සිඩ්නි සාම පදනමේ හිටපු අධ්‍යක්ෂක මහාචාර්ය ස්ටුවර්ට් රීස්, අසාන්ජ් නිදහස් කරන ලෙස කියා සිටී

Professor Stuart Rees, former director of the Sydney Peace Foundation, calls for Assange’s liberty

2018 ජුනි 9

මහාචාර්ය ස්ටුවර්ට් රීස් වනාහි, විශ්‍රාමික ශාස්ත්‍රාලිකයෙකි; මානව අයිතිවාසිකම් සහ සිවිල් නිදහසේ ආරක්ෂකයෙකි, කර්තෘවරයෙකි. හෙතෙම 1998 දී සිඩ්නි සරසවියේ සාම පදනම ආරම්භ කලේ ය.

එම පදනම 2011දි සිය ඉහලම ගෞරව සම්මානය වන සාමය සහ යුක්තිය සඳහා රන් පදක්කම, විකි ලීක්ස් හි කර්තෘ ජුලියන් අසාන්ජ් ට ප්‍රදානය කලේ ය.

එම ත්‍යාගය නිවේදනය කරමින් මහාචාර්ය රීස් මෙසේ කිවේ ය: මිනිසුන්ට කරුනු දැනගැනීමට තිබෙන අයිතිය සාධනය කරන ටොම් පේන් ගේ සහ පෙන්ටගන් ලේඛන හෙලිකල ඩැනියල් එල්ස්බර්ග්ගේ සම්ප්‍රදායේ පිහිටි අසාන්ජ් ගේ වැඩකටයුතු, පරන පන්නයේ දේශපාලන හා පුවත් කලාවේදී පිලිවෙලට අභියෝග කරයි. අසන්ජ් කරුනු දැනගැනීමට මිනිසුන්ට ඇති අයිතිය තහවුරු කර තිබෙන අතර රටක ජනයා මුග්ධ භාවයේ පවත්වාගැනීමට අයිතියක් ආන්ඩු වලට ඇතිය යන වසර සියගනනක සම්ප්‍රදාය අභියෝගයට ලක්කලේ ය. පේන්, එල්ස්බර්ග් සහ අසාන්ජ් සම්බන්ධ සිද්ධි වලදී බලධාරීහු යුක්තිය පසිඳලීම විකෘත කරමින් පවා, තමන්ගේ විවේචකයන් නිහඬ කිරීමට වහ වහා ක්‍රියා කලෝ ය.

අසාන්ජ් නිදහස් කරන ලෙසට බලකිරීම පිනිස කැඳවනු ලෑබ ඇති උද්ඝෝෂන අනුමත කරමින් මහාචාර්ය ස්ටුවර්ට් රීස් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කලේ ය.

***

මහාචාර්ය ස්ටුවර්ට් රීස්

ඇමරිකාව වැනි ආන්ඩු ද බ්‍රිතාන්‍ය නියෝජනය කරන හා ස්වීඩන් “අධිකරනය” වැනි රාජ්‍ය ආයතන විසින් ද බලය අයුතු ලෙස පාවිච්චි කිරීම හෙලිදරව් කිරීමටත්, නිදහස් භාෂනයට සහාය දැක්වීමටත් ජූලියන් අසාන්ජ් වෙහෙස නොබලා කටයුතු කර ඇත.

ඊට සපුරා වෙනස් ලෙස බලධාරීන්, ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරනයෙන් ඔහු ඉවත් කල හොත් ජුලියන්ට, කිසිදු නිදහසක් නොලැබෙනු ඇති බව නිර්ලජ්ජිත ලෙස සහතික කිරීමට ඉදිරිපත්ව සිටී. ඕස්ට්‍රේලියාව වැනි බියගුලු ආන්ඩු, තමන්ගේ පුරවැසියන් සතු මූලික මානව අයිතීන් කෙරෙහි සිය නොතැකීම පෙන්නුම් කරති.

අසාන්ජ්ගේ නිදහස වෙනුවෙන් බොහෝ කාලයක් අතපසුව තිබුනු උද්ඝෝෂනය සාර්ථක වීමට නියමිතය. එසේ නොවුනහොත්, තමන්ගේ දුෂ් ක්‍රියා හෙලිදරව් වීමට අකැමති, ප්‍රචන්ඩත්වය හා බියගැන්වීම් සහිතව ගෙන යන මිලිටරිවාදී බලවත් ජාතීන්ගේ අමානුෂික දේශපාලන සංස්කෘතිය අඛන්ඩව පැවතෙනු ඇත.

මෙම උද්ඝෝෂනය පිලිබඳව එහි සංවිධායකයින්ට මගේ කෘතඥතාවය පල කරන අතර, කොන්දේසි විරහිතව එයට සහාය දෙමි.

මහාචාර්ය ස්ටුවර්ට් රීස් ඒඑම්
සිඩ්නිහි ඉමෙරිටස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය
සිඩ්නි සාම පදනමේ හිටපු අධ්‍යක්ෂ

Share this article: