රාවුල් පෙක්ගේ තරුන කාල් මාක්ස්

Raoul Peck’s The Young Karl Marx

පීටර් ස්වාස් විසිනි, 2017 මාර්තු 15

ස්වභාවධර්මය හා සමාජය පිලිබඳ දැනුම, කෙටි කාලයක දී ක්ෂනික පිම්මක් ගසන කාලපරිච්ඡේද ඇත. ස්වභාවික විද්‍යාව තුල ගැලීලියෝ, ඩාර්වින් හා අයින්ස්ටයින්ගේ නම් එවැනි විප්ලව සමග බැඳී ඇත; සමාජ විද්‍යාවේ දී ඒ සමග බැඳී ඇත්තේ මාක්ස් හා එංගල්ස්ගේ නම්ය.

වසර කීපයක අවකාශයක දී මෙම පුද්ගලයින් දෙදෙන, අදහස් පිලිබඳ පෙර නො වූ විරූ විප්ලවයක් ඇති කලහ. ඔවුහු ජර්මානු විඥානවාදයෙන් බිඳුනු අතර සමාජය පිලිබඳ අවබෝධය භෞතිකවාදී පදනමක පිහිට වූහ. ඔවුහු පන්ති අරගලය ඉතිහාසයේ ගාමක බලවේගය ලෙස හඳුනා ගත් අතර සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාත්මක සමාජවාදය දක්වා වර්ධනය කලහ.

ජර්මන් බසින් පලකල චිත්‍රපටයේ පෝස්ටරයක්

මෙම යෝධ ජයග‍්‍රහනයේ සම්පූර්න වැදගත්කම, කාලයාගේ ඇවමෙන් පැහැදිලි කෙරුනි. මාක්ස්වාදය කම්කරු පන්තියේ පලමු ජනතා පක්ෂයට, එනම් ඕගස්ට් බෙබෙල් විසින් නායකත්වය දුන් ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ද, අදින් වසර 100ට පෙර රුසියාවේ ඇති වූ ඔක්තෝබර් විප්ලවයට ද න්‍යායික පදනම සැපයී ය.

ස්ටැලින්වාදය සෝවියට් සංගමය විනාස කල නමුත්, මාක්ස්වාදය මීට පෙර කවර දාකටවත් වඩා අදට වලංගු ය. ගෝලීය මූල්‍ය අර්බුදය, සමාජ අසමානතාවේ සාහසික මට්ටම්, වැඩෙන්නා වූ මිලිටරිවාදය, හා එක්සත් ජනපදය තුල ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැනි අන්ත දක්ෂිනාංශික පුද්ගලයන් ප‍්‍රමුඛත්වයට නැගීම යන මේ සියල්ල, ධනේශ්වර අවුල්ජාලයන් පිටවන මගක් සෙවීමට බොහෝ අය පොලඹවා ඇත. ඔහුගේ අන්තර්දෘෂ්ටීන් නැවත වතාවක් බැරෑරුම් ව සැලකීමට මාක්ස්ගේ විරුද්ධවාදීන්ට පවා බල කෙරී ඇත.

හයිටි දූපතේ උපන් රාඋල් පෙක් මාක්ස්වාදයේ සම්භවන (වර්ධනය වන) කාලය චිත‍්‍රපටයක් තුලින් ඉදිරිපත් කිරීමේ කර්තව්‍යය භාර ගෙන ඇත. ඔහුගේ තේමාවේ කාලෝචිත භාවය සම්බන්ධයෙන් ඔහු හොඳින් දැනුවත් ය. “මූල්‍ය අර්බුදය හේතුවෙන් ලෝකය අනතුරුදායක තත්වයක පවතින අවස්ථාවක, කාල් මාක්ස් කෙරෙහි පලවන්නේ අනපේක්ෂිත උනන්දුවකි” යි චිත‍්‍රපටය ගැන ලියවුනු ලිපියක ඔහු සඳහන් කර යි. බර්ලින් තාප්පය වැටීමේ තැන් සිට විසිපස් වසරකට වඩා වැඩි කාලයක දී, “සාවද්‍යතාව පිලිබඳ හැඟීම්වලින් තොර ව, කාල් මාක්ස් විද්‍යාවට කල දායකත්වය කරා අපාසු ඒමට” දැන් හැකි වී ඇත. චිත‍්‍රපටයේ කර්තව්‍යය වන්නේ “මෙම විද්‍යාත්මක හා දේශපාලන චින්තකයාගේ සැබෑ ප‍්‍රතිපදානය” සොයා ගැනීම බව ඔහු පැහැදිලි කලේ ය.

මාක්ස් හා එංගල්ස් අතර සහයෝගිතාව

තරුන කාල් මාක්ස් (The Young Karl Marx) චිත‍්‍රපටය නාභි ගත වන්නේ බෙහෙවින් සීමිත කාල පරිච්ඡේදයක් මත ය. එය මාක්ස් සංස්කාරක ලෙස කටයුතු කල, රේයිනිෂ් ෂේයිතුංග් පත‍්‍ර ය 1843 මාර්තුවේ දී තහනම් කිරීම සමග ඇරඹෙන අතර, සමාප්ත වන්නේ 1847දී කොමියුනිස්ට් ප‍්‍රකාශනයලිවීමත් සමග ය. මෙම වර්ෂ අතරතුර කාලය, මාක්ස් හා එංගල්ස් සුලුධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගෙන් බිඳී, නූතන සමාජවාදී කම්කරු ව්‍යාපාරයට න්‍යායික පදනම දැමූ අවධිය යි.

විකී ක්‍රීඑප්ස් (Vicky Krieps)ජෙනී මාක්ස් , ඕගස්ට් ඩීහ්ල් (August Diehl) මාක්ස්ගේ චරිතය සහ ස්ටීවන් කොනාර්ස්කේ (Stefan Konarske)එංගල්ස්ගේ චරිතය . © Frédéric Batier, Neue Visionen Filmverleih

මාක්ස් හා එංගල්ස් අතර කිට්ටු සහයෝගිතාව කෙරේ අවධානය යොමු කරමින් චිත‍්‍රපටය, මෙම වසරවල සිදුවීම් නිශ්චිත කාලානුක‍්‍රම පිලිවෙලකට නිරූපනය කරයි. එය මාක්ස්ගේ බිරිඳ ජෙනී වොන් වෙස්ට්පාලෙන් හා අයර්ලන්ත කම්කරු කාන්තාවක වූ එංගල්ස්ගේ බිරිඳ මේරි බර්න්ස්ගේ දායකත්වයන්ට අවධානය යොමු කර යි. මාක්ස් හා එංගල්ස් මත යොදන මෙම අවධානය චිත‍්‍ර පටයේ ශක්තිය ජනනය කර යි. දෙදෙනා එකිනෙකා මත බලපාමින් කිට්ටු පුද්ගලික මිත‍්‍රත්වයක් වර්ධනය කර ගන්නේ කෙසේ ද යන්න පෙක් විචිත‍්‍රවත් ලෙස පෙන්වා දෙයි.

1970 ගනන්වල බටහිර බර්ලිනයේ ශිෂ්‍යයෙකු ලෙස සිටියදී මාක්ස්වාදය කෙරේ යොමුවූ පෙක්, එකල ඔවුන් පිලිබඳ ව “බටහිර මාක්ස්වාදී” කවයන් අතර පොදුවේ දක්නට ලැබුනු, “අරුමැසිවාදී” (romantic) මෙන් ම “ගුප්ත විඥානවාදී” මාක්ස් හා භෞතිකවාදී එංගල්ස් අතර ප‍්‍රභේදයක් ඇති කිරීමේ මොනම උත්සාහයකටවත් ඉඩක් නොතබයි. චිත‍්‍රපටය යලියලිත් මාක්ස් “ශ්‍රේෂ්ට භෞතිකවාදියෙකු” ලෙස හඳුන්වන අතර මාක්ස් හා එංගලස් අතර මිත‍්‍රත්වයේ විප්ලවවාදී පදනම සවිස්තර ව ගෙනහැර දක්ව යි: එනම්, පවතින්නා වූ සූරා කෑමේ කොන්දේසි හා සුලුධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ දිරිබල සුන්වූ තත්වයෙන් මුලුමනින්ම වෙන්වීම පිලිබඳ ඔවුන්ගේ අධිෂ්ඨානය යි.

පලමු දර්ශනය ම නිරූපනය කරන්නේ, එකල නීතියට අනු ව දඬුවම් ලැබිය යුතු වරදක් වූ කැලෑවක දර එකතු කරන දුප්පත් මිනිසුන් කුරිරු ලෙස සංහාරය කරන දර්ශනයකි. රේයිනිස්ෂේ සේයිතුංග් හි මාක්ස්ගේ ලිපියක් උපුටා දැක් වේ: “ජනතාව දඬුවම දකිති, නමුත් අපරාධය නො දකිති. දඬුවම ඇති තැන අපරාධය නො දකින බැවින්, ඔබ එයට බිය විය යුතු ය, මන්ද එය පලි ගනු ඇති බැවිනි.”

පෘසියන් වාරනයට සහනශීලී වීම සඳහා නිරන්තරයෙන් පෙනී සිටි රේයිනිස්ෂේ සේයිතුංග් තහනම් කිරීම, තහනම ගැන මාක්ස්ගේ කර්කෂ විවේචන පිලිබඳව දෝෂාරෝපනය කල, තරුන හේගල්වාදීන් හා මාක්ස් අතර දරුනු මතභේදයකට මග පෑදී ය.

මාක්ස් මෙසේ පිලිතුරු දෙයි: “ඔබ සියලුදෙනා සිතන්නේ වචන උඩ ඇතිකරගන්නා කෙස් පැලෙන තර්ක ගැන යි. ඔබලා නො පැහැදිලි සාහිත්‍ය විචාර හා නො පැහැදිලි දේශපාලන අදහස් පිලිබඳව විමර්ෂන කරන්නෝය. තරුන හේගල්වාදීන්, නිදහස් චින්තකයින් යයි කියා ගන්නා ඔබලා, පිලිගැනීම සොයමින්, දිගට ම විනෝද වෙති! ඇනුම්පද සමග කලහ කිරීමෙන් මම හෙම්බත්ව සිටින්නෙමි. මම කුහකත්වය සම්බන්ධයෙන් ද වෙහෙසටපත් ව සිටිමි. අපි තනහනම් කෙරිලා. එසේ වුනාදෙන්!”

වසර 16කට පසු එම කාලයේ තම වර්ධනයන් ගැන මාක්ස් ම මෙසේ සඳහන් කලේ ය: “1842-43 වසරේ දී, රේයිනිස්ෂේ සේයිතුංග් පත‍්‍ර යේ සංස්කාරක ලෙස, ද්‍රව්‍යමය අවශ්‍යතා ලෙස ප‍්‍රසිද්ධ කරුනු ගැන සාකච්ඡාවන්ට එලඹීම ගැන මම පලමු වතාවට ලජ්ජාවට පත්වීමේ තත්වයකට පත්වීමි. කැලෑ හොරුන් හා ඉඩම්කඩම් බෙදීම පිලිබඳ රයින් රාජ්‍ය සභාවේ විවරන... මගේ අවධානය නො පමාව ආර්ථික ප‍්‍රශ්නවලට හැරවීම කෙරෙහි බල පෑවේ ය.”

රේයිනිස්ෂේ සේයිතුංග් තුල දැකිය හැකි” වූ “දර්ශනවාදයෙන් යාන්තම් පැහැ ගැන්වුන, ප‍්‍රන්ස සමාජවාදය හා කොමියුනිස්ට්වාදයේ දෝංකාරයට” මාක්ස් විරුද්ධ වූයේ, එය “කලා ලෝභිත්වය” යැයි නම් කරමිනි. කෙසේ නමුත්, ඔහුගේ පූර්ව අධ්‍යයන “ප‍්‍රන්ස න්‍යා”යන්ගේ අන්තර්ගතය ගැන මොන යම් හෝ අදහසක් ප‍්‍රකාශ කිරීමට” ඔහුට අවසර නො දුන්නේ ය. “රේයිනිස්ෂේ සේයිතුංග් පත‍්‍රයේ පාර්ශ්වයෙන් ගත් කල, වඩා අනුගතවූ ප‍්‍රතිපත්තියක් මගින්, මිනිසුන්ට එරෙහිව පැනවෙන මරන දන්ඩනය අවලංගු කර ගැනීමට ඉඩ ඇතැ යි යන මිත්‍යාව තෙරොම්බල් කරන විට, ප‍්‍රසිද්ධ වේදිකාවේ සිට මගේ අධ්‍යයනය දෙසට හැරීම සඳහා මා එම අවස්ථාව සතුටින් භාර ගත්තේ එබැවිනි.”

චිත‍්‍රපටයේ එක් කේන්ද්‍රීය අවස්ථාවක් වන්නේ, මැන්චෙස්ටර් නගරයේ සිය පියාගේ රෙදිපිලි ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් ලිපිකරුවෙකු ලෙස වැඩ කිරීමෙන් ද කම්කරු පන්තිය ජීවත්වූ ප‍්‍රදේශවල පැවති බිහිසුනු කොන්දේසි ද පිලිබඳ ව එංගලස් එංගලන්තයේ දී ලැබූ අත්දැකීම් ය. ඔහුගේ පෙම්වතිය වූ මේරි බර්න්ස්ට ස්තුති වන්නට එංගල්ස්ට, කම්කරුවන්ගේ වාසස්ථානවලට ප‍්‍රවේශ විය හැකි විය. එම ක්‍රියාවලිය තුල දී ඔහුට ගුටිකෑමට සිදුවූ අවස්ථා ද නොතිබුනේ නැත. මෙහි දී ඔහු, 1845දී පල කෙරනු, එංගලන්ත කම්කරු පන්තියේ තත්වය (The Condition of the Working Class in England) නම් පොත සඳහා කරුනු එක් රැස් කර ගත්තේ ය.

මෙම කෘතිය “ධනවාදයට හා ධනේශ්වරයට එරෙහි බියකරු චෝදනාවක්” පමනක් නො වේ යැයි පසුව ලෙනින් ලිවී ය. “කම්කරු පන්තිය දුක් විඳින පන්තියක් පමනක් නො වේ යැයි පලමුව පැවසුවේ එංගල්ස් ය; සැබවින් ම කම්කරුවන්ගේ නින්දා සහගත ආර්ථික තත්වය මගින් නො වැලක්විය හැකි සේ ඔවුන් ඉදිරියට තල්ලු කරන්නාක් මෙන් ම තම අවසන් විමුක්තිය සඳහා සටන් කිරීමට ද බල කර යි. තව ද කම්කරු පන්තියේ සටන් වලින් ඔවුන්ටම සෙත සලසා ගනු ඇත.”

සම්භාව්‍ය ඉංග්‍රීසි අර්ථශාස්ත‍්‍රඥයින්ගේ ලේඛනවල වැදගත්කම මාක්ස්ට පෙන්වා දුන්නේ එංගල්ස් යැයි චිත‍්‍රපටය පෙන්වා දෙනු ලැබීම සම්පූර්නයෙන් නිවරැදි ය. ජර්මානු-ප‍්‍රන්ස වාර්ෂික ග‍්‍රන්ථය සමග ආරම්භයේ දී ඔවුන්ට පැවති සහයෝගිතාව, එංගල්ස් විසින් ප‍්‍රසිද්ධ කෙරුන “ජාතික ආර්ථිකය පිලිබඳ විවේචනයක කටුසටහන,” (Outline of a Critique of National Economy) නම් ලිපිය, පසුව ප‍්‍රාග්ධනය (Capital) කෘතිය තුල මාක්ස් වඩා පරිසමාප්ත ව වර්ධනය කරන ලද අදහස් බොහාමයක් පෙරදුටුවේ ය.

චිත‍්‍රපටයේ වඩාත් හාස්‍ය ජනක පසු දර්ශනයක දී, එංගල්ස්, මාක්ස් හා මේරි බර්න්ස්, ලන්ඩන් සමාජ ශාලාවක දී එංගල්ස්ගේ පියාගේ මිතුරෙකු මුන ගැසුන අවස්ථාව නිරූපනය කෙරේ. තම කම්හලේ ලමුන් සේවයේ යොදවන මෙම ව්‍යවසායකයා, රාත්‍රී මුරය ඔවුන්ගේ සෞඛ්‍යයට බල නො පාන බව දැඩි ලෙස කියා සිටියි. “ඔබ අදහස් කරන්නේ, ඔවුන් ඔබගේ සෞඛ්‍යයට බලපාන්නේ නැති බව දැ” යි මේරි බර්න්ස් විමතියට පත් හාම්පුතාගෙන් අසයි.

ප‍්‍රන්ස-ජර්මානු-බෙල්ජියම් සාමූහික නිෂ්පාදනයක් වන චිත‍්‍රපටයේ ප‍්‍රමුඛ චරිත සඳහා පෙක් තෝරා ගෙන ඇත්තේ ජර්මානු නලුවන් ය. ඕගස්ට් ඩීහ්ල් මාක්ස්ගේ චරිතය, තීක්ෂනභාවය හා බුද්ධිමය අධිකාරිත්වය සමග ඒකාබද්ධ කරමින් ලගන්නා අයුරු නිරූපනය කරයි. ස්ටීවන් කොනාර්ස්කේ ප්‍රිය මනාප එංගල්ස් කෙනෙකු රඟ දක්වයි, ඒ සමහරවිට ඕනෑවට වඩා ප‍්‍රසාද ජනක ලීලාවකිනි.

විකී ක්‍රීඑප්ස් බොහෝ විශ්වාසනීය ජෙනී මාක්ස් නිරූපනය කරයි. සංක‍්‍රමනිකයන්ගේ ඉරනම බෙදා හදා ගැනීමට ද විප්ලවවාදියෙකුගේ බිරිඳ වීමට ද තම වංශවත් ශික්ෂනය අත හැර දැමූ ඇය, ඒ වෙනුවෙන් මොහොතකු දු සන්තාප නො වූවා ය. හනා ස්ටීල් කැරලිකාර මෙන් ම ස්වාධීන අයර්ලන්ත ගැහැනියක වූ මේරි බර්න්ස් ලෙස රඟපාන නමුත් අඟවන පරිදි ඇය, එංගල්ස් හඳුනා ගන්නේ ජ්‍යෙෂ්ට එංගලස්ගේ කම්හලේ කැරලිකාර කම්කරුවන්ගේ කල්ලි නායිකාවක ලෙසය යන්න සැබෑවක් බවට චිත‍්‍රපටයෙන් සහතික නො කෙරේ.

සහාය භූමිකාවන් ද හොදින් නිරූපනය වේ. ඔලිවර් ගෝමට් යම් ප‍්‍රමානයක පන්ඩිතමානී පෘදොන් කෙනෙකු මෙන් රඟපාන අතර ඇලෙක්සැන්ඩර් ස්ෂිර්, අත්‍යාලංකෘත වාක්‍යන ඛන්ඩවලින් කතා පවත්වන අශෝභන වීට්ලිංග් කෙනෙකු ලෙස රඟපායි.

දේශපාලන ගැටුම්

මාක්ස් හා එංගල්ස් තම ඓතිහාසික භෞතිකවාදී ලෝක දෘෂ්ටිය වර්ධනය කලේ ධනේශ්වර විප්ලවය අද්දර දී ය. 1948දී එය යුරෝපය පුරා පැතිර ගියේ, ධනේශ්වරය හා මධ්‍යම පන්තික ස්ථර මෙන් ම ආචීර්නකල්පික ශිල්පීන්ගේ උත්සුකයන් වෙනුවෙන් පෙනී සිටි ප‍්‍රවනතාවන්ගේ නියෝජිතයින් සමග කටුක වාදවිවාද ඔස්සේ ය.

චිත‍්‍රපටය මෙම ගැටුම්වලට බොහෝ අවකාශ ලබා දෙයි. චිත‍්‍රපටය අතරතුර දී බොහෝ විට හමුවන වෙනත් අය අතර, තරුන හේගල්වාදීවන් වන මැක්ස් ස්ටර්නර් හා බෲනෝ බවර්, ජර්මානු-ප‍්‍රන්ස වාර්ෂික ග‍්‍රන්ථයේ සංස්කාරක ආනොල්ඩ් රූජ්, ප‍්‍රන්ස සමාජවායෙකු වන පියෙරේ පෘදොන්, සත්‍ය සමාජවාදියෙකු වන මෙසෙස් හෙස් හා කාල් ගෲන්, හා යුතෝපියානු විල්හෙම් වීට්ලිංග් ද වේ.

සංවාද විශාල වසයෙන් මුල් මූලාශ‍්‍ර මත පදනම් වුව ද, මතභේද මොනවා ගැන ද යන්න වටහා ගැනීම බෙහෙවින් අපහසු ය. එක් හේතුවක් ක්‍රියාවලියේ නාටකීය දිගහැරීමයි. දෙදෙනාම තවමත් අවුරුදු 30ක් නොඉක්මවන, තම ප‍්‍රධාන පාත‍්‍රයින්ගේ ජීවිත, සියලුම පැතිවලින් නිරූපනය කිරීමට චිත‍්‍රපටය උත්සාහ කරයි: ආදරය, උප්පත්තිය, සල්ලාලකම, ද්‍රව්‍යමය අලාමුලාව, දෙමව්පියන් සමග ගැටුම් යනාදිය. තමන්ගේ අභිප‍්‍රාය වූයේ “යටිරැවුල සහිත වයසක මිනිසා” පැත්තකට දමා “වාරනය යටතේ මෙන් ම ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය ආසන්නයේ දී පුපුරන සුලු යුරෝපයේ ... මෙම විශ්මිත තුන්කට්ටුවේ නිර්භීත කි‍්‍රයා” පුනරීක්ෂනය කිරීම බව පෙක් පැවසී ය.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, මතභේදයන්ගේ දේශපාලන අන්තර්ගතය නිතරම පවතින්නේ අප‍්‍රකටව ය. ප්‍රේක්ෂකයා එක මාතෘකාවක් පොර බැදීමට පෙර, චිත‍්‍රපටය ඊ ලඟ දර්ශනයට මාරු වෙයි. මෙහි දී, එක්තරා ආකාරයක වඩා හෙමින් සිදුවන මාරුවක් කමනීය වන්නට ඉඩ තිබුනි. චිත‍්‍රපටය දෙවතාවක් බැලීමට තරම් වටී.

දිග්ගැස්සුනු කාලපරිච්ඡේදයක් තිස්සේ වර්ධනය වූ ක්‍රියාදාමයන් තනි සිදුවීමකට සිඳලීම ද එමෙන් ම ප‍්‍රශ්න ඇති කර යි. නාටකාකාරව මෙය යුක්තිසහගත වනු ඇති නමුත්, එය චිත‍්‍රපටය හෑල්ලු කර යි.

සැබෑ ජීවිතයේ දී, මාක්ස් හා එංගල්ස් දිග්ගැස්සුන කාලපරිච්ඡේදයක් තිස්සේ එකිනෙකා දැන සිටියහ. මාක්ස් රේයිනිස්ෂේ ෂේයිතුංග පත‍්‍රය භාර ව සිටි අවස්ථාව වන විටත් එංගල්ස් කොලෝන් හි දී මාක්ස් මුන ගැසී තිබුනු අතර, එංගල්ස් ද එම පුවත්පතට ලිපි ලිව්වේ ය. කොලෝන් හි ඔවුන්ගේ පලමු හමුව ඇල්මැරුන එකක් වූයේ, මාක්ස් ඒ වන විටත් තරුන හේගල්වාදීන්ගෙන් බිඳී සිටි අතර, එංගල්ස් තවමත් ඔවුන්ට සහාය දැක්වූ බැවිනි. ඒසේ නමුත් පැරීසියේ දී ඔවුන්ගේ යාවජීව මිත‍්‍රත්වය පටන් ගැනීමට පෙර, ඔවුන් ඒ වන විටත් දැන සිටි අතර, එකිනෙකාගේ වැඩ අගය කලහ.

කෙසේ නමුත් චිත‍්‍රපටයේ දී, (බර්ලිනයේ දී අහඹු හමුවීකට අමතරව) මාක්ස් හා එංගල්ස් එකිනෙකා හමුවන්නේ ආනෝල්ඩ් රූජ්ගේ පැරිස් නිවාසයේ දී ය. වාචිකව එකිනෙකාට චෝදනා කිරීමෙන් ඇරඹි, ඊට පසු අන්‍යොන්‍ය ප‍්‍රශංසා සමගින් තෙමේ ම එකිනෙකා පරයා යාමට උත්සාහ කර, අවසානයේ දී චෙස් ක‍්‍රීඩාවක් හා අධික මත්පැන් සමග ඔවුන්ගේ මිත‍්‍රත්වය තහවුරු කර ගනිති. මේ සියල්ල සිදුවන්නේ එක දිනක දී ය. මෙය කෘතිම බව පෙනෙන අතර විශ්වසනීයත්වයෙන් තොර ය.

මාක්ස් හා එංගල්ස් චෙස් ක‍්‍රීඩාව සමග ඔවුන්ගේ මිත‍්‍රත්වය තහවුරු කර ගනිති. © Kris Dewitte, Neue Visionen Filmverleih

ඊට පසු දර්ශන ඊටත් වඩා නො වැදගත් ය. බීමත් දෙපොල පැරීසියේ වීදි ඔස්සේ වැනි වැනී යති, මාක්ස් කානුවක වමනය කර, ඊට පසු නොපැහැදිලි සේ මෙසේදොඩවයි: “ඔබ දන්නවා ද, මං හිතන්නේ මම යමක් තේරුම් ගත්තා කියලා. දර්ශනවාදියෝ නොයෙක් ආකාරයෙන් ලෝකය විවේචනය කලා විතර යි. නමුත්, කාරනය එය වෙනස් කිරීමයි.” සමස්ත චිත‍්‍රපටය තුල ඇති අතිශය ලජ්ජාව දනවන දර්ශනය මෙය යි.

සැබවින් ම, මෙහි අංක 11ලෙස දැක්වෙන, මාක්ස්ගේ ෆොයබාක් ගැන ප‍්‍රවාද (Theses on Feuerbach) ඓතිහාසික භෞතිකවාදී ලෝක දෘෂ්ටිය විස්තාරනය කිරීමේදී අතිවිශාල වර්ධනයක් නියෝජනය කලේ ය. හේගල් හා තරුන හේගල්වාදීන්ගේ විඥානවාදයට අභියෝග කරමින්, මාක්ස් හා එංගල්ස් ලුඩ්විග් ෆොයබාක්ගේ භෞතිකවාදය දෙසට හැරී තිබුනි. කෙසේ නමුත්, ඔහුගේ භෞතිකවාදය අක්‍රීය මෙන් ම සමපේක්ෂක වූයේ, මාක්ස් පෙන්වා දෙන පරිදි, ඔහු ”‘විප්ලවවාදී’,‘ප‍්‍රායෝගික-තීරනාත්මක’ ක්‍රියාකාරකම්වල වැදගත්කම අවබෝධ” නො කර ගත් බැවිනි.

මෙම දර්ශනයෙන් පෙන්නම් කරන ආකාරයට, මාක්ස්ට ප‍්‍රශ්නය වූයේ, ලෝකය වෙනස් කිරීම එය විවේචනය කිරීමට ප‍්‍රතිවිරුද්ධව පිහිටුවීම හා එක්තරා ආකාරයකට අන්ධ භාවිතාවන් ප‍්‍රචාරය කිරීම නො වේ. මාක්ස් අවධාරනය කලේ, ලෝකය හොඳින් අවබෝධ කර ගත හැක්කේ මානව ක්‍රියාකාරකම් සංයුක්ත කිරීම මගින් පමනක් බව යි. ඊට පසු එය දැනුවත්ව වෙනස් කිරීම සඳහා පදනම සපය යි.

සාධාරනත්වයේ ලීගය

චිත‍්‍රපටයේ අවසාන තුනෙන් එක් පංගුව දිග හැරෙන්නේ සාධාරනත්වයේ ලීගය තුල මාක්ස් හා එංගල්ස්ගේ ක්‍රියාකාරකම් සමගිනි. එය පෙන්වන්නේ එම කාලයේ දී පවා කම්කරු පන්තියේ ජාත්‍යන්තර පක්ෂයක් ස්ථාපිත කිරීමට ඔවුන් වැඩ කල බව යි. බ‍්‍රසල්ස් හි දී ඔවුහු කොමියුනිස්ට් නියෝජිත කමිටුව ආරම්භ කලහ. මෙය රටවල් ගනනාවක් සමග සම්බන්ධකම් තහවුරු කර ගැනීමට සමත් විය. 1847 ආරම්භයේ දී ඔවුහු, පිටුවාහල් වීමට බල කෙරුනු ජර්මානු කම්කරුවන් හා ඇඳුම් මහන්නන් විසින් 1836දී ආරම්භ කරන ලද සාධාරනත්වයේ ලීගයෙහි සාමාජිකයින් එක් කර ගත්හ. ලීගය දේශපාලන හා සමාජ විප්ලවය ප‍්‍රචාරය කල අතර රටවල් කීපයක උප ශාඛා තිබුනි.

සාධාරනත්වයේ ලීගය තුල මාක්ස් © Frédéric Batier, Neue Visionen Filmverleih

මාක්ස් හා එංගලස් වැඩ කලේ මැනවින් සිතා බැලූ විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් මත ලීගයේ වැඩ කටයුතු පදනම් කරමිනි. මේ සඳහා ලීගය මත සැලකිය යුතු බලපෑමක් පැවත් වූ නොයෙකුත් සුලුධනේශ්වර ප‍්‍රවනතාවන්ට එරෙහිව බරපතල අරගලයක් අවශ්‍ය විය. දැඩි තීව‍්‍රතාවකින් චිත‍්‍රපටය, ලීගය තුල පිපිරුනු දේශපාලන අරගලය ප‍්‍රති නිර්මානය කරයි. මෙහි දී ද ඇතම් විට උනුසුම් වාද විවාද, මතභේදයට තුඩු දුන් කාරනාවල අන්තර්ගතයෙන් ඉවතට ගමන් කර යි.

පෘදොන් සමග මාක්ස්ගේ ගැටුම දර්ශන ගනනාවක දී සාකච්ඡා කෙරේ. චිත‍්‍රපටය මුල දී, කාල් හා ජෙනී මාක්ස් විභූෂිත මධ්‍යම පන්තික සමාජවාදියා මෙන් ම අරාජකවාදයේ පුරෝගාමියා කතා පවත්වන පැරීසියේ විශේෂ භෝජන සංග‍්‍රහයකට සහභාගී වෙති. මාක්ස් පෘදොන්ගේ “දේපල යනු සොරකමයි” යන ප‍්‍රසිද්ධ වක්‍යාංශය විවේචනය කර යි, ජෙනී මුඛරි උපහාසයෙන් සඳහන් කරන පරිදි එය, “වට රවුමේම කැරකීමකි.” දේපල යනු සොරකම නම්, සොරකම යනු කුමක් ද? දේපල දුෂ්පරිහරනය යි?

එනමුදු, පෘදොන් සමග සම්බන්ධතා මිත‍්‍රශීලී ව පවතී. කෙසේ නමුත්, 1846දී, පෘදොන් තම දරිද්‍රතාවේ දර්ශනවාදය (The Philosophy of Poverty) ප‍්‍රසිද්ධ කල විට, මාක්ස් ප‍්‍රතිචාර දැක්වූයේ දර්ශනවාදයේ දරිද්‍රතාව ( The Poverty of Philosophy) නම් කෘතිය ලිවීමෙනි. එකී පොත පෘදොන්ගේ න්‍යායන් කෑලිවලට ඉරා දමන අතර ඓතිහාසික භෞතිකවාදය පිලිබඳ පලමු ක‍්‍රමානුකූල විශ්ලේෂනය සමගින් ඒවාට උත්තර දෙයි.

සාධාරනත්වයේ ලීගය ස්ථාපනය කිරීමේ දී ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර තිබූ ඇඳුම් මසන්නෙකු වන විල්හෙම් වීට්ලින්ග් සමග විවාදයන්ට ද චිත‍්‍රපටයේ සෑහෙන කාලයක් දෙනු ලැබේ. වීට්ලින්ග් කොමියුනිස්ට් අදහස් ආරක්ෂා කලේ ය, ඔහු එය යථාවත් කිරීමට උත්සාහ කලේ යුතෝපියානු ක‍්‍රමෝපායන් සමගිනි. කම්කරු පන්තියට විද්‍යාත්මක න්‍යායක් අවශ්‍ය බවත් විශේෂයෙන් ම සදාචාරය හා හැඟීම් මත පාදක ප‍්‍රචාරය සමග සෑහීමකට පත් විය නො හැකි බවත් ඒත්තු ගැන්වීමට මාක්ස් හා එංගල්ස් උත්සාහ කලහ.

අවසානයේ දී එහි මතුවූයේ විවෘත බෙදීමකි. “අපරාධකාරයෝ හතලිස්දාහකගේ උදව් ලබා ගෙන, සන්නද්ධ කම්කරුවෝ සියදහසකට, ධනේශ්වර පීඩනය අවසන් කිරීමට පුලූවන්” බව රැස්වීමේ දී වීට්ලින්ග් ප‍්‍රකාශ කිරීමෙන් පසු, මාක්ස් මෙසේ පිලිතුරු දෙයි: “ඔවුන්ට නිර්මානාත්මක සිද්ධාන්තයක් දෙන්නේ නැතිව, කම්කරුවන් ඒකරාශී කිරීමට උත්සාහ ගැනීම, එක පැත්තක ආවේශ වූ අනාගත වක්තෘවරයෙකු ද අනෙක් පැත්තේ නිහඬ මෙන් ම දුබල මිනිසුන් ද ඇති වංක හා හිතුවක්කාරී සෙල්ලමක්.”

තදින් අමනාපවූ වීට්ලින්ග් ලිපි දහස් ගනනකට ඇඟිල්ල දිගු කර පවසන්නේ, “මේවා මට ඔප්පු කරන්නේ, පීඩාවිඳින මිනිසුන්ගෙන් බොහෝ ඈතට තල්ලූ වෙච්ච, කාමර ඇතුලේ සිද්ධාන්තවලට වඩා, මගේ මධ්‍යස්ථ වැඩවලට විශාල බරක් ඇති බව යි” යනුවෙනි. මාක්ස් කෝපයෙන් කෑගසා පවසන්නේ: “අඥානකම කාටවත් උදව් කර නෑ, කවදාවත් නෑ.”

අවසානයේ දී, වීට්ලින්ග් ශාලාවෙන් පිටවන්නේ මෙසේ කියමිනි, “මම තමයි ගිලටිනයේ පලවෙනි ගොදුර. ඊ ලඟට ඔබේ වාරය. ඊ ලඟට ඔබේ යහලුවන්ගේ වාරය. අවසානයේ දී ඔබලා ඔබලාගේම බෙල්ල කපා ගන්නවා. විවේචනය තිබෙන ඔක්කොම දේ කා දමනවා. කිසි දෙයක් නැති උනාම තමන් ම කා දමනවා.”

මෙම දර්ශනය නො පැහදිලිය. එය පැහැදිලි කල හැක්කේ, ක්‍රියාමාර්ගික හා න්‍යායික පැහදිලිකම සඳහා වන මාක්ස්ගේ අරගලය ගැන විවේචනයක් ලෙස ය. ඔහුගේ චිත‍්‍රපටයෙන් පැහැදිලි වන පරිදි පෙක්ට, ස්ටැලින්වාදයේ අපරාධවලට මාක්ස්වාදය වග කිව යුතු යයි කියන අය සමග පොදු කිසිවක් නැත. කෙසේ නමුත්, චිත‍්‍රපටය ගැන අදහස් දැක්වීමක දී “‘මාක්ස්වාදය’ ද ඇතුලු සියලු චිරන්තන දෘෂ්ටි ධාරාවන්” පිලිබඳව ඔහු තම අවිශ්වාසය ප‍්‍රකාශ කලේ, උද්දෘත ලකුනු තුල ‘මාක්ස්වාදය’ යන්නෙන් ඔහු අදහස් කලේ කුමක් දැ යි විශේෂයෙන් සඳහන් නො කරමිනි.

ව්‍යසන, ප‍්‍රධාන සිදුවීම්, දේශපාලන නායකයින් හා ගෙවී ගිය වසර සියයේ විරෝධතාවන්ගේ වේගවත් ප‍්‍රතිරූප අනුක‍්‍රමයක් සමග, බොබ් ඩයිලන්ගේ සංගීතයට අනුව, චිත‍්‍රපටය අවසන් වීම ද කැපී පෙනේ. එය චේ ගුවේරා, පැට්‍රිස් ලූමුම්බා හා (වෝල් වීදිය) වාඩිලා ගැනීමේ ව්‍යාපාරයේ රූපරාමු ප‍්‍රධාන වසයෙන් දැක් වුව ද, ලෙනින්ගේ, ට්‍රොට්ස්කිගේ හා ඔක්තෝබර් විප්ලවයේ දර්ශන ඇතුලත් කර නොමැත. මේ ආකාරයෙන් චිත‍්‍රපටය විචිත‍්‍රව පෙන්නුම් කරන පරිදි, පෙක් නිශ්චිතව ම උත්කර්ෂයට නංවන්නේ, මාක්ස් මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කල සුලු ධනේශ්වර දේශපාලන මාදිලියකි.

රාවුල් පෙක් ඉපදුනේ හයිටියේ ය, වැඩුනේ සයිරේහි (කොංගෝ) එක්සත් ජනපදයේ හා ප‍්‍රන්සයේ වන අතර ඉගෙන ගත්තේ බර්ලිනයේ ය. දේශපාලනික ව, විප්ලවවාදී මාක්ස්වාදයට වඩා ඔහු හැම විට ම වඩා කිට්ටු වුනේ, අධිරාජ්‍ය විරෝධී ජාතික ව්‍යාපාරයන්ට ය. ඔහුගේ හොඳ ම චිත‍්‍රපටවලින් දෙකක් සාකච්ඡා කරන්නේ, ස්වාධීන කොංගෝවේ පලමු අගමැති පැට්‍රිස් ලුමුම්බා ගැන ය, පෙක් තරුනයෙකු ලෙස ලුමුම්බාගේ මරනය අත්දැක්කේ ය. පෙක් 1996 සිට 1997 දක්වා හයිටියේ සංස්කෘතික ඇමතිවරයා විය.

පෙක් ගේ සම-කර්තෘ පැස්කල් බොනිට්සර්ට ප‍්‍රන්ස “වාම” සිනමාව තුල දීර්ග ඉතිහාසයක් ඇත. 1970 ගනන්වල එය මා ඕවාදී, පශ්චාත් ව්‍යූහවාදී අවධියක් අත්විඳිමින් සිටි අවස්ථාවක පලවූ, කැහිඅර්ස් ඩු සිනෙමා ( Cahiers du Cinema )නම් චිත‍්‍රපට සඟරාව තුල ඔහු ප‍්‍රමුඛ භූමිකාවක් රඟ පෑවේ ය.

එබැවින් චිත‍්‍රපටයේ ඇතම් දුර්වලතා, පැය දෙකක චිත‍්‍රපටයක් තුල සංකීර්න න්‍යායික සාකච්ඡාවක්, ප‍්‍රමානවත් ලෙස නිරූපනය කිරීම පිලිබඳ දුෂ්කරතාවක ප‍්‍රතිඵලයක් පමනක් නොව, මාක්ස්වාදය ගැන සිනමාකරුවන්ගේ පාර්ශ්වයේ පවතින නිශ්චිත නො එකඟතාවක කොටසක් බව පිලිගත යුතු ය.

කෙසේ නමුත් මෙය, චිත‍්‍රපටයේ අවසානයට බල නො පායි. 1947දී සාධාරනත්වයේ ලීගය කොමියුනිස්ට් ලීගය බවට පරිවර්තනය කෙරුනු අවස්ථාවේ මාක්ස් හා එංගල්ස් දැවන්ත සාර්ථකත්වයක් අත්විඳි අතර “සියලු මනුෂ්‍යයෝ සහෝදරයෝ ය” යන එහි කේන්ද්‍රීය සටන්පාඨය “සියලු රටවල කම්කරුවනි එක්වව්!” යනුවෙන් වෙනස් කරයි. එක්සත් ජනපදය ද ඇතුලූව රටවල් හතක ශාඛා30ක නියෝජිතයින් සහභාගී වූ කොමියුනිස්ට් ලීගයේ දෙවැනි සම්මේලනය, එහි ක්‍රියාමාර්ගය වන කොමියුනිස්ට් ප‍්‍රකාශනය (Communist Manifesto) ලිවීම මාක්ස් හා එංගල්ස්ට පවර යි.

චිත‍්‍රපටය අවසන් වන්නේ මාක්ස්, එංගල්ස් හා ජෙනී කොමියුනිස්ට් ප‍්‍රකාශනය පිලිබඳව උද්යෝගයෙන් වැඩ කරමින්, මෙම අතිවිශිෂ්ට ඓතිහාසික ලියවිල්ලේ ඡේද ශබ්ද නගා කියවමිනි.

දුර්වලතා නො තකා චිත‍්‍රපටය, මාක්ස්වාදය හැදෑරීමට තරුනයන් දිරිමත් කරන්නේ නම්, එය වැදගත් කර්තව්‍යයක් ඉටු කරනවා ඇත.

Share this article: