ලංවිම සමිති හදිසි නීතියට මුවා වී ආන්ඩුවේ දඩයමට එරෙහි උද්ඝෝෂනය නතර කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 මාර්තු 18

ලංකා විදුලි බල මංඩලයේ (ලංවිම) වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන විසින් සමිති නායකයන් හය දෙනෙකුගේ වැඩ තහනමට විරුද්ධව ආරම්භ කල උද්ඝෝෂනය ආන්ඩුව විසින් පනවා තිබූ හදිසි නීතියට මුවා වී නතර කර ඇත, පෙබරවාරි 21 මහනුවරින් ආරම්භ කර දිවයිනේ ප‍්‍රධාන නගර කිහිපයක මෙම වැඩ තහනමට විරුද්ධව උද්ඝෝෂන පැවති අතර මාර්තු 14 වෙනිදා වැඩවර්ජනයක් සහ කොලඹ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට “දැවැන්ත” උද්ඝෝෂනයක් පවත්වන බව ලංවිම සමිති පෙරමුන විසින් නිවේදනය කර තිබුනි.

පෙබරවාරි 16 වෙනිදා ලංකා විදුලි සේවක සංගමයේ (ලංවිසේස)ප‍්‍රධාන ලේකම් සහ ලංවිම වෘත්තීය සමිති පෙරමුනේ සම කැඳවුම්කරු රන්ජන් ජයලාල්, ජාතික සේවක සංගමයේ (ජාසේස) සමුලු ලේකම් කේ.ඒ.ඞී. අජිත් දේවප්‍රිය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ (ශ්‍රීලංනිසේස ) ප‍්‍රධාන ලේකම් ඩබ්ලිව්.ඒ.පීි. ප‍්‍රභාත් උප සභාපති පී.ඞී. එස්. ප්‍රේමලාල්, සහ එහි කමිටු සාමාජිකයන් වන ඞී.එස්. විජයලත් හා ප්‍රියන්ත ගුනසේකර ගේ වැඩ තහනම් කෙරුනේ ජනාවාරි 17 වෙනිදා කොලඹ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රය තුල පැවති උද්ඝෝෂනයේ දී විෂමාචාර ක්‍රියාවන් හි යෙදුන බවට සහ ඒ සඳහා සාමාජිකයන් මෙහෙයවූ බවට චෝදනා කරමිනි.

ජනවාරි 17 වෙනිදා උද්ඝෝෂනය පැවැත් වුනේ විධායක හා උපකාරක සේවා අතර පවතින 1:9 වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙනය. එදින ලංවිම සභාපතිගේ කාර්යාලය වටලා ඔහුට කායික හා මානසික හිරිහැර පැමිනවීම, ඒ සඳහා සාමාජිකයන් මෙහෙයවීම, රාජාකාරියට බාධා කිරීම හා ගෙවීම් කවුලු අවහිර කිරීමෙන් එදින ලංවිමට ලැබිය යුතුව තිබුන ආදායම අහිමිවීම ඇතුලු චෝදනා විසි ගනනක් ලංවිම බලධාරීන් විසින් දැන් ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇත. වැඩ තහනමට ලක් වී සිටින සමිති නායකයෝ එම චෝදනා ප‍්‍රතික්ෂේප කරති.

ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂනයක් පැවැත්වීමට නියමිත අතර වැටුප් සහ සියලු ගෙවීම් අත්හිටුවා ඇත. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, කම්කරු අමාත්‍යංශ නිලධාරීන් සහ වෘත්තීය සමිති අතර පසුගිය සතියේ පැවති සාකච්චාවේ දී විනය පරීක්ෂන කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නැති නමුත් එතෙක් යලි සේවයේ පිහිටුවන ලෙස ඔවුන් කල ඉල්ලීම ලංවිම බලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. වැඩ තහනමට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිනිලි කර ඇති බව සමිති නායකයෝ කීහ.

හදිසි නීතිය නිසා මාර්තු 14 වෙනිදාට යොදාගෙන තිබුන වර්ජනය හා උද්ඝෝෂනය නතර කල බව ජාසේස සමුලු ලේකම් කේ.ඒ.ඞී.අජිත් දේවප්‍රිය ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේය. එහෙත් හදිසි නීතිය නොතකා විශ්ව විද්‍යාල අනධ්‍යන සහ රජයේ මිනින්දෝරු සේවකයන් උද්ඝෝෂනවල නිරත වන තතු තුල ලංවිම උද්ඝෝෂනය නතර කලේ ඇයි දැයි විමසු විට වැඩ තහනමට අමතරව වැඩ තහනමට ලක් වූ නායකයන්ට විරුද්ධව ලංවිම සභාපති විසින් පොලීසියේ පැමිනිල්ලක් දමා ඇති බැවින් එවන් තත්වයක් තුල උද්ඝෝෂනය කල නොහැකි යයි කියමින් උද්ඝෝෂනය නතර කිරීම සාධාරනීකරනය කිරීමට තැත් කලේ ය.

මාර්තු 14 වෙනිදා උද්ඝෝෂනය නතර කලේ හදිසි නීතිය නිසා නොවන බවත් තාවකාලිකව එය නතර කලේ අපේ සමිතිය (ලංවිසේස) සුදානම් වුනත් ආන්ඩුවට සම්බන්ධ යුඇන්පී සහ ශ්‍රී ලංකා සමිති නුසුදානම් නිසා යයි රන්ජන් ජයලාල් පැවසීය. ජයලාල්ගේ ප‍්‍රකාශය මුසාවකි. සතියකට පෙර ගාල්ලේ පැවති උද්ඝෝෂනයේ දී “ජග‍්‍රහනය දක්වා සටන ඉදිරියට ගෙන යන බවත්, නැතිනම් මරාගෙන මැරෙන්න උනත් සුදානම්” බවට සුපුරුදු පුරාජේරු කතාවක් කල ඔහු දැන් හුදෙක් යුඇන්පී, ශ්‍රී ලංකා සමිති මත වග කීම පටවා ඇඟ බේරා ගැනීමේ උත්සාහයක යෙදෙයි.

ලංවිසේස පාලනය කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසිනි. යුඇන්පී සහ ශ්‍රී ලංකා සමිති මෙන් ම ජයලාල් හා ලංවිසේස ආන්ඩුවේ මර්දනය ඉදිරියේ නිවට ලෙස දන ගසා ඇත.

ඇත්ත වශයෙන් ම ලංවිම සමිති මාන බලමින් සිටියේ ආන්ඩුව සමග සම්මුතියකින් ජාම බේරා ගැනීමට ය. ලංවිම සමිති දඩයම ගැන පෙබරවාරි 20 වෙනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවීය: සමිති නායකයන්ගේ “කල් මැරීම පිටුපසින් පවතින්නේ ආන්ඩුව සමග ගැටුමකට යාම මග හැරීමේ උත්සාහයකි. ආන්ඩුවේ මර්දනය ඉදිරියේ සලිත වී සිටින සමිති නායකයන් අපේක්ෂා කරන්නේ සම්මුතියක් මගින් ගනු දෙනු බේරා ගැනීමට ය.”

අප කල අවධාරනය දැන් මුලුමනින් ම සනාත වී ඇත, ඔවුන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ලංවිම කම්කරුවන්ගේ අරගලය පාවා දුන්නේ ද ආන්ඩුවේ මර්දනය ඉදිරියේ යටත් වීමෙන් හා වර්ජනය කල දින ගනන කම්කරුවන්ගේ හිලව් නිවාඩු වලින් අඩු කිරීමට හෝ හිලව් නිවාඩු ඉතිරිව නැති කම්කරුවන්ගේ වැටුප් කැපීමේ සහ තවත් කොන්දේසි ගනනාවකට එකඟ වෙමිනි.

ලංවිම සමිති නායකයන්ගේ වැඩ තහනම හුදෙක් ජනවාරි 17 වෙනිදා සිද්ධියට සම්බන්ධ හුදකලා කාරනාවක් නොවේ. එය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ ආන්ඩුව ක්‍රියාවට දමන කප්පාදු පිලිවෙත් වලට එරෙහිව වර්්ධනය වෙමින් පවත්නා කම්කරුවන්ගේ, සිසුන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල තලා දැමීම සඳහා ආන්ඩුව ගෙනයන මර්දනකාරී පිලිවෙතේ කොටසකි. ලංවිම සමිති නායකයන්ට එරෙහිව ගෙනඇති මෙම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පියවර අරගලයට පිවිසෙමින් සිටින අනෙකුත් කම්කරුවන්ට සහ පීඩිතයන්ට ආන්ඩුව විසින් කරන ලද අනතුරු ඇඟවීමකි.

වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කීපයක් මත සති දෙකකට අධික කාලයක් පුරා අඛන්ඩ වැඩ වර්ජනයක නිරතව සිටින අනධ්‍යන කම්කරුවන් ගේ සියලු ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරමින් සිටින ආන්ඩුව, වර්ජනය කැඳවූ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවට කියා සිටින්නේ වර්ජනය නතර කරන තෙක් සාකච්ඡාවක් හෝ ලබාදිය නොහැකි බවයි.

සිංහල වර්ගවාදී මැර නඩයක් විසින් මහනුවර දිගන ප‍්‍රදේශයේ සිදු කල සංවිධානාත්මක මුස්ලිම් විරෝධී ප‍්‍රකෝපකරනය රට පුරා හදිසි නීතිය පැනවීමේ කඩ තුරාවක් ලෙස ආන්ඩුව විසින් යොදා ගත්තේ ආන්ඩුවේ ප‍්‍රහාර වලට විරුද්ධව බරපතල සමාජ අරගල පුපුරා යන කොන්දේසි තුලය. මෙම සිංහල වර්ගවාදී මැර බලකායන් පෝෂනය කෙරුනේ සහ කෙරෙන්නේ ධනපති පාලක පන්තියේ සහ ආරක්ෂක අංශවල අනුදැනුම ඇතිවය.

ධනපති පක්ෂ, මාධ්‍ය මෙන් ම රාජ්‍යය සහ එහි ආරක්ෂක අංශ ශක්තිමත් කිරීම සඳහා කෙරෙන උද්ඝෝෂනයේ පෙරෙමුනේ සිටින සංවිධානයකි ජවිපෙ. ජයලාල් එහි වෘත්තීය සමිති අංශයේ ප‍්‍රධාන නායකයෙකි. පලාත්පාලන මැතිවරනයෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදය තුල රට අස්ථාවර වී ඇතැයි පාර්ලිමේන්තුව තුල සහ ඉන් පිටත උද්ඝෝෂනයක යෙදුන ජවිපෙ දිගන සිද්ධියත් සමග වර්ගවාදයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා ඇත. එම නිසා ධනපති පන්ති පාලනයට අභියෝග කරන හා එය අස්ථාවර කරන පන්ති අරගල වර්ධනය වීම කෙරෙහි යුඇන්පී, ශ්‍රී ලංකා ධනපති පක්ෂ හා ඒවා විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති මෙන් ම ජවිපෙ සහ එහි සමිති ද එකහෙලා ම විරුද්ධය.

ලංවිම කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය ආන්ඩුවේ මර්දනය ඉදිරියේ වෘත්තීය සමිතිවල යටත් වීමේ මෙම නිවට පිලිවෙත ප‍්‍රතික්ෂේප කල යුතුය. ඒ වෙනුවට කම්කරු පන්තිය ඉදිරියේ ක්ෂනිකව මතු කෙරී ඇති වගකීම වන්නේ හදිසි නීතිය ඇතුලු සියලු මර්දන නීති අහෝසි කරනු! වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට අත නොතබනු! වැඩ තහනම් කල ලංවිම සමිති නායකයන් කොන්දේසි විරහිත සේවයේ පිහිටවනු! යන ඉල්ලීම් මත හා රැකියා වැටුප් හා ජීවන තත්වයන් ට එල්ල කෙරෙන ප‍්‍රහාර වලට එරෙහිව බලාගතු දේශපාලන ව්‍යාපාරයක් සංවිධානය කිරීම ය.

එවන් අරගලයක් සංවිධානය කල හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක වර්ධනයට තිරිංග දමන වෘත්තීය සමිති වලින් බිදී කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී චන්දයෙන් තෝරා පත්කර ගනු ලබන කම්කරු ක්‍රියාකාරී කමිටු හරහා කම්කරු පන්තියේ සියලු අරගල ඒකාබද්ධ කිරීමට සහ සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියවාට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා අරගලයකට හැරී ගැනීම මගින් පමනි.

Share this article: