ශ්‍රී ලංකාව: චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ හා කතුවරයෙක් වන අරුන ප්‍රේමරත්න ජුලියන් අසාන්ජ් උද්ඝෝෂනයට සහාය පල කරති

Sri Lanka: Filmmaker Prasanna Vithanage and author Aruna Premarathne endorse Julian Assange campaign

2018 ජූනි 7

සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ හා ජනප්‍රිය ටෙලි නාට්‍ය රචකයෙකු හා කතුවරයෙකු වන අරුන ප්‍රේමරත්න, විකි ලීක්ස් වෙබ් අඩවියේ කතුවර ජුලියන් අසාන්ජ් නිදහස් කිරීම වෙනුවෙන් හජාජාක ගෙන යන උද්ඝෝෂනයට සහාය පල කරමින් ප්‍රකාශන නිකුත් කර ඇත.

1997 තිරගතවූ පුරහඳ කලුවර, 2003ඉර මැදියම හා 2013 ඔබ නැතිව ඔබ එක්ක යන විතානගේගේ චිත්‍රපට බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධව, පැවති ආන්ඩු විසින් 30 වසරක් තිස්සේ ගෙනගිය සිවිල් යුද්ධයේ විවිධ පැතිකඩ මාතෘකා කර ගනී.

ප්‍රසන්න විතානගේ ප්‍රකාශය:

ප්‍රසන්න විතානගේ

විකිලීක්ස් කතෘ ජුලියන් අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලොව පුරා ක්ෂනික මැදිහත්වීම් කරන ලෙසට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඬලය කරන ඉල්ලීමට මම පූර්න සහාය පල කරමි.

එක්සත් ජනපදය ප්‍රමුඛ, ඉවබව නැති අධිරාජ්‍යවාදී බලවතුන් ලෝකය එන්ට එන්ටම න්‍යෂ්ටික යුද්ධයක් කරා ඇදගෙන යන අතර එය සමස්ත මානව වර්ගයාටම කියා නිමකල නොහැකි විනාශයක් අත්කර දෙනු ඇත. අධිරාජ්‍යවාදී බලවතුන් හා ලොව පුරා සිටින, විශේෂයෙන්ම දකුනු ආසියානු කලාපයේ, ඔවුන්ගේ අනුග්‍රාහක ධනපති රටවල් විසින් මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කරනු ලබන රුදුරු ප්‍රහාර මෙම යුද සූදානම සමඟ අත්වැල් බැඳ ගනී.

අප දන්නා පරිදි යුද්ධයේ පලමු ගොදුර වන්නේ සත්‍යයයි. විකි ලීක්ස් කර ඇත්තේ ලෝකයට සත්‍යය පැවසීමයි. විකි ලීක්ස් හා අසාන්ජ්, ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ බොරු හා අපරාධ එලිදරව් කර ඇත. ඔත්තු බැලීම පිලිබඳ ගොතන ලද චෝදනා යටතේ නඩු පැවරීම සඳහා අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කිරීමේ දරුනු අනතුරකට මුහුනපා සිටින්නේ මේ කාරනය නිසාය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමඟ එක්ව මම, රටේ පුරවැසියෙක් වශයෙන් ඔහුට හිමිවිය යුතු අයිතීන් ඕස්ට්‍රේලියානු ආන්ඩුව විසින් ඔහුට ලබා දිය යුතු බවත්, එක්සත් ජනපදයට උදර්පනය කිරීම ඇතුලු පැනවිය හැකි චෝදනා වලින් ඔහු ආරක්ෂා කල යුතු බවත් කියා සිටිමි.

ජූලියන් අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන ජාත්‍යන්තර පියවරයන්ට සහභාගී වෙමින් ඊට ප්‍රචාරය ලබාදෙන ලෙස මම, ලොව පුරා සිටින කම්කරුවන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමි.

අරුන ප්‍රේමරත්නගේ ප්‍රකාශය:

අරුන ප්‍රේමරත්න

මම, එක්සත් ජනපදය ප්‍රමුඛ ලෝක බලවතුන් විසින් විකි ලීක්ස් කතෘ ජුලියන් අසාන්ජ්ට එරෙහිව ගනු ලබන මර්දනකාරී පියවරයන්ට දැඩි විරෝධය පලකරන අතර ඒවා හෙලා දකිමි.

ඇමරිකානු ආන්ඩුව අසාන්ජ් දඬු ගැසීමට සූදානම් වන්නේ, ඔහු ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින බැවිනි. එරට ආන්ඩුව අසාන්ජ්ට එරෙහිව තමන් නඟන චෝදනා පිලිබඳව කයිවාරු ගසයි. මෙයින් පෙන්නුම් කරන්නේ ඇමරිකානු “ප්‍රජාතන්ත්‍රවාදයේ” පරිහානියයි. රජයේ රහසිගත ලිපි ලේඛන ප්‍රසිද්ධ කරමින් විකි ලීක්ස් කතෘ, ධනපති සමාජ හා ආර්ථික ක්‍රමයේ රාජ්‍ය යාන්ත්‍රනය, මනුෂ්‍ය ජීවිතය හා මිනිස් අයිතිවාසිකම් රුදුරු ලෙස පාගා දමන්නේ කෙසේදැයි නිර්භීත ලෙස හෙලිදරව් කලේය.

කේබල් පනිවිඩ ප්‍රසිද්ධ කිරීමෙන් විකිලීක්ස්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව පිලිබඳ නාමයෙන් දියත් කර තිබෙන යුද්ධයන්ගේ ඇත්ත ස්වභාවය හෙලිදරව් කලේය එමෙන්ම ඔහු, සමස්ත ලෝකයම මවිතයට පත්කරමින්, “ත්‍රස්තවාදය” මුලිනුපුටා දැමීමේ කඩතුරාව යටතේ ජනතාව පීඩාවට පත් කලේ කෙසේදැයි ද හෙලි කලේය.

ජුලියන් කර ඇත්තේ අපරාධයක් යයි පැවසිය හැක්කේ, ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ මානව විරෝධී අයට පමනි. එබැවින්, පුද්ගල නිදහස හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් සුරකින සමාජයක් ප්‍රාර්ථනා කරන සියල්ලන්ම, ජුලියන් අසාන්ජ්ට එරෙහිව ගෙන ඇති මර්දනකාරී පියවර හෙලා දැකීමටත් ඒවාට විරුද්ධ වීමටත් ඉදිරිපත් විය යුතුය.

Share this article: