“ඉරාන ඉස්ලාමීය විප්ලවයේ” අධිවාචකයෙකුට පිලිතුරක්

අධිරාජ්‍යවාදයට එරෙහිව හා ඉරානයේ කම්කරු බලය සඳහා අරගලය

A reply to a proponent of “Iranian Islamic socialism”
The struggle against imperialism and for workers’ power in Iran

කීත් ජෝන්ස් විසිනි , 2018 පෙබරවාරි 14

පලමු වන කොටස

මෙය, ඉරානයේ ධනපති - දේවගැති තන්ත‍්‍රයට එරෙහිව මෑතකදී ඇවිල ගිය කම්කරු පන්තියේ කෝපය පිලිබඳව වාර්තා කරමින් හා ඊට සහාය පල කරමින් ලෝසවෙඅහි පල වූ ලිපි පිලිබඳව ඉරාන පුවත්පත් හා රූපවාහිනී මාධ්‍යවේදී රමින් මසහෙරිගේ විවේචනවලට පිලිතුරු වශයෙන් පලකෙරුනු ලිපි තුනකින් සමන්විත ලිපි මාලාවේ පලමුවැන්නයි.

2017 වසරේ අවසාන දිනවල පුපුරා යමින් රට පුරා නගර හා උප නගර 85 ක් සිසාරා ශීඝ‍්‍රයෙන් පැතිර ගිය විරෝධතා, ඉස්ලාමීය ජනරජය තුල පන්ති අරගලයේ වර්ධනයෙහි නව අදියරක් සනිටුහන් කරයි. රාජ්‍ය මර්දනයට අභියෝග කරමින් දසදහස් සංඛ්‍යාත රැකියා විරහිත තරුනයෝ හා දරිද්‍රතාවයට ඇද දමනු ලැබ සිටින කම්කරුවෝ මිල ඉහල නැංවීම්වලට, මහා පරිමාන විරැකියාවට, පෘථුල සමාජ අසමානතාවයට හා වසර ගනනාවක රාජ්‍ය කප්පාදු වලට විරෝධය දැක්වීමට වීථි අරක් ගත්හ.

විරෝධතාවයන්හි පෘථුල භාවයෙන් හා තීව‍්‍රතාවයෙන් බියට පත් ඉරානයේ භේද භින්න වී සිටින දේවගැති-ධනපති ප‍්‍රභූහු, රාජ්‍ය ආරක්ෂක හමුදා යොදා ඒවා මර්දනය කිරීමට සහයෝගය දීම පිනිස එක්වුනහ. එම මර්දනය සාධාරනීකරනය කරනු ලැබූවේ එකී විරෝධතා, ඉස්ලාමීය සමූහාන්ඩුව අස්ථාවර කිරීමේ අරමුනෙන් එක්සත් ජනපදය ද බ්‍රිතාන්‍යය ද සවුදි අරාබිය සහ කලාපයේ අනෙකුත් අධිරාජ්‍ය වාදයේ සහචර තන්ත‍්‍රයන් ද විසින් අවුලූවනු ලැබූ බව කියාපෑම මගිනි.

සත්‍යය නම්, කම්කරු පන්ති ප‍්‍රතිරෝධය පිලිබඳව ඉරාන පාලකයන් තරමටම වොෂින්ටනය හා ලන්ඩනය ද මවිතයට පත් වූ බවයි.

මෑතක පැවැති විරෝධතා, 2009 දී හරිත ව්‍යාපාරය විසින් දියත් කෙරුනු විරෝධතාවයන්ට වඩා මූලිකවම වෙනස් ස්වභාවයක් ගත්තේය. 2009 විරෝධතා වලින් උත්සාහ දැරුනේ, මැතිවරන වංචා පිලිබඳ ඔප්පු නොකල හා විශ්වාසය නොතැබිය හැකි චෝදනා මත ඉරානයේ ජනතාවාදී ජනාධිපති මහමුද් අහමඩිනිජාඞ්ගේ නැවත තේරී පත්වීම අවලංගු කොට, ඇමරිකානු අධිරාජ්‍ය වාදය සමග යලි මිත‍්‍රවීමත්, වෙලඳපොල ගැති, ආයෝජන ගැති, “ප‍්‍රතිසංස්කරන”වල වේගය උත්සන්න කිරීමත් කෙරේ වැඩිම ආසක්තතාවයකින් යුත් කන්ඩායම බලයට ගෙන එනු වස් ඔහුගේ පාලනය පෙරලා දැමීමටය.

මෑතකදී ඇති වූ විරෝධතාවලට ජීවය දෙනු ලැබූයේ සමාජ අසමානතාවයට හා කප්පාදුවලට එරෙහිව කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය විසිනි. වඩාත්ම දිලිඳු ස්ථර සම්බන්ධ වූ මෙකී විරෝධතා, ඉහත දී අහමඩිනිජාඞ් කෙරේ සහයෝගයේ පදනමක් ලෙස පැවැති ප‍්‍රාදේශීය නාගරිකයන් හා උපනගරයන් කෙරෙන් සහාය දිනා ගැනීමට සමත් විය.

දෙසැම්බර් 27 පැන නැගුනු ප‍්‍රථම විරෝධතාවලට පෙර තදාසන්න දිනවලදී සමාජ අසමානතාවය පිලිබඳ සාකච්ඡා සමාජ මාධ්‍ය ජාලතුල බුරබුරා ඇවිල ගියේය. මෙසේ කෝපය මුවවිට උතුරා යාමේ ප්‍රේරකය වූයේ ජනාධිපති රවුහානිගේ අලුත්ම කප්පාදු අයවැය ලේඛනයයි. ෂියා ආගමික ආයතනවලට දැවැන්ත මුදල් කන්දරාවක් ගෙවීමේ සවිස්තර සැලසුම් ඉදිරිපත් කරන අතරම මෙම අයවැය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සුවිශේෂී ප‍්‍රසාදයට හේතුභූතවන පරිදි, අඩු ආදායම්ලාභී ඉරාන වැසියන්ට ලබා දෙන සොච්චම් මුදල සඳහා වෙන් වූ ප‍්‍රතිපාදන ඇමරිකානු ඩොලර් බිලියන 5.3 කින් කපා හැරීමට ද ඉන්ධන මිල සියයට 50 ක් තරම් ඉහල ප‍්‍රතිශතයකින් නැංවීමට ද කටයුතු කලේය.

හරිත විරෝධතා ඉතා සමීපව අනුගමනය කලේ, යුක්‍රේනය, ජෝර්ජියාව හා වෙනත් තැන්වල ඇමරිකාවේ අනුග‍්‍රහයෙන් කරලියට නැංවුනු වර්න විප්ලවයන්හි න්‍යාය පත‍්‍රයයි. 2009 ජූනියේ ජනාධිපති මැතිවරන පූර්ව කාල පරිච්ඡේදයේ නිව්යෝර්ක් ටයිම්ස්හි මග පෙන්වීමෙන් යුතු බටහිර මාධ්‍ය, හරිත ව්‍යාපාරයේ නායකත්වය ලද ඉරානය සිසාරා පැතිරයතැයි අපේක්ෂිත “ප‍්‍රතිසංස්කරනවාදී” රැල්ල පිලිබඳ දිදුලන වාර්තා පල කලෝය. ඉනික්බිති හරිත නායකයන් මැතිවරන දූෂන පිලිබඳ කියා පෑ වහා ඔවුහු එම අඬබෙරය වයන්නට වූහ. ඉන් අනතුරුව, ඇමරිකාව හා යුරෝපා දේශපාලන නායකයන් ඉරානය හෙලාදකිද්දී, ඔවුහු හරිත විරෝධතා පිලිබඳ වාර්තාවලින් සිය මාධ්‍ය මුලුමනින් පුරවාලූහ.

හරිත විරෝධතා සඳහා සහයෝගය මුලුමනින්ම පාහේ ගලා ආවේ සමාජයේ වඩාත්ම වරප‍්‍රසාදිත කොටස්වලිනි. භූගෝලීය වශයෙන් එය උතුරු තෙහෙරානයේ හා අනෙකුත් නාගරිකයන්හි ධනවත් ප‍්‍රදේශවලට සීමා විය. හරිතවාදීන්ගේ දක්ෂිනාංශික දිශානතියට අනුරූප වෙමින් මෙම ස්ථර බලමුලු ගන්වන ලද්දේ, රාජ්‍ය නය විසින් පනවන ලද්දාවූ සදාචාර නීතිවලට මෙන්ම, අහමඩිනිජාඞ් විසින් දුගීන් වෙනුවෙන් සම්පත් “නාස්ති කරනු ලැබීමට” ද එරෙහි ආත්මාර්ථකාමී ප‍්‍රතිඥාවන් සමගය.

ඉරානයේ කම්කරු පන්ති අරගලයේ පුනරුත්ථානය මැද පෙරදිග, උතුරු අප්‍රිකාවේ හා ලොව පුරා පැන නැගෙන වඩාත් පුලූල් කම්කරු පන්ති ව්‍යාපාරයක කොටසකැයි අවධාරනය කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෑත මහජන නැගිටීම ඉත සිතින් පිලිගත්තේය.

දශක ගනනාවක් පුරා ඉරානයේ ධනපති පාලකයන් විසින් ඉරාන කම්කරුවන්ට කවර හෝ ආකාරයක ස්වකීය සංවිධාන ගොඩනගා ගැනීමට හා දේශපාලනික ස්වයං ප‍්‍රකාශනයට අවස්ථා අහිමි කරන ලද්දා වූ කොන්දේසි යටතේ, එහි ප‍්‍රාරම්භක අවධීන්හි දී කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය නොවැලක්විය හැකි ලෙසම, දේශපාලනික වශයෙන් සීමාසහිත වූත්, ව්‍යාකූල වූත් එකක් වනු ඇත.

විරෝධතා තුලට රිංගා ගනිමින්, නිසැකවම රාජ්‍ය දේපල හා ආරක්ෂක හමුදාවලට එරෙහි අපරීක්ෂාකාරී ප‍්‍රහාර සඳහා උසිගැන්වීම් ද සමග ඒවා තමන්ගේම ප‍්‍රතිගාමී උවමනාවන් සඳහා අවශ්‍ය පරිදි යොදා ගැනීමේ රාජකීයයන්ගේ හා අනෙකුත් දක්ෂිනාංශිකයන්ගේ ප‍්‍රයත්න පිලිබඳව අඬබෙර ගැසීමට ඉරාන තන්ත‍්‍රය වහා කි‍්‍රයාත්මක විය.

රාජ්‍යයේ ප‍්‍රහාරය කෙතරම් තීව‍්‍ර එකක් වුව, ආන්ඩු-විරෝධී විරෝධතා බිඳ වැටීමට හේතු වූයේ එයම පමනක් නොවේ. අධිරාජ්‍යවාදයට හා ඉරාන ධනේශ්වරයේ සියලු කොටස්වලට පිලිමල් වූ පැහැදිලි දේශපාලන ඉදිරි දර්ශනයක් නොපැවතීම හේතුවෙන්, නැගී ආ මර්දනය හමුවේ කම්කරු පන්තියේ වඩාත් පලල් කොටස් මෙන්ම, අන් අවස්ථාවන්හිදී විරෝධතාකරුවන්ගේ සමාජයික අවනඩු පිලිබඳ අනුවේදී වන මධ්‍යම පන්ති ස්ථර ද පැත්තකට කරන ලද්දාහ.

එනමුදු එයින් ඉරාන ධනේශ්වරයට යම් අස්වැසිල්ලක් අත්වී නම්, එය ඉතා කෙටි එකක් වනු ඇත. නව වසරේ එලිපත්තේ දී ඉරානය වෙවුලුම් කැවූ ආන්ඩු-විරෝධී නැගිටීම්වලට පූර්වගාමී ව, රැකියා කැපීම්, වැටුප් නොගෙවීම් හා අයහපත් සේවා කොන්දේසිවලට එරෙහිව නැගී ආ වැඩ වර්ජන, වාඩි-ලා ගැනීම් සහ පෙලපාලි රැල්ලක් පැවතින. එක් අධ්‍යයනයකට අනුව, 2017 මාර්තුවේ පර්සියානු අලූත් අවුරුදු ආරම්භයේ සිට එවැනි විරෝධතා 900 ක් පැවතී ඇත. තවත් අධ්‍යයනයක් මගින් ලේඛනගත කොට ඇති පරිදි 2016 සිට සමාජ විරෝධතා 1,700 ක් වාර්තා වී ඇත.

දීර්ඝ කාලයක් මර්දනයට පාත‍්‍රව සිටි ඉරාන කම්කරු පන්තිය සිය පන්ති උත්සුකයන් තහවුරු කර ගැනීමේ ප‍්‍රයත්නයක යෙදී සිටින අතර, එහිදී ඔවුහු, මැද පෙරදිග හා ඉන් එපිට කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවත්නා පෙරලිකාරිත්වයක කොටස්කරුවන් ලෙස මැදිහත් වෙති. විරෝධතා පැන නැගුනු කාලයේ දී වාර්තා වූ, “අපි සිරියාවක් බවට පත් නොවන්නෙමු” හා “අපි ටියුනීසියාවක් වන්නෙමු” යන තරඟකාරී හෑෂ්ටැග් (පූරක ලකුනු) යටතේ, සමාජ මාධ්‍ය තුල වර්ධනය වුනු තීව‍්‍ර සාකච්ඡා මගින් හැඟවෙන්නේ, ඉරානයේ ඇති වෙමින් තිබෙන විවාදයේ ස්වභාවයයි.

විප්ලවවාදී සමාජවාදීන්ගේ කාර්යභාරය වන්නේ, ඉරානයේ කම්කරු පන්තිය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී මූලෝපායකින් දේශපාලනිකව සන්නද්ධ කිරීමයි.

විරෝධතා පිලිබඳ සිය පලමුවැනිම ලිපියෙහි ලෝසවෙඅ පැහැදිලි කල පරිදි, “ඉරාන කම්කරුවෝ හා තරුනයෝ, කම්කරු පන්තිය අධිරාජ්‍යවාදයට හා ජාතික ධනේශ්වරයේ සියලු කොටස්වලට එරෙහි ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස බලමුලු ගැන්වීමට සටන් කල යුත්තාහ.

“ආන්ඩු විරෝධී ව්‍යාපාරය තුල සිටිමින් එය වොෂින්ටනයේ සහ / හෝ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් දිසාවට හැරවීමට පෙරකදෝරුකම් කරන දක්ෂිනාංශික බලවේග හෙලිදරව් කොට දේශපාලනිකව හුදෙකලා කර දැමිය යුතුය. පසුගිය ශත වර්ෂය පුරා මැද පෙරදිග ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජයීය අභිලාෂයන්හි ගෙල සිර කලේ ද ශත වර්ෂ කාලක් පුරා කොල්ලකාරී යුද්ධ මගින් කලාපය වනසා ලූයේ ද අද දවසේ ඊට ද වැඩි ලේ හැලීමක ගිනි මැලයක් තුලට ඉරානයේ හා සමස්ත කලාපයේම ජනයා ඇද දැමීමට තර්ජනය කරන්නේ අධිරාජ්‍යවාදයයි.

“1906 ව්‍යවස්ථාදායක විප්ලවයේ සිට ශතවර්ෂාධික කාලයක් පුරා පෙන්නුම් කර ඇති පරිදි, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ස්ථාපනය කිරීමට හා අධිරාජ්‍යවාදයෙන් නිදහස තහවුරු කිරීමට ඉරාන ධනේශ්වරය පරිපූර්නව ම අසමත්ය. මක්නිසාදයත්, මහජනයා එසේ කිරීම සඳහා අවශ්‍ය කෙරෙන පරිමානයෙන් විප්ලවවාදී ලෙස බලමුලු ගන්වා ගැනීම මගින් එම ධනේශ්වරයේම ස්වාර්ථකාමී පන්ති උත්සුකයන් හා අභිලාෂයන් අන්තරායට හෙලනු ඇති හෙයිනි.

“... කම්කරු පන්තියේ නව නැගිටීමකට, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස, ඉස්ලාමිය දේශපාලන සංස්ථානය සමග ද, සමස්තයක් ලෙස ඉරාන ධනේශ්වරය සමග ද, අධිරාජ්‍යවාදය සමග ද ගනුදෙනු බේරා ගැනීමට සිදුවේ.”

“ඉරාන ඉස්ලාමිය සමාජවාදියෙකු”ගේ ප‍්‍රතිවිරෝධය

මෙම මූලධර්මාත්මක ආස්ථානය ඊට එරෙහි ප‍්‍රතිරෝධතාවන්ට තුඩුදී ඇත.

ඉරානයේ ප්‍රෙස් ටීවීහි විදේශ ලියුම්කරුවෙකු වන රමින් මසහෙරි, තම “සමාජවාදී මූලධර්ම” පාවා දෙමින් අධිරාජ්‍යවාදයට ආධාර කිරීම පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියට චෝදනා කරමින් බ්ලොග් ලිපියක් පල කලේය. ඊට හේතුව වූයේ, ඉරානයේ ධනපති ආන්ඩුවට එරෙහි කම්කරු පන්ති ප‍්‍රතිරෝධය ඉත සිතින් පිලිගැනීමට ද, අධිරාජ්‍යවාදයේ අනුග‍්‍රයහය ලද කැරැල්ලක් මැඞීමේ ව්‍යාජයෙන් සාධාරනීකරනය කරනු ලැබූ රාජ්‍ය මර්දනයට එරෙහිවීමට ද අප කටයුතු කිරීමයි.

මෙම චෝදනා නගන අතරම, “ඉරාන ඉස්ලාමිය සමාජවාදයේ” බැතිමතෙකු ලෙස තමාම හඳුන්වා ගන්නා මසහෙරි ලෝසවෙඅ පිලිබඳව ප‍්‍රසාදය පල කොට ඇත. එය “විශිෂ්ඨ වෙබ් අඩවියක්” බවත්, “සෑම ආකාරයකින්ම පාහේ සුවිශේෂී” බවත් සඳහන් කල ඔහු, එය “ඇතැම්විට වඩාත්ම පුලුල් ලෙස පාඨකයන් පිවිසෙන තත්‍ය ලෙසම වාමාංශික වූ වෙබ් අඩවිය” බව හා “තුන්වන ලෝකයේ වඩාත්ම ගෞරවයට පාත‍්‍ර වන” වෙබ් අඩවිය බව ද ප‍්‍රකාශ කරයි.

එමෙන්ම හරිත ව්‍යාපාරයට ලෝසවෙඅ විරුද්ධ වූ බව ද ඔහු පිලිගනියි. ඇත්තෙන්ම 2009 දී, එම ව්‍යාපාරය අධිරාජ්‍යවාදය විසින් උසිගන්වා මෙහෙයවන ලද දක්ෂිනාංශික ව්‍යාපාරයක් බවට ලිපි ගනනාවක් පලකරමින් අපි, ඉරානය තුල හා ජාත්‍යන්තරව ද කම්කරු ජනයාට අනතුරු ඇඟවූවෙමු.

“ඉරානයේ කම්කරු පන්ති කැලැඹීම: ඉරාන රජයේ ක්ෂමාලාපකයෙකුට ලෝසවෙඅ පිලිතුරු දෙයි” යන මැයෙන් ජනවාරි 6 වන දින පල කෙරුනු අදහස් දැක්වීමක් මගින් ලෝසවෙඅ ප‍්‍රතිචාර දැක්වීය. විරෝධතාවල මූලාරම්භයේ දී අප විසින් සිදු කරනු ලැබ තුබූ පරිද්දෙන්ම, අපේ පිලිතුර තුල ද අපි වත්මන් ආන්ඩු-විරෝධී ව්‍යාපාරය හා 2009 ව්‍යාපාරය අතර පැවැති වෙනස් සමාජ ස්වභාවය පිලිබඳව අවධානය යොමු කලෙමු.

අපි මෙසේ පැහැදිලි කලෙමු: “ඉස්ලාමිය ජනරජය යනු,” ඇමරිකාවේ සහය ලද අත්තනෝමතික ෂා පාලනය පෙරලා දැමූ අධිරාජ්‍ය විරෝධී මහජන නැගිටීම උපයෝගී කර ගැනීම හා ඉනික්බිතිව එය ලේ වැකි ලෙස මර්දනය කිරීම ද හරහා තහවුරු වූ “ජාතික ධනේශ්වර රාජ්‍ය තන්ත‍්‍රයකි.” “එය විදේශීය ප‍්‍රාග්ධනය ද ඇතුලුව ඉරානය තුල විවිධ සමාජ බලවේග හා කම්කරු පන්තිය අතර සමතුලනයක යෙදෙන අතරතුර, ඉරානයේ ධනපති පාලක ප‍්‍රභූවේ උත්සුකයන් පෙරට ගෙන යනු වස් ලෝ රඟමඬල මත උපාමාරු දමයි.”

එම අදහස් දැක්වීම තවදුරටත් මෙසේ පැහැදිලි කලේය: “ඉස්ලාමිය ජනරජය පිලිබඳ අපේ ආකල්පය පදනම් වන්නේ මූලික සාධක දෙකක් මතය. එනම්; අධිරාජ්‍යවාදය විසින් ගොදුරු කර ගැනීමට ලක්ව සිටින ඉරානය, ඔවුන්ට එරෙහිව ආරක්ෂා කල යුතු ඓතිහාසිකව පීඩිත රටක් ලෙස එහි ස්වභාවය හා, ඉරාන ධනේශ්වරයත් කම්කරු පන්තියත් අතර පවත්නා සතුරු සම්බන්ධතාවයත් යන සාධක දෙක මතය.”

මෑතකාලීන විරෝධතා, ඉස්ලාමිය ජනරජය හා ඉරානය තුල සමාජවාදය සඳහා අරගලය පිලිබඳ ලෝසවෙඅහි ආකල්පය සම්බන්ධයෙන් සිය විවේචන පුනරුච්ඡාරනය කරමින් ද ඒවා පුලුල් කරමින් ද මසහෙරි, දෙවැනි බ්ලොග් ලිපියක් ද පල කර ඇත. ලෝසවෙඅහි පිලිතුර පලකිරීම සම්බන්ධයෙන් ඊට ස්තුතිය ද පල කරන ඔහු, යලිත් එහි “සැබෑ වාමවාදය” වෙනුවෙන් ඊට ප‍්‍රශංසා කරයි. මසහෙරි මෙසේ ලියයි: “ලෝසවෙඅ යනු ලොව පුරා ප‍්‍රශංසාවට පාත‍්‍රවීමට සුදුසු වෙබ් අඩවියකි... (එහි කටයුතු) අන්තර්ඥානය හා අනුප‍්‍රානය ලබා දෙන සුලු ඒවා ලෙස මට නිරතුරුව හැඟී ඇත.” 1

මසහෙරි නිර්ලෝභී ලෙස ශුභාශිර්වාද පලකරයි. එහෙත් පැහැදිලිවම පෙනී යන පරිදි එම ශුභාශිර්වාද, අධිරාජ්‍යවාදී ආක‍්‍රමනයට හා යුද්ධයට එරෙහි සමාජවාදී විපක්ෂයේ අක්ෂය ලෙස ඉස්මතුවීමට ලෝසවෙඅට ශක්‍යතාවය ලබා දෙන ලද්දේ කුමක් විසින්ද යන්න පිලිබඳ අවබෝධයක් මත පදනම් වී නැත. අධිරාජ්‍යවාදයට එරෙහි අපේ අචල විරුද්ධත්වය මුල් බැස ඇත්තේ, අපේ පන්ති ඉදිරි දර්ශනය තුලය; හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සෑම ජාතික ශාඛාවක්ම “තමාගේම” රටේ ධනේශ්වර පන්තියට දක්වන ශමනය කල නොහෙන විරුද්ධත්වය හා කම්කරු පන්තියේ දේශපාලන නිදහස සඳහා ඔවුන් ගෙන යන නිර්දය අරගලය තුලය. මෙය අධිරාජ්‍යවාදය විසින් ඓතිහාසිකව මර්දනය කරනු ලැබූ රටවල විප්ලවවාදී පක්ෂ ගොඩ නැගීමට සටන් වදින -ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැනි- පක්ෂවලට මෙන්ම, ඇමරිකා එක්සත් ජනපදයේ, ජර්මනියේ හා අනෙකුත් අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල සමාජවාදී සමානතා පක්ෂවලට ද එකසේම සත්‍ය වේ.

මෙම පන්ති දිශානතිය ම, මාක්ස්වාදය, එනම් විද්‍යාත්මක සමාජවාදය, තුල මුල් බැස පවතින්නක් වන අතර එය අනන්‍ය වන්නේ, පසුගිය ශතවර්ෂයේ මහා පන්ති අරගලවල මූලෝපායික පාඩම්, අන් සියල්ලටමත් වඩා නොනවතින විප්ලව න්‍යායේ පාඩම් සමගය.

මසහෙරිගේ අදහස් දැක්වීම්වලින් අප උපකල්පනය කල යුත්තේ, ඔහු ඉරානයට එරෙහි ඇමරිකානු සම්බාධක හා යුද සූදානම ද ඇතුලත් අධිරාජ්‍යවාදයේ දඩයමට එරෙහිව අපේ අචල විරුද්ධත්වය දිගු කලක් පුරා අගය කොට ඇති බවයි. තවද, ඉස්ලාමිය සමූහාන්ඩුවේ පාලකයන්ට එරෙහිව අප කම්කරු පන්තිය සමග සිටිමින්, ඉවක්බවක් නැති සමාජ අසමානතාවයටත් ධනවාදී කප්පාදුවලටත් එරෙහිව නැගෙන විරුද්ධත්වය අධිරාජ්‍යවාදී කැරැල්ලක් ලෙස දක්වා මඩ ගැසීමට එකී පාලකයන් දරන ප‍්‍රයත්න ප‍්‍රතික්ෂේප කරන බවට අවධාරනය කිරීම පිලිබඳව, ඔහු සැබෑ ලෙසම මවිතයටත් ව්‍යාකූලත්වයටත් පත්ව ඇති බවයි.

මසහෙරිගේ විමතිය හා අනවබෝධය ගලා එන්නේ ඔහුගේ දේශපාලන සංකල්පවලිනි - අන් හැමටත් වඩා ඔහු ජාතිකවාදය සමාජවාදය සමග අනන්‍ය කර ගැනීම හා ඒ සමග අත්වැල් බැඳගත් පන්ති බලවේග විභාග කිරීමේ නොහැකියාවෙනි.

ඔහුගේ දෙවැනි බ්ලොග් සටහන තුල ඔහු සිය මුල් ලිපියේ දෝෂ යලිත් සිදුකරයි: 1979 ඉරාන විප්ලවය එහි ඓතිහාසික සන්දර්භය තුල විභාග කිරීමට හෝ එහි සමාජ ගතිකයන් පරීක්ෂා කිරීමට ඔහු අසමත් වෙයි. ඉස්ලාමීය සමූහාන්ඩුවේ පිලිවෙත් හැඩ ගස්වන පන්ති බලවේග විශ්ලේෂනය කරනු වෙනුවට ඔහු, ඉරානය, ඉස්ලාමීය සමාජවාදය කරා යන බවට ඉස්ලාමීය ජනරජයේ පාලකයන්ගේ - වඩාත් නිරවද්‍යව කිවහොත් ඔවුන් අතර කොටසකගේ- කියාපෑම හුදෙක් පුනරුච්ඡාරනය කරයි.

ඉරානය තුල ජනයා සමාජවාදය සඳහා අභිප්‍රේරනය කල හැක්කේ ෂියා ඉස්ලාම් ධර්මය සමග එය සංයෝජනය කලහොත් පමනකැයි ඔහු යලිත් අවධාරනය කරයි. මසහෙරි දැන් කරන පරිද්දෙන්; ඉරාන කම්කරු ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා ස්ටැලින්වාදී තුඬේ පක්ෂය ඉටු කල ප‍්‍රමුඛ කාර්යභාරය නොතකා හැරීමට යමෙකු ක්‍රියා කරන්නේ නම්, ඔහුට මෙම තර්කය ගෙන ඒම වඩාත් පහසුය.

ඉරාන කම්කරු පන්තිය තුල තුඬේ පක්ෂය පවත්වා ගෙන ගිය මහත් ආනුභාවයත්, ස්ටැලින්වාදීන් විසින් කම්කරු පන්තිය ධනපති පන්තියේ ඊනියා “ප‍්‍රගතිශීලි” හෝ “අධිරාජ්‍ය විරෝධී” පාර්ශවයට ක‍්‍රමානුකූලව යටත් කරනු ලැබීමත් පිලිබඳව අප මතු කල කරුනුවලට සංගත පිලිතුරක් ඉදිරිපත් කරනු තබා ඒවා ගැන සඳහනක්වත් මසහෙරි සිදු නොකරයි. ෂා පෙරලා දැමීමෙන් පසු තුඬේ පක්ෂය අයතොල්ලා කොමෙයිනි හා ජනතාවාදී ෂියා පූජකයන්ට දේශපාලන සහයෝගය සම්පාදනය කිරීම ද මෙසේ කම්කරු පන්තිය ධනපති පන්තියේ කන්ඩායම්වලට යටත් කිරීමටම ඇතුලත් වූයේය. 1982-83 කාල පරිච්ඡේදයේ දී රාජ්‍ය තන්ත‍්‍රය ස්ටැලින්වාදීන්ම මෘග මර්දනයකට ලක් කරන තුරු එකී සහයෝගය ලබා දෙන ලදී.

ඉස්ලාමීය සමූහාන්ඩුවේ ප‍්‍රතිපත්තිය “අධිරාජ්‍ය-විරෝධී” එකක් නොවන බවට අප ස්ථිරසාරව කියා සිටීම සම්බන්ධයෙන් මසහෙරි අමනාපයට පත්ව ඇත. එතෙකුදු, අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් සමග එහි සබඳතා පසෙකින් තැබූවත්, තෙහෙරානය ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග යලි මිත‍්‍ර සම්බන්ධතා ගොඩ නගා ගැනීමේ අපේක්ෂාව ලුහුබැඳ යාමේ දශකයකට වැඩි වාර්තාවක් පවතී. 1991 ගල්ෆ් යුද්ධයේ දී, 2001 ඇෆ්ගනිස්තාන ආක‍්‍රමනයේ දී හා ඉරාක යුද්ධයේ මුල් අදියරේ දී වොෂින්ටනයට කැමැත්තක් කරන්නට ඉඩ හැර සිටීම ද මීට ඇතුලත්ය.

ලෝසවෙඅ විසින් ඉස්ලාමීය ජනරජය “ධනපති රාජ්‍ය තන්ත‍්‍රයක්” ලෙස ගුනාංගීකරනය කරනු ලැබීම සම්බන්ධ මසහෙරිගේ හෙලා දැකීම ඔහුගේ දෘෂ්ටිය පිලිබඳ නිදර්ශන සපයා ඇත. දශක ගනනාවක් පුරා රාජ්‍යය විසින් කම්කරු පන්තියට කවර හෝ ආකාරයක ස්ව-සංවිධානයේ ඉඩකඩ අහිමි කරනු ලැබ, නිර්දය ලෙස මර්දනය කරනු ලැබූ රටක කිසිදු රාජ්‍යයක් නොපවතින බවට ද, නැතහොත් එවැන්නක් පවතින්නේ නම් එය පන්ති අරගලයට ඉහලින් හා ඊට පරිබාහිරව පවත්නා ඉරාන ජාතියක් මූර්තිමත් කරන බවට ද ඔහු යෝජනා කරයි.

ඉරානයේ කම්කරුවන් හා ධනපතීන් සිටින බවත්, අනුප‍්‍රාප්තික ජනාධිපතිවරුන් ගනනාවක් යටතේ ඉරානය වෙලඳපොලගැති ප‍්‍රතිපත්ති හඹා ගිය බවත් ඔහු ප‍්‍රතික්ෂේප නොකරයි. එතෙකුදු ඔහු තිර කොට කියා සිටින්නේ, “භක්තියෙන් තොර” අපේක්ෂකයන් ඉවත්කිරීමේ හා ෂියා ශික්ෂාවන්ට පටහැනි ලෙස සලකනු ලබන අනපනත් අභිශුන්‍ය කිරීමේ බලතල ද ඇතුලත්ව ඉමහත් වරප‍්‍රසාද හා බලතල ෂියා පූජකයන්ට හිමි කර දී ඇති ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පර්යාය තුල තේරී පත් වූ ආන්ඩුව ඉරාන ජනතාවගේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිමතය” ප‍්‍රකාශයට පත් කරන බව සහ එබැවින්, එහි පාලනයට එල්ල කෙරෙන කවර හෝ අභියෝගයක් නීතිවිරෝධී වන බවයි.

ඉස්ලාමීය ජනරජය, ඉරාන ධනේශ්වරයේ දේපල හා උත්සුකයන් නිර්දය ලෙස රකිමින් පවත්වා ගෙන යාම තුල මුල් බැස ගත් හා ඒ සඳහා කැප වූ ධනපති රාජ්‍යයකි යන්න අප විසින් අවධාරනය කරනු ලැබීම පිලිබඳ ඔහුගේ විවේචනය සමග අත්වැල් බැඳගෙන ඇත්තේ, අප “ඉරාන විප්ලවයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනසම්මත ස්වභාවය ප‍්‍රතික්ෂේප කොට ඇතැ”යි යන ඔහුගේ කියාපෑමයි.

මෙම කියාපෑමට පටහැනි ලෙස, ඉරාන විප්ලවය වූ කලී ඉරාන කම්කරුවන් හා වැඩ කරන ජනයා ප‍්‍රබෝධවත් කොට උත්තේජනය දී, ඔවුන් දේශපාලනිකව සකී‍්‍රය කල දැවැන්ත අධිරාජ්‍ය-විරෝධී නැගිටීමකැයි අපි තිර කොට කියා සිටිමු.

ඉරාන මහජනයා සම්බන්ධයෙන් ගත් කල, ෂා යනු හුදෙක් අන්තනෝමතික හා දූෂිත පාලකයෙක් පමනක් නොව, ශත වර්ෂයක් පුරා අධිරාජ්‍යවාදය විසින් ඔවුන්ගේ ජාතිය බඳුන් කරන ලද සියලු අවමානයන් හා ප‍්‍රචන්ඩතා පුද්ගලාරෝපනය වූ සංකේතය විය. ඔහු පෙරලා දැමීම ඇමරිකානු අධිරාජ්‍යවාදයට විශාල පසුබෑමක් ගෙනදුන් මරු පහරක් විය. ශත වර්ෂ කාලක් පුරා ෂා රාජ්‍ය තන්ත‍්‍රය ඛනිජ තෙල්වලින් පොහොසත් ගල්ෆ් කලාපයේ ඇමරිකානු පොලිස්කාරයා ලෙස සේවය කොට තුබූ අතර, එය -ප‍්‍රථම කොට හා ප‍්‍රමුඛවම සෝවියට් සංගමයට එරෙහිව- යුරේසියාව හරහා හමුදා මෙහෙයුම් සිදු කිරීමෙහි ලා අතිශය වැදගත් පාදකයක්ව තිබින.

[ෂා රජු එජ ජනාධිපති ජිමී කාටර් සමග: ඉරාන විප්ලවයට මාස 13 කට වඩා සුලු කලකට ඉහත දී, කාටර් “ලෝකයේ වඩාත්ම ආපදාකාරී ප‍්‍රදේශ අතරින් එකක් තුල ස්ථාවරත්වයේ දූපතක්” පවත්වා ගෙන යාමේ මුල් පුටුව දරා සිටීම පිලිබඳව ෂා වෙත ආචාරය පුද කලේය]

ඉරාන විප්ලවයේ පැවැති ඉමහත් විමුක්තිදායක විභවය අනාවරනය වූයේ, අන් සියල්ලට ද වඩා, ෂා පෙරලා දැමීමෙහි ලා කම්කරු පන්තිය ඉටු කල කාර්යභාරයෙනි. 1978 පසුභාගයේ මහජන නැගිටීම වර්ධනය වත්ම කම්කරු පන්තිය, නිර්ධන පන්ති අරගලයේ විධික‍්‍රමය -වැඩවර්ජන හා වැඩබිම් අත්පත් කර ගැනීම්- උපයෝගී කොට ගනිමින්, එලැඹෙමින් පැවැති විප්ලවය පසුපස සිටින ප‍්‍රධාන සමාජ බලවේගය ලෙස ඉස්මතු වූයේය. අවසානයේ දී ෂාගේ රාජ්‍ය තන්ත‍්‍රයේ කොඳු නාරටිය බිඳ දමන ලද්දේ ඛනිජ තෙල් සේවකයන්ගේ වර්ජනය විසිනි.

ඉරාන විප්ලවයේ ඛේදවාචකය වූයේ ෂාගේ ආඥාදායකත්වයට එරෙහි අරගලයේදී, සමාජය තුල තමා සතු වූ මුලු බරට සරිලන දේශපාලන කාර්යභාරයක් ඉටු කිරීමට කම්කරු පන්තිය අසමත්වීමයි.

එය ස්ටැලින් වාදය විසින් දේශපාලනිකව උදාසීන කර තිබුනි. ඒ පලමුව හා ප‍්‍රමුඛව තුඬේ පක්ෂය විසිනි, එහෙත් එමෙන්ම, ස්ටැලින්වාදයේ ආනුභාවය යටතේ සිටි අනෙකුත් වාමාංශික ධාරාවෝ ද ඊට අත ගැසූහ. විශේෂයෙන්ම අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය තුල ජාතික ධනේශ්වරයේ කාර්යභාරය පිලිබඳ ඔවුන්ගේ සාවද්‍ය තක්සේරුව සහ ඉරානය තුල කම්කරු පන්ති නායකත්වයෙන් යුත් සමාජවාදී විප්ලවයක් සඳහා වෛෂයික පදනමක් නැතැයි ඔවුන් කල අවධාරනය ද හරහා කම්කරු පන්තියේ දිශානතිය පීලි පැන්නවීමට ඔවුහු කටයුතු කලහ.

එහි ප‍්‍රතිඵලයක් ලෙස, පූජකයන් අතරින් කොටසක්, ෂියා ජනතාවාදී කූට ජනනායකත්වයක සැරසිලිවලින් හැඩවැඩ කල ඉරාන ජාතිකවාදයක් වැලඳ ගනිමින් සහ සාම්ප‍්‍රදායික, ඉරාන ධනපති පන්තියේ කඩ වීථි මත පදනම් වූ කොටස නියෝජනය කරමින්, මහජන නැගිටීම සීමාවන් තුල රඳවා ගැනීමට සමත් වූහ. ඉනික්බිති ඔවුහු කම්කරු පන්තියේ සියලූ ස්වාධීන සංවිධාන නිර්දය ලෙස අතු ගා දමා ධනේශ්වර අනුපිලිවෙල ප‍්‍රතිස්ථාපනය කලෝය. 1983 වන විට රාජ්‍ය තන්ත‍්‍රයෙන් ස්වාධීන සියලූ කම්කරු සභා සහ වෘත්තීය සමිති, සහ සියලූ වාමාංශික පක්ෂ, තහනම් කොට හා භෞතික වශයෙන්ම බිඳ විසුරුවා හැර තිබින. බොහෝ සංවිධාන සම්බන්ධයෙන් ගත් කල මෙම තතු උදා වූයේ ඊට බෙහෙවින් පෙරාතුවය.

විප්ලවයේ මුල් දිනවලදී කොමෙයිනි, ඉස්ලාම් දහම සමාජ සාධාරනත්වය සමග සම කොට දැක්වීමට සමාජවාදී සටන්පාඨ ප‍්‍රතිරාව නැංවූ ජනතාවාදී වාක්‍ය ඛන්ඩ භාවිතා කලේය. එහෙත් මුල්ලාවරුන් තම පාලනය තහවුරු කර ගැනීමත් සමග ඔහු පෞද්ගලික දේපලවලට ඉස්ලාම් දහම දක්වන පක්ෂපාතිත්වය, වෙලඳපොල ක‍්‍රමයේ වැදගත්කම සහ නීතියේ හා අනුක‍්‍රමයේ අවශ්‍යතාව පිලිබඳව වඩාත් සෘජු ලෙස අවධාරනය කලේය.

විප්ලවයේ හිරිමල් අවදියේ දී ඉස්ලාමිය තන්ත‍්‍රය ඉරාන කම්කරුවන්ට හා ග‍්‍රාමීය වැඩකරන ජනයාට යම් සමාජයිය අනුග‍්‍රහයන් ලබා දීමට ක්‍රියා කලේය. එහෙත්, ඉරානයේ ධනපති පාලකයන් ජාතික ධන සම්පත්වලින් අන් කවරදාටත් වඩා වැඩි කුට්ටියක් අත්පත් කර ගැනීමට හා ධනේශ්වර සූරාකෑම සඳහා සිය ශක්‍යතාවය ඉහල දමා ගැනීමට ප‍්‍රයත්න දැරීමත් සමග, ඒවා ක‍්‍රමානුකූලව හා වඩවඩාත් වේගවත්ව නවතා දැමින.

ලෝසවෙඅ විවේචනය කිරීමේදී, ඉරානය අධිරාජ්‍යවාදය මගින් යලි පාලනය කරනු ලැබීම පිලිබඳ අන්තරායයට මසහෙරි නැවත නැවතත් ඇඟිල්ල දිගු කොට පෙන්වයි. ඇත්තෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදය ඉරානයට ගිජු බවක් දක්වයි. ෂා යටතේ පැවැති ආකාරයේ නව යටත්විජිත බැමිවලින් ඉරානය යලි බැඳ දැමීම සඳහා දරන එහි පරිශ‍්‍රමය තුල එය ඉරාන මහජනයා මත ඉමහත් දුක්පීඩා පමුනුවා ඇත.

මසහෙරි විසින්ම පිලිගනු ලැබ ඇති පරිදි, ඉරානය ඉලක්ක කරමින් එල්ල කෙරුනු ඇමරිකානු යුද තර්ජන හා සම්බාධකවලට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා ලෝසවෙඅ පෙරමුන ගෙන ක්‍රියා කර ඇත.

කෙසේවෙතත්, අධිරාජ්‍යවාදයට එරෙහිව ඉරානය ආරක්ෂා කිරීම යන්නෙන්, ඉරානයේ කම්කරුවන් හා වැඩකරන ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජයීය ප‍්‍රයත්නයන් මැඩලීම හරහා තහවුරු වී ගත් පූජක-ධනපති තන්ත‍්‍රයට සහයෝගය දීමක් අදහස් නොකෙරේ. ඉරාන ධනපති පන්තිය තමාගේම ස්වාර්ථකාමී පන්ති අරමුනු පසුපස හඹා යාම මගින්, අධිරාජ්‍යවාදයේ කූටෝපායයන් හා මදාවිකම් හමුවේ ඉරානය සෑම අතකින්ම දුර්වල කෙරෙමින් අන්තරායයේ හෙලනු ලැබ ඇත.

ඉරාන ඉතිහාසය සහ අධිරාජ්‍යවාදයට එරෙහිව මිහිතලය මත අරගලවල ඉතිහාසය පෙන්වා දෙන්නේ, අධිරාජ්‍යවාදය පරාජය කිරීමේ සාධ්‍ය මූලෝපායයක් ස්ථාපනය කල හැක්කේ කම්කරු පන්තිය මත්තේ පමනක් බව, සහ ඒ සඳහා ධනේශ්වරයේ සියලු කොටස්වලට එරෙහිව ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස එය බලමුලු ගැන්වීම අවශ්‍ය කෙරෙන බවයි.

මසහෙරිගේ විවේචන මගින් -අධිරාජ්‍යවාදී භූ-දේශපාලන දිය සුලිය තුලට දශක ගනනාවක් පුරා හසුව සිටින, සහ 2018 එලිමහනට පැමිනි විරෝධතා මගින් පූර්ව දැනුම්දීම් සිදු කොට ඇති පරිදි එහි කම්කරු පන්තිය දැන් ස්වාධීන පන්ති අරගලයේ මාවත සොයා ගැනීමට පරිශ‍්‍රම දරමින් සිටින රටක් වන -ඉරානයේ, විප්ලවවාදී මූලෝපායය පිලිබඳ ප‍්‍රධානතම ප‍්‍රශ්න පැහැදිලි කිරීමට ලද අවස්ථාව අපි ඉතසිතින් පිලිගන්නෙමු.

ට්‍රොට්ස්කි, රුසියාවේ හා චීනයේ පාඩම් සහ නොනවතින විප්ලවය

මසහෙරිගේ බ්ලොග් ලිපි දෙකෙහිම ලෝසවෙඅට එරෙහිව එල්ල කෙරෙන විවේචනයන්හි ප‍්‍රහාරක රේඛාව යොමුව ඇත්තේ එකම දිශාවකටය; එනම්, එය “විශ්වව්‍යාපී, නොනවතින විප්ලවයේ” මට්ටමට පත්වීමට අසමත් වූ කවර හෝ සහ සෑම ව්‍යාපාරයක්ම හෙලා දුටු අයෙකු වූ ද, “මේ දැන් මේ මොහොතේ” අවශ්‍ය කෙරෙන පිලිවෙත් ඉදිරිපත් කරනු වෙනුවට “එක්ටැම් ගෙයි සිර වූ නිෂ්ඵල” විවරනවල යෙදී සිටියෙකු වූ ද ට්‍රොට්ස්කි කෙරේ “පූර්වජ වන්දනාවෙන්” පුද දෙන ආධානග‍්‍රාහීන්ගෙන් සැදුම් ලත් එකක් බවටයි.

ලෝසවෙඅ සහ හජාජාකය ට්‍රොට්ස්කිගේ ප‍්‍රතිමාව වන්දනා කරන්නෝ නොවෙති. අපි අපේ දේශපාලන කටයුතු හතරවැනි ජාත්‍යන්තරය හා එහි පූර්වගාමී සංවිධාන විසින් දියත් කරන ලද ඓතිහාසික අරගලය මත පදනම් කොට ඇත්තෙමු. මක්නිසාදයත්, එය සියවස් එක හමාරක කාල පරිච්ඡේදයක් පුරා ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලවල සාරාත්මක පාඩම් මූර්තිමත් කරන නිසාය.

නිසැකවම ට්‍රොට්ස්කි අපූර්ව පුද්ගලයෙකි: ඔහු 1917 ඔක්තෝබර් විප්ලවයේ ලෙනින් සමග සම-නායකත්වය දැරූ තැනැත්තාය; රතු හමුදාවේ සංවිධායකයාය; ස්ටැලින්වාදී නිලධරයට එරෙහි මාක්ස්වාදී විරුද්ධ පක්ෂයේ දේශපාලනික හා න්‍යායික නායකයාය; ජර්මනියේ හා ස්පාඤ්ඤයේ ෆැසිස්ට් ප‍්‍රති-විප්ලවයට එරෙහි අරගලයේ කේන්ද්‍රීය ප‍්‍රයුක්තීන් පිලිබඳ හෙලිපෙහෙලි කල දීප්තිමත් ලේඛකයා හා කථිකයාය. මෙසේ තව බොහෝ දේ පැවසිය හැකිය.

එහෙත් ට්‍රොට්ස්කිගේ චිරස්ථායී අර්ථාන්විතභාවය හා ඔහුගේ දැවෙන අද්‍යතන අදාලත්වය රඳා පවතින්නේ, අන් සියල්ලටමත් වඩා, කම්කරු පන්ති නැගිටීමේ හෝ ප‍්‍රතිගමනයේ කාල පරිච්ඡේදයකදී වුව ඔහු සටන් වැදුනු වැඩ පිලිවෙල හා ඉදිරි දර්ශනය තුලය.

ට්‍රොට්ස්කි ලෝක සමාජවාදී විප්ලවයේ අග‍්‍රගන්‍ය මූලෝපායඥයා විය. ඔහු සිය ලේඛන තුල ජීවත් වන පමනින් අදට ද එම තතු නොවෙනස්ව පවතී. ඒ අනුව ඔහුගේ නාමයත්, නොනවතින විප්ලවයේ න්‍යායත් අතර පවත්නා සම්බන්ධය වියැකී යා නොහෙන සම්බන්ධයකි. එය ඒ පිලිබඳව කිසිවක්ම හෝ නොවේනම්, සැලකිය යුතු යමක් නොදන්නා - වඩාත් නිරවද්‍ය ලෙස කිවහොත් නොනවතින විප්ලවය පිලිබඳ තම සංකල්පනය මත, දැනුවත්ව හෝ නොදැනුවත්ව, ස්ටැලින්වාදී විකෘතිකරනයේ හා විකට චිත‍්‍රයේ මුද්‍රාව දරා සිටින -මසහෙරි වැන්නවුන්ට පවා හුරුපුරුදු සම්බන්ධයකි.

නොනවතින විප්ලවයේ න්‍යාය පිලිබඳ විවාදය පැරනි එකකි. එය 1917 ඔක්තෝබර් විප්ලවයට පෙර, ඒ අතරතුර හා ඉනික්බිති වශයෙන් වූ කාල ත‍්‍රිත්වයම අලලා ගත් එකකි.

1917 ඔක්තෝබරයේ දී ගොවි ජනයා සමග සන්ධානගත වෙමින් කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගනු ලැබීම පූර්වාපේක්ෂා කල නොනවතින විප්ලවයේ න්‍යාය, එම විප්ලවය සඳහා සහ බෝල්ශෙවිකයන් විසින් නායකත්වය දෙනු ලැබූ විප්ලවවාදී කම්කරු ආන්ඩුවේ ක්‍රියාකලාපයන් සඳහා ද මූලෝපායික පෙලගැස්ම සම්පාදනය කලේය. එය ට්‍රොට්ස්කි හා ස්ටැලින් අතර භේදයේ කේන්ද්‍රීය දේශපාලන කාරනාව බවට පැමිනීමට නියමිතව පැවතින. මේ පසු කියන ලද තැනැත්තේ, පසුගාමී, යුද්ධයෙන් හානියට පත් රටක් තුල බිහිව තුබූ ලෝකයේ ප‍්‍රථම කම්කරු රාජ්‍යය හුදෙකලාවීමේ කොන්දේසි යටතේ, සෝවියට් කම්කරු පන්තිය අතින් බලය ඩැහැ ගත් වරප‍්‍රසාදිත නිලධරයේ දේශපාලන ප‍්‍රකාශකයා ලෙස පෙරට පැමිනියේය.

1917 ඔක්තෝබරයේ රුසියානු කම්කරුවන්ගේ හා සෙබලුන්ගේ පෙලපාලියක්

මසහෙරි “විශ්වව්‍යාපී විප්ලවයලට සමච්චල් කරන්නේ ට්‍රොට්ස්කි, පන්ති අරගලයේ හා කම්කරු පන්තියේ විප්ලවවාදී සූදානමේ මට්ටම නොතකා, ලෝක ගෝලය පුරා සමගාමී කැරලි ගැසීමක් වෙනුවෙන් පෙනී සිටි බවට වන ස්ටැලින්වාදී කියාපෑම් ප‍්‍රතිරාව නංවමිනි.

එහෙත් නොනවතින විප්ලවය යනු මායාකාරී කල්පනා මාත‍්‍රයක් හෝ වියුක්ත මූලධර්මයක් හෝ නොවේ. ඒ වූ කලී, ලෝක පද්ධතියක් ලෙස ධනපති ක‍්‍රමයේ ස්වභාවයෙන් හා පන්ති අරගලයේ තර්කනය තුලින් පැන නැගෙන ඒකාබද්ධ ලෝක විප්ලවවාදී මූලෝපායකි. එය ධනපති ක‍්‍රමයේ සිට සමාජවාදය කරා පරිවර්තනය වීමේදී පැන නගින කේන්ද්‍රීය ප‍්‍රශ්න විසඳීමේ අභියෝගය සියතට ගනී. ඉරානය වැනි, ධනේශ්වර වර්ධනය කල් පමා වූ, රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජවාදී විප්ලව අතර සම්බන්ධතාවය ද ඊට ඇතුලත් වේ. මසහෙරි සමග අපේ වෙනස්කම්වලට මෙය සුවිශේෂී ලෙස අදාල වේ.

දෙන ලද රටක කම්කරු බලය ගොඩනැගීම ඒ හැටියෙන් ගත් කල කෙතරම් අවශ්‍ය හා ප‍්‍රධාන කාර්යයක් වුව, සමාජවාදී විප්ලවය යනු හුදෙකලා, ජාතික සංසිද්ධියක් නොව -එහි කර්තව්‍යයන්හි පෘථුල බව හේතු කොට ගෙනම වෙනම ඓතිහාසික අවධියකින් සංයුක්ත වන, ලෝක ගෝලීය සංසිද්ධියක් වේ. ජාතික රංග භූමිය මත ආරම්භ වන නමුදු, අවශ්‍යයෙන්ම ජාත්‍යන්තර රංග භූමිය මත දිග හැරෙන එයට තම ජයග‍්‍රහනය සාක්ෂාත් කොට ගත හැක්කේ ලෝක ගෝලය මත ධනපති ක‍්‍රමය අහෝසි කොට ලෝක සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපනය කිරීමෙන් පමනෙකි.

“ සමාජවාදය” -නැතහොත්, නොනවතින විප්ලවයට ප‍්‍රහාර එල්ල කිරීමේ දී ස්ටැලින්වාදී යුද ඝෝෂාවේ වාංමාලාව යොදා ගන්නේ නම්, “තනි රටේ සමාජවාදය”- පිහිටුවීමට ඇති නොහැකියාව පැන නගින්නේ, සරලව හෝ ප‍්‍රමුඛ කොට, කවර හෝ රටක් තුල කම්කරු පන්තියේ ජයග‍්‍රහනය මරනීය තර්ජනයක් ලෙස ලෝක ධනේශ්වරය විසින් දකිනු ලැබීමේ සත්‍ය කරුන හේතුවෙන් නොවේ. ඒ වෙනුවට එයට හේතුවන්නේ, මිනිස් අවශ්‍යතා සපුරා ලීමට සමත් වන පරිදි ලෝක ආර්ථිකයේ සම්පත් තාර්කිකව භාවිතා කිරීමෙහි ලා ප‍්‍රධාන බාධකය ධනේශ්වර ක‍්‍රමය ඓතිහාසිකව මුල් බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය මගින් නියෝජනය කරනු ලැබීමය. එහි ප‍්‍රතිඵල ලෙස ජනිත භූ-දේශපාලන සතුරුකම් ඒවායේ පරිපූර්න ප‍්‍රකාශනය අත් කොට ගෙන ඇත්තේ, අධිරාජ්‍යවාදී ප‍්‍රචන්ඩත්වයන් වර්ධනයවීම, මහ බලවතුන් අතර ගැටුම් හා තුන්වැනි අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක තර්ජනය තුලය.

නොනවතින විප්ලවයේ ප‍්‍රභවයන් පිහිටා ඇත්තේ, විප්ලවයට පෙර යුගයේ දී, රුසියාවේ එලැඹෙමින් පැවැති විප්ලවයේ පන්ති ගතිකයන් පිලිබඳව රුසියානු සමාජවාදී ව්‍යාපාරය තුල පැවැති විවාදයන් තුලය. විසිවන සියවස ආරම්භයේ පැවැති රුසියාව සාර් ඒකාධිපතිත්වය විසින් පාලනය කෙරුනු අර්ධ වැඩවසම් රටක් වූ නමුදු, ඒ අතරම, එය ශීඝ‍්‍රයෙන් වර්ධනය වෙමින් පැවැති හා සටන්කාමී කම්කරු පන්තියක් සහිත රටක් ද විය.

විප්ලවයේ මූලික කර්තව්‍යයෝ -එනම්, ඒකාධිපති පාලනය පෙරලා දැමීම හා ඉඩම් සම්බන්ධතාවල රැඩිකල් පරිවර්තනයක් හරහා ඉඩම්හිමි ක‍්‍රමය උදුරා දැමීම- ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වභාවයේ ඒවා වූහ. කෙසේවෙතත් මෙය, ට්‍රොට්ස්කි විසින් පසුකලෙක පැහැදිලි කෙරුනු පරිදි, “ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් විසඳීම කවර පන්ති අතින් සිදුවනු ඇති ද, හා එකී පන්ති අතර අන්‍යොන්‍ය සබඳතා කෙසේ වනු ඇති ද යන ප‍්‍රශ්නවලට කල් තබා” පිලිතුරු සැපයුවේ නැත. 2

1898 දී රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ (ආර්එස්ඩීඑල්පී) ආරම්භක සම්මේලනය විසින් නිකුත් කරන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුල හඳුනා ගන්නා ලද පරිදි; “යමෙක් යුරෝපයේ නැගෙනහිරට යන විට වඩවඩාත් පහත්, වඩවඩාත් බියසුලු හා දේශපාලනිකව දුබල ධනපති පන්තියක් හමු වන අතර, නිර්ධන පන්තියේ උර මතට වැටෙන සංස්කෘතික හා දේශපාලනික කර්තව්‍යයන් සම්භාරය වඩවඩාත් වැඩි වේ.”

කොයිහැටිවෙතත්, ආර්එස්ඩීඑල්පීයේ අවස්ථාවාදී පාර්ශ්වය, එනම් මෙන්ෂේවිකයෝ, 17 වන සියවසේ ඉංග්‍රීසි විප්ලවය හා 18 වන සියවසේ ප‍්‍රන්ස විප්ලවය පිලිබඳ රූපික සාදෘශයන්ගේ පදනම මත පිහිටා සිටිමින්, කම්කරු පන්තිය හා සමාජවාදී ව්‍යාපාරය, “තමන්ගේ” විප්ලවය ක්‍රියාත්මක කරන ලිබරල් ධනේශ්වරයට පක්ෂපාතී හා යටහත් අනුචරයා ලෙස ක්‍රියා කල යුතුයැයි බල කර සිටියෝය.

1905 විප්ලවය කුඩුපට්ටම් කිරීමට ධනේශ්වරය සාර්වාදී තන්ත‍්‍රය සමග අත්වැල් බැඳ ගැනීමෙන් පසු, සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අභිලාෂයන් පසුපස වඩාත් ආක‍්‍රමනශීලි ආකාරයෙන් හඹා යාම මගින් ධනේශ්වරය ප‍්‍රතිගාමිත්වයේ කඳවුරට තල්ලු කරන ලද්දේ කම්කරු පන්තිය විසිනැයි මෙන්ෂේවිකයෝ විවෘතවම තර්ක කලෝය. 1917 දී ධනපති තාවකාලික ආන්ඩුව අධිරාජ්‍යවාදී යුද්ධය තුල රුසියානු සහභාගිත්වය දිගටම පවත්වා ගන්නා, ඉඩම් ප‍්‍රතිසංස්කරනයට එරෙහි වන හා කම්කරු පන්තිය මර්දනය කරන තතු යටතේ ඊට සහයෝගය දීම තුලින් මෙන්ෂේවිකයෝ ප‍්‍රති-විප්ලවයේ උපකාරක ස්ථම්භයක් බවට පත්වූහ.

තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය ජයග‍්‍රහනය කල හැක්කේ, අධිරාජ්‍යවාදය හා ඉඩම්හිමිකම සම- තමන්ට පැවතින බැඳුම් නිසා ද, කම්කරු පන්තිය කෙරේ ඇති භීතිය නිසා ද ප‍්‍රති-විප්ලවවාදී කාර්යභාරයක් පමනක්ම ඉටු කරනු ඇති හා එවැන්නක් පමනක්ම ඉටු කල හැකි ධනේශ්වරයට එරෙහිව පමනකැයි ලෙනින් හා ට්‍රොට්ස්කි යන දෙදෙනාම මෙන්ෂේවිකයන්ට එරෙහිව අවධාරනය කලෝය. මෙන්ෂේවිකයන්ට ද කම්කරු පන්තිය ධනේශ්වරයට යටත් කිරීමේ ඔවුන්ගේ පිලිවෙතට ද එරෙහිව නිර්දය අරගලයක යෙදෙමින් ඔවුහු, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය හෝ එහි ආධිපත්‍යය වෙනුවෙන් හා නිර්ධන පන්තියත් ගොවි ජනයාත් අතර විප්ලවවාදී සන්ධානයක් වෙනුවෙන් සටන් කලෝය.

ලියොන් ට්‍රොට්ස්කි

1917 ට පෙර ට්‍රොට්ස්කිගේ ආස්ථානය අද්විතීය එකක් වන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සම්පූර්න විය හැක්කේ සහ වනු ඇත්තේ, කම්කරු පන්තිය විසින් නායකත්වය දෙනු ලබන සමාජවාදී විප්ලවයක් තුලින් පමනෙකැයි ඔහු සිදු කල අවධාරනය නිසාය.

වැඩවසම්වාදය හා පරමාධිපත්‍යය අහෝසි කිරීමට රුසියානු ධනේශ්වරයට පැවැති නොහැකියාවේ අර්ථය වූයේ, එකී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් -මහත් විප්ලවවාදී ශක්තියකින් යුතු නමුදු සිය සමාජයීය විෂමජාතීයභාවය හා විසදෘශ ස්වභාවය නිසා නොවැලක්විය හැකි පරිදි නාගරික පන්ති අතරින් එකක් අනුගමනය කරනු ඇති- ගොවි ජනයාගේ නායකත්වය බවට පත්වන කම්කරු පන්තියේ උර මතට සේන්දු වී ඇති බවයි.

කෙසේවෙතත්, බලයට පත් වන කම්කරුවන්ගේ ආන්ඩුවට -ට්‍රොට්ස්කිගේ වචනවලින් කිවහොත්- “ධනේශ්වර විප්ලවයේ ඓතිහාසිකව කල් පමා වූ කර්තව්‍යයන් විසඳීමේ උපකරනය ලෙස”, කම්කරු පන්තියේ මූලික සමාජ උත්සුකයන් ආරක්ෂා කරනු වස්, සමාජවාදී පියවරයන් ගැනීමට බල කෙරෙනු ඇත. 3 එසේ කිරීමේදී, යුරෝපයේ වඩාත් දියුනු ධනපති රටවල් කරා සමාජවාදී විප්ලවය පැතිරී යාම මත, එනම්, ලෝක සමාජවාදී විප්ලවයේ වර්ධනය මත, රුසියානු විප්ලවයේ ඉරනම ස්ථිරසාර ලෙස ගැට ගැසෙනු ඇති අතර එකී ඉරනම එමගින් නිර්නය කෙරෙනු ද ඇත.

වෙනස් කල යුතු දේ වෙනස් කල කල්හි මසහෙරිගේ වාම ජාතිකවාදී ආස්ථානය, මෙන්ෂේවිකයන්ගේ සාවද්‍ය ඉදිරි දර්ශනයේ අයදතන අනුවාදයක් වෙයි: එනම්, අද්‍යතන යුගයේ දී, කල් පමා වූ ධනේශ්වර වර්ධනයකින් යුත් රටවල ධනපති පන්තිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය තුල කම්කරු පන්තියේ හා වැඩකරන ජනයාගේ සහචරයෙකි.

ලෝක සමාජවාදී විප්ලවයෙන් බිඳී යමින්, (එහි රාජ්‍ය උපකරනය තමාගේම වරප‍්‍රසාදවල ප‍්‍රභවය වූ) සෝවියට් සංගමය (සෝසසසං) ආරක්ෂා කිරීමේ පදනම, යටත් විජිත හා අර්ධ යටත් විජිත රටවල ධනේශ්වර පන්ති ද ඇතුලත් කම්කරු පන්ති නොවන අනෙකුත් සමාජ බලවේග මත පදනම් කිරීමට ප‍්‍රයත්න දැරීමේ දී ස්ටැලින්වාදී නිලධරය, මෙන්ෂේවික් ඉදිරි දර්ශනයට යලි පන පිහිටුවීය. ට්‍රොට්ස්කි අනතුරු අඟවූයේ නිලධරයේ ජාතිකවාදී පෙලගැස්ම ඉක්මනින්ම, ලෝක අධිරාජ්‍යවාදය සමග කිසියම් සන්ධානයක් හඹා යාම තුල සමාජ විප්ලව දැනුවත්ව පාගා දැමීම හා කඩාකප්පල් කිරීමට මග පාදනු ඇති බවය.

පෙරදිග රටවල කම්කරු පන්තිය “ප‍්‍රගතිශීලී” හා ප‍්‍රකට ලෙස “අධිරාජ්‍ය විරෝධී” ජාතික ධනේශ්වරයන්ට යටත් විය යුතු බවට ස්ටැලින්වාදීන් විසින් කරනු ලැබූ බල කිරීම, කම්කරු පන්තිය හා පීඩිත ජනයා මත ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ඇති කිරීමට නියමිත විය. අපේ තදනන්තර විශ්ලේෂනය විසින් පෙන්වා දෙනු ඇති, ඉරානය තුල තුඬේ පක්ෂයේ කාර්ය භාරය ද මීට ඇතුලත් වනු ඇත. අධිරාජ්‍ය-විරෝධී “එක්සත් පෙරමුනුවල” නාමයෙන්, ඉන්දියානු ජාතික කොන්ග‍්‍රසය, ඉරාක හා සිරියානු බාත් පක්ෂ, සහ අප්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය වැනි සංවිධාන අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය තුල ජාතියේ නායකත්වය ලෙස හුවා දක්වමින්, කම්කරු පන්තිය ක‍්‍රමානුකූලව ජාතික ධනේශ්වරයේ දේශපාලන නියෝජිතයන්ට කරබදු කොට දීමට ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ කටයුතු කලෝය.

කෙසේවෙතත්, ස්ටැලින්වාදීන්ගේ ඉදිරි දර්ශනයේ ඛේදජනක ගම්‍යයන්, අකුරෙන් අකුර රුධිරයෙන් සටහන් කෙරුනේ චීනය තුලය. 1925 ත් 1927 ත් අතරතුර චීනයේ කම්කරු පන්තිය නගරවලින් ඇරැඹී ගම්දනව් කරා පැතිර ගිය අධිරාජ්‍ය-විරෝධී නැගිටීමක පෙරමුන ගෙන සිටියේය. එහෙත් චීන කොමියුනිස්ට් පක්ෂය චියෑං කායි ෂෙක්ගේ ධනපති කුවොමින්ටානයේ විනයට යටත්ව ඒ තුලට දියවී යායුතු බවට ද, ගොවි ජනයා කම්කරු පන්තියේ ස්වාධීන නායකත්වය යටතේ බලමුලු ගන්වා ගැනීමට කවර හෝ ප‍්‍රයත්නයක් නොදැරිය යුතු බවට ද ස්ටැලිනීකරනය වූ කොමියුනිස්ට් ජාත්‍යන්තරය කලබලකිරීම නිසා 1925-27 චීන විප්ලවය කුඩුපට්ටම් වූයේය.

1927 අප්‍රේල් මාසයේ චියෑං කායි ෂෙක් ෂැංහයි කම්කරුවන් දසදහස් ගනනින් මරා දැමූ කල්හි පවා, චීන කොමියුනිස්ට්වරුන් දිගටම කුවොමින්ටානය තුල රැඳී සිටිය යුතුයැයි මුරන්ඩු ලෙස කියා සිටි ස්ටැලින්, අධිරාජ්‍යවාදයට හා ඉඩම්හිමිකමට එරෙහි අරගලය තුල වැඩකරන ජනයා තම නායකත්වය යටතට ගැනීම සඳහා කම්කරු පන්තියට කෙරෙන කවර හෝ සහ සියලු කැඳවීම් හෙලා දුටුවේය.

අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයේ නායකයා ලෙස ස්ටැලින් විසින් ඔසොවා තැබුනු කුවොමින්ටානය 1927 අප්‍රේල් මාසයේ කොමියුනිස්ට් කම්කරුවන් දසදහස් ගනනින් ඝාතනය කලේය.

මේ මාවත සාධාරනීකරනය කරන ලද්දේ, ඉඩම්හිමියන් සහ මහ බලවතුන්ගේත්, විදේශීය ප‍්‍රාග්ධනයේත් සෘජු නියෝජිතයන් හැරුනු කොට, චීන ජනතාව, අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය තුල වෛෂයිකව එක්සත් වී ඇතැයි යන ප‍්‍රතිෂ්ඨාව මතය. කුවොමින්ටානය යනු, ඔවුන් කියා පෑ පරිදි, ධනපති පක්ෂයක් නොව, ජාතියේ එක්සත්කම මූර්තිමත් කල -ජාතික ධනේශ්වරය, සුලු ධනේශ්වරය, කම්කරුවන් හා ගොවීන් වශයෙන් වූ- “ හතරක කාන්ඩයක්” විය.

අධිරාජ්‍ය-විරෝධීයැයි හඟවනු ලැබූ කුවොමින්ටානය ෂැංහයි කම්කරුවන් කෲර ලෙස තලා දමා දින ගනනකට පසු ස්ටැලින්, අධිරාජ්‍යවාදී මර්දනය “සියලු පන්ති යාන්ත්‍රික ලෙස පිටතින් එකට ගොනු කරතැ”යි කියා සිටියේය. සිය පිලිතුර තුල ට්‍රොට්ස්කි පැහැදිලි කලේ, “අධිරාජ්‍යවාදයට එරෙහි විප්ලවවාදී අරගලය පන්ති අතර ඇති දේශපාලන විභේදනයන් දුබල කරනු වෙනුවට ඒවා වඩාත් ශක්තිමත් කරන” බවයි.

“අධිරාජ්‍යවාදය යනු චීනයේ අභ්‍යන්තර සබඳතා තුල අතිශය බලගතු බලයකි”යි ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කලේය. “මෙම බලයේ ප‍්‍රධාන ප‍්‍රභවය වන්නේ යැංසිකියෑං ගංගාවේ ඇති යුද නෞකා නොව -ඒවා හුදු අතිරේක උපකාරකයන් පමනෙකි- විදේශ ප‍්‍රාග්ධනය හා ස්වදේශීය ධනේශ්වරය අතර පවත්නා ආර්ථික හා දේශපාලන බන්ධනයන්ය. අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය, හරියටම එහි ආර්ථික හා යුදමය බලය නිසා ම, චීන ජනයා අතර පතුලේම ඇති බලවේගවල බලගතු පරිශ‍්‍රමයක් ඉල්ලා සිටී. කම්කරුවන් හා ගොවීන් අධිරාජ්‍යවාදයට එරෙහිව ඉඳුරාම අවදිකර ගත හැක්කේ ඔවුන්ගේ මූලික හා ප‍්‍රගාඪතම ජීවන උත්සුකයන් රටේ විමුක්තිය දිනා ගැනීමේ අභිප‍්‍රාය සමග සම්බන්ධ කිරීමෙන් පමනෙකි.... එහෙත් වැඩකරන ජනයා අතර පීඩිතයන් හා සූරාකනු ලබන්නන් සිය දෙපයින් සිටුවීමට සිදු කෙරෙන සියලු දේ මගින් නිතැතින්ම ජාතික ධනේශ්වරය අධිරාජ්‍යවාදීන් සමග විවෘතවම කාන්ඩ ගැසීම කරා තල්ලූ කර දමනු ලැබේ. අධිරාජ්‍යවාදී මර්දනය මගින් ධනේශ්වරයත්, කම්කරු හා ගොවි ජනයාත් අතර පන්ති අරගලය දුබල නොවන අතර, ඊට පටහැනි ලෙස එමගින්, සෑම බැරෑරුම් ගැටුමකදීම ලේ වැකි සිවිල් යුද්ධ තත්වයක් කරාම වර්ධනය වන පරිදි එය වඩාත් තියුනු කෙරේ.” 4

ඉරානය වැනි ඓතිහාසිකව පීඩිත රටක පන්ති ගතිකයන් වටහා ගැනීමට ට්‍රොට්ස්කිගේ විශ්ලේශනය අත්‍යවශ්‍ය වේ. දෙවැනි කොටස තුල අප විසින් ලේඛනගත කෙරෙනු ඇති පරිදි, ඉරාන ධනේශ්වරය අධිරාජ්‍යවාදය සමග සීමිත ගැටුම් කරා යලියලිත් එලැඹ ඇති නමුදු ඒ උදක්ම, කම්කරුවන්ගේ හා වැඩකරන ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අභිලාෂයන් තම වරප‍්‍රසාදවලට හා පාලනයට තර්ජනය කරන සෑම විටම ආපසු හැරී ඔවුන් වෙත වෛරී ලෙස කඩා පැනීම සඳහාය.

එහි සම්භවයෙන් හා වොෂින්ටනය සමග ඇති සම්බන්ධතාවයන්හි ස්වභාවයෙන් ඉස්ලාමීය ජනරජය, ෂා රජයට වඩා බෙහෙවින් වෙනස් වෙයි. එතෙකුදු, එම පාලනයන් දෙකම යටතේ කම්කරු පන්තියට කවර හෝ ආකාරයක දේශපාලන ස්වාධීනත්වයක් අහිමි කෙරී ඇත.

මසහෙරිට අනුව, ඉරානයේ මෑතකාලීන කම්කරු කැලඹිලිවල මූලයෙහි පවතින ආර්ථික දුක්ගැනවිලිවලට හේතුව “අවරෝධයන් හා සම්බාධකයන්ය; දෙවනුව, අවරෝධයන් හා සම්බාධකයන්ය, තෙවනුව, .... අවරෝධයන් හා සම්බාධකයන්ය.”

ඇමරිකාව හා එහි යුරෝපීය අනුචරයන් 2011 සිට අවුරුදු පහක කාලයක් සඳහා ඉරානය මත පනවන ලද දන්ඩනකාරී සම්බාධක, අපේක්ෂිත පරිදිම, ඉරානයේ ආර්ථිකය මත අතිශය ව්‍යසනකාරී බලපෑමක් ඇති කල බව ගැන සැකයක් නැත.

කෙසේවෙතත්, ඒ හා වෙලී ගත් තවත් දේ පවතී. සෙසු ලෝකය මෙන්ම ඉරානය ද පසුගිය දශකයේ එරී තුබුනේ, ලෝක ඛනිජ තෙල් මිලෙහි කඩා වැටීම ද ඇතුලත්ව 2008 ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදයේ දුර්විපාකයන් තුලය. වඩවඩාත් ගැඹුරු වෙමින් පවතින සමාජ අසමානතාවය සහ ඒ ආශ්‍රිතව, විප්ලවය අවසාන වූ වහා හඳුන්වා දෙන ලද සමාජ සුබසාධන ආපස්සට හැරවීම සඳහා ධනේශ්වරය විසින් දරනු ලැබෙන පරිශ‍්‍රමය ද අඩුම තරමින් 1980 ගනන්වල අගභාගය කරා තරම් වන අතීතයකට උරුමකම් කියයි.

එහෙත්, ඒ සියල්ල පසෙකින් තැබූව ද මෙම ප‍්‍රශ්නය ඉතිරි වේ: ඉස්ලාමිය ජනරජය අවරෝධතා හා සම්බාධකවලට ප‍්‍රතිචාර දැක්වූයේ කෙසේද? කම්කරු පන්තියට එරෙහිව එහි ප‍්‍රහාරයේ වේගය වැඩි කිරීමෙන් හා අධිරාජ්‍යවාදය සමග එකඟතාවයකට එලැඹීමට දැරෙන එහි ප‍්‍රයත්න තීව‍්‍ර කිරීමෙනි.

2010 දී, වොෂින්ටනයත් සමග ගැටුම උත්සන්න වෙමින් පැවැති අවස්ථාවේම, දිගුකලෙක සිට ඉරාන ධනේශ්වරයේ ඉල්ලීමක්ව පැවැති මූලික පාරිභෝගික භාන්ඩ හා සේවාවන්ට ලබා දී තිබූ මිල සහන ඉවත්කිරීම ක්‍රියාවට දැමුවේ අහමඩිනිජාඞ්ගේ පාලනයයි. සහනාධාර ක‍්‍රමානුකූලව කපා දැමීම දැන් සම්පූර්න කොට ඇති තතු තුල, සදාකාලිකව ඉහල නගිමින් පවතින පාන්, ඛනිජ තෙල්, විදුලිය හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිලට “වන්දි” වශයෙන් බොහෝ ඉරාන ජාතිකයන් වෙත ලබා දෙන සොච්චම් මාසික දීමනාව ආපසු පැහැර ගැනීමට අහමඩිනිජාඞ්ගේ අනුප‍්‍රාප්තිකයා වන රවුහානි අරඅඳිමින් සිටී.

1980 ගනන්වල අග භාගයේ සිට සියලූ ඉරාන ආන්ඩු විසින් හඹා යනු ලැබ ඇති “වෙලඳපොලගැති” ප‍්‍රතිසංස්කරන තීව‍්‍ර කිරීමට ජනාධිපති හසන් රවුහානි කටයුතු කර ඇත.

ඉරානයේ සිවිල් න්‍යෂ්ටික වැඩපිලිවෙල පිලිබඳ මතභේදය සඳහා රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සෙවීමට රවුහානි දුන් තල්ලුව මුල පටන්ම බැඳී තිබුනේ, කම්කරුවන්ගේ රැකියා අහෝසිකිරීම් හා සේවයෙන් පහකර දැමීම් ද ඇතුලත්, වෙලඳපොලවාදී “ප‍්‍රතිසංස්කරන”වල තීව‍්‍ර කිරීමක් සමගය. එමෙන්ම, වොෂින්ටනය ටෙහෙරානයේ රාජ්‍ය පෙරලියක් ඇති කිරීමේ ප‍්‍රයත්නය අත්හැර දමන්නේ නම්, ඉරානය ඇමරිකානු ආධිපත්‍යයෙන් යුත් මැද පෙරදිගක “ස්ථාවරත්වය තහවුරු කිරීමට” ආධාර කරනු ඇත යන ඉඟි ද ඔහුගෙන් පලවිය.

මැද පෙරදිග ජනයා අධිරාජ්‍යවාදයට හා එහි අනුගාමික රාජ්‍යයන්ට එරෙහිව බලමුලු ගන්වා ගැනීමට ඉරාන ධනපති පන්තිය අසමත් වන්නේ, තම පන්ති ආස්ථානයේම ප‍්‍රතිඵලයක් ලෙසය, අන් සියල්ලටමත් වඩා තම දේපල ආරක්ෂා කර ගැනීමට හා විවිධ ජාතික-වාර්ගික සුලුතරයන් මත පවත්වන ආධිපත්‍යය ද ඇතුලුව ඉරානය තුල තම අධිපති ස්ථානය දිගටම දරා සිටීමට වන එහි අධිෂ්ඨානයේ ප‍්‍රතිඵලයක් ලෙසය.

එවැනි බලමුලු ගැන්වීමක් සඳහා මැද පෙරදිග කම්කරුවන් හා වැඩකරන ජනයාගේ ආවශ්‍යක පන්ති දුක්ගැනවිලි විසඳීමේ - එනම්, සැමට රැකියා හා පොදු සේවා සැපයීම, ඉඩම් හිමිකමේ ඉතිරි පහදු මුලිනුපුටා දැමීම, ධනපතීන්ගේ හා තෙල් හිමි ෂීක්වරුන්ගේ දේපල අත්පත් කර ගැනීම මගින් සමාජ සමානතාව ස්ථාපනය කිරීම, දේවස්ථාන රාජ්‍යයෙන් වෙන් කිරීම, සහ සියලු ආකාරයන්හි නිකායවාදයන් හා ජාතික පරිපීඩනයන්ට එරෙහිවීම, සඳහා වූ - වැඩපිලිවෙලක් ඉදිරිපත් කල යුතු වේ.

1978-79 අධිරාජ්‍ය-විරෝධී නැගිටීම කොල්ල කෑමට ඉරාන ධනේශ්වරයට හැකි වූ කොන්දේසි වඩාත් සවිස්තරව විමර්ශනය කිරීමට පෙර, ට්‍රොට්ස්කි හා නොනවතින විප්ලවය කෙරේ මසහෙරිගේ ප‍්‍රහාරය පිලිබඳ තවත් එක් කරුනක් සඳහන් කල යුතුව ඇත. ඔහු ට්‍රොට්ස්කිවාදය හා සංසන්දනය කිරීමේ දී ස්ටැලින්වාදයට හා මාඕවාදයට වැඩි මනාපයක් දක්වයි. මක්නිසාදයත්, ට්‍රොට්ස්කිවාදය මෙන් නොව පසු කී කොටස් සමාජවාදය “ජාතික අභිරුචීන්ට” අනුව වෙනස් කිරීමේ අවශ්‍යතාව “අගය කොට” ඇති නිසාය.

වාම ජාතිකවාදී මසහෙරි ස්ටැලින්වාදය සමග ඥාතිත්වයක් හඳුනා ගැනීම කිසිසේත් අප මවිතයට පත් නොකරයි. දේශපාලනිකව, ස්ටැලින්වාදය යනු ඔක්තෝබර් විප්ලවයට එරෙහි ජාතිකවාදී ප‍්‍රතික්‍රියාවක් විය. “තනි රටේ සමාජවාදය” යන එහි මුර පදය ඔක්තෝබර් විප්ලවය පදනම් වූ ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල විවෘතවම ප‍්‍රතික්ෂේප කිරීමක් විය.

සෝවියට් සංගමයේ හා මා ඕගේ මහජන සමූහාන්ඩුවේ ඉරනම විසින් විදහා දක්වා ඇති පරිදි, ස්ටැලින්වාදයේ ජාතිකවාදී වැඩපිලිවෙල, වඩාත් “ප‍්‍රායෝගික” වීමට බොහෝ සෙයින් පටහැනි ලෙස, සාධ්‍ය නොවන වැඩපිලිවෙලක් බව පෙනී යයි.

1925-1927 කාල පරිච්ඡේදය තුල චීන කම්කරු පන්තිය හා කොමියුනිස්ට් පක්ෂය ධනපති කුවොමින්ටානයට යටත් කිරීම, චීන විප්ලවය පීලි පැන්නවීමේ ආරම්භය විය. මා ඕ විසින් මාක්ස්වාදය “චීනකරනය” කිරීම ද, දිග ඇදුනු ගොවීන්ගේ යුද්ධය මත ඔහුගේ අනුස්ථාපනය ද, චියෑං කායි ෂෙක් අතින් චීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්ධන පන්ති පදනම සංහාරයට භාජනය වීම කෙරේ දැක්වූ උපයෝගිතාවාදී අනුවර්තනයක් විය. චීන-ජපන් යුද්ධයෙන් හා දෙවැනි ලෝක යුද්ධයෙන් නිර්මිත සුවිශේෂී තත්වයන් යටතේ මා ඕගේ ගොවි හමුදාවෝ අවසානයේ ජයග‍්‍රහනය ලැබූහ.

කෙසේවෙතත්, මහජන සමූහාන්ඩුව “තනි රටේ සමාජවාදයේ” තමාගේම සංස්කරනය සොයා යාම ද ඇතුලත් වූ සමාජවාදය කරා චීනයේ ජාතික මාවත, ට්‍රොට්ස්කි හා චීන ට්‍රොට්ස්කිවාදීන් අනතුරු හැඟවූ පරිද්දෙන්ම, ඉදිරි මාවතක් නැති ඓතිහාසික ආවෘත අන්තයක් බව ඔප්පු කලේය. 1980 ගනන්වල අග දී චීන ස්ටැලින්වාදී තන්ත‍්‍රය ධනවාදය පුනස්ථාපනය කිරීමේ මුලසුන දැරූ අතර, අද දවසේ එම තන්ත‍්‍රය කම්කරු පන්තිය නිර්දය ලෙස සූරා කන සමෘද්ධිමත් ධනපති කතිපයාධිකාරයක් වෙනුවෙන් ආන්ඩු කරයි.

මතු සම්බන්ධයි.

පාද සටහන් :

1.

[1] https://thesaker.is/iran-protests-reply-to-the-wsws-response-to-my-critique/

2. ලියොන් ට්‍රොට්ස්කි, The Permanent Revolution නොනවතින විප්ලවය “පලමු රුසියානු සංස්කරනයට පෙරවදන” (ලන්ඩන්: නිව් පාර්ක්, 1962* පි. 3.

3. එම, පි.5.

4.Leon Trotsky on China ලියොන් ට්‍රොට්ස්කි, චීනය ගැන කෘතියේ එන “චීන විප්ලවය සහ ස්ටැලින් සහෝදරයාගේ නිබන්ධයන්” ලිපියෙනි, (නිව් යෝර්ක්: මොනාර්ඞ් ප්‍රෙස්, 1976* පි. 161.

Share this article: