අපගේ ජීවිත සඳහා පා ගමනේ පෙලපාලිවල ජාත්‍යන්තර වැදගත්කම

The international significance of the March for Our Lives demonstrations

2018 මාර්තු 26

අපගේ ජීවිත සඳහා පා ගමන වෙනුවෙන් සෙනසුරාදා පැවති පෙලපාලි සලකුනු කලේ එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තරව සමාජ විරුද්ධත්වය වැඩීමේ සැලැකිය යුතු වර්ධනයකි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, අප්‍රිකාව හා දකුනු ඇමරිකාවේ ගුරුවරුන්ගේ මෙන් ම ප්‍රන්සයේ දුම්රිය මාර්ග කම්කරුවන්, ඉන්දියාවේ යූබර් (ප්‍රවාහන සේවා සංගතයක) රියදුරන් හා ස්පාඤ්ඤයේ ඇමසන් කම්කරුවන්ගේ වැඩ වර්ජන මධ්‍යයේ ලෝක ධනවාදී කේන්ද්‍රයේ දැවන්ත පෙලපාලි ලෝකය පුරා සමාජ විරෝධය උත්සන්න වීමක සංඥාවකි.

ෆ්ලොරිඩාවේ, පාක්ලන්ඞ් හි මජෝරි ස්ටෝන්මෑන් උසස් පාසලේ දී පුද්ගලයන් 17දෙනෙකු වෙඩි තබා මරා දැමීමෙන් යන්තම් මසකට පසු, සමූහ වෙඩි තැබීම් හා තුවක්කු ප්‍රචන්ඩත්වය එක්සත් ජනපද ඉතිහාසයේ විශාල ම ජන බලමුලු ගැන්වීමක් අවුලුවා ඇත. එරට ප්‍රාන්ත පනහ තුල මෙන් ම රටේ කොංග්‍රසීය දිස්ත්‍රික්ක 435න් 390ක හා විදේශවල විරෝධතා කීපයක් සමග පැවති 800ට වඩා වැඩි පෙලපාලිවලට මිලියනය ඉක්මවා විශාල සංඛ්‍යාවක් සහභාගීවූහ.

ඔවුන්ගේ මුල් අපේක්ෂාවන්ට වඩා බොහෝ වැඩියෙන් මෙන් ම 2017 ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සමාරම්භයට එරෙහි විරෝධතාවන්ගේ තරම ඉක්මවා යමින් වොෂින්ටන් නගරයේ පා ගමනට පුද්ගලයන් 800,000ට වඩා සහභාගී වූ බව විරෝධතා සංවිධායකයෝ වාර්තා කරති. නිව් යෝක්, චිකාගේ, බොස්ටන්, ලොස් ඇන්ජලිස්, ඩෙන්වර් හා අනෙකුත් ප්‍රධාන නගරවල දස දහස් ගනනකට වඩා පෙලපාලි දැක්වූහ. වෙනත් ලොකු කුඩා නගරවල විරෝධතා සිය ගනනක් පැවතියේ, විවිධ සංස්කෘතික හා මිශ්‍ර ජනසංඛ්‍යාවන්ගෙන් යුත් ප්‍රදේශ වෙලා ගනිමිනි.

උසස් පාසල් සිසුන්ගේ විශාල සහභාගිත්වය මෙන් ම ප්‍රමුඛ කාර්යභාරය යුද්ධය, රාජ්‍ය මර්දනය, මෙන් ම සමාජ අසමානතාවේ අත්‍යන්ත වර්ධනය මගින් ඇති කෙරුනු ඉවසුම් නැති සමාජ පිටස්තරභාවය හා දෘෂ්කෘතිකත්වය මගින් ඔවුන්ගේ ජීවිත යටත් කෙරී ඇති තරුන පරම්පරාවකගේ දේශපාලන පෙරලිකාරිත්වය පිලිබඳ බරපතල සංඥාවකි.

විරෝධතාවන් “තුවක්කු පාලනය” ඉල්ලා සිටීමට සීමා වූවක් ලෙස ගෙන හැර දැක්වීමට ඩෙමොක්‍රටික් පක්ෂය හා මාධ්‍ය විසින් ගන්නා උත්සාහය ප්‍රෝඩාවකි. වඩා පුලුල් නිගමන උකහා ගැනීමෙන් පෙලපාලිකරුවන් වැලක්වීමට ඩෙමොක්‍රටිකයන් හැකිතාක් දුරට මැදිහත් වූ අතර, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සමග කතා කල විරෝධතාකරුවන් එක්සත් ජනපදය තුල ප්‍රචන්ඩකම් අධිරාජ්‍යවාදී යුද්ධයට හා සමාජ අර්බුදයට සම්බන්ධ කලේ මහත් ඕනෑකමිනි.

තුවක්කු පාලනය සඳහා ඩෙමොක්‍රටිකයන්ගේ ඉල්ලීම් ඇහුම්කන් දීමක් ලබා ගත් තාක් දුරට එය එසේ වූයේ, ෆැසිස්ට්තාලයේ ජාතික රයිෆල් සංවිධානයේ මෙන් ම මිලිටරි ශ්‍රේනියේ ආයුධ ප්‍රගුනනයෙන් ලාභ ලබන තුවක්කු නිෂ්පාදකයින්ගේ අතිමහත් දේශපාලන බලපෑමට මිලියන් ගනනාවක් විරුද්ධ වූ හෙයිනි. එක්සත් ජනපදය තුල, අවුරුදු 18ක පුද්ගලයෙකුට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය වන වාට වඩා අඩු සීමා කිරීම්වලින් යුක්තව ඒආර්-15 පහර දීමේ රයිෆලයක් (පාක්ලන්ඞ් වෙඩිතබන්නා විසින් යොදා ගැනුනු වර්ගයේ) මිල දී ගත හැක.

ඩෙමොක්‍රටික් නිලධාරීන්ගේ දුස්සේවාකම් නො සලකා, පෙලපාලිකරුවන්ගේ ඉල්ලීම් හා දේශපාලන සංස්ථාපිතයේ ක්‍රියා අතර හිදස මුලුමනින් ම පැහදිලි ය. පෙලපාලි පැවත්වීමට පෙර දිනවල, මිලිටරිය, හමුදා රැඳවීම් හා පොලීසිය සඳහා ප්‍රබල ලෙස අරමුදල් වැඩි කරන, ඩොලර් බිලියන 1.3ක අයවැයකට ඩොමොක්‍රටිකයෝ හා රිපබ්ලිකානුවෝ එකඟ වූහ.

ඇමරිකානු පාලක පන්තියේ කන්ඩායම් දෙක ම උත්සාහ කරමින් සිටින්නේ පෙර නො වූ විරූ ප්‍රතිවිපාක සහිත නව යුද්ධයකට මහජනතාව ඇද දැමීමට ය. ට්‍රම්ප් ලබන මාසයේ සිට බල පාන පරිදි, ජාතික ආරක්ෂක උපදේශක ලෙස පත් කර ඇත්තේ, බුෂ් පාලනාධිකාරිය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපති වූ ජෝන් බෝල්ටන් ය. බෝල්ටන් ඉරානය හා උතුරු කොරියාව යන දෙරටට ම එරෙහිව යුද්ධය සඳහා පෙනී සිටි කෙනෙකි.

මේ අතර, ඩෙමොක්‍රටිකයන් ට්‍රම්ප් රුසියානු රූකඩයෙකු ලෙස පින්තාරු කිරීමේ කුරිරු උද්ඝෝෂනය ගෙන යමින් සිටින්නේ, මැද පෙරදිග එක්සත් ජනපද යුද්ධය තීව්‍ර කිරීමක් හා න්‍යෂ්ටිකව සන්නද්ධ රුසියාව සමග සෘජු ගැටුමක් සඳහා සූදානම් වීමක් ඉල්ලා සිටිමිනි. “ප්‍රචන්ඩත්වයට” විරුද්ධ වීම ගැන ඩෙමොක්ටිකයන් හිස් කයිවාරු දෙසා බාන අතර, සෙනේට් සුලුතර නායක චාල්ස් ස්ෂූමර් පවසන්නේ රහස් වද බිම් (ඉක්ජන-ිසඑැ) හිංසිකාවක වන ජිනා හැස්පෙල් සීඅයිඒ සංවිධානයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට තම පක්ෂය විරුද්ධ නො වනු ඇති බව යි.

එම පෙලපාලි ඔප්පු කලේ නව පරම්පරාවක් දේශපාලන රංග භූමියට අවතීර්න වී ඇති බව යි. බොහෝ උසස් පාසල් සිසුන් කම්පිත කතා පැවත් වූයේ, සමූහ වෙඩි තැබීම්, පොලිස් ඝාතන හා වීදි ප්‍රචන්ඩතාවලට හසුවී ඔවුනට නැතිවූ මිත්‍රයින්ගේ හා ඥාතීන්ගේ කතා සම්බන්ධ කරන විට ඔවුන්ගේ හඬවල් යුක්ති සහ ගත කෝපයෙන් පුරවමිනි.

මේවා ඇමරිකානු අත්දැකීම්වල, විශේෂයෙන් ම කම්කරු පන්තික තරුනයන් අතර වඩ වඩා සාමාන්‍ය දේ බවට පත්වෙමින් තිබේ. ඇමරිකානු ධනවාදය එක්සත් ජනපදය හා ලෝකයේ මහජනතාව මත පෙර නො වූ විරූ මට්ටමක ප්‍රචන්ඩත්වයක් මුදා හැර ඇත. වසර 2000 සිට, මෙම බොහෝ උසස් පාසල් සිසුන් ඉපදීමට පෙර සිට, එක්සත් ජනපදය තුල මිනීමැරුම් 270,000ක්, මත්ද්‍රව්‍ය අධිමාත්‍රා ගැනීම් 600,000ක්, සිය දිවි නසා ගැනීම් 650,000ක්, වැඩපොල මරන 85,000ක්, පොලිස් ඝාතන 12,000ක් හා හිරකරු මරන දන්ඩන 850ක් සිදු වී ඇත.

දල වශයෙන් මෙම කාලපරිච්ඡේදය පුරා, සංගත ලාභ සඳහා දියත් කෙරුනා වූ ද බොරුවලින් යුක්ති සහගත කෙරුනා වූ ද, එක්සත් ජනපදය නායකත්වය දුන් යුද්ධ ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව, සිරියාව, සෝමාලියාව, පකිස්තානය, යේමනය හා වෙන් තැන්වල පුද්ගලයන් මිලියන ගනනාවකට වඩා ඝාතනය කර ඇත.

සෙනසුරාදා පෙලපාලිවලට සහභාගී වීමට මිලියන ගනනාවක් පෙලඹුනේ අන්ත ප්‍රචන්ඩත්වය මෙන් ම පරිහානිගත දේශපාලනික හා සමාජ ජීවිතයක් විසින් බොහෝ පරිහානියට පත් කෙරුනු ඇමරිකානු සමාජයෙහි යම් දෙයක් බියකරු ලෙස දෝෂ සහගතය යන ප්‍රගාඪ හැඟීම හේතු කොට ගෙන ය. මෙය ඩෙමොක්‍රටික් පක්ෂයේ නිල ආඛ්‍යානය පුපුරුවා හරි යි, එයට අනුව, ඇමරිකානු මහජනතාව ප්‍රධාන වශයෙන් උත්සුක විය යුත්තේ වාර්ගික හෝ ලිංගික අනන්‍යතා ප්‍රශ්න සමගිනි. මෙම ආඛ්‍යානයට අනුව, අනෙකුත් සියලු ගැටලු ප්‍රශ්න ඇති කෙරුනේ හා/හෝ විශාලිත කෙරුනේ, එසේ නොවන්නට සන්සුන් ඇමරිකානු සමාජයක් තුල “බෙදීම් වැපිරීමේ” නරුම රුසියානු කූටෝපාය මගිනි.

මෙම කාරනාවලින් කිසිවක් සෙනසුරාදා පෙලපාලි තුල සැලකිය යුතු කාර්යභාරයක් ඉටු නො කලේ ය. තනිකරම ඇමරිකානු ප්‍රපංචයක් වන උසස් පාසල් සමූහ ඝාතන වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට දෝෂාරෝපනය කිරීමට කිසිම කථිකයෙක් උත්සාහ නො කලේ ය. චිකාගෝ හා ලොස් ඇන්ජලිස් වැනි නගරවල ශිෂ්‍ය කථිකයන් දරිද්‍රාපන්න අප්‍රිකානු-ඇමරිකානු හා ලතින් අසල්වැසියන් තුල අන්ත ප්‍රචන්ඩත්වය හා පොලිස් මර්දනය හෙලි කරද් දී, ඔවුන් එසේ කලේ විශේෂයෙන් වාර්ගික වචනවලින් ප්‍රචන්ඩත්වය ඉදිරිපත් නොකරමිනි. එක් කම්කරු පන්තික ලතින් ශිෂ්‍යාවක වන එඞ්නා චාවේස් ලොස් ඇන්ජලිස් පාගමනට පැවසුවේ සමූහ ඝාතන පිලිබඳ අවධානය යොමු කිරීමේ දී, සමාජ ප්‍රචන්ඩත්වයේ “සමාජ මූලයන්ට” පිවිසීම අවශ්‍ය බව යි. මෙහි අර්ථය වන්නේ විරැකියාව, අසමානතාව හා දිරාපත් වෙමින් තිබෙන රාජ්‍ය පාසල් පද්ධතිය ඇතුලුව “ප්‍රචන්ඩත්වය පෝෂනය කරන කොන්දේසි වෙනස් කිරීම” යැයි ඈ පැවසුවා ය.

එක්සත් ජනපදය තුල, ගෙවී ගිය හතලිස් වසර තිස්සේ වෘත්තීය සමිති විසින් පන්ති අරගලය මර්දනය කරනු ලැබ ඇති තතු යටතේ, ආර්ථික හා සමාජ ප්‍රශ්න ප්‍රමුඛ වෙමින් තිබේ යන කාරනයට අතිමහත් ජාත්‍යන්තර වැදගත්කමක් ඇත. සමාජ ප්‍රචන්ඩත්වය අවසන් කිරීම සඳහා වන ශිෂ්‍ය ඉල්ලීම්, ඉහල වැටුප් හා රාජ්‍ය අධ්‍යාපනය සඳහා වඩ වඩා මුදල් වෙන් කිරීම සඳහා වර්ජීනියා, ඇරිසෝනා, ඔක්ලහෝමා හා නිව් ජර්සී ප්‍රාන්තවල ඔවුන්ගේ ගුරුවරුන්ගේ ඉල්ලීම් සමග සම්පාත වෙයි.

එකිනෙකට වෙනස් ස්ථර, වයස් කන්ඩායම් හා කම්කරු පන්තියේ භූගෝලීය කොටස්වල දුක්ගැනවිලි ඒකාබද්ධ වීම ඇරඹෙමින් තිබේ. රට පුරා ද ලෝකය පුරා ද කම්කරුවන්ගේ නොයෙකුත් ඉල්ලීම් ධනේශ්වර පක්ෂ දෙකෙන් ස්වාධීන මහජන ව්‍යාපාරයකට කැටි විය හැකි යැයි පාලක පන්තිය බියට පත් වේ. මෙම හේතුව නිසා සන්නිවේදනයේ මාර්ග (සමාජ මාධ්‍ය හා අන්තර්ජාල) ඇහිරීමට ද පුලුල් ප්‍රේක්ෂකයින් ප්‍රවේශ වීම වැලක්වීමට වාමාංශික වෙබ් අඩවි වාරනය කිරීමට ද ඔවුහු උත්සාහ කරති.

සියල්ලට ම ඉහලින් අවශ්‍ය වන්නේ වෛෂයික පෙරලිකාරිත්වය තුල එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තරව ද කම්කරු පන්තියේ වැඩෙන විරුද්ධත්වය ධනේශ්වර පද්ධතියට එරෙහි විප්ලවවාදී ව්‍යාපාරයක් තුලට සංවිධානය කිරීමට දැනුවත් හා සමාජවාදී නායකත්වයකි. සමාජවාදී සමානතා පක්ෂයේ ද සමාජවාදී සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයේ ද කර්තව්‍ය ය මෙය යි.

එරික් ලන්ඩන්

Share this article: