ප්‍රතිගාමී ආන්ඩුවේ මැයි දින තහංචිය බිඳිනු!

සමාජවාදී සමානතා පක්ෂය, 2018 මාර්තු 30

බෞද්ධ සංඝ ප්‍රභූවේ ඉල්ලීම යොදාගනිමින්, ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි 1දා පැවැත්වීමට නියමිත සියලු රැස්වීම්, පෙලපාලි හා රැලි මැයි 7 වෙනිදාට කල් දැමීමට ආන්ඩුවේ ඇමති මන්ඩලය තීරනය කල බව, 28දා, බන්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රන ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනය කලේ ය.

ආන්ඩුවේ තීන්දුව “මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි ගන්නා ලද්දක්”, තීන්දුවක් බවත් ඒ අනුව “මැයි මාසයේ මුල් සතිය බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව රට තුල උත්කර්ශවත් අන්දමින් සැමරීමට. අවශ්‍ය සියලු කටයුතු සලසන” බවත් සිරිසේන ප්‍රකාශ කලේ ය. රජයේ නිවාඩු දිනයක් කරන මැයි 7දා “මැයි දින, පෙලපාලි සහ රැලි පවත්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට” සිරිසේන නියෝගයක් ද කලේ ය.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ දිනය ලෙස මැයි 1දා ප්‍රකාශයට පත් කිරීම සිදුකෙරුනේ, ප්‍රන්ස විප්ලවයේ ශත සංවත්සරයවූ 1889 පැරිසියේ රැස්වූ දෙවැනි කම්කරු ජාත්‍යන්තර සංවිධානය මගිනි. එම තීන්දුව ගැනීමේදී එදින නිවාඩු දිනයක් වන්නේ ද වැඩකරන දිනයක් වන්නේ ද යන්න හෝ එදින පෙලපාලි හා රැස්වීම් පැවත්වීමට ධනපති හාම්පුතුන්ගේ හෝ රජයේ අනුමැතිය ලැබෙන්නේ ද යන්න සැලකුවේ නැත. ජාත්‍යන්තර කම්කරු පන්තියේ මැයි දින සම්ප්‍රදාය වන්නේ, එම ප්‍රතිපත්තිමය තීරනයට අනුව, මැයි 1දා ලෝක කම්කරු දිනය ලෙස සලකා ක්‍රියාකාරීවීම ය. මෙම ජාත්‍යන්තරවාදී සම්ප්‍රදාය මත පිහිටා සිටින සමාජවාදී සමානතා පක්ෂය, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ මැයි දින තහනම බිඳින ලෙසත් ඊට එරෙහිව බලමුලු ගැන්වෙන ලෙසත් ධනපති-විරෝධී සියලු වැඩකරන ජනතාවන්ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සැමරුම පැවත්වුනේ, ඒ.ඊ. ගුනසිංහගේ නායකත්වයෙන් යුතු වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් 1927 දී ය. ලෝක ධනවාදයේ එතෙක් පැවැති ගැඹුරුතම අර්බූදය මැද බ්‍රිතාන්‍ය විජිතපාලනය ලංකාවේ සුරක්ෂිත කරදීම සඳහා, දේශීය ධනපතියන් සමග එකතුව ගුනසිංහ කම්කරු-විරෝධී හොරිකඩ ව්‍යාපාරයක නිරත වෙද්දී, ඊට එරෙහිව සංවිධානයවූ ලංකා සමසමාජ පක්ෂය (ලසසප) 1936දී ප්‍රථම මැයි රැලිය පැවත්වීය.

පැබ්ලෝවාදී සංශෝධනවාදයට නතුවී ජාතික රාජ්‍යය හා පාර්ලිමේන්තුවාදී ධනපති පාලනය වැලඳගත් ලසසප, 1956 දී බන්ඩාරනායකගේ ආන්ඩුව පිහිටුවීම සඳහා දරදිය ඇදීමට හිලව් වසයෙන්, අගමැති බන්ඩාරනායක මැයි දිනය නිවාඩු දිනයක් කලේ ය. එහි අරමුනවූයේ, මැයි දිනයේදී ස්වාධීන කම්කරු පන්තික දේශපාලන බලමුලු ගැන්වීම මත ධනපති පාලනයේ අධිකාරය පිහිටුවාලීම යි.

මෙසේ පිහිටුවා ගැනුනු ධනපති පාලන අධිකාරය පාවිච්චියට ගනිමින්, දෙමල-විරෝධී මිනීමරු සිවිල් යුද්ධය සමයේදී, වරක් 1987දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසිනුත්, නැවත 2006දී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනුත් මැයි දින සැමැරුම් තහනම් කිරීමට පියවර ගනු ලැබිනි. මේ දෙවතාවේදී ම, කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ හිතනමතන කොටස්, එම තහංචි බිඳ, මැයි දින රැලි පැවත්වීම වලක්වනු බැරි විය. 1987දී, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියාවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ද සමාජවාදී සමානතා පක්ෂය ඒ අවස්ථාවන්හිදී මැයි දින අයිතිය වෙනුවෙන් සටනේ පෙරමුන ගැනීමට ඉදිරිපත් විය. වර්තමාන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ මැයි දින තහංචිය බිඳීමට අප යෝජනා කරන්නේ, එම සම්ප්‍රදාය මත පිහිටා ය.

වර්තමාන මැයි දින තහංචිය පටවා ඇත්තේ කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ජාත්‍යන්තර ප්‍රතිවිප්ලවවාදී ප්‍රහාරයන්ගේම කොටසක් ලෙස ය. කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවන්ගේ පැත්තෙන්, මීට එරෙහිව ප්‍රතිප්‍රහාරයට එලැඹීම, ලෝකය පුරා රටක්රටක් පාසා දැවැන්ත වැඩවර්ජන හා මහජන පෙලපාලි ලෙස මේ වන විට ප්‍රකාශයට පත් වෙමින් පවතී. ජීවන තත්වයන්ට හා සේවා කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව, පසුගිය මාස කිහිපය තුල, ටියුනීසියාව, ඊජිප්තුව, ඉරානය, ජර්මනිය, ප්‍රන්සය, ග්‍රීසිය සහ ඉන්දියාව ඇතුලු රටවල, විවිධ ක්ෂේත්‍රවල, ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ අරගලවලට පිවිසියහ. ඇමෙරිකාවේ, බටහිර වර්ජිනියාවේ ගුරුවරුන්ගේ අරගලය දැන් තවත් ප්‍රාන්ත කරා පැතිරෙමින් තිබෙන අතර, එය ලෝකයේ සෙසු රටවල කම්කරුවන්ගේ අරගල සමග සම්පාත වෙමින්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ පන්ති එකමුතුව තහවුරු කරන නව මානයක පන්ති අරගල බවට පරිවර්තනය වෙමින් පවතී.

ලංකාවේදී, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග යටතේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, වැඩකරන ජනතාවගේ රැකියා, සේවා කොන්දේසි සහ ජීවන තත්වයන් ට එල්ල කෙරෙන ප්‍රහාරවලට විරුද්ධව, මෑත මාස කිහිපය තුල අරගල මාලාවක් පැනනැගී ඇත. වෘත්තීය සමිතිවල මග ඇවිරීම් හා පාවාදීම් තිබිය දී ම වරාය, ලංකා විදුලි බල මන්ඩලය (ලංවිම), තෙල් සංස්ථාව, තැපැල්, දුම්රිය, සෞඛ්‍ය සහ වතුකරය ඇතුලු ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ විවිධ කොටස්වල අරගල මාලාවක් පැන නැගුන අතර, පෙබරවාරි 28දා සිට විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ අඛන්ඩ වර්ජනයක හා උද්ඝෝෂන වල නිරතව සිටිති.

කම්කරු පන්තියේ අරගල වලට සමගාමී ව, නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන්ගේ හා පොහොර සහනාධාරය කප්පාදු කිරීම, ජලහිඟය සහ කෘෂි නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබීම ඇතුලු ප්‍රශ්න මත ගම්බද දුගී ගොවීන්ගේ අතිශය පෙරලිකාරී අරගල නිරන්තරව මතු වෙමින් ඇත. යුද්ධයේ විනාශයට ගොදුරුවූ උතුරු හා නැගෙනහිර පලාත්වල තවදුරටත් පවතින හමුදා කඳවුරුවලට එරෙහිව සහ සිය නිවාස හා ඉඩම් ආපසු ලබා ගැනීමත් අතුරුදහන් කෙරුනවුන් පිලිබඳ තොරතුරු ලබා ගැනීමත් පිනිසවන මහජන විරෝධතා තවමත් ඇවිලී පවතී.

සමාජ අරගල පිපිරීයාම් මධ්‍යයේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මුහුන දී සිටින්නේ වඩා තීව්‍ර වන ආර්ථික සහ දේශපාලන අර්බුදයකට ය. පෙබරවාරි මාසයේ පැවති පලාත් පාලන මැතිවරන ප්‍රතිපලයෙන් ප්‍රකාශිතවූයේ මෙම අර්බූදයේ වඩා උග්‍ර අවධියකි. මහින්ද රාජපක්ෂගේ පොදු ජන පෙරමුන විසින් අගමැති වික්‍රමසිංහට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීම, පාලක පන්තිය තුල කුලල් කා ගැනීම් පෙන්නුම් කරමින් දේශපාලන අස්ථාවරත්වය ගැඹුරු කර ඇත.

ජාමුඅ විසින් නියෝග කර ඇති ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම හා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තලා දැමීම සම්බන්ධයෙන් මුලික මත බේදයක් ආන්ඩුවේ සහ විපක්ෂයේ ධනපති පක්ෂ අතර නැත. එමෙන්ම, කම්කරුවන්ගේ, දුගීන්ගේ හා ශිෂ්‍යයන්ගේ අරගල මැඩීමට පොලිසි-හමුදා බලය යෙදීම හා මර්දන නීති දැඩි කිරීම, සියලු ධනපති පක්ෂවල ද ඊට ගැති ව්‍යාජ වම්මුන්ගේ ද අනුග්‍රහය ලබයි.

පසුගිය දින වල පැවති හම්බන්තොට වරායේ, තෙල් සංස්ථාවේ හා විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ අරගලවලට විරුද්ධව පොලීසිය, හමුදාව සහ රාජ්‍ය අනුග්‍රහය සහිත මැර බලකායන් යෙදීම, පෙබරවාරි 28දා තබුත්තේගම ගොවි උද්ඝෝෂනය විසිරුවා හැරීමට මෘග පොලිස් ප්‍රහාරයක් එල්ල කිරීම, විදුලිබල මන්ඩලයේ සමිති නායකයන් 6 දෙනෙකුගේ වැඩතහනම් කිරීම සහ ස්ට්‍රයික් සටන්වලට එරෙහිව උසාවි නියෝග ගැනීම පසුගිය කාලය තුල එකදිගට සිදු විය.

මැයි දිනයට තහංචි දැමීම ඇතුලු මෙම මර්දන ක්‍රියාවන් හමුවේ, කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුද කරමින්, ධනපති ඒකාධිපති සැලසුම් ශක්තිමත් කිරීම, නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම පක්ෂ හා වෘත්තීය සමිතිවල කටයුත්තවී තිබේ.

මෙම දුෂ්ට ද්‍රෝහී සංවිධාන එකමුතු කිරීමේ කොන්ත්‍රාත්තුවකට කරදී සිටින, පෙසප ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ, 28 දා මාධ්‍ය සාකච්ඡාවක දී කැඳවුම් කලේ, “සියලු ප්‍රගතිශීලී බලවේග” එකතුවී තහනම ඉවත් කිරීමට “ආන්ඩුවට බලකරන” ලෙස යි.

අධිරාජ්‍යවාදී තුන් වන ලෝක යුද්ධයක අන්තරායට සහ ධනපති පාලක පන්තීන්ගේ සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිව, ලෝක සමාජවාදී ඉදිර්දර්ශනයක් මත, ජාත්‍යන්තර කම්කරු පන්තිය බල මුලු ගැන්වීමට සටන් කරන්නේ, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ලෝක සමාජාවාදී වෙබ් අඩවියයි.

හජාජාක ශ්‍රී ලංකා ශාඛාව වන සසප සහ එහි තරුන හා ශිෂ්‍ය සංවිධානය වන, සසජාතශි විසින් සියලු ධනපති පක්ෂවලට එරෙහිව හා ඒවායින් ස්වාධීනව, කොලඹ නව නගරශාලාවේ දී මැයි 1 දා මැයි දින රැලිය පවත්වයි . බෞද්ධ සංඝ ප්‍රභූවේ උපදෙස් වඩම්මාගෙන ආන්ඩුව පැනවූ මැයි දින තහංචිය ප්‍රතික්ෂේප කරමින්, සසප සහ සසජාතශි සංවිධානය කරන කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී මැයි රැලියට සහභාගී වන ලෙස කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන් ඇතුලු පීඩිත ජනයාගෙන් අපි ඉල්ලා සිටිමු.

මැයි 1 ජාත්‍යන්තර කම්කරු දිනය දිනේවා

ලෝක සමාජවාදය සඳහා ජාත්‍යන්තරවාදී විප්ලවවාදී පක්ෂය ගොඩනගනු!

Share this article: