ලංවිම සමිති නායකයන්ගේ වැඩ තහනමට එරෙහිව සේවක විරෝධය වැඩෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 මාර්තු 02

ලංකා විදුලි සේවක සංගමයේ (ලංවිසේස) ප‍්‍රධාන ලේකම් සහ ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුනේ සම කැඳවුම්කරු රන්ජන් ජයලාල්, ජාතික සේවක සංගමයේ (ජාසේස) සම ලේකම් කේ.ඒ.ඩී. අජිත් දේවප‍්‍රිය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ (ශ්‍රීලංනිසේස) ප‍්‍රධාන ලේකම් ඩබ්ලිව්.ඒ.පී. ප‍්‍රභාත්, උප සභාපති පී.ඩී.එස්. ප්‍රේමලාල් සහ කමිටු සාමාජිකයන් ඩී.එස්. විජයලත් සහ ප්‍රියන්ත ගුනසේකර යන සමිති නායකයන් හය දෙනාගේ වැඩ තහනම් කෙරුනේ පෙබරවාරි 16 වෙනිදා ය.

විධායක හා උපකාරක සේවාවන් අතර පවතින වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ජනවාරි 17 වෙනිදා කොලඹ ලංකා විදුලි බල මංඩලයේ (ලංවිම) ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ පැවති උද්ඝෝෂනය ලංවිම බලධාරීන් විසින් මොවුන්ගේ වැඩ තහනමට නිමිත්තක් කරගෙන ඇත. එදින උද්ඝෝෂනයේ දී නීති විරෝධී සහ ප‍්‍රචන්ඩකාරී ක්‍රියාවල යෙදුන බවට ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ල කර ඇතත් සමිති නායකයෝ එම චෝදනා ප‍්‍රතික්ෂේප කරති.

වැඩ තහනමට විරුද්ධව හා වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස ඉල්ලා මහනුවර, ත්‍රිකුනාමලය, ගාල්ල ඇතුලු නගරවල ලංවිම කාර්යාල ඉදිරිපිට පැවති උද්ඝෝෂනවලට බහුතරයක් ලංවිම සේවකයන් සම්බන්ධ වී ඇත. වැඩ තහනම් කල සමිති නායකයන් වහාම සේවයේ පිහිටුවන ලෙස උද්ඝෝෂනවලට සම්බන්ධ වූ සේවකයෝ ඉල්ලා සිටියහ. මාර්තු 14 වෙනිදා වර්ජනයක් හා කොලඹ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක් පවත්වන බව ද ලංවිම වෘත්තීය සමිති සංධානය විසින් නිවේදනය කර තිබේ.

මාර්තු 14 වෙනිදාට වැඩ තහනමට මාසයක් සම්පූර්නවීමට අඩුවන්නේ දෙදිනක් පමනි. සේවකයන් “දැනුවත්” කිරීමේ නමින් මාසයක් පුරා වටවංගුවේ යමින් සමිති නායකයන් උත්සාහ කරන්නේ කඩින්කඩ කෙරෙන උද්ඝෝෂනවලට සීමා කිරීමෙන් හා කල් මැරීමෙන් සේවකයන් අතර වැඩෙන විරෝධය සමනය කිරීමටත් ආන්ඩුව සමග ගැටුමක් ඇතිවීම මග හැරීමටත් ය.

සමිති නායකයන් ගේ වැඩ තහනම් කිරීමටත් ජීවන තත්වයන්ට සහ සේවාකොන්දේසි වලට එල්ල කෙරෙන ප‍්‍රහාරවලටත් එරෙහිව මෙන් ම වෘත්තීය සමිතිවල පාවාදීම් කෙරෙහි බරපතල විරුද්ධත්වයක් ලංවිම සේවකයන් අතර වර්ධනය වෙමින් ඇත.

ලංවිම රතු බිල් ලිවීමේ නියුතු හලාවත අනියම් කම්කරුවෝ දෙදෙනෙක් සමිති නායකයන්ගේ වැඩ තහනම හෙලාදකිම්න් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතා කලහ. “අපි විරුද්ධයි සමිති නායකයන්ගේ වැඩ තහනම් කිරීමට. අපි මාර්තු 14 දා විරෝධතාවයක් දක්වන්න ඉන්නවා. ආන්ඩුවෙන් සහනයක් දෙයි කියලා සමිති තමයි විරෝධතාවය කල් දැම්මේ.”

ආන්ඩුවේ ප‍්‍රහාර ගැන සඳහන් කල ඔව්හු “එක පාලකයෙකුටවත් මහජනයාගේ ප‍්‍රශ්න විසඳන්න බැහැ. ඒ නිසා අපිට ප‍්‍රහාර එල්ල කරනවා. අපි දවසකට ලියන රතු බිල් සංඛ්‍යාව අනුව තමයි වැටුප් ලැබෙන්නේ. මිනිස්සුන්ට විදුලි බිල් ගෙවන්න සල්ලිත් නැති නිසා අපිට තරමක් වැඩ ලැබෙනවා” කීහ.

මාසයකට වැටුප 40,000 ක් විතර ලැබෙන නමුත් ජීවත්වීමට අසීරු බව ප‍්‍රකාශ කල ඔවුහු ප‍්‍රධාන පක්ෂ හැම එකක් ම මහජනයා රවටන නිසා මෙවර ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) ඡන්දය දුන් බව සඳහන් කලහ. එහෙත් ජවිපෙ ගැනද විශ්වාසයක් නැතිබව පෙන්නුම් කරමින් ඔවුන් චෝදනා කලේ “ජවිපෙ තමයි හැමදාමත් මේ ආන්ඩු බලයට ගේන්න වැඩ කලේ,” යනුවෙනි.

රටේ දේශපාලන තත්වය බරපතල අර්බුදයකට වැටී ඇති බව ප‍්‍රවාහන කම්කරුවෙක් කීවේ ය: “රටේ දේශපාලන තත්වය හරිම අර්බූදයක තියෙන්නේ. මට නම් ආන්ඩුවයි විපක්ෂයයි සෑම එකක්ම එපා වෙලා තියෙන්නේ” සමිති නායකයන්ගේ වැඩ තහනමට විරුද්ධ නමුත් ඒ ඒ ශ්‍රේනි අනුව කම්කරුවන් බෙදන්නේ සමිති විසින් බව ඔහු සඳහන් කලේ ය.

“උපකාරක සේවා කියලා කාර්යාල වැඩ කරන අයට දිමනා සියයට 25 න් වැටුප් වැඩි වෙන කොට ඉන්ජිනේරුවරුන් ඇතුලු තාක්ෂන ශිල්පීන්ට සියයට 38 න් වැඩි වුනා. මේ වැටුප් අසමානතාවය උඩ සේවක සමගිය බිඳිලා තියෙන්නේ. වෘත්තීය සමිතිවලට මේ තත්වය වෙනස් කරන්න වැඩපිලිවෙලක් නැහැ. පෞද්ගලීකරන සැලසුම් ක්‍රියාවට නගන්න කම්කරුවෝ බෙදිලා ඉන්න එක ආන්ඩුවට වාසියි.”

ඉන්ජිනේරුවන්ට අනතුරු හා වෙනත් දීමනා ලැබුනත් රියදුරන් ඇතුලු උපකාරක සේවයට එසේ නොලැබෙන බව ඔහු පැවසීය. ජීවන වියදම ඉහලයාම ගැන සඳහන් කරමින් “බිරිඳයි මමයි දෙන්නම මංඩලේ වැඩ කලත් ගන්න වැටුප ජීවත් වෙන්න මදි. ඒත් ආන්ඩුව කියනවා අපි ඉහල වැටුප් ගන්න අය කියලා,” ඔහු පැවසීය.

උද්ඝෝෂනයට සම්බන්ධ වූ නමුත් ආන්ඩුව වැඩ තහනම ඉවත් කරයි ද කියල සැකයක් පවතින බව මහනුවර ලංවිම කම්කරුවෙක් වන ජෝසප් කීවේ ය. “අපිත් අරගලයට සම්බන්ධ වුනා. නමුත් ආන්ඩුව මොනවා කරයිද කියලා විශ්වාසයක් නැහැ අපිට තියෙන අත්දැකීම් වලට අනුව මේ අයගේ රස්සා නැති වෙන්නත් පුලුවන්. පසුගිය කාලෙට වඩා තත්වය බරපතල බව හොඳටම තේරෙනවා.” ප්‍රියන්ත නමැති තවත් කම්කරුවෙක් ජීවන වියදම ඉහලයාම ගැන ආන්ඩුව විවේචනය කරමින් මෙසේ සඳහන් කලේය: “‘යහපාලනය’ ගැන කතා කරල වැඩක් නැහැ. රටම අගාධයට වැටිලා තියෙන්නෙ. බඩු ගනන් යන්නෙ පැයෙන් පැයට. කොච්චර පඩි ලැබුනත් වැඩක් නැහැ රුපියල් 60,000 විතර පඩි ගන්නවා. නිවාස සහ වෙනත් නයවලට කැපිල අතට එන ගානෙන් ජීවත් වෙන්න අමාරුයි. මේ කාලේ ජීවත් වීම හරිම ගැටලුවක් වෙලා තියෙන්නෙ.”

ගාල්ලේ ලංවිම කාර්යාල ඉදිරිපිට පැවති උද්ඝෝෂනයේදී ලංවිසේස ප‍්‍රධාන ලේකම් ජයලාල්

වැඩ තහනමට එරෙහිව ගාල්ලේ පැවති උද්ඝෝෂනයේ දී ලංවිම සේවකයන් ඇමතූ ලංවිසෙස ප‍්‍රධාන ලේකම් ජයලාල් වංචා දූෂනවලට එරෙහිව සටන් කරන මිනිසුන්ගේ වැඩ තහනම් කර ඒවායේ වග උත්තරකරුවන් ආරක්ෂා කරන්නේ යයි ආන්ඩුවට චෝදනා කල අතර දඬුවම් වලට හිරගෙවල් වලට හා මරනයට බය නැති බවත් ජයග‍්‍රහනය දක්වා සටන ඉදිරියට ගෙන යන බවත් කියමින් සුපුරුදු පූච්චානම් කතාවක් කලේ ය.

ලංවිසෙස ජවිපෙ විසින් පාලනය කරනු ලබන අතර ජයලාල් ජවිපෙ වෘත්තීය සමිති අංශයේ ප‍්‍රධාන නායකයෙකි. ශ්‍රීලංනිසේ ස හා ජාසේස මෙන් ම ජවිපෙ සහ ලංවිසෙස වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට රිජුව දායක වුහ.

පලාත්පාලන මැතිවරන ව්‍යාපාරය තුල වංචාවට සහ දුෂනයට එරෙහිව ඝෝෂාවක යෙදෙමින් ජවිපෙ ධනපති පන්ති පාලනය යටතේ කම්කරු පන්තිය මුහුන දෙන මූලික දේශපාලන ප‍්‍රශ්න යට ගැසීමේ ප‍්‍රධාන භූමිකාවක නිරත විය. ජයලාල් ඇතුලු ලංවිම සමිති නිලධරය කලමනාකරිත්වයේ දූෂන වංචා ගැන උද්ඝෝෂනයකට කම්කරුවන් හරවමින් ආන්ඩුවේ සබැ කප්පාදු පියවරයන්ට එරෙහි අරගලයෙන් ඔවුන් පීලිපන්වති.

මැතිවරනයෙන් පසු ධනපති පන්ති පාලනයේ ඇති වී තිබෙන බරපතල දේශපාලන අස්ථාවරත්වය ගැන කනස්සල්ලට පත්ව සිටි. එහෙයින් ලංවිම හෝ කම්කරු පන්තියේ අවසේස කොටස් අතරින් මතු වන අරගල ධනපති පන්ති පාලනයේ අස්තාවරත්යව තව තවත් ගැඹුරු කරනු ඇතැයි ජවිපෙ සහ එහි සමිති භීතියට පත්ව සිටිති.

මේ රැස්වීමේදීම කම්කරුවන් ඇමතු ලංවිම ජාසේස සමුලු ලේකම් ප‍්‍රභාත් වරාය, එයාර්ලංකා, දුම්රිය, ජලසම්පාදන, බැංකු හා ඛනිජ තෙල් වැනි මූලික මර්මස්ථාන වලට සම්බන්ධ වෘත්තීය සමිති තම අරගලයට ඒකාබද්ධ වී සිටින බවත් සියලු වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ ද ඒකාබද්ද කර ගත් උද්ඝෝෂනයකට පියවර ගන්නා බවත් ප‍්‍රකාශ කලේය. දැනටමත් ජාතික වෘත්තීය සමිති එකමුතුව මගින් පෙරමුනක් පිහිටුවාගෙන ඇති බව සඳහන් කල ඔහු උද්ඝෝෂන මගින් ආන්ඩුව “දන ගස්වන බවත් සැප්තැම්බර් 13 - 20 වැඩ වර්ජනය නිසා ආන්ඩුවට දන ගැසීමට සිදු වූ බවත් කිවේය.

ප‍්‍රභාත්ගේ කතාව මුසාවකි. සත්‍ය නම් සැප්තැම්බර් වර්ජනයේ දී ආන්ඩුවේ මර්දනය ඉදිරියේ දන ගැසුවේ ලංවිම වෘත්තීය සමිති ය. එහිදී ආන්ඩුව සමග අත්සන් කල ගිවිසුමේ දී වැටුප් ඉල්ලීම කප්පාදු කිරීමට, වර්ජන දින ගනන් සේවකයන්ගේ හිලව් නිවාඩු වලින් අඩු කිරීමට හෝ පඩි රහිත නිවාඩු ලෙස සලකා වැටුප් කැපීමට හා ගිවිසුම අවසන් විසඳුම ලෙස පිලි ගනිමින් එම ඉල්ලීම් ගැන යලි පන්ති ක්‍රියාවන්ට නොයන බව ට ද එකඟ වූහ.

අනෙකුත් සමිති වල සහයෝගය දී ඇතැයි ඔහු කියන්නේ වැඩ තහනමට විරුද්ධව නිකුත් කල එම සමිති නිකුත් කල හිස් ප‍්‍රකාශයන් ගැනය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට හා ජිවන හා සමාජ කොන්දේසි කැපීමට එරෙහිව කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට මේ සමිති මුලුමනින්ම විරුද්ධය.

ලංවිම සමිති නායකයන්ගේ වැඩ තහනම් කෙරුනේ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව බරපතල අරගල මාලාවක් වර්ධනය වෙමින් පවතින කොන්දේසි තුලය. ලංවිම සේවකයන්ගේ අරගලය ජාත්‍යන්තර මුල්‍ය අර මුදලේ (ජආමු) නියෝග යටතේ ආන්ඩුව ක්‍රියාවට දමන ආර්ථික කප්පාදු පිලිවෙත් වලට විරුද්ධව කම්කරු පන්තියේ විවිධ කොටස් අතර පසු ගිය මාස කිහිපය තුල පුපුරා ඉස්මත්තට ආ අරගල සමාජ ප‍්‍රතිවිප්ලවයේ ප‍්‍රහාරවලට එරෙහිව වර්ධනය වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ රැඩිකලීකරනයේ කොටසකි.

සමිති නායකයන්ගේ වැඩ තහනම් කරමින් ආන්ඩුව ඇඟවුම් කර ඇත්තේ කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් රුදුරු ලෙස මැඩලන වඩා මර්දනකාරී පොලිස් පාලනයක් ඇටවීමට කෙරෙන සූදානම ය. සමිති නායකයන් ඊට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වීමට විරුද්ධවෙමින් පෙන්නුම් කරන්නේ ඔවුන් පාලනය කරදීමේ සහතිකයක් මත ආන්ඩුව සමග සම්මුතියකට යාමේ සූදානමය.

Share this article: