පාක්ලෑන්ඩ් වෙඩි තැබීම: එක්සත් ජනපදය තුල සමූහ ඝාතන මෙතරම් සුලභ ඇයි?

The Parkland shooting: Why are mass killings so common in the United States?

2018 පෙබරවාරි 23

ශිෂ්‍යයන් 14ක් ඇතුලු ව පුද්ගලයන් 17ක් ඝාතනය කරමින් ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාඨශාලාවේ දී 19 හැවිරිදි නිකොලස් කෲස් ගිනිකොනදිග ෆ්ලොරිඩාහි දී වෙඩි තැබූ පෙබරවාරි 14දා ඇමරිකානු සන්ත‍්‍රාස නාටකයක් රඟ දැක්වුනි.

1999 අප්‍රේල් මාසයේ කොලොරාඩෝහි කොලොම්බියන් උසස් පාඨශාලාවේ දී සිසුන් දෙදෙනෙකු විසින් ශිෂ්‍යයන් හා ගුරුවරුන් 13ක් මරා දමා දිවි හානි කරගත් විට රට කම්පනයට පත් විය. පසුගිය විසිවසර පුරා භාතෘ ඝාතක ප‍්‍රචන්ඩත්වය මුලුමනින් ම පාහේ පොදු දෙයක් බවට පත් ව තිබෙන අතර, එවැනි සිදුවීම් හේතුවෙන් අනෙකුත් තැන්වල සිදුවන මරන කොලොම්බියන්හි දී සිදු වූ මරන සංඛ්‍යාවට වඩා බොහෝ වැඩි වේ. 2017 ලාස් වේගාස් ප‍්‍රහාරයෙන් 58 දෙනෙකු මරා දැමුනි. 2016 දී ෆ්ලොරිඩාහි පල්ස් රාත‍්‍රී සමාජශාලාවේ ප‍්‍රහාරයෙන් 49ක් මැරුනි. 2014 දී සැන් බර්නාඩිනෝහි වෙඩි තැබීමෙන් පුද්ගලයන් 14ක් මැරුනි. 2012 දී සැන්ඩි හූක් ප‍්‍රාථමික පාසලේ ප‍්‍රහාරය ජීවිත 28ක් බිලිගත්තේ ය. 2012 දී ම කොලොරාඩෝහි අවුරෝරා චිත‍්‍රපට රඟහලේ ප්‍රේක්ෂකයන් මත එල්ල වූ ප‍්‍රහාරයකින් 12 දෙනෙක් මරුමුවට පත්වුනි. 2009 දී ෆෝට් හුඩ් හමුදා කඳවුරේ වෙඩි තැබීමකින් 13ක් ජීවිතක්ෂයට පත්වුනි.

මෙම ඝාතන හුදෙක් 1999 ඝාතනයට වඩා මරනීය වනවා පමනක් නො වේ: එවැනි සිදුවීම්වල සුලභතාව ද වැඩි ය. මරන හතරකට වඩා සිදුවන සමූහ ඝාතන එක්සත් ජනපදය තුල සෑම දින 16කට ම වරක් සිදුවන අතර, එය සමූහ ඝාතන දෙකක් අතර සාමාන්‍ය කාල පරතරය දින 200ක් වූ 1982-2011 සමයට වඩා දසගුනයකින් ඉහල අගයක් ගනී.

පූර්ව වෙඩිතැබීම්වලින් පසුව සාමාන්‍යයෙන් සිදු වූ “එක්සත් කම” හා “ස්මරනය කිරීම” සඳහා වන නරුම ආයාචනාවලට අමතර ව කෝපාග්නියේ රැල්ලක් මෙවර අත්වැල් බැඳගෙන තිබේ. ජනාධිපති ට‍්‍රම්ප් ද ඇතුලු දේශපාලනඥයින්ට විරුද්ධ ව සිසුවන් තියුනු ලෙස අදහස් දක්වා තිබෙන අතර, දහස් ගනන් සිසුන් සහභාගි වන පාඨශාලාවලින් පිටත විරෝධතා රටපුරා උසස් හා මධ්‍යම පාඨශාලාවල්වල පැවැත්වී තිබේ.

සමූහ ඝාතන රැල්ල ඇමරිකානු සමාජයේ ගැඹුරට මුල් විහිදෙන ව්‍යාධියකට සාක්ෂි දරන සිසු තරුනයෝ හඳුනා ගනිති. කෲස් ඔහුගේ පන්තියේ හිතවතුන්ට වෙඩි තබද්දී පන්ති කාමර ගබඩාවක සැඟවී සිටි ජස්ටින් ගෲබර් ඒබීසී නිව්ස් වෙත පෙබරවාරි 21දා අදහස් දක්වමින් මෙසේ කීවේ ය: “මම ඉපදුනේ කිසි දිනක ආරක්ෂාව හා සාමය අත්දැකීමට ලැබී නැති ලෝකයකට. මේ රට තුල අර්ථභාරී වෙනසක් සිදුවීම අවශ්‍යය යි.”

විරෝධතාවන් ආරම්භයේ දී නාභිගත ව ඇත්තේ ගනන් නැති භාතෘ ඝාතක ප‍්‍රචන්ඩත්වයන්හි දී භාවිතා කෙරී ඇති ප‍්‍රහාරක රයිෆලයන් වෙතට ය. එවැනි ආයුධ සැලකිය යුතු මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන තරුනයන්ට පවා ඉතා පහසුවෙන් ලබාගත හැකිවීමේ කරුන ම ඇමරිකානු සමාජයේ අතාර්කිකත්වයේ පැහැදිලි ප‍්‍රකාශනයක් ලෙස දැකගනු ලැබේ. ෆැසිස්ට්වාදී නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් (ජාතික රයිෆල් සමාජය) කෙරෙහි වන වෛරය හා එම ප‍්‍රතිගාමී සංවිධානයෙන් මුදල් ලබන දේශපාලනඥයින් කෙරෙහි වන අවඥාව මුලූමනින් ම යුක්තියුක්ත ය. එහෙත් මාධ්‍ය හා ඩිමොක‍්‍රටික් පක්ෂය විසින් ද දිරිමත් කරනු ලැබ තිබෙන ආයුධ මතට වන කුදුමහත් නාභිගත කිරීම, පාක්ලෑන්ඩ් ශෝකාන්තයේ වඩා ගැඹුරු හේතූන් නොසලකා හැරීමේ කරුනක් බවට පත්වීමේ අනතුර පවතී.

පාක්ලෑන්ඩ් වෙඩි තැබීම වැනි ලොමු දැහැගන්වන සිද්ධි මාධ්‍යවල උද්ධෘතයන් අරක් ගත්ත ද එවැනි සිදුවීම් නියෝජනය කරන්නේ ඇමරිකානු සමාජයේ ආන්තික ප‍්‍රචන්ඩකාරීත්වයේ කුඩා අංශුමාත‍්‍රයක් පමනි.

2000 වසරේ පටන් එක්සත් ජනපදය තුල මිනීමැරීම් 270,000ක්, ඔපියොයිඩ් මරන 200,000ක් ද ඇතුලු ව ඖෂධ අධිමාත‍්‍රා මරන 600,000ක්, යුද රනකාමීන්ගේ දිවිනසා ගැනීම් 130,000ක් ඇතුලූ ව දිවිනසා ගැනීම් 650,000ක් සහ වැඩපොල මරන 85,000ක් සිදු වී තිබේ. නියමිත සෞඛ්‍යාරක්ෂනය නැති කමින් මෙම කාලය තුල අකල් මරනවලට 700,000ක් පමන ගොදුරු වී යයි තක්සේරු කෙරේ. 2000 සිට 2014 දක්වා පොලීසිය විසින් 12,000කට වැඩි දෙනෙක් මරා දමා ඇති අතර, 1998 පටන් එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව පැනයාමට තැත්කිරීමේ දී 27,000ට ආසන්න ගනනක් මියගොස් තිබේ. 2000 පටන් දල වසයෙන් 850 දෙනෙකු ආන්ඩුව විසින් මරාදමනු ලැබ ඇත. මිලියන 2.2කට වැඩි වැඩිහිටියන් සංඛ්‍යාවක් දැනට බන්ධනාගාරගත ව හෝ සිරදඬුවම් විඳිමින් සිටින අතර තවත් මිලියන 4.7ක් දෙනා පරිවාස සිර කාලය ගෙවමින් හෝ යහපත් කල් ක‍්‍රියා කාලය ගෙවමින් සිටිති.

ඇමරිකානු ප‍්‍රචන්ඩත්ව ප‍්‍රපංචය තුල තීරනාත්මක සාධක දෙකක් තිබේ. ඉන් පලමුවැන්න ආන්තික මට්ටමේ සමාජ අසමානතාව යි.

අසමානතාව හා සමාජ ප‍්‍රචන්ඩත්වයේ ඉහල මට්ටම අතර සහසම්බන්ධය පෙන්වන විද්‍යාත්මක අධ්‍යයන ගනන් නැති සංඛ්‍යාවක් තිබේ. 2009 දී පල කල The Spirit Level: Why Greater Equality Makes Societies Stronger(අධ්‍යාත්ම මට්ටම: සමානතාව සමාජයන් ශක්තිමත් කරන්නේ ඇයි? ) නමැති කෘතියකට අනුව රටක අසමානතාව හා එය ප‍්‍රදර්ශනය කරන සමාජ ප‍්‍රචන්ඩත්වයේ මට්ටම අතර සෘජු සහසම්බන්ධයක් තිබේ. ද ස්පිරිට් ලෙවල් කෘතියේ සමකර්තෘ වර බ්‍රිතාන්‍ය සමාජ වසංගතවිද්‍යාඥ රිචඩ් විල්කින්සන් 2004 දී ලියූ ලිපියක“ඉහල අසමානතාව සමග සම්බන්ධිත ඉහල යන ප‍්‍රචන්ඩත්වය සමාජ සබඳතාවන්ගේ පුලුල් විතැන් වීමක කොටසකි” යයි විස්තර කරයි.

වඩා අසමාන පොහොසත් රටවල භාතෘ ඝාතක අනුපාතය වැඩි බව පෙන්වන ප‍්‍රස්ථාරයක් ඉහල අසමානතා මට්ටම් සහිත රටවල් ඉහල මට්ටමේ ප‍්‍රචන්ඩත්වයක් පෙන්වන බව ද ස්පිරිට් ලෙවල් නමැති කෘතිය තුල විල්කින්සන් හා පිකට් පෙන්වා දෙති.

Wilkinson and Pickett demonstrate in The Spirit Level that countries with higher levels of inequality exhibit higher levels of violence.

2015 කැලිෆෝනියාවේ සැන් බර්නාඩිනෝහි සමූහ වෙඩි තැබීමෙන් අනතුරු ව කැලිෆෝනියා ලොස් ඇන්ජලීස් විශ්ව විද්‍යාලයේ හැසිරීම, පරිනාමය හා සංස්කෘතිය පිලිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඩැනියෙල් එම්. ටී. ෆෙස්ලර් ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතට මෙසේ ලීවේ ය:

එහෙනම් අපේ සමාජය මෙතරම් ප‍්‍රචන්ඩ කරන්නේ කවරක් විසින් ද? පර්යේෂනය ඉඟි කරන්නේ ප‍්‍රධාන ධාවකයා වන්නේ ආදායම් අසමානතාව බව යි. කාර්මික ජාතීන්ගේ වඩාත් ම ප‍්‍රචන්ඩ එකකට අයත් වනවාට අමතර ව අතලොස්සක් අත ධනය කේන්ද්‍රනය වී තිබෙන අපේ සමාජය වඩාත් ම අසමාන ජාතීන් අතරට අයත් වේ.

සමාජ අසමානතාවේ වර්ධනයට සන්සන්දනාත්මක ව වසරකට එක්සත් ජනපදය තුල පාසල් වෙඩි තැබීම්වලට ගොදුරුවන්නන් සංඛ්‍යාව නිසැක ව ම

එක්සත් ජනපදය වැනි ඉතා අසමාන සමාජයන් තුල තලා පොඩිකරන සූරාකෑම, ලාබ-පිපාසිත හාම්පුතුන් විසින් අසාධාරන ලෙස සැලකීම, සමාජ වැඩසටහන් වෙත ප‍්‍රවේශය නැති කම, ඉහල තරඟකාරීත්වය හා ආන්තික ආර්ථික ආතතිය මිලියන ගනන් පුද්ගලයන් ව මනෝවිද්‍යාත්මක බිඳීයාමේ ලක්ෂ්‍යය වෙත තල්ලු කරයි.

දෙවන සාධකය වන්නේ එක්සත් ජනපදය විසින් සමස්ත ලෝකය පුරා දියත් කරනු ලබන නො නවතින යුද්ධය ඇමරිකානු සමාජය මත ඇති කරන බලපෑම යි. දැන් 18වන වසරේ පසුවන “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” එක්සත් ජනපද දේශපාලන ජීවිතය මත පමනක් නො ව සමාජ සංස්කෘතිය මත ද ආධිපත්‍යය දරයි.

දැනට 17වන වියැති ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යයාවක් තමන්ගේ ජීවිතයේ එක් දිනක් වත් එක්සත් ජනපදය යුද්ධයේ යෙදී නැති දිනක් ගතකර නැත. “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” අනුග‍්‍රහයෙන් ආන්ඩුව, පොලීසිය මිලිටරි උපකරනවලින් සන්නද්ධ කර ඇත්තේ “පූර්න හමුදාවක්” වර්ධනය කිරීමේ කොටසක් ලෙස යි. ආන්තික ජාතිකවාදය, ප‍්‍රචන්ඩත්වය, පීඩනෝන්මාදය, සමාජ භීතිකාව, බිය, සැකය හා පරත්වාරෝපනය යන මනෝභාවයන් සදාතනික ව උග‍්‍ර කිරීම හරහා එය, එහි යුද ඉලක්ක ඉදිරියට ගෙන ගොස් ඇත.

සියල්ලට වඩා නරක දෙය වන්නේ, එක්සත් ජනපදය විසින් ඉරාකය, ඇෆ්ගනිස්තානය, ලිබියාව, යේමනය, සිරියාව, සෝමාලියාව හා පාකිස්තානය තුල එක්සත් ජනපද මිලිටරි හමුදාවන් විසින් මරා දමන ලද පුද්ගලයන් සංඛ්‍යාව සියදහස් ගනන් වීම යි.

පවතින අනවරත යුද තත්ත්වය හා සමූහ රහස් ඔත්තු බැලීම රටෙහි සමාජ මනෝවිද්‍යාව මත බලපෑමක් ඇති කර නැතැයි කීම සාධනය කල නො හැක. කෲස් ගැන සලකන කල, 19 හැවිරිදි මෙම පුද්ගලයා තම පැරනි පන්තියේ මිතුරන්ගේ හා ගුරුවරුන්ගේ සිරුරු මත ගාංචුවෙන් ගාංචුව මුදාහරිද්දී, ඔහු ඔහුගේ කනිෂ්ඨ සංචිත නිලධාරීන්ගේ පුහුනු බලකායේ (ආර් ඕටීසී) කමිසයෙන් උජාරුවෙන් සැරසී සිටි බව වාර්තා වේ.

සෑමවිටක ම සිදුවන පරිදි, ජනකොටස් තම සමාජීය දුක්ගැනවිලි අවධාරනය කිරීමට යත්න දරන විට, මහජන අභිලාෂයන් හැසිරවීමට හා විරෝධතාවන් ප‍්‍රතිගාමී දිශාවන් ඔස්සේ අපසරනය කිරීමට දේශපාලන සංස්ථාපිතය බලමුලූගැන්වී ඇත.

පාලක පන්තියේ එක කොටසක් වෙඩි තැබීමට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ පාසල්වලට තවත් තුවක්කු අවශ්‍ය යයි ආයාචනා කරමිනි. පාසල් ගුරුවරුන් වෙඩි තබන්නන් ව මරාදැමිය හැකි වන පරිදි සන්නද්ධ කිරීමට ට‍්‍රම්ප් පෙබරවාරි 21දා යෝජනා කලේ ය. ප‍්‍රදේශයේ සියලු පාසල් කෲස් විසින් පාවිච්චි කල ආයුධය වන අර්ධ ස්වයංක‍්‍රීය ප‍්‍රහාරක ඒආර්-15 රයිෆල්වලින් සන්නද්ධ පොලීසිය විසින් වාඩිලාගන්නා බව පාක්ලෑන්ඩ්හි ප‍්‍රධාන නීති නිලධාරියා නිවේදනය කලේ ය.

මිලිටරි පන්නයේ ආයුධ බාධාවකින් තොරව ම පාහේ පාවිච්චියට ඉඩදීම මගින් ලාබ ගරා ඇති ෆැසිස්ට්වාදී ජාතික රයිෆල් සමාජය වැනි කන්ඩායම් කෙරෙහි මහජනයා අතර පවතින හතුරුකම ඩැහැගනිමින් ඩිමොක‍්‍රටික් පක්ෂය මහජනයා ආයුධ සීමා කිරීමේ විවාදයකට කොටුකිරීමට මැදිහත් වී තිබේ. ප‍්‍රහාරක රයිෆල පැවතීම සීමා කරන නීතියක් වෙඩි තැබීමක් සිදුවීමෙන් ඇතිවන මරන සංඛ්‍යාව අඩු කලහැකි වුවත්, එමගින් සමාජ ප‍්‍රචන්ඩත්වයට යටින් පවතින හේතූන් ආමන්ත‍්‍රනය කිරීමක් සිදු නො වනු ඇත. යමෙක්ට සහේතුකව අනුමාන කල හැක්කේ, ජීවිත විනාශ කිරීමේ වඩා අන්තරායකාරී ක‍්‍රම සොයාගනු ලැබෙනු ඇති බවයි.

මෙවැනි ප‍්‍රචන්ඩත්වයන්ගේ මූලික හේතුව වන්නේ සැමදා තීව‍්‍ර වන සංගත සූරාකෑම, අසමානතාව හා යුද්ධය මත පදනම් වන ධනේශ්වර සමාජ පද්ධතිය යි. මෙම බියකරු ඇමරිකානු යථාර්ථය අවසානයකට ගෙන එනු ලැබෙනු ඇත්තේ ධනවාදය අවසන් කර එය සමාජවාදය මගින් විස්ථාපනය කලවිට පමනි.

ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂවලට ආමන්ත‍්‍රනය කරන විරෝධතා නෑසූ කන් ව පවතිනු ඇතැයි සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය අනතුරු අඟවයි. ශ්‍රේෂ්ඨ ප‍්‍රගතිශීලී හා විප්ලවවාදී සමාජ බලවේගය වන කම්කරු පන්තිය වෙතට ශිෂ්‍යයන් හා තරුනයන් හැරිය යුතු ය.

එරික් ලන්ඩන්

Share this article: