අනධ්‍යන කම්කරුවන් අඛන්ඩ වැඩ වර්ජනයක

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 මාර්තු 02

වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කීපයක් මත විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ ඊයේ (පෙබරවාරි 28)සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලහ. වෘත්තීය සමිති නිලධරයේ පිටුපසින් ඇදීම් නොතකා, දිවයින පුරා සියලුම රජයේ විශ්ව විද්‍යාලයන් හි 15,000 ක් පමන වූ කම්කරුවෝ වැඩ වර්ජනයට එක්ව සිටිති. මේ හේතුවෙන් බොහෝ විශ්ව විද්‍යාලවල වැඩකටයුතු ඇනහිට පවතී.

ආන්ඩුව පොරොන්දු වූ පරිදි තම මාසික හිලව් දීමනාව වැඩි කරන ලෙස අනධ්‍යන සේවකයෝ ඉල්ලා සිටිති. 2015 දී ආන්ඩුව ලබා දුන් හිලව් දීමනාව, එනම් මූලික වැටුපෙන් සියයට 20 කට සමාන දීමනාව, සියයට 100 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා, 2016 ජූලි මාසයේදී අනධ්‍යන කම්කරුවෝ දින දෙකක වැඩ වර්ජනයක නිරත වූහ. 2017 සිට පියවර හතරකදී දීමනාව සියයට 20 බැගින් වැඩි කොට, ඉල්ලා සිටින සම්පූර්න දීමනාව 2020 වන විට ලබාදෙන බවට ආන්ඩුව පොරොන්දුවූ බව පවසමින් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව එම වැඩ වර්ජනය නතර කලේය.

නමුදු ආන්ඩුව 2017 දී මෙම දීමනාවට එකතු කලේ 2015 මූලික වැටුපෙන් සියයට 15 ක් පමනක් වන අතර 2018 වැඩිවීම මෙතෙක් ලබා දී නොමැත.

තම ජීවන තත්වයන්ට එල්ලවන ප‍්‍රහාර හමුවේ, ඉල්ලා සිටි වැඩි වැටුප් නොලැබීමෙන් කම්කරුවන් අතර වැඩී ඇති බලගතු විරෝධය හේතුවෙන් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවට මෙම වර්ජනය කැඳවීමට සිදුව ඇතත්, කැඳවීමේ තීන්දුව ගත් දා පටන් වර්ජනය දියකර හැරීම සඳහා කමිටුවට අයත් සියලුම සමිති එකාවන්ව වැඩ කලහ. තම සමිතිය තවදුරටත් ඒකාබද්ධ කමිටුව සමග එක්ව ක්‍රියා නොකරන බව පවසමින් විශ්ව විද්‍යාල තාක්ෂනික නිලධාරීන්ගේ සංගමය (තානිස) කල් තියාම වර්ජනයෙන් ඉවත් විය.

එනමුදු, මෙම නායකත්වයන්ට විපරීතව, පහල සාමාජිකත්වයේ බහුතරය තම අරගලය ඉදිරියට ගෙනයාමේ අධිෂ්ඨානය නිරතුරුව පෙන්නුම් කලහ. මෙය කැපී පෙනෙන අයුරින් ප‍්‍රකාශයට පත්කරමින් තානිස යේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ සාමාජිකයෝ, වර්ජනයට සහභාගි නොවීම සඳහා සමිති නායකත්වය ගත් තීන්දුවට එරෙහිව වර්ජනයට සහභාගිවීමේ යෝජනාවක් සම්මත කර ගත්හ.

නමුත් වර්ජනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමටයැයි පවසමින් ඒකාබද්ධ කමිටුවේ මොරටු විශ්ව විද්‍යාල ශාඛාව පෙබරවාරි 27 වන දා පැවැත්වූ රැස්වීමට සහභාගිවූ තානිස යේ මොරටු ශාඛා නිලධරය තම සාමාජිකයන් සම්මත කරගත් යෝජනාව යට ගසමින් කියා සිටියේ, “තාක්ෂනික හේතු” මත තම සංගමය 28 වන දා සිට වර්ජනයට සහභාගි නොවන නමුත් පසුව සම්බන්ධ වන බවයි.

තානිස යේ මොරටුව ශාඛාවේ පහල සාමාජිකයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කියා සිටියේ තම ශාඛා නිලධරය මෙම රැස්වීමේදී යත්න දැරුවේ, වර්ජනයට සම්බන්ධ නොවී ඔවුන් විසින් කරන “හොරිකඩකම” සම්බන්ධයෙන් අනෙකුත් කම්කරුවන් අතර වැඩී ඇති විරෝධය සමහන් කිරීමට සහ වර්ජනයට සහභාගිවීම සඳහා තම ශාඛාවේ සාමාජිකයන් ගත් තීන්දුව “ආපසු හැරවීමට” බවයි.

කෙසේ නමුදු, නිලධරයේ පසුපසට ඇදීම් නොතකා මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂනික කම්කරුවෝ වර්ජනයට එක්ව සිටිති. මේ අතර, කොලඹ විශ්ව විද්‍යාලය ඇතුලු සමහර තානිස ශාඛා අසනීප නිවාඩු දමා නිවෙස්වල රැඳී සිටීමට තම සාමාජිකත්වය මෙහෙයවා ඇති අතර, පේරාදෙනිය ඇතුලු තවත් ශාඛාවන් තම සාමාජිකයන්ට සුපුරුදු ලෙස සේවයෙහි යෙදීමට උපදෙස් දී ඇත.

ඊයේ උදයවරුවේ මොරටුව විශ්ව විද්‍යාල භූමියේ පැවති ඒකාබද්ධ කමිටු රැස්වීම අමතා සමිති නායකයන් කල කතා වලින්, වර්ජනය නවතා දැමීමට කමිටුව දරන සූදානම පැහැදිලිවම ප‍්‍රකාශයට පත්විය.

නව උසස් අධ්‍යාපන ඇමති කබීර් හෂීම්, තම පලමු වැඩකටයුත්ත අනධ්‍යන සේවක ගැටලුව විසඳීම යැයි පවසා ඇති බව සහ ඒ අනුව “ඉදිරි දින දෙක තුල මෙම ප‍්‍රශ්නය විසඳෙන්න පුලුවන්” බව ඒකාබද්ධ කමිටුවේ මොරටු විශ්ව විද්‍යාල ශාඛාවේ සභාපති කේ. එම්. සිරිසේන පැවසීය.

2016 වර්ජනය මධ්‍යයේ හිටපු උසස් අධ්‍යාපන ඇමති ලබාදුන් ව්‍යාජ ලිඛිත පොරොන්දුවක් මත වර්ජනය අත්හිටුවීමට ඒකාබද්ධ කමිටුව ගත් තීන්දුවට එරෙහිව කම්කරුවන් අතරින් මතුවූ විරෝධය මතකයට නංවමින් සිරිසේන මෙසේ කියා සිටියේය: “එම ලිපිය ගෙනත් පෙන්නුවම සමහරු මට බැන වැදුන. ඒත් ඒ ලිපිය නිසා තමයි අද අපිට නව ඇමතිතුමා එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ.”

මෙය අසා සිටි අනධ්‍යන කම්කරුවෙකු ලෝසවෙඅ ට මෙසේ පැවසුවේය: “ඇමතිල ගැන බලාපොරොත්තු තියාගෙන මෙම සටන ගෙනියනව නම් ඒකෙන් කිසිම ප‍්‍රතිඵලයක් නෑ. ගිය ආන්ඩුවෙයි මේ ආන්ඩුවෙයි ඇමතිවරු කී දෙනෙක් ඔහොම පොරොන්දු දීල තියෙනවද? මේ ඇමතිය තවත් ඔය වගේම ලියුමක් දුන්නම ඒක ඔජවඩවල අපිට පෙන්නයි. සමිති වලට බැඳිල ඉන්නවට වැඩිය හොඳයි ඒවයෙන් අයින් වෙන එක.”

ශ්‍රී ලංකා නිදහස් අනධ්‍යන සේවක සංගම් නිලධරයේ අසංක ද මෙල් පැවසුවේ “වැඩ භාර ගන්නා අද දිනයේ එම වැඩ කටයුත්ත බාධාවකින් තොරව නිසි පරිදි ඉටුකර ගැනීම” ඉඩදෙන ලෙස ජාතික සේවක සංගමය කරන ලද ඉල්ලීමට අනුව, උසස් අධ්‍යාපන අමාත්‍යංශ භූමියේ පිහිටි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සේවයේ නියුතු අනධ්‍යන කම්කරුවන් වර්ජනයට සහභාගි නොකිරීමට තීන්දු කල බවයි. වැඩ වර්ජනයට සහභාගිවීමේ දැඩි අධිෂ්ඨානයෙන් සිටි එම කම්කරුවන් වර්ජනයට සහභාගි නොවීම සඳහා එකඟ කර ගත්තේ “පැය දෙකකට ආසන්න කාලයක” සාකච්ඡාවකින් පසුව බව ද මෙල් පැවසුවේ කවර හෝ හිරිකිතයකින් තොරවයි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ද 500 කට වැඩි අනධ්‍යන කම්කරු පිරිසක් සහභාගි වූ රැස්වීමක් පැවැත්වින. එයට සහභාගි වූ අනධ්‍යන කම්කරුවෙක් සමිති නිලධරය පිලිබඳ තම අතෘප්තිය පල කරමින් මෙසේ පැවසීය: “නායකයන් පිලිබඳ කිසිදු විශ්වාසයක් නොමැති වුවත් අපි සටන කරගෙන යනවා. සටන කල් දැමීමට නායකයන් උත්සාහ කලා. ඒත් සාමාජිකයින්ගේ උනන්දුව හා උත්සාහය නිසා කල් දැමීමට නොහැකි වුනා. වෘත්තීය සමිති නායකයන්ට අවශ්‍ය වී ඇත්තේ තමුන්ගේ තනතුරු සහ තත්වය ආරක්ෂා කර ගන්ටයි. ඔවුන් ඉල්ලීම් දිනා ගැනීමට කිසිම උනන්දුවක් නැහැ.”

කොලඹ විශ්ව විද්‍යාලයේ ඊයේ පෙරවරුවේ පැවති රැස්වීමක් අමතමින් ඒකාබද්ධ කමිටුවේ නිලධරය කියා සිටියේ, ඉල්ලා සිටි හිලව් දීමනාව ලබාදීම සඳහා මුදල් වෙන්කොට තිබුනද හිටපු උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ දඩබ්බරභාවය නිසා එය ලබා නොදුන් බවයි.

ඒකාබද්ධ කමිටුවේ ලේකම් හේරත් මෙසේ පැවසීය: “ඇමතිතුමා වැඩ භාර ගන්න හින්දා සාධනීය ප‍්‍රතිචාරයක් ලැබෙයි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා. ඒ නිසා කලින් සැලසුම් කල පා ගමන සහ පිකට් එක කල් දමනවා.”

ඒකාබද්ධ කමිටුවේ භාන්ඩාගාරික කේ. එල්. ඩී. ජේ. රිච්මන්ඩ් කියා සිටියේ “රජය නියෝජනය කරන වෘත්තීය සමිති දෙකට අමාත්‍යාංශ ඒ ගොල්ලන් ගේ නිසා ඇමතිවරුන් එක්ක සාකච්චාවල දී සාධනීය මැදිහත් වීමක් කරන්න පුලුවන්” බවයි.

උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරෝ ගැන සඳහන් කරමින් රිච්මන්ඩ් මෙසේ ද පැවසීය: “ග්‍රේරෝ යම් තැනක හිටියා. කිරිඇල්ල ගේ නො එකඟතා නිසා තමයි කල් ගියේ. ආන්ඩුව පැත්තෙන් හොඳ තත්ත්වයක් තියෙනවා. මුදල් අමාත්‍යාංශය චක‍්‍ර ලේඛයක් නිකුත් කරල තියෙන්නෙ.”

පසුගිය දා පැවති පලාත් පාලන මැතිවරනයෙන් අන්ත පරාජයෙන් පසු සුවිසල් වෙනස්කමක් ඇති කරන බවට පාරම් බෑ ආන්ඩුව සිදුකොට ඇත්තේ ඇමති මූනු කීපයක් මාරු කිරීම පමනකි. ඇමති මූන වෙනස් වුවද, නව ඇමතිධුර භාරගත් සැමකෙකුටම බලකෙරී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ක්‍රියාත්මක කිරීමයි. එම පිලිවෙත් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෂීම්ගේ දෘඪතරභාවය, කිරිඇල්ලට නොදෙවෙනි වනු ඇත.

ඒකාබද්ධ කමිටුවට අයත් වෘත්තීය සමිති නිලධරයන් සහ දැන් එයට සම්බන්ධ නැතැයි කියන තානිස නිලධරය යත්න දරන්නේ ඇමති මාරුවේ “සාධනීය” ලක්ෂන වෙත ඇඟිල්ල දිගුකොට අනධ්‍යන කම්කරු වර්ජනය පාවා දීමටයි.

Share this article: