තරුනයනි, ශිෂ්‍යයනි,
වර්ජනයේ යෙදී සිටින විශ්ව විද්‍යාල කම්කරුවන් සමග එක්ව ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් කරමු !

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයේ ප‍්‍රකාශයකි, 2018 මාර්තු 12

රජයේ විශ්ව විද්‍යාලයන්හි අනධ්‍යන සේවයේ නියුතු කම්කරුවන් 15,000 ක්, වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, පසුගිය 28 දා සිට අඛන්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති.

ආන්ඩුවේ තර්ජනයන් සහ වෘත්තීය සමිති නායකත්වයන්ගේ පසුපසට ඇදීම් මධ්‍යයේ්, අනධ්‍යන කම්කරුවන් විසින් ගෙන යන මෙම ධෛර්යමත් වැඩ වර්ජනයට සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සිය පූර්න සහයෝගය පල කර සිටී.

සියයට 20 ක වැටුප් වැඩි කිරීමක්, දැනට දෙනු ලබන සහනදායී නයෙහි ඉහල දැමීමක්, භාෂා දීමනාවක්, වෛද්‍ය රක්ෂන ක‍්‍රමයක් හා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් මෙම වර්ජිත කම්කරුවෝ ඉල්ලා සිටිති.

අනධ්‍යන කම්කරුවන් සටන් වැද සිටින්නේ, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිතයන් පොදුවේ මුහුන දී සිටින, වටිනාකමෙන් පහල වැටෙන වැටුප්, පිරිහෙමින් පවතින සමාජ යටිතල පහසුකම්, නිදහස් අධ්‍යාපනය මත ප‍්‍රහාරය සහ වැඩෙන සමාජ අසමානතාව ට එරෙහිවයි.

විශ්ව විද්‍යාල කම්කරුවන්ගේ අරගලය සමග එක්වෙමින්, එය ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහි පොදු අරගලයක් ලෙස වර්ධනය කිරීමට පෙරට පැමිනෙන ලෙස, විරැකියාවට මුහුන දී සිටින තරුනයන්ගෙන් ද අධ්‍යාපන කප්පාදුවට හා පෞද්ගලීකරනයට එරෙහිව සටන් කරමින් සිටින සිසුන්ගෙන් ද සසජාතශි ඉල්ලා සිටී.

වැටුප් ඉල්ලීම් මුල් කර ගනිමින්, මෑතක දී, විදුලිබල, තැපැල් හා දුම්රිය කම්කරුවන් විරෝධතාවල සහ වර්ජනවල නිරත වූ අතර සුභසාධන හා සහනාධාර කප්පාදුවට එරෙහි ගම්බද ගොවියන් අතුලු පීඩිත ජනයාගේ විරෝධතා අඛන්ඩව ඇවිලී යමින් පවතී. දිගු කාලීන පන්ති වර්ජනවලට හා විරෝධතාවලට සම්බන්ධ වෙමින් ආන්ඩුවේ ප‍්‍රහාර පරාජය කිරීම සඳහා සටන් වැදීමේ අධිෂ්ඨානය සිසුන් විසින් ද එක දිගටම පෙන්වා තිබේ.

ලංකාවේ කම්කරු පන්තියේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල, ලෝක ධනවාදයයේ අර්බූදයට ප‍්‍රතිචාර ලෙස ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ප‍්‍රන්සය, ඉන්දියාව ඇතුලු රටවල ජාත්‍යන්තර පරිමානව යලි මතුව ඇති පන්ති අරගල මාලාවක කොටසකි.

ලෝකයේ අනෙක් සෑම රටකදී මෙන්ම ලංකාවේදීත් කම්කරු පීඩිතයන්ගේ හා ශිෂ්‍යයන්ගේ දැවෙන අවශ්‍යතා, මූල්‍ය ප‍්‍රාග්ධනයේ විධානයන් මත ආන්ඩුව කි‍්‍රයාවට නගමින් සිටින කප්පාදු වැඩපිලිවෙල සමග සෘජුව ගැටේ. දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 5.6 ක් වන ශ්‍රී ලංකාවේ අය-වැය පරතරය 2020 දී සියයට 3.8 ක මට්ටමට කප්පාදු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති නියෝගය ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපනය ඇතුලු අනෙකුත් ක්ෂේත‍්‍රයන් හි සිදු කෙරෙන දැවැන්ත කප්පාදු හරහා යි.

මෙම ප‍්‍රහාර වලට එරෙහිව මතුවන කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගල පොලීසිය සහ මිලිටරිය යොදා තලා දැමීම ආන්ඩුව සතු එකම විකල්පයයි.

දෙස් විදෙස් මහ ධනපතියන්ගේ ලාභ තර කිරීම සඳහා ගෙනයන කප්පාදු පියවරයන්ට මෙන්ම, කම්කරුවන්ට සහ අවශේෂ පීඩිත ජනයාට එරෙහිව ක්‍රියාවට නගමින් තිබෙන පොලිස්-මිලිටරි රාජ්‍ය සැලසුම් වලට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු පාලක පන්තියේ සියලු කොටස් තුල ඇත්තේ පොදු එකඟත්වයකි.

එමෙන්ම, කම්කරුවන්ගේ සහ සිසුන්ගේ අරගලවල මුදුනේ ලැග සිටින වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංගම්, ප‍්‍රහාරයන්ගේ මූලය ධනපති ක‍්‍රමයේ අර්බුදය බව දැනුවත්ව වසන් කරයි. ධනපති ආන්ඩුවලට බලපෑම් දමා ඉල්ලීම් දිනාගත හැකිය යන මිත්‍යාව වපුරන මෙම සමිති සහ සංගම්, විරෝධතා දේශපාලනය තුල කම්කරුවන් සහ සිසුන් සිරකොට, ආන්ඩුවටත් සමස්ත ධනපති ක‍්‍රමයටත් එරෙහි කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය වීම වලකා ලයි.

විශ්ව විද්‍යාල අනධ්‍යන අරගලය තුල දී මෙන්ම අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහි සිසුන්ගේ අරගලය තුල දී එය ඉතා පැහැදිලිව ඉස්මතු වී තිබේ.

අනධ්‍යන කම්කරුවෝ මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් 2016 ජුනි මාසයේ දී ද වර්ජනයකට සම්බන්ධ වූ නමුත් ආන්ඩුව එහිදි ලබා දුන් පොරොන්දු මත විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (විවෘසඒක_) වර්ජන ක්‍රියාමාර්ග අත් හැරියේ ය. ආන්ඩුව දුන් පොරොන්දු කඩකර ඇතුවා පමනක් නොව ඛනිජ තෙල්, වරාය හා විදුලි මන්ඩල කම්කරුවන්ගේ වර්ජනවල දී සිදු කලා මෙන් වර්ජනය නීති විරෝධී බවට ප‍්‍රකාශ කර කම්කරුවන්ට එරෙහි දඩයමකට ද ආන්ඩුව සූදානම් වී සිටී.

මෙහිදී, පාලක පන්තිය විසින්ම උසිගන්වා පෙරටගනු ලැබූ වාර්ගික ප‍්‍රකෝපකරනයන් දඩමීමා කර ගනිමින් ආන්ඩුව පනවා ඇති හදිසි නීතිය අනධ්‍යන කම්කරුවන්ට එරෙහිව යොදා ගැනීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත.

මෙම තත්වය තුල, ඒකාබද්ධ කමිටුවේ නායකයන් සාමාජිකත්වයට කියා සිටින්නේ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභා නිලධාරීන්ගේ දරදඬුභාවය නිසා ඉල්ලීම් ඉටු නොවන බව යි.

මෙම සමිති නායකයන් මෙන්ම, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) සහ එයට දේශපාලනික නායකත්වය දෙන ව්‍යාජ-වාම සංවිධානය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද, අධ්‍යාපනයේ පුද්ගලීකරන වැඩපිලිවෙල ඉදිරියටම ගෙනයාම සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කරනුයේ ඒ හෝ ඇමතිවරයාට යි.

වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංගම් නායකත්වයේ මෙම ප‍්‍රලාපයන්ට විපරීතව, පෙරදීද පෙන්වා ඇති පරිදි, ආන්ඩුවේ මෙම කප්පාදු පිලිවෙත් ඉදිරියටම ගෙනයාම සම්බන්ධයෙන් දෘඪතරව සිටින්නේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ සංවිධිත රූපය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. දැවැන්ත ආර්ථික අර්බුදයකට හසුව සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට මූල්‍ය අරමුදලේ විධානය වනුයේ ‘වියදම් කපනු’ යන්නයි.

වැඩි වැටුප් ඉල්ලා සටන් වදින කම්කරුවන්ටත්, අධ්‍යාපන කප්පාදුවට එරෙහිව සටන් වදින සිසුන්ටත් ආන්ඩුව කියා සිටින්නේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා මුදල් නොමැති බවයි.

ආර්ථික පිලිවෙත් නිර්නය කරනුයේ, මහා සංගතයන්ගේ, මූල්‍ය ප‍්‍රභූවේ සහ ඔවුනගේ නියෝජිතයන් වන ධනපති පක්ෂයන්ගේ අවශ්‍යතා මතද, නැතහොත් සමාජයේ සියලු වත්කම් හි සැබෑ නිශ්පාදකයා වන කම්කරු පන්තිය ද යන ප‍්‍රශ්නය මහජනතාවට සෘජුව අභිමුඛ කෙරී ඇත.

අපි මෙසේ යෝජනා කරන්නෙමු: වත්කම් හි සැබෑ නිශ්පාදකයා වන කම්කරු පන්තියේ අවශ්‍යතා මත ආර්ථික පිලිවෙත් නිර්නය විය යුතු ය. එය සිදු කිරීමට නම් ධනපතියන් අත පවත්නා නිශ්පාදන මාධ්‍යයන්, එනම් මහා පරිමාන වතු, ෆැක්ටරි සහ බැංකු, කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට නිශ්පාදනයේ පදනම, ලාභය නොව, මානව අවශ්‍යතාව බවට පත් කල යුතුය. මෙය වනාහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.

මෙම සටනට නායකත්වය දිය හැකි සමාජ පන්තිය ලෙස ඓතිහාසිකව නිර්නය වී ඇත්තේ ද සැබෑ නිශ්පාදකයා වන කම්කරු පන්තිය යි. ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහි අරගලයේ දී සිසුන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් කම්කරු පන්තියේ නායකත්වය යටතේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනට බලමුලු ගැන්විය යුත්තේ එබැවිනි.

අවිශිබම සහ පෙසප එවන් වැඩපිලිවෙලකට මුලුමනින්ම සතුරුය. ‘සිසු අරගල’ උත්කර්ශයට නංවන මෙම සංවිධාන, කම්කරු පන්තියේ නායකත්වය යටතේ සිසුන් සංවිධානය කිරීමට එරෙහිව, සිසුන්ගේ නායකත්වය යටතට කම්කරු පන්තිය ගෙනඒමේ ප‍්‍රතිගාමී ව්‍යායාමයක යෙදී සිටිති.

අවිශිබම සහ පෙසප කම්කරුවන්ගේ අරගල සම්බන්ධයෙන් දක්වන්නේ අතිශය නින්දා සහගත ආකල්පයකි. මාර්තු 05 වන දා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති අනධ්‍යන කම්කරුවන්ගේ රැස්වීමක් ආමන්ත‍්‍රනය කරමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පැවසුවේ, ‘අවමඟුලකට සහභාගි වීමට ඇති බැවින්’ ඊට පසු දින පැවැත්වීමට නියමිතව තිබූ අනධ්‍යන කම්කරුවන්ගේ විරෝධතා පා ගමනට සිසුන් ‘කීප දෙනෙකු’ හෝ සහභාගි කරවන බවයි. මහා ශිෂ්‍ය සංගමය ට නායකත්වය දෙනු ලබන්නේ අවිශිබමයි.

‘කීප දෙනෙකු’ සහභාගි කරවීමේ අවිශිබම යේ ආකල්පයට එරෙහි ව, අනධ්‍යන කම්කරු අරගලය වටා තම සහෝදර සිසුන් හැකිතාක් බලමුලු ගැන්වීමට සිසුන් විසින්ම ආරම්භකත්වයක් ගත යුතුය. එවන් ආරම්භකත්වයක්, සිසුන් කම්කරු පන්තිය දෙසට හරවා ගැනීමේ පලමු පියවරක් ද වනු ඇත.

එවන් හැරී ගැනීමක්, මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය, ජාතික හෙල උරුමය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වැනි ධනපති සංවිධාන හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) බඳු ව්‍යාජ වාම පක්ෂවල නායකයන් හා හොරිකඩ වෘත්තීය සමිති නායකයන් එකතු කොට අවිශිබමය සහ පෙසප විසින් ගොඩනැගූ, “සයිටම් විරෝධි සිසු-ජන පෙරමුන” වැනි ධනපති පෙරමුනු වලට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් දෙසට සිසුන් තබන පියවරක් වෙයි.

ධනපති ක‍්‍රමය තුල තවදුරටත් ප‍්‍රතිසංස්කරන සඳහා පෙනී සිටින වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංගම් ධනවාදයේ පෙර නොවූ විරූ අර්බූදය හමුවේ කම්කරුවන් සහ ශිෂ්‍යයන් මත ප‍්‍රහාර එල්ල කරන ධනපති ආන්ඩුවල හා හාම්පුතුන්ගේ සෘජු නියෝජිතයන් බවට පත්ව ඇත.

මීට විපරීතව, විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන්ගේ අරගලය වටා ශිෂ්‍යයන් හා තරුනයන් බලමුලූ ගැන්වීමට සටන් වදින සසජාතශි, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සමග එක්ව අරගලයේ යෙදී සිටින්නේ කම්කරු පන්තියේ නායකත්වය යටතේ ශිෂ්‍යයන්, තරුනයන් හා ගොවීන් ඇතුලු ගම්බද පීඩිත මහජනයා බලමුලු ගන්වා, ධනපති පන්ති පාලනය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නගන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහායි.

ශිෂ්‍යයන් ඉහත සංවිධානයන්ගෙන් සහ ඒවායේ ධනපති දේශපාලනයෙන් මුලුමනින්ම බිඳී වෙන්වී සෑම අධ්‍යාපන ආයතනයකම සසජාතශි ශාඛාවන් ගොඩ නැගීමට පෙරට පැමිනිය යුතුය.

විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරු අරගලය ඉදිරියට ගෙන යෑම සඳහා කම්කරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙසත් ඒ සඳහා විශ්ව විද්‍යාල හා වැඩබිම් මට්ටමින් සාකච්ඡා සංවිධානය කරමින් අප හා සම්බන්ධවන්නැයි සසජාතශි තරුනයන්ට සහ ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටී.

Share this article: