ජනාධිපති මාධ්‍යයන්ට තර්ජනය කරයි

සමන් ගුනදාස විසිනි, 2018 ජූනි 21

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමා හා ආන්ඩුව විවේචනය කරන්නාවූ සමාජ මාධ්‍ය, වෙබ් අඩවි හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වලට එරෙහිව කඩා පැනීමට තර්ජනය කරමින් සිටියි. බොරු ආරංචි පැතිරවීම, පවුල් අගයන්ට හානිවීම, වාර්ගික සාමය කඩ වීම හා අපරාධ පැතිරීම වැනි දෑ සිදු වන්නේ යැයි හුවා දක්වමින් මාධ්‍යවල ගෙල සිර කිරීමට ඔහු උත්සාහ දරයි.

ජූනි 8දා පාසැලක තිබූ උත්සවයක් අමතමින් තරුන ජනයාට විඳින්නට වන ලිංගික අතවර ආදිය සමාජ මාධ්‍යවල ඊනියා දුර්විපාකයන් ලෙස සඳහන් කරමින් ඔහු කියා සිටියේ සමාජ මාධ්‍යයන් තහනම් නොකරන්නේ නම් අවම වශයෙන් සීමා වලට යටත් කල යුතු බවයි. “පසුගිය සතියේ පවා එක රටක සමාජ මාධ්‍ය තහනම් කලා. අප ඒ තරම් දුර යායුතු යැයි මම නොකියමි” යැයි ඔහු කියා සිටියේය.

මාධ්‍යයන්ට පහර දීම පසුගිය මාස ගනනාව පුරා ඔහුගේ කතා වල කොටසක් වීය. මේ මස මුල කල ප්‍රසිද්ධ කතාවකදී ඔහු කියා සිටියේ තමන් එක්සත් ජනපදයේ විශේෂඥයින් කන්ඩායමක් ගෙන්වාගෙන “සමාජ හා ජාතික ආරක්ෂාව, වාර්ගික සාමය, පවුලේ ඒකාග්‍රතාවය, ආදිය මත සමාජ මාධ්‍යයන් නරක ලෙස බලපෑම් ඇති කර තිබෙන නිසා සමාජ මාධ්‍යවල බලපෑම පිලිබඳව ඔවුන් සමඟ සාකඡ්චා කල බව” ඔහු පැවසීය. නම නොකී නමුදු ඔහු සඳහන් කලේ ෆේස්බුක් සංගතයේ නියොජිතයින් පිලිබඳව ය.

“ඔවුන්ට ලංකාව තුල මේ සිදු වන දෙය සීමා කල නොහැකි නම් කවුරු විරුද්ධ වුවත් සමාජ මාධ්‍ය අව භාවිතාව මෙල්ල කිරිමට මා පියවර ගන්න බව මා ඔවුනට පැවසුවා” යැයි ඔහු කියා සිටියේය.

මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ප්‍රචන්ඩත්වය පැතිර යාමට හේතුවුයේ මුහුනුපොත ඇතුලු සමාජ ජාල යයි බොරු හේතුවක් මවා පාමින් මාර්තුවේදී සිරිසේන මුහුනු පොත සතියකට වැඩි කාලයකට තහනම් කලේය. ෆේස්බුක් සංගතයේ කන්ඩායමක් ලංකාවට පැමින ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සමඟ රහසේ සාකච්ඡා පැවැත්වීය. ප්‍රනාන්දු ට අනුව මුහුනුපොතට සීමා දැමීම පහසු කිරීම සඳහා කොලඹ කාර්යාලයක් ඇති කරන ලෙස ආන්ඩුව ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

ජූනි 10 ඉරිදා පුවත් පත් වාර්තාවලට අනුව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් තමන්ගේ පුද්ගලික වාසස්ථානයට කැඳවූ සිරිසේන ලන්ඩනයේ පදනම්වී සිටින ලංකාඊනිව්ස් (වෙබ් අඩවිය) හි කතෘ වන ප්‍රදීප් සඳරුවන් සේනාධීර සිර ගත කරන ලෙස හෝ ඔහු අල්ලා ලංකාවට එවන ලෙස ඉල්ලා සිටියේය. ලංකාඊනිව්ස් සිරිසේනට බලයට ඒමට පිටුබලය දුන් නමුත් දැන් ඔහු තදින් විවේචනය කරයි.

නොවැම්බරයේ සිට මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (ශ්‍රීලවිනිකො) විසින් බාධාවන්ට ලක් කරනු ලැබිනි. මෙම අඩවියට එරෙහි බාධාවන් පමුනුවනු ලැබුවේ සිරිසේනට එරෙහිව තීරනාත්මක හා සාවද්‍ය යැයි සැලකෙන ලිපි පලකිරීමේ ප්‍රතිපලයක් ලෙසය. ජනාධිපති මාධ්‍ය අංශය මෙම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කලද සන්ඬේ ටයිම්ස් සිය ප්‍රවෘත්තිය නිවැරදි බව කියා සිටියි.

ජනාධිපති යටතේ සෘජුවම පවතින ශ්‍රීලවිනිකො ජූනි 5දා පුද්ගලික රූපවාහිනී සේවයක් වන ටීඑන්එල්හි සම්ප්‍රේෂන මධ්‍යස්ථානයකට සීල් තැබීය. මෙහි අයිතිකරු වන්නේ ඔහුගේ සභාග සගයා හා අගමැති රනිල් වික්‍රමසිංහය. සීල් තැබීම කරනු ලැබුවේ සම්ප්‍රේෂනාගාරයට බලපත්‍ර ගාස්තු නොගෙවන ලද නිසා බව ශ්‍රීලවිනිකො ප්‍රකාශ කලද ටීඑන්එල් අයිතිකාර ශාන් වික්‍රමසිංහ එම චෝදනාව එකහෙලා ප්‍රතික්ෂේප කලේය.

ටීඑන්එල් සේවයට ප්‍රහාරය එල්ල වූයේ එය අර්බුදග්‍රස්ත ආන්ඩුව විසින් මහජනයා මත එල්ල කල රුදුරු ප්‍රහාරයන්ගෙන් අත සෝදා ගැනීමට සිරිසේන කල මතභේදකාරී කතාවක් ප්‍රචාරය කල පසුවය. මැයි 30දා ඔහු එම කතාව කලේ 2015 ජනාධිපතිවරනයෙන් සිරිසේන බලයට පත් කිරීම සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කල නැසී ගිය මාදුලුවාවේ සෝභිත භික්ෂුවගේ ජන්ම සංවත්සරයට සහභාගී වෙමිනි.

මෙම කතාව තුලදී මහජන අප්‍රසාදයට ලක්ව ඇති කප්පාදු වැඩ පිලිවෙල සම්බන්ධයෙන් මෙන්ම වත්මන් ආන්ඩුවේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පසුගිය ආන්ඩුවේ දූෂන ආරක්ෂා කිරීම පිලිබඳව ද තම සභාග සගයා හා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ඔහු ඇඟිල්ල දිගු කලේය.

සම්ප්‍රේෂන මධ්‍යස්ථානය සීල් තැබීමේ ආසන්නම හේතුව වූයේ ටීඑන් එල් සේවය විසින් සිරිසේනගේ පැරනි කතා යලි විකාශනය කරමින් ඔහු වික්‍රමසිංහට එරෙහිව එල්ල කල චෝදනා නිෂ්ප්‍රභා කිරීමට උත්සාහ දැරීමය.

මාධ්‍යයන්ට එරෙහි සිරිසේනගේ තර්ජනය එල්ල වන්නේ ගොඩ ගැසෙන ආර්ථික ගැටලු, කම්කරුවන්ගේ ප්‍රතිරෝධය වැඩී ඒම හා දේශපාලන අස්ථාවර භාවය පිලිබඳව පාලක ප්‍රභූවේ කනස්සල්ල ඉහල යාම සමඟිනි. වික්‍රමසිංහ විවේචනය කල ඔහුගේ කතාවෙන් ආන්ඩුවේ ගැඹුරු අභ්‍යන්තර බෙදීම් හා ආතතීන් එලියට පන තිබේ.

ඔහු වික්‍රමසිංහට දෝෂාරෝපනය කලද බදු ඉහල දැමීම, සහනාධාර කප්පාදුව, හා රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරිම වැනි කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ අයිතීන්ට එරෙහි සෑම රුදුරු ප්‍රහාරයක්ම ක්‍රියාවට දැමීම සඳහා සිරිසේන සිය පූර්න ආශීර්වාදය ලබා දුන්නේය.

දහසය වසරකට පසු අවම මට්ටම සනිටුහන් කරමින් පසුගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 3.1ට කඩා වැටීම මගින් ආර්ථික අර්බුදයේ ගැඹුරු වීම සනිටුහන් වී ඇත. රුපියල මෙම වසර තුල මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 5ට ආසන්නව පහත වැටී තිබේ. නය වාරික ගෙවීම සඳහා තව තවත් නය ගැනීම නිසා ආන්ඩුවේ නය අර්බුදය සර්පිලාකාරව උග්‍ර වෙමින් තිබේ.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ විරුද්ධත්වය නොනවත්වා ඉහල යයි. මේ වන විට 25,000ක් තැපැල් කම්කරුවන් වර්ජනයේ යෙදි සිටිති. ජූනි පලමු සතියේ 20,000ක් ජල සම්පාදන කම්කරුවන්ගේ දින තුනක වැඩ වර්ජනය වෘත්තීය සමිති විසින් නතර කර දැමුනේ බරපතල උත්සාහයක් දැමීමෙනි. ජූනි මස මුල සති වල දහස් ගනන් ධීවරයින් ධීවර බෝට්ටු සඳහා යොදා ගන්නා ඉන්ධන මිල පහත හෙලන ලෙස බල කරමින් බටහිර වෙරල දිග උද්ඝෝෂනයේ යෙදිනි.

කෙසේ වුවද ආන්ඩුවේ ප්‍රහාරයන්ගේ අවසානයක් නොමැත. මෙම මස මුලදි මෙතෙක් ක්‍රියාවට දමා ඇති කප්පාදු වැඩ පිලිවෙල පසසන ගමන්ම ජාමූඅ අවධාරනය කරනු ලැබුවේ වහාම රාජ්‍යයට අයත් ශ්‍රී ලන්කන් එයාර් ලයින් සමාගම පුද්ගලික අංශයට විකුනා දැමිය යුතු බවත් විදුලි ගාස්තු දැවැන්ත පරිමානයෙන් ඉහල දැමිය යුතු බවත්ය.

මාධ්‍යයන්ට තර්ජනය කරන්නේ සිරිසේන පමනක් නොවේ. මාර්තුවේදී ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් වික්‍රමසිංහ පැවසුවේ ශ්‍රී ලංකාවට පනතක් හඳුන්වා දීම සඳහා නීතිපති අනෙක් රටවල නීති හදාරමින් සිටින බවයි.

අන්තර්ජාලය හා සමාජ මාධ්‍යයන් ජාත්‍යන්තරව කප්පාදු කිරීම ඉහල නැඟ තිබීම මගින් සිරිසේන හා වික්‍රමසිංහ ගැම්ම ගෙන ඇත. මෙම මස මුලදී “ව්‍යාජ ප්‍රවෘත්ති” තහනම් කිරීමේ පනතක් ජනාධිපති එම්මෑනුවල් මැක්රොන්ගේ ප්‍රන්ස ආන්ඩුව විසින් ඉදිරිපත් කෙරිනි. මැක්රොන් ගේ තත්‍ය බිය නම් මහජනයා අතර සමාජ කෝපාග්නිය ඇවිලෙන තතු තුල ඔවුන්ට ලබා ගත හැකි දේශපාලන මතවාදයන් කප්පාදු කිරීමයි.

පසුගිය සතියේ එක්සත් ජනපදය “අන්තර්ජාල අපක්ෂපාතී නීති” නිෂ්ප්‍රභා කොට අන්තර්ජාල කප්පාදුව තීව්‍ර කිරීමට පියවර ගත්තේය.

මාධ්‍යයට එරෙහි සිරිසේනගේ ප්‍රහාරයන් විසින් අඟවනු ලබන්නේ අර්බුදයෙන් ඇලලී ඇති ආන්ඩුව කම්කරු පන්තියට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි කඩා පැනීමකට ද වඩා විවෘත ආධිපත්‍යධාරී පාලනයකට මාරු වීමේ ද උත්සාහයක යෙදී සිටින බවයි. දැනටමත් එය කම්කරුවන්ගේ, දුගීන්ගේ හා ශිෂ්‍යයන්ගේ විරෝධතාවන්ට එරෙහිව මිලිටරි පොලිස් ප්‍රචන්ඩත්වය මුදා හරිමින් සිටියි.

Share this article: