මාර්තුවේ දින හතක්: ට‍්‍රම්ප් ආන්ඩුව සහ ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බිඳවැටීම

Seven days in March: The Trump administration and the breakdown of American democracy

2018 මාර්තු 15

ට‍්‍රම්ප් ආන්ඩුව මේ සතියේ ගනු ලැබූ පියවර මාලාවකින් සලකුනු කලේ, එක්සත් ජනපද පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකෘතීන්හි බිඳවැටීම හා ආන්ඩුවේ ආඥාදායක ස්වරූපයයි.

අඟහරුවාදා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් වහාම නෙරපා හැරි ට‍්‍රම්ප්, ඔහු වෙනුවට සිය සමීපතම ආධාරකරුවකු සහ වත්මන් සීඅයිඒ අධ්‍යක්ෂක මයික් පොම්පෙඔ පත්කරන බව නිවේදනය කලේය. මාධ්‍ය වාර්තා අනුව ටිලර්සන් මෙම වෙනස ගැන දැන ගත්තේ, වචන 140 ක ට්වීටර් පනිවිඩයක් පල කරනු ලබනවාත් සමගය. මාධ්‍ය එය දැනගත් පරිදිමය.

රජයේ ඉහලම මට්ටමේ පුද්ගලයා මාරු කල ආකාරය වැදගත් ය. ඔවුන් තමන්ට පමනක් ගැති රාජ්‍ය සේවකයන් ලෙස හැසිරිය යුතු බව එමගින් ට‍්‍රම්ප් තම කැබිනට් මන්ඩලයට පනිවිඩයක් නිකුත් කර තිබේ. රාජ්‍ය ලේකම් තනතුර ඓතිහාසිකව වඩාත් ගෞරවනීය ජ්‍යෙෂ්ඨ කැබිනට් තනතුර වන අතර එය උසුලන්නා ජනාධිපතිට පහලින් ඇති නීත්‍යානුකූල ධුරාවලියේ හතරවැන්නාය.

ට‍්‍රම්ප් ඔවුන් කමකට නැති අය ලෙස සලකමින්, ඔවුන්ට ප‍්‍රසිද්ධියේ ගරහමින්, පසුව රොඩුබොඩු මෙන් ඉවත් කර දමයි. මෙ මගින් ඔහු ප‍්‍රදර්ශනය කරන්නේ, තනි පුද්ගලයින්ට පමනක් නොව ඔවුන් දරන තනතුරු පවා තමන් පිලිකුල් කරන බවයි.

එම ට්වීට පනිවිඩයම ටිලර්සන් වෙනුවට පොම්පෙඔ පත් කරන බව නිවේදනය කලේය. ඇමරිකානු ආන්ඩුවේ ප‍්‍රමූඛ විදේශ නියෝජිතයාගේ තනතුරට ප‍්‍රථම වතාවට රහස් ඔත්තු සේවයේ නිලධාරියකු පත් කරනු ලැබ ඇත. සීඅයිඒ ප‍්‍රධානී පොම්පෙඔ වෙනුවට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව වන ගීනා හැස්පල් පත් කරන බව ද ට‍්‍රම්ප් නිවේදනය කලේය. හැස්පල් තායිලන්තායේ රහසිගත සීඅයිඒ සිරකඳවුරක වධදීම පිනිස ජල සත්කාරය ද, වධදීම පිනිස වෙනත් රටවලට හොර රහසේ සිරකරුවන් පිටත්කර හැරීමේ ක‍්‍රමවේදය ද, ඇතුලූ සීඅයිඒහි මෙහෙයුමෙහි ඇය ඉටුකල වැඩ කොටස ගැන කුප‍්‍රකට තැනැත්තියකි.

මේවා, සතියක් තුල ධවල මන්දිරයෙන් අලුතෙන්ම නිකුත් වූ අනතුරුදායක තීරන සහ පිලිවෙත් වෙයි.

අධිකරන දෙපාර්තමේන්තුව, සංක‍්‍රමනිකයන්ට එරෙහිව උග‍්‍ර කර ඇති මර්දනයට එරෙහිව පැන නගින කුමන හෝ විරෝධයක් කුඩුකර දැමීමට අධිකරනයේ පිහිට පතමින්, කැලිෆෝර්නියා ප‍්‍රාන්තයට එරෙහිව නඩු පැවරීය. තම නියෝග පරිදි ඇමරිකා-මෙක්සිකෝ දේශසීමාව දිගේ ඉදිකෙරෙමින් ඇති තාප්පයෙහි ප‍්‍රගතිය සොයාබැලීම සඳහා දකුනු කැලිෆෝර්නියාවේ සිදුකල සංචාරයකදී ට‍්‍රම්ප් ප‍්‍රකාශ කලේ, රාජ්‍ය නිලධාරින් අපරාධකරුවන්ට ආධාර කරමින්, පොලිස් නිලධාරීන් සංක‍්‍රමනිකයන්ගේ ප‍්‍රහාරයන්ට ලක්වීමේ අවදානමට පත් කරනු ලැබ ඇතැයි යනුවෙනි.

බොහෝ උපදේශකයින්ගේ දැඩි අවවාද නොතකමින්, -විරුදධත්වය පල කරමින් එක් අයෙක් සේවයෙන් ඉවත් විය- වානේ සහ ඇලූමීනියම් ආනයන මත බදු පැනවීමේ නියෝගයක් ට‍්‍රම්ප් අත්සන් කලේ, ලෝක ආර්ථිකයට දරුනු බලපෑමක් ඇතිවිය හැකි වෙලඳ යුද්ධයක් ආරම්භ කරන බවට ගසන පම්පෝරිය අතරතුරය.

ට‍්‍රම්ප් තම ඉහල හමුදා සහ රාජ්‍යතාන්ති‍්‍රක නිලධාරීන්ට පවා නොදන්වමින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමග සමුලූවකට එකඟවිය. මෙය පුලූල්ව දක්නා ලද්දේ, සමුලූවේ බිඳ වැටීම හෝ අසාර්ථකත්වය තුලින්, යුද්ධයක් සඳහා කඩතුරාව බවට පත්වනු ඇති ජාත්‍යන්තර ප‍්‍රකෝපකරනයක් නිර්මානය කිරීමට දරන වෑයමක් ලෙසය.

පෙන්සිල්වේනියාවේ උද්ඝෝන රැලියකදී කථා කල ට‍්‍රම්ප්, මාධ්‍යවලට තර්ජනය කරමින් ද ග‍්‍රාම්‍ය මෙන්ම වර්ගවාදී ප‍්‍රකාශ වලින් දේශපාලන එදිරිවාදීන් හෙලා දකිමින් ද මත්කුඩු ජාවාරම්කරුවන් ඝාතනය කරන ලෙස කියා සිටියේය.

මෙම සියලුම සිද්ධීන්හි සමාන ලක්ෂනයක් ඇත: ඇමරිකානු සමාජයේ වැරදි නිවැරදි කිරීමට තමන්ට පමනක් හැකි බවට 2016 උද්ඝෝෂනය තුලදී නිතර සිදුකල ප‍්‍රකාශ කි‍්‍රයාත්මක කරමින් ට‍්‍රම්ප්, වඩ වැඩාත් කටයුතු කරන්නේ, මුසෝලිනි කෙනෙකු මෙන්ය. ඔහු කටයුතු කරන්නේ, ඇමරිකානු ජනතාව විසින් තෝරා පත්කරගත් රාජ්‍ය නායකයා ලෙස හෝ ප‍්‍රධාන ධනපති පක්ෂ දෙකෙන් එකක නායකයා වශයෙන් හෝ නොවන අතර, පුද්ගලවාදී පාලකයකු ලෙසත්, ලතින් ඇමරිකානු හෝ ෆැසිස්ට් වර්ගයේ ආඥාදායකයෙකු ලෙසත්, සියලු ප‍්‍රධාන සමාජ සහ දේශපාලන ප‍්‍රශ්නවල බේරුම්කරුවකු ලෙසත්ය.

අන්තර්වාර මැතිවරනවලින් දින පහකට පසුව, කෘතහස්තයන්ගේ දිනය තුල (Veteran’s Day) වොෂින්ටන් නගරයේ හමුදා පෙලපාලියක් පැවැත්විය යුතු යයි ට‍්‍රම්ප් දැන් නියෝග දී ඇත. නිසැකවම ඔහු “බලාපොරොත්තු වන්නේ මැතිවරනයේදී අපේක්ෂා කරන අවාසිසහගත ප‍්‍රතිඵල වලට බලපෑමක් සිදුවන පරිදි, ධවල මන්දිරය සහ කැපිටල් හිල් වලට ඉහලින් යුද ගුවන්යානා පියාසර කරවමින් හමුදා බලය ප‍්‍රදර්ශනය කිරීමටයි. එය ගැටලුව මතු කරයි. ට‍්‍රම්ප් සූදානම් වන්නේ කුමක් සඳහාද?

ට‍්‍රම්ප්ගෙන් තවත් “මවිතකර” දෑ ඉදිරිපත් වනු ඇත. තමන් කරන්නේ කුමක්ද යන්න නොදන්නා කවටයකු වශයෙන් ඔහු පින්තාරු කර ඉවත් කිරීමේ ප‍්‍රවනතාවක් මාධ්‍යවල පවතියි. මේ සමග දේශපාලන අනතුරු ගැන අවතක්සේරුවක් පවතී.

ට‍්‍රම්ප් අත්ලාන්තික් නගරයේත්, ලාස් වේගාස් සහ නිව්යෝර්ක්හි පාතාලයේත් දේපොල ජාවාරමේ නිරත, හුරුපුරුදු අපරාධකරුවෙක් වැන්නෙකි. ඔහු සැරසෙන්නේ කොරහත් බිඳගෙන යාමටය. ඒ කෙසේ වෙතත්, රට තුල දේශපාලන අර්බූද විසඳා ගන්නට දරන වෑයමකදී යුද්ධයක් ඇරඹීමේ සම්ප‍්‍රදායක් ඇමරිකානු දේශපාලනයේ ඇති අතර එවැනි කුමන හෝ යුද්ධයක් ඒ සමගම දැවැන්තම ව්‍යසනයන් ගෙන ඒමට නියමිතය.

ඊට සමාන නරක නිමිත්තක් වන්නේ, නිල දේශපාලන කොටස් තුල කුමන හෝ ප‍්‍රතිචාරයක් හෝ වැදගත් විරෝධයක් කෙසේවත් දක්නට නැතිවීමයි. ට‍්‍රම්ප්ගේම කැබිනට් මන්ඩලයට විශාල වශයෙන් ආකර්ශනය වී ඇති මිනිසුන්ට, තමන්ටම හිමි ඡන්ද කොට්ඨාශ නැත. ඔවුහු මිලියනපතියන් සහ බිලියනපතියන් ද, ට‍්‍රම්ප් මෙන්ම පසුගාමී සහ නූගතුන් ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සහ ව්‍යවස්ථාදායක සම්මතයන් කෙරෙහි සැලකිල්ලක් නොදක්වන අය ද වෙති.

ඩිමොක‍්‍රටිකයෝ ව්‍යවස්ථාදායක සම්මතයන්ට එරෙහි වර්ධනය වන කුමන්ත‍්‍රනයේ විරුද්ධවාදීන් නොවේ. ඔවුන්මත් ඒවායේ කඩාවැටීමෙහි වෙනත් ආකාරයක ප‍්‍රකාශනයකි. පරිපාලනයේ ඉහල තනතුරු හොබවන හමුදා නිලධාරීන් තුන් කට්ටුව - එනම් ධවල මන්දිරයේ කාර්ය මන්ඩල ප‍්‍රධානී ජෝන් කෙලී, ජාතික ආරක්ෂක උපදේශක එච්.ආර්. මැක්මාස්ටර් සහ ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් - ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ, ට‍්‍රම්ප්ගේ කුරිරුකම් මෙල්ල කරනු ඇතැයි බලාපොරොත්තු වන “එහි දැනමුත්තන්” ලෙසය. එහෙත්, ට‍්‍රම්ප්ගේ අභ්‍යන්තර කවයේ මිලිටරිය දරන කැපීපෙනෙන තත්වය, ආඥාදායක පාලනයක් දිශාවට මාරුවීමේ තවත් ප‍්‍රකාශනයක් පමනි.

අන්තර්වාර මැතිවරනයේ ඩිමොක‍්‍රටික අපේක්ෂකයින් පිලිබඳව කල පුලුල් විභාග කිරීම් තුල ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලේඛනගත කර ඇති පරිදි එම පක්ෂය මුහුනදී සිටින්නේ, සීඅයිඒ සංවිධානය විසින් “මිත‍්‍රශීලී පවරා ගැනීමකට” නොඅඩු දෙයකටය. ඒජන්සිය මෙහෙයවීම සඳහා වධහිංසාවෙහි යෙදෙන්නියකු වූ හැස්පල් පත්කිරීම කෙරෙහි දැක්වෙන ඩිමොක‍්‍රටිකයින්ගේ ප‍්‍රතිචාරය, සෙනේට් සභා මූල්‍ය කමිටුවේ ඉහල තනතුරක් හොබවන ඩයනා ෆීන්ස්ටීන් විසින් මෙසේ සංක්ෂිප්ත කෙරින: “ඇයට ඒජන්සියේ විශ්වාසය ඇති බවයි පෙනෙන්නට ඇත්තේ, එය හොඳයි.”

2016 මැතිවරනයේදී රුසියානු මැදිහත්වීම ගැන ට‍්‍රම්ප්ට එරෙහිව ගොතන ලද විවේචන එල්ල කිරීමේදී ඩිමොක‍්‍රටිකයෝ, ඔබාමා පරිපාලනය යටතේ අනුගමනය කෙරුනු උග‍්‍ර රුසියානු විරෝධී ප‍්‍රතිපත්තියෙන් බැහැර වීම කෙරෙහි දැඩි විරෝධය පල කරන හමුදා-බුද්ධි යාන්ත‍්‍රනයේ අංශවල හඬ බවට පත්ව සිටිති.

එක්සත් ජනපදයේ සහ ලෝකය පුරාම වැඩකරන ජනතාවට ධනේශ්වර දේශපාලන රාමුව තුල විකල්පයක් නැත. එක් පසෙකින් ට‍්‍රම්ප්, කුමන හෝ දැනුවත් ව්‍යවස්ථාමය හෝ නීත්‍යානුකූල රාමුවකට පිටින් කටයුතු කරමින් ද ෆැසිස්ට් ගැති සමාජ පදනමක් ගොඩ නැගීමට උත්සාහ කරමින් ද අන්ත දක්ශිනාංෂික රැඩිකලෙක් ලෙස පාලනය ගෙන යයි. අනෙක් පසින් වන දේශපාලන විපක්ෂය, ඊට “පිලිතුර” ලෙස, කුමන හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පයකින් බැහැරව, අන්තර්ජාලය වාරනය කිරීමටත් රට තුල සමාජ විභේදන යටපත් කිරීමටත් සහාය දක්වති. ඒ අතර ලෝකයේ දෙවැනි විශාලතම න්‍යෂ්ටික බලවතා සමග යුද්ධයකට පැටලීම සඳහා උද්ඝෝෂනය කරති.

පාලනයේ පැරනි රූපාකාරයන්, එනම්, වසර 230 පැවති ව්‍යවස්ථාදායක රාමුවම, සමාජ අසමානතාවයේ වර්ධනයේ බලපෑම යටතේ බිඳ විසිරෙමින් පවතින අතර ඇමරිකානු සමාජයේ මුදුනේ සිටින තුනී ප‍්‍රභූවක් පක්ෂ දෙකම පාලනය කරති.

ට‍්‍රම්ප් පරිපාලනය එය නිර්මානය කරන ලද පද්ධතියෙන්, එනම් ධනවාදයෙන්, වෙන් කල නොහැක. මෙයට එරෙහිව බලගැන්විය යුතු සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තියයි. මෙම වසර තුල, එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් පන්ති අරගලයේ බලගතු වර්ධනයක් දැනටමත් අත් දකිමින් සිටී. හදිසි කර්තව්‍යය වන්නේ මෙම වර්ධනය වෙමින් පවතින වෛෂයික ව්‍යාපාරයට සමාජවාදී විඤ්ඤානය සහ සමාජවාදී දේශපාලන නායකත්වයක් සම්පාදනය කිරීමයි.

පැටි‍්‍රක් මාටින්

Share this article: