විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරු වර්ජනය සන්ධි ස්ථානයක

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 මාර්තු 20

වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රජයේ විශ්ව විද්‍යාලයන්හි අනධ්‍යන කම්කරුවන් විසින් පෙබරවාරි 28 වන දා ආරම්භ කල වැඩ වර්ජනයට දින 20 ක් ගතව ඇත. ආන්ඩුව එක දිගටම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරමින් සිටින අතර, වර්ජනය කැඳවූ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කියා සිටින්නේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සමග ඊයේ පැවති (මාර්තු 19 දා ) සාකච්ඡාව ද අසාර්ථක වූ බවයි.

මුදල් අමාත්‍යංශය සහ අගමැති සම්බන්ධීකරන ලේකම් සමග පසුගිය සතියේ පැවැත්වූ සාකච්ඡා ද මුලුමනින්ම අසාර්ථක වූ බැවින් වර්ජනය ඉදිරියට ගෙනයාම හැර අන් විකල්පයක් නොමැති බව ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ, මාර්තු 16 දා, මාධ්‍යයට පැවසීය.

ආන්ඩුව දිගින් දිගටම කියා සිටින්නේ අනධ්‍යන කම්කරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබා දිය නොහැකි බවයි. ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධානය කරනුයේ ආන්ඩුවේ වියදම් තවතවත් කප්පාදු කරමින් පුද්ගලීකරනය වේගවත් කරන ලෙස සහ මහජනතාව මත වඩවඩාත් බදුබර පටවමින් ආන්ඩුවේ ආදායම් වැඩිකර ගන්නා ලෙසයි. ආන්ඩුවේ ආර්ථික පිලිවෙත් නිර්නය කෙරෙනුයේ එම විධානයන් මගිනි.

අනධ්‍යන කම්කරුවන්ගේ මෙන්ම, වැඩි වැටුප් ඉල්ලා අරගලයට පිවිස සිටින විදුලිබල සහ තැපැල් කම්කරුවන් ඇතුලු අවශේෂ කම්කරුවන්ගේ ද, අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වදින සිසුන්ගේ ද, ඉල්ලීම් නැවත නැවතත් ප‍්‍රතික්ෂේප කරනුයේ එම ඉල්ලීම් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් සමග සෘජුව ගැටෙන බැවිනි.

එමෙන්ම මෙම කප්පාදු වලට එරෙහිව සටනට අවතීර්න වන කම්කරුවන් සහ තරුනයන් මැඩීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී නීති-රීති සහ පොලිස්-මිලිටරි ක‍්‍රමවේදයන් මත වඩවඩාත් යැපීම ආන්ඩුවේ දේශපාලන පිලිවෙතෙහි ප‍්‍රධාන අංගයක් බවට පත්ව තිබේ.

විදුලිබල කම්කරුවන්ට එරෙහිව ගෙනයන මර්දනය එහි මෑතම ප‍්‍රකාශනය යි. වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) කම්කරුවන් විසින් ජනවාරි 17 වන දා පැවැත්වූ උද්ඝෝෂනය හේතුවෙන්, ආන්ඩුව සමිති නායකයන් හයදෙනෙකුගේ වැඩ තහනම්කර ඇත්තේ වැටුප් සහ සියලු ගෙවීම් අත්හිටුවමිනි. මෙය ආන්ඩුව විසින් සමස්ත කම්කරු පන්තියට කරන ලද අනතුරු ඇඟවීමකි.

අනධ්‍යන කම්කරු වර්ජනය නවතන තෙක් සාකච්ඡා නොදෙන බවට ආන්ඩුව කල තර්ජනය යටින් නිසැකවම පවතිනුයේ එම කම්කරුවන්ට එරෙහි මර්දනයක අනතුරයි.

මේ අනුව අනධ්‍යන කම්කරුවන්ගේ අරගලය පැමින සිටින්නේ සන්ධි ස්ථානයකටයි.

ඔවුන් සෘජුව අභිමුඛව සිටින්නේ ආන්ඩුවේ මෙම රුදුරු දේශපාලන සහ ආර්ථික පිලිවෙත් සමග බැවින්, ආන්ඩුවට සහ සමස්ත ධනපති ක‍්‍රමයට එරෙහි කම්කරු පන්තික දේශපාලනික ඉදිරි දර්ශනයක් මත පාදක නොවී ඔවුනගේ සටනට ඉදිරියට යා නොහැක. එමෙන්ම, ආන්ඩුවේ ප‍්‍රහාරයන්ගෙන් බැට කන අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය සහ ශක්තිය බලමුලු ගන්වා ගැනීමකින් තොරව එවන් සටනක් ගෙන යා නොහැකි බවද වටහා ගත යුතුය.

එනමුදු, අනෙකුත් ක්ෂේත‍්‍රයන් හි වෘත්තීය සමිති මෙන්ම, අනධ්‍යන කම්කරුවන්ගේ වෘත්තීය සමිති ද එවන් දේශපාලනික අරගලයකට පරම වශයෙන්ම සතුරු ය. “වෘත්තීය සමිති වලට දේශපාලනය එපා” යයි කියන සමිති නිලධරය, ආන්ඩු වලට සහ හාම්පුතුන්ට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය තුල තම සාමාජිකත්වය කොටුු කරයි. ප‍්‍රහාරයන්ගේ මූලය වන ධනේශ්වර ක‍්‍රමයට, එනම් ලාභය අරමුනු කරගත් නිශ්පාදන ආර්ථික ක‍්‍රමයට අභියෝග නොකරන මෙම විරෝධතා දේශපාලනය වනාහි ධනේශ්වර දේශපාලනයම යි. ඔවුන් “වෘත්තීය සමිති වලට දේශපාලනය එපා” යයි කියන විට එහි සැබෑ අර්ථය වනුයේ කම්කරු පන්තික දේශපාලනය එපා යන්න යි.

තම අරගලයන් වටා පන්ති ශක්තිය බලමුලු ගන්වා ගැනීම අත්‍යවශ්‍ය කෙරී ඇති තතු යටතේ, අනෙක් ක්ෂේත‍්‍රයන් හි වෘත්තීය සමිති මෙන්ම, විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ද අවශේෂ කම්කරුවන් වෙතට නොහැරෙන්නේ එවන් හැරී ගැනීමක් කම්කරු පන්තික දේශපාලන සටනක ආරම්භකත්වයක් වන බැවිනි.

“ඒකාබද්ධ කමිටුව කෙරෙහි කවර හෝ විශ්වාසයක් නොතබනු” යනුවෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනධ්‍යන කම්කරුවන්ට ආරම්භයේ සිටම අනතුරු ඇඟවූයේ මෙම සන්දර්භය තුලයි.

ජයවර්ධනපුර, කොලඹ, මොරටුව සහ පේරාදෙනිය යන විශ්ව විද්‍යාලයන්හි දී ඒකාබද්ධ කමිටුවේ නිලධරයන් සසප ට එරෙහිව ප‍්‍රකෝපකාරී ලෙස කඩා පනිනු ලැබුවේ, අනධ්‍යන කම්කරුවන්ට මෙම සමිතිවල ද්‍රෝහී භූමිකාව හෙලිදරව් කරමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් ඉදිරිපත් කල බැවිනි.

මාර්තු 15 වන දා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී වර්ජිත කම්කරුවන් අතර මැදිහත් වූ සසප සාමාජිකයන්ට කායිකව පහරදීමට පවා මෙම නිලධරය තැත් කල අතර, එය වැලකුනේ සසප සප‍්‍රතිපත්තික ඉතිහාසය පිලිබඳ යම් අවබෝධයක් තිබූ කම්කරුවන් කීප දෙනෙකුගේ මැදිහත් වීමෙනි.

මේ සෑම තැනකදීම, වර්ජිත කම්කරුවන් සමග සසප කල සාකච්ඡාවන් වැලැක්වීමට සමිති නිලධරය සෑම උත්සාහයක්ම දැරීය. “අනධ්‍යන කම්කරුවන් සඳහා ඉදිරි මාවත” නම් වූ සසප ප‍්‍රකාශය නොකියවන ලෙසත්, සසප සාමාජිකයන් සමග කතා නොකරන ලෙසත්, පේරාදෙනියේ දී සාමාජිකත්වයට කියා සිටියේ ශබ්ද විකාශන යන්ත‍්‍රයක් ද යොදා ගනිමිනි.

මේ සියල්ලෙන් ප‍්‍රකාශයට පත් වන්නේ, සසප මැදිහත්වීම හරහා තම ද්‍රෝහී භූමිකාව අවබෝධ කර ගන්නා පහල සාමාජිකත්වය සමිතිවල ග‍්‍රහනයෙන් මිදී, සසප විසින් ඉදිරිපත් කරන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම කරා හැරෙතැයි නිලධරය තුල ඇතිව පවත්නා බලගතු භීතිය යි.

අනධ්‍යන කම්කරුවන් සටන් වැද සිටින්නේ පොදුවේ කම්කරුවන් මුහුන දෙන ප‍්‍රශ්න සමග බැවින් එය තමාගේම අරගලයක් ලෙස සලකා සහාය දෙමින් එය වර්ධනය කිරීමට අනෙකුත් ක්ෂේත‍්‍රයන්හි කම්කරුවන් පෙරට පැමිනිය යුතු බව සසප ප‍්‍රකාශනයෙන් පෙන්වා දුනි. එමෙන්ම, අනධ්‍යන කම්කරුවන් වෘත්තීය සමිති වලින් බිඳී අනෙකුත් කම්කරුවන් දෙසට හැරෙමින්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ උපකරනයන් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ආරම්භකත්වයක් ගතයුතු බව ද එහි සඳහන් විය.

නිලධරයේ බාධා කිරීම් තිබියදීම, මාර්තු 18 වන දා, සසප සාමාජිකයෝ පේරාදෙනිය රජවත්තෙහි පිහිටි විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක නිවාසයන්හි සාර්ථක උද්ඝෝෂනයක නිරත වූහ.

අනධ්‍යයන සේවකයකුවූ මැදගෙදර තම සටන ඉදිරියට ගෙන යාමට ඇති අධිෂ්ඨානය පිලිබිඹු කරමින් මෙසේ පැවසීය: “මොන බාධක ආවත් අපේ වර්ජනය අපි අඛන්ඩව කරගෙන යනවා. කොහෙත්ම නවත්වන්නේ නෑ. අපට ශිෂ්‍යයන්ගේ උදව්වත් ලැබෙනවා.”

ශිෂ්‍යයන්ගේ පමනක් නොව, මූලික වශයෙන්ම අවශේෂ කම්කරුවන් ගේ සහයෝගය බලමුලුගන්වා ගැනීම අවශ්‍ය වන බවත්, වෘත්තීය සංගම් එවැනි වැඩපිලිවෙලකට විරුද්ධ බවත් සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ. වෘත්තීය සමිති සහ සසප යෝජනා කරන ක්‍රියාකාරී කමිටු අතර පවත්නා අතිමූලික වෙනස්කම් පිලිබඳ සාකච්ඡාවක් දෙසට එය වර්ධනය විය.

පේරාදෙනියේ දී සසප සාමාජිකයන්ට එල්ල කිරීමට ගිය ප‍්‍රහාරය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසීය: “ඒ වෙලාවෙ ඔය අය හඳුනා ගන්න ගොඩක් අයට බැරිවුනා. සමිති කාර්යාලයට ගිහින් සාකච්ඡා කලා නම් එසේ නොවන්න තිබුනා.”

වෘත්තීය සංගම් නායකයන් සමග සසප සාකච්ඡා නොකරන බවත්, ඔවුන් ප‍්‍රකෝපකරනය නිර්මානය කලේ සසප දේශපාලනය හොඳින් හඳුනාගෙන බවත් උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ. කම්කරුවන් අතර මැදිහත්වීමට සසපට ඇති අයිතියට සහ සසප ක්‍රියාමාර්ගය සාකච්චා කිරීමට කම්කරුවන්ට ඇති අයිතියට එරෙහිව වෘත්තීය සමිති නායකයන්ගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වභාවය ගැන පැහැදිලිකල විට මැදගෙදර මෙසේ පැවසීය: “එදා සිද්ධිය සම්බන්ධයෙනුත් දැන් තමයි තේරෙන්නෙ. එහෙම අවබෝධයක් ඉස්සෙල්ල තිබුනෙ නෑ. කල්පනා කරල තීරනයක් ගමු.”

සරත්

මාස් ශාලාවේ සේවයේ නියුතු සරත් ප‍්‍රකාශ කලේ “ජයග‍්‍රහනයක් ගැන හිතා ගන්නවත් බෑ. හැමදාම සිද්ධවෙච්ච විදිහට මොනව හරි ලියවිල්ලක් දීපුවම වර්ජනය ඉවරයි. අපි කියන්නෙ අනධ්‍යයන සේවකයින්ට තනියම අරගලය දිනන්න බෑ කියන එකයි. අනිත් අයගෙ සහයෝගයත් අවශ්‍යයි” යනුවෙනි.

මාර්තු 15 වන දා සිද්ධිය ගැන ඔහුගේ අදහස මෙසේ විය: “එදා මම එතැන හිටියෙ නෑ. ඒත් ආරංචිවුනා. ඒක අසාධාරනයි කියල තමයි මං කියන්නෙ. මම ඔය පක්ෂයේ ලිපි ලේඛන පත්තර පවා කියවල තියෙනවා. ඔය අය කියන දේවලට මම එකඟයි.”

එදිරිසිංහ

එදිරිසිංහ නමැති අනධ්‍යන කම්කරුවාද සසප ට එරෙහි සමිති නිලධරයේ මැදිහත්වීම ගැන කතා කරමින් ආරම්භයේ දී කියා සිටියේ “වෘත්තීය සමිති එක්ක කතා කරල මැදිහත් වුනා නම් ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ” යනුවෙනි.

අනධ්‍යන සේවක වෘත්තීය සමිති පමනක් නොව, ලෝකයේ පවතින සෑම වෘත්තීය සමිතියක්ම සසප සහ එහි සහෝදර ශාඛාවන් ඉදිරිපත් කරන වැඩපිලිවෙලට සතුරු බැවින් සමිති සමග කරන සාකච්ඡාවකින් එවන් මැදිහත් වීමකට සහයෝගය නොලැබෙන බවත් සිදු වනුයේ එය වැලැක්වීම බවත් සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ.

“මෙහෙ විතරක් නෙවේ ලංකාව පුරාමත් ලෝකය පුරාමත් වෘත්තීය සමිති ක‍්‍රියා කරන්නෙ එහෙම තමයි. එක්සත් ජනපදයෙ බටහිර වර්ජිනියා වල ගුරු අරගලය ගත්තත් ඔය විදියටම තමයි වෘත්තීය සංගම් ක‍්‍රියා කරන්නෙ” යැයි සසප උද්ඝෝෂකයෙකු පැවසීය.

එදිරිසිංහ මෙසේ පැවසීය: “සසප පත‍්‍රිකා දෙක තුනක් මා ලඟත් තියෙනවා. ඒවා කියවලා නැවත කතා කරමු.”

Share this article: