ටීඑන්එල් විකාශනාගාරයට මුද්‍රා තැබීම: අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කල ප්‍රහාරයක්

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 ජුනි 11

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ජූනි 05 වන දා ටීඑන්එල් රූපවාහිනී නාලිකාවට අයත් පොල්ගහවෙල විකාශනාගාරයේ බලපත්‍රය අහෝසි කොට එයට මුද්‍රා තබා ඇත. එය සිදුකොට ඇත්තේ කවර හෝ පූර්ව දැනුම් දීමකින් තොරවයි.

මෙම පියවර ගැනුනේ එම නාලිකාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විවේචනයට ලක්කල ප්‍රවෘත්ති වැඩසටහනක් විකාශය කිරීමෙන් ක්ෂනික ඉක්බිත්තේ ය. තමා යටතේ සෘජුවම පාලනය වන කොමිෂන් සභාව හරහා ජනාධිපති සිරිසේන විසින් ගෙන ඇති මෙම පියවර අදහස් ප්‍රකාශ කිරීමේ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතියට එල්ල කරන ලද බලගතු ප්‍රහාරයකි.

විකාශනාගාරය පවත්වාගෙන යාම සඳහා තම ආයතනයට ගෙවිය යුතු බලපත්‍ර ගාස්තු නිසි පරිදි නොගෙවීම මෙම පියවර ගැනීමට හේතුව බව කොමිෂන් සභාව පවසයි. එය, ඉහත ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාව වසන් කිරීමේ කඩතුරාවක් පමනි.

නාලිකාව හිමි ශාන් වික්‍රමසිංහ පවසන්නේ මෙම පියවර ගැනුනේ තම ආයතනය විසින් කොමිෂන් සභාවට ගෙවිය යුතු ගාස්තු නියමිත පරිදි ගෙවා තිබියදී සහ විකාශනාගාරය වසා දැමීම සඳහා එහි උපකරන ඉවත් කරමින් සිටියදී බවයි.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා මූලිකත්වයක් ගෙන ක්‍රියාකල මාදුලුවාවේ සෝභිත භික්ෂුව අනුස්මරනය කිරීම සඳහා පැවති රැස්වීමකදී සිරිසේන කල කතාව අදාල ප්‍රවෘත්ති වැඩ සටහනට කේන්ද්‍ර වී තිබුනි.

සිරිසේන විසින් මෑතක සිට කරන කතාවන් “පරස්පර විරෝධී” සහ “ව්‍යාකූලත්වයෙන්” යුක්ත බව අවධාරනය කෙරුනු ප්‍රවෘත්ති වැඩසටහනේ දී එය තහවුරු කිරීම සඳහා ඔහුගේ පෙර කතාවන් හි දර්ශන ද ඉදිරිපත් කෙරුනි. වත්මන් ආන්ඩුව බලයට පැමිනි සැනින් ක්‍රියාත්මක කල “දින සියයේ වැඩ සටහන” තම සහභාගිත්වයෙන් සහ අනුදැනීමකින් තොරව සිදු කෙරුනක් බව පෙන්වීමට ව්‍යාජ ලෙස උත්සාහ කරමින්, එය “මෝඩම වැඩක්” යැයි සිරිසේන කල ප්‍රකාශය ටීඑන්එල් ප්‍රවෘත්ති වැඩ සටහනෙන් බරපතල ලෙස විවේචනයට ලක් කෙරුනි. “දින සියයේ වැඩ සටහන” ඔජ වඩවමින් සිරිසේන කල පෙර කතාවන්හි දර්ශන ද එහිදී විකාශය විය.

සිරිසේනගේ එම කතාවද ඇතුලත් ඔහුගේ මෑත ප්‍රකාශ සියල්ලම තම ආන්ඩුවේ ප්‍රධානතම පාර්ශ්වකරු වන එක්සත් ජාතික පක්ෂයට (එජාප) එරෙහිව එල්ල කල ඒවා විය. එමෙන්ම, ටීඑන්එල් ආයතනය හිමි ශාන් වික්‍රමසිංහ, එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරා ය.

මේ අර්ථයෙන් ගත් කල, ටීඑන්එල් විකාශනාගාරයට මුද්‍රා තබමින් ජනාධිපති සිරිසේන එල්ල කොට ඇති ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරය, ආන්ඩුවේ අභ්‍යන්තර අර්බුදයේ නව අදියරක් සටහන් කරන අතර එය ශ්‍රී ලංකාවේ පාලක පන්ති කොටස් අතර පවත්නා ගැඹුරු කාකොටාගැනීම් වල ප්‍රකාශනයකි.

ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාත්මක කරමින් අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු සහනාධාර කපාහරිමින් සහ රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය කරමින් සිටියද ආන්ඩුවේ අස්ථාවරභාවය සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව ඇතුලත් පාලක පන්ති කොටස් වඩ වඩාත් නොඉවසිලිමත් වෙමින් සිටිති.

එල්එම්ඩී නම් ව්‍යාපාරික සඟරාව මෑතදී වාර්තා කලේ, එය කරන ලද සමීක්ෂනයකට අනුව අප්‍රේල් මාසයේදී ව්‍යාපාරික විශ්වාසය පිලිබඳ දර්ශකය, මාස 70ක් තුල පහලම මට්ටමට වැටී ඇති බවයි.

කප්පාදු න්‍යාය පත්‍රයට අනුව එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන්ගේ පීඩිතයින්ගේ හා සිසුන්ගේ වැඩෙන විරෝධයට මුහන දීමට ආන්ඩුව සමත් ද යන්න පාලක ප්‍රභූවේ තවත් උත්සුකයකි.

ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන විරෝධය හමුවේ, ආන්ඩුවේ ප්‍රහාරයන්ගේ වගකීම එජාපය මත පටවමින් තම අත සෝදා ගැනීමේ ජනප්‍රියවාදී ව්‍යායාමයක සිරිසේන යෙදී සිටී. ඒ සමගම ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධය ගසා කමින් යලි බලයට ඒමට යත්න දරන හිටපු ජනාධිපති රාජපක්ෂගේ කල්ලිය සමග ඒකාබද්ධවීමේ ඇඟවුම් ද සිරිසේන යලි යලිත් පෙන්වා ඇත.

මේ අතර ටීඑන්එල් විකාශනාගාරයට මුද්‍රා තැබීමට එරෙහිව රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය ඝෝෂා කිරීමට පටන් ගෙන ඇත. එහි ප්‍රධාන නියෝජිතයෙකු වන බන්දුල ගුනවර්ධන පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය: “පක්ෂ භේද නොතකා මාධ්‍ය නිදහස වෙනුවෙන් අපි නැගී සිටිනවා.” ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කන්ඩායම් නායක දිනේශ් ගුනවර්ධන පැවසුවේ “ටීඑන්එල් අධිපති ශාන් වික්‍රමසිංහගේ දේශපාලන අදහස් නොතකා මාධ්‍යයට අත්ව ඇති ඉරනම පිලිබඳව අපි උත්සුක වන්නෙමු” යනුවෙනි.

මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් මොවුනගේ “උත්සුකයන්” මුලුමනින්ම ව්‍යාජය. මාධ්‍ය නිදහස රුදුරු ලෙස පාගා දමමින් රාජපක්ෂ ගෙනගිය ආඥාදායක පාලනයට මෙම “මාධ්‍ය නිදහසේ කප්පිත්තෝ” මුලුමනින්ම කරබදු වූහ. මහජනතාව ඉදිරියේ මහ දහවල් මාධ්‍යවේදීන් ඝාතනය කෙරුනේ, ඔවුන් අතුරුදහන් කෙරුනේ, අනේක විධ මැර ප්‍රහාරයන්ට ලක්වුනේ සහ මාධ්‍ය ආයතනයන්ට ගිනි තැබුනේ එම රාජපක්ෂ තන්ත්‍රය යටතේ ය. මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔවුන් කරන ව්‍යාජ හඬ තැලීම් ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධය ගසා කමින් යලි බලයට පැමිනීමට දරන ප්‍රයත්නයේ කොටසකි.

කෙසේ නමුත්, ටීඑන්එල් ආයතනයට එල්ල කෙරී ඇති ප්‍රහාරයේ දුරදිග යන ඇඟවුම් පවතී. ජනාධිපති සිරිසේන විසින් සමාජ වෙබ් අඩවි වලට එරෙහිව ගෙන යන උද්ඝෝෂනයෙන් එය වඩාත් පැහැදිලි වෙයි.

පසුගිය දා මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිංහල වර්ගවාදී නඩ විසින් එල්ල කල මිනීමරු ප්‍රහාරය දඩමීමා කර ගනිමින් “ෆේස්බුක්” සමාජ වෙබ් අඩවියට පිවිසීම සතියකට අධික කාලයක් අවහිර කිරීමට සිරිසේන පියවර ගත්තේය.

සමාජ වෙබ් අඩවි පාලනය කිරීම සම්බන්ධයෙන් ගෝලීය ආයතනයක් සමග තමා කල සාකච්ඡාවක් ගැන ජනාධිපති සිරිසේන කල ප්‍රකාශයක් ජූනි 01 දා ඩේලිමිරර් පුවත්පත වාර්තා කොට තිබුනි. “සමාජ සහ ජාතික ආරක්ෂාව, වාර්ගික සමගිය, පවුලේ ඒකාග්‍රතාවය ආදී දෑ කෙරෙහි සමාජ මාධ්‍යයන්හි බලපෑම මම ඔවුන් සමග සාකච්ඡා කලා. මන්දයත් ඒවා කෙරෙහි සමාජ මාධ්‍යයන් නරක ලෙස බලපා තිබෙනවා. ශ්‍රී ලංකාව තුල සිදුවන දෑ එම එක්සත් ජනපද කෘතහස්තයන්ට පාලනය කල නොහැකිනම් කවුරු විරුද්ධ වුනත් සමාජ මාධ්‍ය අවභාවිතය පාලනය කිරීම සඳහා මම පියවර ගන්නවා.”

සමාජ මාධ්‍ය තුල සිදු කෙරෙන “නීති විරෝධී” සහ “ජාතික විරෝධී” ක්‍රියාවන් නතර කිරීම සඳහා අන් බොහෝ රටවල සමාජ මාධ්‍ය තහනම් කොට ඇති බවද ඔහු සඳහන් කොට ඇත.

සිරිසේන ඇතුලු ලොවපුරා පාලකයන්ගේ මූලික උත්සුකය වන්නේ, ඔවුන් විසින් එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන විරෝධය තම ජාතික සහ ජාත්‍යන්තර සගයන් අතර බෙදාහදා ගනිමින් එම ප්‍රහාරයන්ට එරෙහිව සංවිධානය වීමට කම්කරුවන්, තරුනයන් සහ අනෙකුත් පීඩිතයන් සමාජ මාධ්‍යයන් වෙත වඩවඩාත් නැඹුරු වීමයි.

ටීඑන්එල් නාලිකාවට මුද්‍රා තබමින් ජනාධිපති සිරිසේන විසින් තම පන්තියේම කොටසකට එල්ලකොට ඇති මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔහුගේ තන්ත්‍රය විසින් කම්කරු-පීඩිත මහජනතාවට ඉදිරියේදී එල්ල කිරීමට නියමිත ප්‍රහාරයේ විසකුරු ස්වභාවය සහ පරිමාවයි.

Share this article: