අනධ්‍යන කම්කරුවන්ගේ පා ගමනට දහස් ගනනක සහභාගිත්වයක්:
සමිති නායකත්වයේ රහස් කේවලයන්ට එරෙහිව කම්කරු විරෝධය වැඩෙයි

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 මාර්තු 21

වැඩි වැටුප්, වෛද්‍ය රක්ෂනයක් සහ විශ‍්‍රාම වැටුපක් ඇතුලු ඉල්ලීම් කීපයක් මත වර්ජනයේ නිරතව සිටින රජයේ විශ්ව විද්‍යාලයන්හි අනධ්‍යන කම්කරුවෝ ඊයේ කොලඹ දී විරෝධතා පා ගමනක නිරත වූහ. දිවයින පුරා පිහිටි සියලු රජයේ විශ්ව විද්‍යාල සහ ඊට අනුබද්ධ ආයතන සියල්ල නියෝජනය කරමින් කම්කරුවන් 4000 ක් පමන එයට සහභාගි වී සිටියහ.

පොලිසිය යොදා තිබූ අයුරු

රාජගිරියෙන් අරඹා පාර්ලිමේන්තුව දෙසට ගමන්ගත් පා ගමන, බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම් මංසන්ධියේදී, පොලිස් මාර්ග බාධක යොදා නතර කෙරුනි. කම්කරුවන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට තැත් කලහොත් එය වැලැක්වීම සඳහා ජල විදින යන්ත‍්‍රද සමග සන්නද්ධ පොලිස් භටයන් සිය ගනනක් එහි රඳවා තිබුනි.

බාධකය අසල රැඳුනු කම්කරුවෝ පැය භාගයකට ආසන්න කාලයක් පිකට් උද්ඝෝෂනයක යෙදුනු අතර, වර්ජනය සහ පා ගමන කැඳවූ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ නිලධාරීහු කම්කරුවන් ඇමතූ රැස්වීමකින් විරෝධතාව අවසන් කෙරුනි.

පෙබරවාරි 28 වන දා ආරම්භ කෙරුනු වැඩ වර්ජනයට 15,000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වී සිටින අතර ඊයේ වන විට එයට දින 21 ක් ගතව තිබුනි. භාන්ඩාගාරයේ මුදල් නොමැති බව පවසමින් ආන්ඩුව අනධ්‍යන කම්කරුවන්ගේ ඉල්ලීම් එකහෙලා ප‍්‍රතික්ෂේප කරයි.

පිකට් උද්ඝෝෂනය

ඒකාබද්ධ කමිටුවට සාකච්ඡාවක් හෝ ලබාදිය හැක්කේ වැඩ වර්ජනය නවතා දැමුවහොත් පමනක් බවට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා තර්ජනය කර තිබුනි.

පා ගමන කැඳවනු ලැබුවේ, උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ අදාල රාජ්‍ය නිලධාරීන් සමග පැවැත් වූ සියලු සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව පාර්ලිමේන්තු නියෝජිතයන් හමුවේ තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට බව සමිති නායකයෝ රැස්වීමේදී පැවසූහ.

ඉල්ලීම් ලබා දීමට එරෙහිව පිහිටා සිටිනුයේ, දැඩි ආර්ථික අර්බුදයකින් වෙලී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් බව සහ එම පිලිවෙත් නිර්නය කෙරෙනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බව වසන් කරමින්, සමිති නායකයෝ ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ඇතුලු රාජ්‍ය නිලධරයට චෝදනා කලහ.

ලැබෙන වැටුපෙන් ජීවත් වීමට නොහැකි තත්වයට අනධ්‍යන කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය ඇද දමා සිටින සහ ඔවුනගේ ඉල්ලීම් දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කරමින් කම්කරු අරගල දැඩිලෙස මර්දනය කරමින් සිටින ආන්ඩුවට එරෙහිව එක් වචනයක් හෝ කතා නොකිරීමට සියලු සමිති නායකයෝ වග බලා ගත්හ.

සොච්චම් වැටුප් වැඩි කිරීමකට වර්ජනය පාවා දීමේ සූදානම ප‍්‍රකාශ කරමින්, ඒකාබද්ධ කමිටුවේ සම සභාපතිවරයෙකු වන ගයාන් පීරිිස් මෙසේ පැවසීය:

“නිලධාරීන් සහ මුදල් අමාත්‍යංශය අපට සත පහක්වත් දෙන්න බැහැයි කියපු තත්වයේ සිට සමිති නායකයන්ට හැකිවෙලා තියෙනව ගරු ඇමතිතුමාගෙ අවධානය යොමු කරල ජයග‍්‍රාහී විදියට මෙම වැඩ වර්ජනය අවසන් කරන්න කීයක් හරි දෙන්න ඕන තැනට අපි මේ සටන ගෙනල්ල තියෙනව.” ආන්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වය වන එක්සත් ජාතික පක්ෂයට (එජාප) අයත් ජාතික සේවක සංගමය නියෝජනය කරන පීරිස් කියා සිටියේ, එජාපය නියෝජනය කරන උසස් අධ්‍යාපන ඇමති කබීර් හසීම් කෙරෙහි විශ්වාසය තබන බවයි.

ජනාධිපති සිරිසේන ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතිය වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ අසංක ද මෙල් පැවසුවේ ” දිගටම බොරු කියන” ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවයි. “අපිට කිව්ව ඒ ගොල්ල ඉන්නෙ බිංදුවේ, ඔය ගොල්ල ඉන්න ගාන කියන්න කියල. අපි අපේ ගාන කියල ආව. නිලධාරීන් මුකුත් නෑ.” කෙසේ නමුත් සමිති නිලධරයේ ගනන කුමක්ද යන්න සාමාජිකත්වයට නොපැවසීමට මෙල් වග බලා ගත්තේය.

අනධ්‍යන අරගලයට සමස්ත කම්කරු පන්තියේ සහාය පතනු වෙනුවට, ද මෙල් යෝජනා කලේ ඉල්ලීම් ලබා නොදීමට තීන්දු කර සිටින ආන්ඩුවේ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ සහාය පැතීමයි. “අපි ජාතික සේවක සංගමයෙන් ඉල්ලා සිටිනව ඇමතිතුමා එක්ක සාකච්ඡා කරල මේ ප‍්‍රශ්නය හැකි ඉක්මනින් ඉවර කරන්න කියල.”

ඒකාබද්ධ කමිටුවේ තවත් නායකයෙකු වන කේ.සී.කේ. දැරනියගල ගේ කතාව තුල ඔහු පැවසුවේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡුාවේ දී ඔවුනගේ “කේවලය” ලබාදුන් බවයි. ඔහු ද කේවලය කුමක්ද යන්න නොපැවසීය.

කමිටුවේ සමලේම්වරයෙකු වන ඩී.එස්. ප්‍රියන්ත පැවසුවේ 2016 දී උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ ඒකාබද්ධ කමිටුව අතර අත්සන් කෙරුනු එකඟතා ගිවිසුම “නීති විරෝධී” බවත් එය ක්‍රියාත්මක කිරීමට තමාට “බලයක්” නැති බවත් පෙර දිනයේ පැවති සාකච්ඡාවේ දී එම අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටි බවයි.

විරෝධතා දේශපාලනයේ බංකොලොත්භාවය නග්නව හෙලිදරව් වී තිබියදී පවා එය තුලම කම්කරුවන් කොටුකර තැබීම ඉලක්ක කර ගනිමින් ප්‍රියන්ත හුදු “සටන්කාමීත්වය” උත්කර්ෂයට නැංවීය. “ඔබේ සටන්කාමීත්වය, ශක්තිය සහ ජීවගුනය තුල අනිවාර්යයෙන්ම අපි මේ සටන දිනනවා.”

ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ තම කතාව ආරම්භ කලේ “අපට ආරක්ෂාව දෙන පොලීසියේ මහත්වරුන්ට ආචාරය පුද කරන” බව පවසමිනි. ඒකාබද්ධ කමිටුවේ ධනේශ්වර ස්වභාවය අනාවරනය කරමින් ඔහු පැවසුවේ “ජාතික සේවක සංගමයේ සිට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය දක්වා සියලු දේශපාලන පක්ෂ වල වෘත්තීය සමිති එකතු කරල තියෙන්නෙ” විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රයේ පමනක් බවයි. ආන්ඩුව කොක්කෙන් ගලවමින්, ඉල්ලීම් ලබා නොදීමේ සම්පූර්න වගකීම ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වෙත පැවරූ මල්වත්තගේ පැවසුවේ සභාපතිවරයා එම තනතුරට “නුසුදුසු” බවයි. “අපි ඕන තැනක ඕන මුල්ලක සාකච්ඡාවට කැමතියි. අපි සභාපතිවරයාගෙ පැත්තට බෝලෙ වීසි කරනවා.”

ඉල්ලීම් ලබා නොදීම සහ එල්ල කෙරෙන අනෙකුත් ප‍්‍රහාරයන්ගේ වගකීමෙන් ආන්ඩුව මුදා හැරීමට සමිති නිලධරය දරන උත්සාහයට මෙන්ම සාමාජිකත්වයට හොර රහසේ කෙරෙන කේවලයන් සම්බන්ධයෙන් හිතන මතන කම්කරුවන් අතර වැඩෙමින් පවතින්නේ බලගතු විරෝධයකි.

විරෝධතාවයට සහභාගි වූ රුහුනු විශ්ව විද්‍යාලයේ කම්කරුවෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට මෙසේ පැවසීය:

“සැබැවින්ම ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ක්‍රියාත්මක කරන්නෙ ආන්ඩුවේ නියෝග. ලොකු මුදල් අර්බුදයක ඉන්න ආන්ඩුව තීන්දු කරල තියෙනව වියදම් කපන්න. ආන්ඩුවට මේ කප්පාදු නියෝග දෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලත් අපි දන්නව. මේව සමිති නායකයොත් දන්නව. ඇත්තටම අවසාන විග‍්‍රහයෙදි අපේ සටන තියෙන්නෙ ආන්ඩුවයි මූල්‍ය අරමුදලයි එක්ක.”

මෙම සත්‍යය සමිති නායකත්වය විසින් වසන් කරන බව පැවසූ ඔහු මෙසේ කීවේය: “ඒකාබද්ධ කමිටුවේ ඉන්නෙ ආන්ඩුවේම සමිති. ඉල්ලීම් නොදීම සම්බන්ධයෙන් වග කියන්න ඕන ආන්ඩුව කියල හෙලි කලොත් ආන්ඩුවට විරුද්ධව සටනක් කරන්න වෙනවනෙ. ඒකට මේ නායකයො විරුද්ධයි.”

සාකච්ඡාවට එකතු වූ එම විශ්ව විද්‍යාලයේම වෙනත් කම්කරුවෙකු පැවසුවේ ඒකාබද්ධ කමිටුවේ නායකත්වය යටතේ සටන ජයගත හැකි වෙතැයි කිසිසේත්ම නොසිතන බවයි. ” සියයට 35 ක පඩි වැඩි කිරීමේ ඉල්ලීම අත හැරල සියයට 5 ක වැඩි වීමකට සමිති සූදානම් වන බවට ආරංචි ලැබිල තියෙනව. කේවලය කීයද කියල සමිති නායකත්වය අපිට කියන්නෙ නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී විධිය නම් මේවා සමිති සාමාජිකත්වය එක්ක සාකච්ඡා කරලයි තීන්දු කරන්න ඕන.”

ධනේශ්වර ආන්ඩුවට එරෙහි දේශපාලන සටනක් අවශ්‍ය බව එකහෙලා පිලිගත් නමුදු එය කරන්නේ කෙසේද යන්න පිලිබඳ අදහසක් ඔවුනට නොවීය.

“විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන් සඳහා ඉදිරි මාවත” නම් වූ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප‍්‍රකාශයෙන් උපුටා දක්වමින්, ආන්ඩුවට සහ ධනපති ක‍්‍රමයට එරෙහි දේශපාලන අරගලයකට මුලුමනින්ම විරුද්ධ “වෘත්තීය සමිතිවලින් බිඳී වෙන්වී, කම්කරුවන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡා මගින් තීන්දු සහ තීරන වලට එලැඹෙන්නා වූ ස්වාධීන ක‍්‍රියාකාරී කමිටු” ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.

ආන්ඩුවේ ප‍්‍රහාරයන්ගෙන් බැටකන අනෙක් සෑම ක්ෂේත‍්‍රයකම කම්කරුවන් සමග එකතු වී ගොඩනගා ගන්නා මෙම ස්වාධීන කම්කරු ක‍්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයක නායකත්වය යටතේ ඒකාග‍්‍ර කරමින්, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා සටන් වැදිය යුතු බව ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.

ජීවත් වීමට සරිලන වැටුප් සහිත රැකියාවක්, මනා සෞඛ්‍යයක්, නිසි අධ්‍යාපනයක් සහ ආරක්ෂිත විශ‍්‍රාම දිවියක් යන අයිතීන් තහවුරු කල හැකි එම වැඩපිලිවෙල “නවතම” සහ “තාර්කික” බව මුලින් කතාකල කම්කරුවා පැවසීය.

වෘත්තීය සමිති වල ද්‍රෝහී භූමිකාව හෙලිදරව් කෙරෙන ඉහත සඳහන් සසප ප‍්‍රකාශයේ පිටපත් කම්කරුවන් අතර බෙදා හරිමින් ඔවුන් සමග සාකච්ඡාවේ නිරත වුනු සසප සාමාජිකයන්ට එය නතර කරන ලෙස තර්ජනය කල සමිති නිලධරය කායික ප‍්‍රහාරයකට ද අර ඇඳීය. මෙම තර්ජන පිටුපසින් පවතින්නේ කම්කරුවන් සමිති වල සහ නිලධරයේ ග‍්‍රහනයෙන් මිදී අරගලය තම අතට ගනිතැයි යන භීතිය යි.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධ කමිටු නිලධරයෙකු වන එච්.එම්.ආර්.පී.බී. හේරත්, එම විශ්ව විද්‍යාලයේම අනධ්‍යන කම්කරුවෙකු සහ සසප සාමාජිකයෙකු වූ දේහින් වසන්තට තර්ජනය කරමින් ඔහු අත තිබූ පත්‍රිකා උදුරා ගැනීමට තැත් කලේය. මෙම ප‍්‍රකෝපකරනය වහා ඩැහැගත් පොලීසිය මැදිහත් වී සසප සාමාජිකයන් ඉවත් කිරීමට උත්සාහ දැරීය.

තම ප‍්‍රකාශය කම්කරුවන් අතර බෙදා හැරීමට තමා ට ඇති ප‍්‍රජාතන්ත්‍රීය අයිතිය ප‍්‍රකාශ කරමින් සසප සාමාජිකයෝ දිගටම උද්ඝෝෂනයේ යෙදීගත් අතර නිලධරයේ බාධා තිබියදීම කම්කරුවෝ ප‍්‍රකාශයේ පිටපත් ඉල්ලා ගත්හ.

සසප සාමාජිකයන්ට නිලධරයෙන් එල්ල කෙරුනු බාධා සහ තර්ජනයන් සම්බන්ධයෙන් විරෝධය පල කරමින් කරාපිටිය වෛද්‍ය පීඨයේ සේවයේ නියුතු කුමාර නම් කම්කරුවා පැවසුවේ, නිලධරයේ මැදිහත් වීමෙන් උල්ලංඝනය කෙරුනේ සසප හි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය පමනක් නොවන බවයි. “සසප කියන්නේ කුමක්ද යන්න දැන ගැනීමට අනධ්‍යන කම්කරුවන් වන අපට ඇති අයිතිය ද එයින් උල්ලංඝනය වෙන” බව ඔහු පැවසීය.

Share this article: