙන යයි. ඉල්ලීම් නොලැබුනහොත් ”මාරාන්තික උපවාසයක්” දක්වාම යනබව සමිති නිලධාරින් වහසි බස් කියා ඇත.

මේවා පන්ති සටන් නොවේ. පන්ති සටන්වලින් ඉවතට කම්කරුවන් හැරවීමේ ක්‍රියාවන් ය. මෙම නිස්සාර ක්‍රියාවන්ට පිටුපසින් සමිති නිලධරය ආන්ඩුව සමග සම්මුතියකින් අරගලය පාවා දීමේ අනතුර සුදානම් කරන බව තැපැල් සේවකයන් ට සමාජවාදී සමානතා පක්ෂය කියා සිටි. දැනටමත් තැපැල් සේවය සඳහා නව වැටුප් ක්‍රමයක් සැකසීම හා වෙන ම සේවා ව්‍යවස්ථාවක් යටතේ එය පවත්වාගෙන යාම සම්බන්ධව තමන් ඉදිරිපත් කල යෝජනාවලට ආන්ඩුව එකඟ වී ඇති බවට සමිති නායකයන් ප්‍රචාරයක යෙදෙයි.

එහෙත්, කැබිනට් අනුකාරක සභාවක් විසින් නිර්දේශිත සැලැස්මට අනුව තැපැල් දෙපාර්තමේන්තුව “තැපැල් සේවාව” බවට පරිවර්තනය කර වෙනම පාලක මන්ඩලයක් යටතේ එය ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුම් කලකට පෙර ම තමන් අතට දී ඇතිබව නිලධරය කිසිදා සේවකයන්ට පවසා නැත. තැපැල්, දුම්රිය හා අධ්‍යාපන අංශ සඳහා සකස් කල සැලසුම් තුනම ඒවයේ සමිති නිලධරය අතට දී ඇත්තේ වෘත්තීය සමිතිවල කර උඩින් ඒවා ක්‍රියාවට දැමීමට ය.

මෙම සැලසුම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග යටතේ ක්‍රියාවට දමන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ සහ පුද්ගලීකරනය කිරීමේ සැලසුම් වල කොටසකි. “වෙලඳාම සහ ආයෝජන වැඩි වර්ධනය කිරීමේ පියවරයන් ඇතුලුව තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට හා සමස්ත වර්ධනය ප්‍රවර්ධනය කිරීමට ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරන ද අවශ්‍ය වේ” යයි ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය පිලිබඳව පසුගිය දෙසැම්බර් මාසයේ ජාමුඅ නිකුත් කල විමර්ශන වාර්තාවේ සඳහන් වෙයි. ප්‍රතිව්‍යුහගත කිරීම යනු, රැකියා, වැටුප් හා සේවා කොන්දේසි කප්පාදුවේ වැඩපිලිවෙලකි.

යෝජිත මෙම ප්‍රතිසංස්කරන ධනවාදයේ අර්බුදය තුල ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින් ලොවපුරා කම්කරු පන්තියේ සමාජ අයිතීන් උදුරා ගැනීමට ගෙන යන ප්‍රහාරයක කොටසකි. මෑත දී ග්‍රීසියේ, ප්‍රන්සයේ සහ ජර්මනියේ කම්කරුවන්ගේ ද ඇමරිකා එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ හා ඉන්දියාවේ ග්‍රාමීය තැපැල් සේවයේ, රාජ්‍ය බැංකුවල හා ප්‍රවාහන අංශයේ කම්කරුවන්ගේ අරගල මෙන් ම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හා ජල සම්පාදන කම්කරුවන්ගේ අරගල පැන නැගුනේ මෙම ප්‍රහාරයන්ට එරෙහිව යි.

ලෝක ආර්ථික අර්බුදයේ කොටසක් ලෙස ගොඩගැසෙන නය කන්දකට හා අපනයන ආදායම් පහත වැටීමට මුහුන දී සිටින ශ්‍රී ලංකාවේ පාලක පන්තියට මෙම කම්කරු විරෝධී පිලිවෙත් ක්‍රියාවට දැමීම හැර වෙනත් මගක් නැත. පෙරේදා කොලඹ සිටින ජාමුඅ නියෝජිතවරිය වන මැනුවෙලා ගොරෙටි ප්‍රකාශකලේ රුපියලේ අගය වැටීම දිගටම ගෙනයන “පාවෙන විනිමය අනුපාතය” අවශ්‍ය බවයි. මෙතක් ආන්ඩුව ක්‍රියාවට දැමූ පියවර පැසසූ ඇය “ආර්ථික ප්‍රතිසංස්කරන කඩිනම් කලයුතු” බව කීවාය.

ආන්ඩුවේ සැබෑ න්‍යාය පත්‍රය වන්නේ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය, වියදම් කප්පාදුව හා බදු ඉහල දැමීම ඇතුලු වැඩකරන ජනතාවට එරෙහි ප්‍රහාරයන් මිස තැපැල් හෝ කම්කරු පන්තියේ කවර කොටසකගේ වත් වැටුප්, රැකියා හා සේවා කොන්දේසි වැඩි වර්ධනය කිරීම නොවේ. පන්ති අරගල පොලිස් රාජ්‍ය විධික්‍රම මගින් මර්දනය කරමින් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තලා දැමීම එහි දේශපාලන පිලිවෙත ය.

තැපැල් සේවකයන් තම ඉල්ලීම් දිනා ගැනීමේ අරගලය මෙන්ම සූදානම් කෙරෙන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙලට එරෙහි සටන දැන්ම තමන් අතට ගත යුතුය. මෑත සති කිහිපය පමනක් ගත හොත්, ජල සම්පාදන මන්ඩලයේ සේවක අරගලය සමිති විසින් අවසන් කෙරුනේ වැටුප් ඉල්ලීම ඒවා විසින් ම සියයට දහයකින් කපාගෙන ය. සති හයක විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය සමිති විසින් අවසන් කෙරුනේ මේ වසරෙන් පසු මාසික හිලව් දීමනා වැඩිකිරීම නතර කිරීමේ බලධාරීන්ගේ තීන්දුව පිලි ගනිමිනි.

තැපැල් කම්කරුවන් රැස්ව, තමන්ගේ ඉදිරි සැලසුම් සාකච්චා කර අරගල ඉදිරියට ගෙන යාමට සිය ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගතයුතු ය. අරගලය කම්කරුවන් අතට ගත හැක්කේ එවන් ක්‍රියාකාරී කමිටු මගිනි. මෙම කමිටු ගත යුතු එක පියවරක් වන්නේ ධනපති ආන්ඩුවේ ප්‍රහාරයට එරෙහිව අවශේෂ කම්රුවන්ගේ සහයෝගය මෙන්ම ජාත්‍යන්තර කම්කරුවන්ගේ සහය දිනා ගැනීමේ වැඩපිලිවෙලකි.

ධනපති ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ ප්‍රහාරයට එරෙහිව පොදු අරගලයක් සංවිධානය කර ගැනීම සඳහා තැපැල් සේවය තුල මෙන්ම අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික අංශයේ ද කම්කරුවන් මෙම මූලිකත්වය ගැනීම අවශ්‍ය ය.

කම්කරු පන්තියට සමාජවාදී වැඩපිලිවෙල පෙරදැරි කරගත් විකල්ප දේශපාලන ඉදිරිදර්ශනයක් නොමැතිව ධනපති පාලක පන්තියේ මෙම ප්‍රහාරයන් පරාජය කර තම අයිතීන් දිනා ගැනීමට නුපුලුවන. එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස රාජ්‍ය ව්‍යවසායන් සහ මහා පරිමාන බැංකු, කම්හල් හා වතු ඇතුලු ධනපති දේපල කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම ඉලක්ක කරගත් කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් බලමුලුගන්වා ගත යුතු ය.

මෙම ඉදිරිදර්ශනය හා වැඩ පිලිවෙල සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එකතු වන ලෙස තැපැල් සේවකයන්, අවශේෂ කම්කරුවන් සහ තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: