ආන්ඩුව නාගරික කොමසාරිස් දඩමීමා කරගනිමින් මීතොටමුල්ල ව්‍යසනයේ සැබෑ වගකිවයුත්තන් වසන් කිරීමේ ප‍්‍රයත්නයක යෙදෙයි

විලානි පීරිස් විසිනි, 2018 මාර්තු 10

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් ඇති කෙරුනු ව්‍යසනයේ වරදකරු ලෙස කොලඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර නම් කරමින්, බස්නාහිර පලාතේ ආන්ඩුකාර කේ.සී. ලෝගේශ්වරන් විසින්, ඔහු එම ධුරයෙන් ඉවත් කොට තිබේ.

මෙය, විනාශයට වගකිවයුතු ආන්ඩුවල වගකීම යට ගැසීමේත් එහි මූලය වන ධනේශ්වර පද්ධතිය කොක්කෙන් මුදා හැරීමේත් උත්සාහයකි.

2017 අප්‍රේල් 14 වන දා මීතොටමුල්ල කසල කන්ද නාය යෑමෙන් 32 ක් මරනයට පත්වූ අතර නිවාස 146ක් මුලූමනින්ම විනාශ විය. දහස් ගනනකට උන්හිටිතැන් අහිමි විය. කසල කන්ද අඩි 200 ක් පමන උසට අක්කර 22 ක් පුරා පැතිරී තිබිනි.

අවදානම් සහගත තත්වයක් තිබෙන බව පවසා තවත් පවුල් සිය ගනනක් පසුව ඉවත්කර ඇත. ඒ අවට පදිංචිව සිටින නිවැසියන්ටද ඉවත් විය යුතු බවට අනතුරු අඟවා තිබෙන නමුත්, විකල්ප වාසස්ථාන සපයා දීම සම්බන්ධයෙන් කවර හෝ වැඩපිලිවෙලක් නොමැති තතු තුල, අවදානම දරාගෙන ජීවත් වීමට ඔවුනට බල කෙරී ඇත.

ව්‍යසනය සම්බන්ධයෙන් ආන්ඩුවට එල්ල වූ බරපතල මහජන විරෝධය හමුවේ ඒ පිලිබඳව පරීක්ෂනයක් පැවත්වීමට යැයි කියමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කල ඒකපුද්ගල කොමිසමේ නිර්දේශ පරිදි, මාර්තු 2 වන දා, කොමසාරිස්වරයා තනතුරෙන් ඉවත් කල බව වාර්තා විය. ඒක පුද්ගල කොමිසමට ජනාධිපති විසින් පත් කරනු ලැබුවේ විශ‍්‍රාමලත් විනිශ්චයකාරයෙකු වන චන්ද්‍රදාස නානායක්කාර යි.

පෙබරවාරි 7 වන දින මෙම කොමිසමේ වාර්තාව ජනාධිපති වෙත භාර දුන් බව වාර්තාවූ නමුත් මෙතෙක් එය ප‍්‍රසිද්ධියට පත් කර නොමැත. එක් පුද්ගලයෙක් මත වරද පටවා තමා ඇතුලු ධනේශ්වර පාලකයන් මෙන්ම ධනේශ්වර ක‍්‍රමය වගකීමෙන් නිදොස් කිරීමේ වෑයමක ජනාධිපති නියැලී සිටියි.

වාර්තාව සඟවා ගනිමින් නාගරික කොමසාරිස්වරයා සේවයෙන් පහ කිරීම සම්බන්ධව ලෝගේශ්වරන් මාර්තු 6 දින අයිලන්ඩ් පුවත් පතට කියා සිටියේ “ජනාධිපති කොමිසම විසින් සොයාගෙන ඇති කරුනු අතර, කසල බහාලීම හා එහි වටපිටාවෙහි අවදානම සම්බන්ධයෙන් කසල කලමනාකරන අධිකාරිය විසින් අනුරට අනතුරු ඇඟවූ නමුත් ඔහු එවා සැලකිල්ලට ගෙන නැත” යනුවෙනි.

නමුදු සත්‍යය වනුයේ, මෙම කසල කන්ද පිලිබඳව, වත්මන් ආන්ඩුව සහ පැවති ආන්ඩු මෙන්ම කසල කලමනාකරන අධිකාරිය සහ අදාල රජයේ ආයතන කිසිදු ක‍්‍රමවත් වැඩපිලිවලක් ක්‍රියාත්මක නොකල බවයි.

ජනාධිපති අතට වාර්තාව පත්වීමෙන් පසු එහි මාධ්‍ය අංශය මගින් කල ප‍්‍රකාශයකට අනුව නාගරික කොමසාරිස් වරදකරු වන්නේ 2015 - 2016 කාල සීමාව තුල කොලොන්නාව සහ මීතොටමුල්ල ප‍්‍රදේශවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය සඳහා බාහිර ආයතනවලට ගෙවනු ලබන වියදම් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ හේතුවෙන්ය. 2014දී වියදම රුපියල් මිලියන 54 ක් ද, 2015 දී 182 ක් ද, 2016දී 232 ක් ද වශයෙන් කොමිසම දක්වා ඇත. ඒ සමගම පවසන්නේ කොලඹ නගර සභාවේ ආරම්භක අදියරවල නිසි අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කර නැති බවයි.

කෙසේ නමුත් කසල බැහැර කිරීම පුද්ගලික අංශයට පවරනු ලැබුවේ ධනපති ආන්ඩු වල ආර්ථික ප‍්‍රතිපත්ති යටතේය. 2005 දී බලයට පත්වූ රාජපක්ෂ ආන්ඩුවේ මෙන්ම සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ද පිලිවෙත වනුයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන්ට අනුව සියල්ල පුද්ගලික අංශයට පවරා දීමය. ධනේශ්වර ආන්ඩු ක්‍රියාවට දැමූ නිදහස් වෙලඳ ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ කසල බැහැර කිරීම ද ලාභ ලැබීමේ ව්‍යවසායක් ලෙස ක්‍රියාත්මක විය. මධ්‍යම ආන්ඩු මගින් සුබසාදන සේවාවක් ලෙස පවත්වාගෙන ගිය කසල ඉවත් කිරීමේ වැඩ කටයුතු වඩවඩාත් පුද්ගලික අංශයට පැවරුනි. එමෙන්ම කසල ඉවත් කිරීම සහ රැඳවීම සඳහා කිසිදු විද්‍යාත්මක ක‍්‍රමවේදයක් පාලක පන්තිය විසින් ක්‍රියාවට නොදැමිනි.

මාර්තු 4 දින සන්ඩේ ටයිම්ස් පුවත් පතට අනුර කල ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේද ඔහුට දඬුවම් කිරීම සත්ය වසන්කිරීම සඳහා යොදාගත් කඩතුරාවක් බවයි. අනුර පවසන පරිදි මීතොටමුල්ලේ සිදුවීම පිලිබඳව ප‍්‍රකාශයක් ගැනීමට කිසිවකු ඔහු කැඳවා නැත. ඔහුට එල්ලවී ඇති චෝදනා මොනවාදැයි ඔහු දන්නේ ද නැත. ඔහු මෙම තනතුරේ සිට ඇත්තේ මාස 18 ක් පමනි.

ඔහු තවදුරටත් මෙසේ පවසයි. “මෙම කසල ප‍්‍රශ්නය 1982 සිට පවතින්නක්. එම කාලය තුල කොලඹ නගර සභාවේ වැඩ බලන නගරාධිපතිවරුන්, කොමසාරිස්වරුන් සහ ඉංජිනේරුවරුන් සිට ඇත. මෙය ජාතික ප‍්‍රශ්නයක් වන බැවින්, ප‍්‍රශ්නයට සම්බන්ධ වී සිටින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරුන්, අගමැතිවරුන්, අමාත්‍යවරුන් හා නිලධාරීන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගත යුතුය.”

මහජන විරෝධය නොතකමින්, කොලඹ නගරයේ කසල එක දිගටම මීතොටමුල්ලේ බහාලීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා ලෙස තමා ට ඇති වගකීමෙන් මිදීමට අනුරට නොහැක. එසේ නමුත් මෙහිදී සිදුව ඇත්තේ ආන්ඩුව ඔහු දඩමීමෙක් බවට පත්කර වගකීමෙන් මිදී යාමට යත්න දැරීමයි.

අවුරුදු 40 ක පමන කාලයක් පුරා කොලොන්නාව නගර සභා ප‍්‍රදේශයේ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය වශයෙන් මෙම භූමි භාගය පැවතුනි. කොලඔ නගරය ජාත්‍යන්තර වානිජ කේන්ද්‍රයක් බවට පත්කිරීමේ සැලසුම් අනුව පසුගිය රාජපක්ෂ ආන්ඩුව විසින් ක්‍රියාත්මක කල නගර අලංකරන ව්‍යාපෘති යටතේ, 2009 සිට කොලඹ නගර සභා ප‍්‍රදේශයේ කසල ද මෙම ස්ථානයට බැහැර කිරීම ආරම්භ කෙරුනි. ඒ සමග එය මහා කුනු කන්දක පරිමානයෙන් වර්ධනය වී, පරිසරය දූෂනය කරමින් නිවැසියන් රෝගී තත්වයට පත් කෙරුනු තතු යටතේ ඊට එරෙහිව ප‍්‍රදේශයේ මහජනතාව අතර බලගතු විරෝධයක් වර්ධනය විය.

පසුගිය රාජපක්ෂ ආන්ඩුව පැවති සමයේදීම මීතොටමුල්ල කසල කන්ද ට එරෙහිව මහජන අරගල ආරම්භ විය. ඒවා මැඩලනු ලැබුවේ පොලීසිය යොදා නැවත නැවතත් පහරදීමෙනි. බලයට පත්වූ විගස කසල කන්ද ඉවත් කරන බවට පොරොන්දු දෙමින් බලයට පත්වූ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද මහජන අරගල මැඩලූයේ රාජපක්ෂ මෙන්ම පොලීසිය යොදා පහර දී මහජනයා අත් අඩංගුවට ගැනීමෙනි.

කෙසේ නමුත්, 2013 සිට කසල කන්ද ඉවත්කරන ලෙස ඉල්ලමින් මහජනතාව ගෙනගිය විරෝධතාවන් පොලීසිය යොදා පහර දී මර්දනය කිරීමට රාජපක්ෂ සහ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩු දෙකම කටයුතුකල බව කොමිසන් වාර්තාවෙන් වසන් කෙරී ඇතිබව දැනට අනාවරනය වී ඇති කරුනු අනුව නිශ්චිතවම කිව හැක.

මහජන විරෝධය නොතකා කසල කන්ද දිගටම පවත්වාගෙන යෑමෙන් සිදුකල මෙම දැනුවත් අපරාධය සම්බන්ධයෙන් ආන්ඩු දෙකම වගකිව යුතුය. කොමිසම මෙම කරුන සම්පූර්නයෙන් යට ගසා ඇති බව පෙනේ.

කොමිසම කියන පරිදි මේ ව්‍යසනය තනි සිද්ධියක් හෝ එක පුද්ගලයෙකු හෝ කන්ඩායමක ක්‍රියාවක් නොවේ. එය බලයට පත් ආන්ඩු විසින්, සමාජ වියදම් කපා දමමින් සහ දුගීන්ගේ අයිතීන් උදුරා ගනිමින් ධනපතීන්ගේ ලාභ තරකර දීම සඳහා ගෙනගිය සාපරාධි ප‍්‍රතිපත්ති වල ප‍්‍රතිපලයකි. මෙය ලොව පුරා ධනපති පාලකයන් ක්‍රියාවට දමන ආර්ථික වැඩපිලිවෙලේ කොටසකි. මේ අනුව, මීතොටමුල්ල ව්‍යසනය වනාහි අර්බුදයට පත්ව ඇති ලෝක ධනේශ්වර ක‍්‍රමයේ ප‍්‍රතිඵලයකි.

ජනාධිපති විසින් මෙම කොමිසම පිහිටවූයේමත් ඉහත කරුනු වසන් කිරීමේ ප‍්‍රයත්නයක් ලෙසය. මැයි 9 දින සමාජවාදී සමානතා පක්ෂය මෙම ඛේදවාචකය පිලිබඳව ස්වාධීන කම්කරු පරීක්ෂනයක් පැවැත්වීම ප‍්‍රකාශයට පත් කිරීමේ ප‍්‍රකාශය තුල නානායක්කාර කොමිසම පිලිබඳව මෙසේ කියා සිටියේය. “සිදුවීමට ඉඩදී පසුව පරීක්ෂන කොමිසම් පත් කිරීම, ආන්ඩුවේ වගකීම වසන් කර ජනතාවගේ අතෘප්තිය වෙනතකට හැරවීමේ උපක‍්‍රමයක් පමනි”

ප‍්‍රකාශයට පත් කර ඇති කොමිසන් වාර්තාව මගින් සහ එම වාර්තාව වසන් කරනු ලැබීම මගින් සසපයේ ප‍්‍රකාශය සනාතකර ඇත.

Share this article: