දීපව්‍යාප්ත පොලිස් වැටලීම් : පන්ති යුද්ධය සඳහා පාලක පන්තියේ පෙරහුරුවක්

මිනූෂ ප්‍රනාන්දු විසිනි, 2018 ජූනි 23

නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර, පොලිස්පති සහ තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග කල සාකච්ඡාවකදී, පාතාලය මැඩීම සඳහා සිදුකරන මෙහෙයුම් තවදුරටත් “වේගවත්ව” , “අඛන්ඩව” සහ “පුලුල්ව” සිදු කරන ලෙස පොලිසියට නියෝගකල බව පසුගියදා මාධ්‍ය වාර්තා කලේය.

ඒ පොලීසිය විසින් දීප ව්‍යාප්තව සිදුකල සෝදිසි මෙහෙයුමකින් පැය 12ක් ඇතුලත පුද්ගලයන් 3666ක් අත්අඩංගුවට ගෙන දිනක් ගෙවී යාමටත් මත්තෙන්ය.

2017 වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා මෙවැනි දීප ව්‍යාප්ත පොලිස් සෝදිසි මෙහයුම් හතකට වඩා සිදු කෙරී ඇත. 2017 මාර්තු මාසයේ සිදු කල වැටලීමකින් පුද්ගලයන් 1246 අත්අඩංගුවට ගත් අතර, 2017 ජුනි මාසයේ 2241ක්, 2017 නොවැම්බර් මාසයේ මුල 1806 ක්, 2017 නොවැම්බර් මාසයේ අග 3000කට ආසන්න ප්‍රමානයක්, 2018 වර්ෂයේ ජනවාරි මාසයේ 2163ක්, 2018 මැයි මාසයේ 2051ක් සහ 2018 ජුනි මාසයේ 3666ක් වශයෙන් මෙවැනි වැටලීම් මගින් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. මීට අමතරව මෙවැනි වැටලීම් අතරතුර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් වෙඩි පහරින් සැකකරුවන් ඝාතනය වූ අවස්ථාද, එම සිද්ධි වලට සම්බන්ධ වූ නිලධාරීන් හට ඍජුව සහ වක්‍රව නීතියේ මුක්තිය ලැබීම ද සුලභය.

කෙසේවෙතත්, මූලික වශයෙන් පාතාලය මැඩීම නැමති බැනරය යටතේ කෙරෙන මෙම වැටලීම් වලින් අත් අඩංගුවට පත් වූවන් අතර බොහොමයක් වූයේ බීමතින් රිය පැදවීම, බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, අපරික්ෂාකාරීව රිය පැදවීම, සහ සාධාරන හේතුවකින් තොරව රාත්‍රියේ ඇවිදීම වැනි චෝදනා යටතේ අත් අඩංගුවට පත්වූවන්ය. ඒ මෙම සෑම සෝදිසි මෙහෙයුමක් සඳහාම 10,000 ත් 15,000 ත් අතර පොලිස් නිලධාරීන් පිරිසක් යොදා ඇති පසුබිමකය. ඇතැම් මෙහෙයුම් සඳහා 20,000 කට ආසන්න පිරිසක් සහභාගී කරවූ අවස්ථාද විය.

මෙම මෙහෙයුම් සිදු කරනු ලබන්නේ, ආන්ඩුවේ ප්‍රහාරයන් හමුවේ ඉතා වේගයෙන් රැඩිකලීකරනය වෙමින් පවත්නා කම්කරු පන්තියට එරෙහිව සූදානම් කෙරෙන පන්ති යුද්ධයේ පෙරහුරු ලෙසිනි. පොලිස් මෙහෙයුම් නව වටයකින් වේගවත් සහ පුලුල් කිරීම මගින් අරගලයට අවතීර්න වෙමින් පවත්නා කම්කරු-පීඩිත මහජනතාව ත්‍රස්ත ගැන්වීමට ද ආන්ඩුව උත්සාහ ගනී.

සිය ආර්ථික අර්බුදයේ ගැඹුර පිලිබිඹු කරමින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පසුගිය මාසයේ අතවශ්‍ය භාන්ඩ මිල දරුනු ලෙස ඉහල නැංවීය. රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාන වී ඇත්තේ ඩොලර් එකක මිල රු 160 සීමාවද පසුකරගෙන යමින්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආන්ඩුවට උපදෙස් දී ඇත්තේ රුපියල අවප්‍රමානවීම වැලැක්වීම සඳහා විදේශ මුදල් සංචිත උපයෝගී කර නොගන්නා ලෙසත්, ඊට විකල්පයක් ලෙස 2020 වන විට අයවැය හිඟය දල දේශීය නිෂ්පාදනයෙන් සියට 3.5 දක්වා අඩු කරන ලෙසය.

ධනපති පාලනයට මෙය සිදුකල හැකි එකම මාර්ගය වනු ඇත්තේ දැනටමත් දැවැන්ත ලෙස කප්පාදුවට ලක් කොට ඇති සෞඛ්‍ය, අධ්‍යාපන වැනි ක්ෂේත්‍ර වල සහන වලින් කම්කරුවන්ට හා පීඩිතයන්ට ඉතිරිව ඇති සහනයක් වේනම් ඒවාද කපා හැරීමෙනි.

අනෙක් අතට සිරිසේන - වික්‍රමසිංහ ආන්ඩුව තමන් බලයට පැමිනීමට පෙර, ප්‍රජාතන්ත්‍රවාදය, වංචා-දූෂන විරෝධය සහ මානව හිමිකම් පිලිබඳව කල පූච්චානම් කතාවන්හි ව්‍යාජභාවය වඩවඩාත් හෙලි වෙමින් පවතී. ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකීම වෙනුවට මාධ්‍ය ආයතන වල විකාශනාගාර වලට මුද්‍රා තැබීමට කටයුතු කර ඇති ආන්ඩුව, වංචා දූෂන මැඩීම පසෙක තබා වංචා දූෂන නරා වලෙහිම කරවටක් ගිලී සිටී.

මේ සියල්ලට එරෙහිව, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන්, සහ පීඩිතයන් අතර වැඩෙන විරෝධය තලා දැමීම සඳහා මිලිටරි පොලිස් මර්දන යන්ත්‍රයන් ශක්තිමත් කිරීම සඳහා මෙම සෝදිසි මෙහෙයුම් යොදා ගනු ඇත.

2017 මැයි මාසයේ ඒ-9 මාර්ගයේ මුර සංචාරයේ යෙදෙමින් සිටියා යැයි පැවසෙන පොලිස් වාහනයකට සිදුවූවේයැයි කියන වෙඩි තැබීමක් දඩමීමා කරගනිමින් යාපනයේ පලෙයි ප්‍රදේශය තුල පොලීසියේ සහ මිලිටරියේ සියයකට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් වටලෑම් සහ සෝදිසි මෙහෙයුම් සිදු කලේ දරුවන් හට පාසල් යාමටවත් අවසර නොදුන් නිල නොවන ඇඳිරි නීතියක් පනවමිනි.

එම මෙහෙයුම සිදු කෙරුනේ, අඛන්ඩව පවතින මිලිටරි වාඩිලා ගැනීම් වලට එරෙහි වෙමින්, රැකියාවන්, යුද අපරාධ පිලිබඳ විමර්ශනයන් හා මිලිටරිය විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින තම ඉඩම් නැවත ඉල්ලා විරෝධතා ව්‍යාපාර වල නිරතව සිටි ජනතාව භීතියට පත් කොට එම විරෝධතාවන් තලා දැමීම ඉලක්ක කරගනිමිනි.

ඉන් මාස පහක් ගෙවී යාමටත් මත්තෙන්, යාපනය අර්ධද්වීපයේ කුන්නලායිහි කුඩවත්තෙයි ප්‍රදේශයේ දිනේෂ් යෝගරාජා නමැති 24 හැවිරිදි තරුනයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව එම ප්‍රදේශයන්හි ජනතාව අතරින් නැගුනු විරෝධතාවයන්, මැඩීමට මෙවැනි සෝදිසි මෙහෙයුම් ආන්ඩුව විසින් නැවතත් යොදා ගැනුනි.

ඉහත දක්වා ඇත්තේ, පාතාලය සහ අපරාධ මර්දනය කිරීමේ වහන්තරාව යටතේ ක්‍රියාත්මක වන මෙම පොලිස් වැටලීම්, ඒවා සැබවින්ම කුමකට භාවිතා කරන්නේද යන්න අනාවරනය වූ අවස්ථා වලින් කිහිපයක් පමනි.

මෙම වැටලීම හැරුනු විට, උතුරු නැගෙනහිර ප්‍රදේශවල බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී මෙන්ම, 87-90 සමයේ දකුනේ ගම්බද තරුනයන් මඩිමින් ගෙන ගිය සංහාරයේ දී ද මහජනයා මෙවැනි මර්දනකාරී මෙහෙයුම් ඇති තරම් අත්විඳ ඇත.

මෙවන් පොලිස් රාජ්‍ය ක්‍රමවේදයන්හි වර්ධනය ජාත්‍යන්තර ප්‍රපංචයකි. රටක් රටක් පාසා පාලක පන්තීන් බිඳ වැටෙන ධනේශ්වර පර්යාය රැක ගැනීමට වියරු ලෙස හැරී ගෙන ඇත්තේ, මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රුදුරු ලෙස තලා දැමීමෙනි.

පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ඕස්ට්‍රේලියානු පොලීසිය, ආධාර එකතු කිරීම වැනි නිතිපතා සිදු කරන දේශපාලනික කටයුතු අපරාධයන් ලෙස නම් කිරීමේ අභිප්‍රාය ඇතිව, ඕස්ට්‍රේලියානු කම්කරු සංගමයේ මෙල්බන් සහ සිඩ්නි කාර්යාලයන් වටලන ලදී. එම වර්ෂයේම අගෝස්තු මාසයේ ජර්මානු පොලිසිය වාමාංශික වෙබ් අඩවියක් තහනම් කිරීම සඳහා එහි පරිපාලකයන්ගේ නිවෙස් වැටලීය. එමෙන්ම මේ මාසයේ මනාව සන්නද්ධ වී සිටි ඇමරිකානු දේශසීමා බලධාරීහු උතුරු ඔහියෝවේ කම්හල් දෙකකට ගෙස්ටාපෝ පන්නයේ කඩා පැනීමක් සිදුකර ලමුන් හා එක්සත් ජනපද පුරවැසියන් ඇතුලු 114ක් අත්අඩංගුවට ගත්තේ කම්කරු පන්තියේ අයිතීන් මත තීරනාත්මක ප්‍රහාරයක් එල්ල කරමිනි.

මේ හැරුනු විට අපරාධකාරීත්වය තමන්ගේ ගති ලක්ෂනයක් බවට පත් කරගෙන ඇති තරමට පරිහානි ගත වී ඇති සහ සොරකම්, දූෂන, වංචා, ඝාතන සහ මත් ද්‍රව්‍ය වෙලඳාම සම්බන්ධයෙන් සනාථ කෙරුනු සාක්ෂි සහිතව චෝදනා පවා ලබා ඇති, කුනු වූ ධනපති දේශපාලන සංස්ථාපිතයේ නියෝජිතයන් කරන ලද අපරාධ වලට එරෙහිව කටයුතු කිරීමේ සැබෑ අවශ්‍යතාවක් ධනපති පාලකයන්ට නොමැත.

එපමනක් නොව එම දූෂනයන්ගෙන් අංශූ මාත්‍රයක් හෝ හෙලි කෙරෙන ක්‍රියාදාමයක් වෙතොත් පාලකයන් විසින් ඒවා දැනුවත්ව වලක්වමින් සිටින්නේ එය ආපසු පෙරලා තමන් හටම පාරාවල්ලක් වෙතැයි යන භීතිය නිසාය.

Share this article: