ශ‍්‍රී ලංකාව: වෘත්තීය සමිතිවල කකුලෙන් ඇදීම්වලට එරෙහිවෙමින් සරසවි කම්කරුවෝ වර්ජනය ගෙන යති

සමන් ගුනදාස විසිනි, 2018 මාර්තු 5

ආන්ඩුව සමග සම්මුතියකට වෘත්තීය සමිති ගෙන යන අර ඇදීම්වලට විරුද්ධවෙමින් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පහලොවක අනධ්‍යයන කම්කරුවන් 15,000කට වැඩි දෙනෙක් පෙබරවාරි 28දා ඇරඹූ වැඩ වර්ජනය පවත්වා ගෙන යති.

සියයට 20ක වැටුප් වැඩිවීමක්, භාෂා දීමනාවක්, සහනදායි නය වැඩි කිරීමක් සහ වෛද්‍ය රක්ෂන ක‍්‍රමයක් හා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වා දීම ආදිය කම්කරුවන්ගේ ඉල්ලීම් ය.

ගොවිපොල, පර්යේෂන හා වෛද්‍යමය පහසුකම් සැපයීම, විශ්ව විද්‍යාල රසායනාගාර හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් නඩත්තු කරගෙන යාමෙන් ඉවත් වන බවට වැඩ වර්ජිත කම්කරුවෝ අනතුරු අඟවා ඇත. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ (විවිවෘසඒක) සභාපති එඩ්වඩ් මල්වත්තගේ එවැනි පියවර ගැනීමට ඉඩ ඇතිබැව් සඳහන් කරන ගමන්ම උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති කබීර් හෂීම්ට ආයාචනා කලේ “ගැටලු සඳහා ඉක්මනින් විසඳුම් සොයා දෙන” ලෙසයි. සමිති නායකයා බියවී සිටින්නේ අරගලය පැතිරීයාමේ ඉඩ ගැනයි.

වර්ජනයේ නිරත පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෙකුට වෘත්තීය සමිතිවල ක‍්‍රියා කලාපය විවේචනය කරමින් මෙසේ කීවේය: “අපි මේ අරගලය කරගෙන ගියාට වෘත්තීය සමිති ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. සමිති නායකයො කීප වතාවක් ම අරගලය කල්දාන්න උත්සාහ කලා. ඒත් ඉල්ලීම් දිනාගන්න සාමාජිකත්වයට තියන බරපතල උවමනාව හින්ද ඔවුන්ට තවත් ඒක කල්දාන්න බැරි වුනා. සමිති නායකයන්ට ඕන කරන්නෙ ඒගොල්ලන්ගෙ තත්ත්වයයි තනතුරුයි ආරක්ෂා කරගන්න. ඉල්ලීම් දිනාගැනීමේ උවමනාවක් ඒගොල්ලන්ට නැහැ.”

ආන්ඩුව ඉල්ලීම් දීම ප‍්‍රතික්ෂේප කල තතු තුල වෘත්තීය සමිතිවල කකුලෙන් ඇදීමට කම්කරුවන් විරුද්ධ වීම නිසා සමිති සන්ධානයට වැඩ වර්ජනය කැඳවීමට බලකෙරුනි.

වසර දෙකක් තරම් ඈත, 2016 ජූලි 27දා අනධ්‍යයන කම්කරුවන් මෙම ඉල්ලීම් මැදිකරගෙන ම වැඩ වර්ජනයක් දියත් කල නමුත් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් (යූජීසී) ලිඛිත පොරොන්දුවක් ලැබුනු බව කියමින් වෘත්තීය සමිති දින 12කට පසු වර්ජනය අත්හැර දැමූ හ.

එම එකඟතාව හිස් පොරොන්දුවක් බව හෙලිදරවු වුනු විට විවිවෘසඒක ජනවාරි 25, පෙබරවාරි 6-7 යන දිනවල සංකේත වර්ජන කැඳවූයේ කම්කරුවන් අතර වැඩෙන විරෝධය වාෂ්පකර දැමීමේ අපේක්ෂාවෙනි. කම්කරුවන් දහස් ගනනක් පෙබරවාරි 6දා යූජීසී භූමියේ විරෝධතාවක් පැවැත්වූයේ සමිති නායකයන් යූජීසී සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සමග සාකච්ඡා පවත්වන අතරතුරේ ය. ඕනෑම වර්ජනයක් නීති-විරෝධී කිරීමට පියවර ගන්නා බවට සිල්වා තර්ජනය කලේ ය. ඉන්පසුවයි වෘත්තීය සමිති සන්ධානය පෙබරවාරි 28 දින වර්ජනයක් කැඳවුම් කරන බව නිවේදනය කලේ.

එතැන් පටන් වෘත්තීය සමිති වර්ජනය වැලැක්වීමට ක‍්‍රම සෙවුවත් සාමාජිකයෝ එයට විරුද්ධ වූහ.

උදාහරනයක් ලෙස, ශ‍්‍රී ලංකා විශ්ව විද්‍යාල තාක්ෂනික නිලධාරී සංගමය (ශ‍්‍රීලවිවිතානිස) අනධ්‍යයන සේවකයන් අතර සමගිය බිඳීමේ නායකත්වය ගැනීමට උත්සාහ කලේ ය.

ශ‍්‍රීලවිවිතානිස මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ නායකයෝ පෙබරවාරි 23 දින රැස්වීමක් කැඳවා, තමන්ට කමිටුවේ සම-සභාපති ධුරයක් නො දීම නිසා සමිති සන්ධානයෙන් බිඳී වෙන්වන බවට තීරනය කර ඇතැයි සාමාජිකත්වයට දැනුම් දුන්හ. යෝජිත වැඩ වර්ජනයට තමන් සහභාගි නො වන බවත් ඒ වෙනුවට වෙනම ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඔවුහු කීහ.

සමිතියේ සාමාජිකයෙක් වන දේහින් වසන්ත මෙම යෝජනාවට විරෝධය පා අනෙකුත් කම්කරුවන් සමග වර්ජනයට එක්විය යුතු යයි යෝජනා කලේ ය. සමිති නායකයන් කෙරෙහි පවතින විරුද්ධත්වය විවෘත ව පිලිබිඹු කරමින් සාමාජිකයන් බහුතරය වසන්තගේ යෝජනාවට සහයෝගය පලකල හ. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෙක් වන වසන්ත සමිතියේ පාවාදීම්වලට එරෙහි ඔහුගේ අරගලය ගැන සාමාජියකත්වය අතර සුප‍්‍රකට ය. සමිති නායකත්වය විවේචනය කිරීම නිසා මාස කිහිපයකට පෙර වසන්ත සමිති සාමාජිකත්වයෙන් පහකිරීමට නායකත්වය උත්සාහ දැරුව ද සාමාන්‍ය සාමාජිකයෝ එම උත්සාහය පරාජය කල හ.

මොරටු සරසවියේ තාක්ෂන සේවකයන් පෙබරවාරි 28 පටන්ම වර්ජනය කල අතර පසුව, තාක්ෂනික නිලධාරීන්ගේ ප‍්‍රතිරෝධය නිසා මාර්තු 2දා සිට වර්ජනයට එක්වන බවට නිල නිවේදනයක් නිකුත් කිරීමට ඔවුන්ගේ මව් සමිතියට සිදුවිය.

ඉල්ලීම් දිනාගැනීමට ආන්ඩුව තුල සිටින තමන්ට “හිතවත් ඇමතිවරුන්ගේ” සහයෝගය ලබාගන්නා බව සමිති නායකයන් කම්කරුවන්ට පැවසුවේ ඔවුන්ගේ ආන්ඩුවට ගැතිකම ප‍්‍රදර්ශනය කරමිනි. “ආන්ඩුවේ පක්ෂ දෙක නියෝජනය කරන සමිති දෙකට ඇමතිවරුන් සමග සාර්ථක සාකච්ඡා ලබාගත හැකි” යයි විවිවෘසඒක භාන්ඩාගාරික කේ. එල්. ඩී. ජේ. රිච්මන්ඩ් පැවසීය.

ඔහු සඳහන් කල සමිති දෙක සම්බන්ධවී සිටින්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ‍්‍රීලනිප) හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට (එජාප) යි. තවත් සමිතියක් මෙහෙයවනු ලබන්නේ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යි. ජවිපෙ සමිතිය අනෙකුන්ගේ වල්ගයේ එල්ලී ඔවුන් වර්ජනයට කටුව ගැසීමට ගෙනයන වැඩවලට ආවරනය සපයයි.

නව ඇමතිවරයා වැඩ බාරගැනීමෙන් පසු “ධනාත්මක ප‍්‍රතිචාරයක්” ලැබේ යයි විශ්වාස නිසා මාර්තු 2දා සමිති සන්ධානය විසින් කොලඹ දී පැවැත්වීමට සූදානම් කල විරෝධතා පෙලපාලිය අවලංගු කරන බව විවිවෘසඒක ලේකම් හේරත් කීවේ ය.

ජීවන තත්ත්වයන්ට හා සමාජ කොන්දේසිවලට එල්ල කරන ප‍්‍රහාර නිසා ආන්ඩුව කෙරෙහි පවතින පුලුල් විරුද්ධත්වය හේතුවෙන් පලාත් පාලන මැතිවරනයෙදී පරාජයට පත්වීමෙන් පසු ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ පෙබරවාරි 25දා කැබිනට් මන්ඩලයේ මතුපිට වෙනස්කම් කිහිපයක් සිදු කල හ. කබීර් හෂීම් උසස් අධ්‍යාපන ඇමති තනතුරට පත්කරනු ලැබී ය. මෙම වෙනස්කම් කලේ හුදෙක් ම ආන්ඩුව වෙනස් වී තිබෙන බවට මහජනයා රැවටීමට ය. එහෙත් ආන්ඩුව කැප වී සිටින්නේ අධ්‍යාපනය, සීමිත සුභසාධන ඇතුලු වියදම් කැපීම් හා රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම ආදිවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කිරීමට ය.

මෙම ප‍්‍රහාර ක‍්‍රියාවට දමමින් සිටින ආන්ඩුව, පුද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීමට සහාය දෙමින් හා රාජ්‍ය විශ්ව විද්‍යාල තුල මුදල් අයකරන පාඨමාලා අරඹමින්, විශ්ව විද්‍යාල කාර්ය මන්ඩල පුරප්පාඩු පවත්වා ගනිමින් සහ තාවකාලික හා කොන්ත‍්‍රාත් සේවකයන් දොට්ට දමමින් සිටී. වර්ජන නීති-විරෝධී කරන බවට යූජීසී සභාපති කරන තර්ජනය ඔහුගේ පුද්ගලික තීන්දුවක් නො වේ. වැඩ වර්ජන මර්දනය කිරීමට අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම හා මිලිටරිය දිගේලි කිරීම මේ ආන්ඩුව විසින් ද දිගින්දිගටම යොදාගත්තේ ය.

විවිවෘසඒක ආන්ඩුවට කරන බියගුලු ආයාචනය හා සේවකයන් අතර එය ගැන මිථ්‍යාවන් පැතිරවීම පෙන්නුම් කරන්නේ තම ඉල්ලීම් දිනාගැනීමට කම්කරුවන්ට තිබෙන අධිෂ්ඨානය කෙරෙහි පවතින භීතිය යි. හොඳ වැටුපක් සඳහා වන ඉල්ලීම් ආන්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කිරීම විශ්ව විද්‍යාල කම්කරුවන්ට පමනක් සීමා වූවක් නො වේ. අංශ කිහිපයක් පමනක් සඳහන් කරන්නේ නම් මෑත මාස කිහිපය තුල විදුලි බල, තැපැල් හා දුම්රිය කම්කරුවන්ට ද ආන්ඩුවේ පිලිතුර වූයේ එය යි.

විශ්ව විද්‍යාල අනධ්‍යයන කම්කරුවන්ගේ අරගලය සෑම ක්ෂේත‍්‍රයක ම පාහේ කම්කරුවන් යෙදී සිටින අනවරත අරගලයේ කොටසකි. විදුලි බල කම්කරුවන් මේ දිනවල රටපුරා පිකට් උද්ඝෝෂන මාලාවක යෙදී සිටින්නේ වැටුප් ඉහල දැමීම හා සමිති නායකයන්ගේ වැඩ තහනම් කිරීමට විරෝධය පෑම පිනිස ය.

ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කම්කරු අරගලය ජාත්‍යන්තර කම්කරු පන්තියේ රැඩිකලීකරනය සමග සමපාත වේ. එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියා ප‍්‍රාන්තයේ ගුරුවරුන්ගේ අරගලය මෙම ජාත්‍යන්තර අරගලවල අලුත්ම ප‍්‍රකාශනය යි. බලධාරීන් සමග වෘත්තීය සමිති එලඹුනු කැත ගනුදෙනුව ප‍්‍රතික්ෂේප කර තිබෙන ගුරුවරු අරගලය දිගට ම පවත්වාගෙන යති.

අනධ්‍යන සේවක අරගලය ගැන ලෝසවෙඅ වාර්තාකරුවන් වර්ජිත කම්කරුවන් සමග සාකච්ඡා කරන විට රසායනාගාර සහායක වෘත්තීය සමිතියේ කොලඹ ශාඛාවේ ලේකම් ඉන්දික දිද්දෙනිය “ඇමතිතුමාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා” යයි කීවේ ය.

ඇමතිවරයා මාරු කිරීම ආන්ඩුවේ පිලිවෙත වෙනස් කරන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කරමින් ඊට අභියෝග කල විට අඩියක් පස්සට ගත් ඔහු මෙසේ කීවේ ය:“ඇමතිවරයා මාරු කරපු එක ගැන අපි ලොකුවට හිතන්නේ නෑ. අපි මේ අඛන්ඩ වැඩ වර්ජනය දියත් කලේ ඒ නිසයි.”

වෘත්තීය සමිතිවල ද්‍රෝහී ක‍්‍රියාකලාපය විස්තර කල ලෝසවෙඅ වාර්තාකරුවෝ කම්කරු පන්තියේ ස්වාධීන අරගලයක් දියත් කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කල හ. කම්කරුවන්ගේ වැඩෙන අරගලවලට බාධාවක් ලෙස පවතින වෘත්තීය සමිතිවලින් බිඳී ඒවායෙන් ස්වාධීන “ක‍්‍රියාකාරී කමිටු” ස්ථාපනය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) අරගලය ගෙනයන බව ලෝසවෙඅ වාර්තාකරු පැහැදිලි කලේය.

මෙම සාකච්ඡාවට සවන් දුන් රසායනාගාර කම්කරුවෙක් වන අසන්ක හීන්කෙන්ද එයට එකඟතාව පලකලේ ය. ආන්ඩුව මුල දී බොහෝ කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සහනයක් විය. “ඒත් දැන් ජීවන වියදම නාටකාකාර ව ඉහල ගිහින්. මේ තත්ත්වය දරාගන්න බැරි නිසා ඉල්ලීම් දිනාගැනීමට සටන් කිරීම අත්‍යවශ්‍ය යි.”

ලෝසවෙඅ වාර්තාකරුවන් සමග කතාකල බොහෝ කම්කරුවෝ ආන්ඩුවේ ඇමතියන් කම්කරුවන් කෙරෙහි අනුකම්පා සහගත බවට සමිති නායකයන් ගෙනයන ප‍්‍රචාරය පිලිගැනීම ප‍්‍රතික්ෂේප කල හ. “අලුත් ඇමතිත් මේ ආන්ඩුවෙ ඇමතිවරයෙක්. ආන්ඩුව හැම දේකට ම වගකිව යුතු යි. මේක අපි ව රවට්ටන වැඩක්” යයි වැඩ වර්ජිත යාපනය විශ්ව විද්‍යාලයේ කම්කරුවෙක් කීවේ ය.

මොරටුව විශ්ව විද්‍යාලයේ වැඩ වර්ජිත කම්කරුවෙක් පිලිකුලෙන් මෙසේ කීවේ ය: “මේ සටන ගෙනයන්නේ ඇමතිවරුන් ගැන විශ්වාසය තියල නම් ඒක තකතීරු කමක්. මේ ආන්ඩුවෙයි කලින් ආන්ඩුවලයි ඇමතිල කී දෙනෙක් නම් අපිට බොරු පොරොන්දු දුන්න ද? මේ ඇමති ලියුමක් දුන්නමත් සමිති නායකයො ඒගැන පාරම්බායි. සමිතිවල ඉන්නවට වැඩිය ඒවයින් අස්වෙන එක හොඳයි.”

ආන්ඩුව ගැන මිථ්‍යාවන් වපුරමින් වර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති නායකයන් දරන ඕනෑම උත්සාහයක් කම්කරුවන් විසින් ප‍්‍රතික්ෂේප කල යුතු ය. වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක‍්‍රියාකාරී කමිටු ගොඩනගමින් අරගලය වර්ධනය කිරීමට ආරම්භකත්වය ගත යුතු ඔවුන් ජාමූඅ කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව සමාජවාදය සඳහා සටන් කිරීමට අරගලය අනෙකුත් කම්කරුවන් වෙතටද හරවමින් පෙරමුන ගත යුතුය.

Share this article: