උතුරු පලාතේ ස්වේච්ඡා ගුරුවරුන් ස්ථීර පත්වීම් ඉල්ලා සටන් කරයි

ආර්. සුදර්ශන් සහ විමල් රාසේන්දිරන් විසිනි, 2018 මාර්තු 30

යුද්ධයෙන් විනාශ වූ ශ්‍රී ලංකාවේ උතුරු පලාතේ, දශකයකටත් වැඩි කාලයක් තිස්සේ සේවය කරමින් සිටින ස්වේච්ඡා ගුරුවරුන් ස්ථීර සේවා පත්වීම් ඉල්ලා පසුගිය මාර්තු 20 දා උතුරු පලාත් සභාව ඉදිරිපිට උපවාසයක යෙදුනෝ ය. මෙම ගුරුවරුන් විසින් පසුගිය වසර කීපය තු විටින් විට සිදු කෙරුනු විරෝධතාවන්හි මෑතම ක්‍රියාව මෙයයි.

උතුරු පලාත් ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය (උපස්ගුසං) විසින් සංවිධානය කරන ලද මෙම උපවාසයේ දී ගුරුවරුන් 60 දෙනෙක් පමන නිරාහාරව සිටි අතර බොහෝ දෙනෙක් එහි පැමින උපවාසයට සහය පල කලහ. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ආන්ඩුව විසින් පොලීසිය යොදවා තිබූ නමුත්, ඔවුහු දිගටම විරෝධතාවේ නියැලී සිටියේ දැඩි අධිෂ්ටානයෙන් යුතුවයි.

උතුරු පලාතේ පමනක් 1040 ස්වේච්ඡා ගුරුවරු වැටුප් නොමැතිව රජයේ පාසල්වල ඉගැන්වීමේ කටයුතුවල නියැලී සිටිති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව හා වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ද ඔවුන්ට ස්ථීර පත්වීමක් ලබා දෙන බවට පොරොන්දු දුන් නමුත් ඒවා ඉටු කර නැත.

පසුගිය මාර්තු 16 දා ස්වේච්ඡා ගුරුවරුන් 200 කට අධික සංඛ්‍යාවක් කොලඹට පැමින, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවී මෙම ඉල්ලීම සඳහා බලකල නමුත් එය ද ව්‍යර්ථවීමෙන් අනතුරුව ඔවුහු මේ උපවාසය සංවිධානය කර තිබේ.

පසුගිය වසරේ කැබිනට් තීරනය අනුව, 2013 දෙසැම්බර් 31 දිනට පෙර වසර තුනක සේවා කාලයක් සම්පූර්න කෙරුනු, උසස් පෙල විභාගයෙන් විෂයන් 3 ක් සමත්වූ ස්වේච්ඡා ගුරුවරුන් 676 දෙනාට ස්ථීර පත්වීම ලබා දෙන බව සඳහන් කෙරුනි. මෙම තීන්දුව සම්බන්ධයෙන් ගුරුවරුන් අතර නොසන්සුන්තාව වැඩෙත්ම, පසුගිය ජූනි මාසයේ දී සම්මුඛ පරීක්ෂනයක් පවත්වන ලද අතර අදාල ගුරුවන්ගෙන් 182 ට පමනක් ස්ථීර පත්වීම් ලබාදෙන ලදී. අනෙක් අයට පියවරෙන් පියවර පත්වීම් දෙන බව ප්‍රකාශ කෙරුනි.

නිශ්චිත කාල සීමාව සම්පුර්න නොකල එමෙන් ම අධ්‍යාපන සුදුසුකම් අඩු බොහෝ අය, මෙම 182 දෙනා අතරට ඇතුලු කර ආන්ඩුව වංචාවක් සිදු කර ඇති බවට චෝදනා නගන ස්වේච්ඡා ගුරුවරු, එය හෙලා දකිමින් සියලු දෙනාටම ස්ථිර පත්වීම් ඉල්ලා සිටියෝ ය.

මේ සම්බන්ධයෙන් ගුරුවරුන් 25 දෙනෙකු පසුගිය ඔක්තෝබර් මාසයේ වවුනියාවේ මානව හිමිකම් කොමිසම වෙත පැමිනිලි කර තිබේ. මාස ගනනාවක් මෙම පැමිනිල්ල පැත්තක දමා තිබුනු එම කොමිසම, දැන් කෝපාවිෂ්ඨ වී සිටින ස්වේච්ඡා ගුරුවරුන් පාලනය කිරීම සඳහා මෙම පැමිනිල්ල පිලිබඳව සාකච්ඡා කිරීමට අප්‍රේල් මාසයේ 10 වන දින වෙන් කර ඇත.

ධනපති දෙමල ජාතික සංධානය (දෙජාසං), උතුරු පලාත් සභාව ජය ගත්තොත් දෙමල ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි බවට පොරොන්දු වෙමින්, 2013 පලාත් පාලන මැතිවරනයේදී බහුතර ජන්ද ලබාගෙන බලය ලබා ගත්තේය. නමුත්, විරැකියාව වැනි මූලික ප්‍රශ්න විසඳීමට දෙමල ජාතික සන්ධානය අසමත් වූ අතර, එය විසින් පිටුබලය දී බලයට ගෙන ආ ඇමරිකානු ගැති සිරිසේන-වික්‍රමසිංහ පාලනය අධ්‍යාපන පුද්ගලීකරනය ඇතුලු සුබසාධන සේවාවන් අහෝසි කිරීම සඳහා ගෙනයන බරපතල කප්පාදු පියවරයන්ට දෙජාසං පූර්න පිටුබලය දෙමින් සිටී.

පසුගිය මාර්තු 28 වනදා අරලියගහ මන්දිරයේ පැවැත්වූ උතුරු පලාතේ 324 දෙනෙකුට ස්ථිර ගුරු පත්වීම් ලබා දීමේ උත්සවය ඇමතු අගමැති රනිල් වික්‍රමසිංහ, “උතුරු පලාතේ සමස්ත අධ්‍යාපන පද්ධතියම බිඳ වැටී තිබෙනවා” යැයි කිඹුල් කඳුලු හෙලමින්, “එය ගොඩදැමීමට අවම වශයෙන් අවුරුදු දහයක් අවශ්‍ය” බව ප්‍රකාශ කලේ ය. ඔහු තවත් අවුරුදු දහයක් ඉල්ලා සිටින්නේ, යුද්ධය නිමවී දශකයකට ආසන්න වෙමින් තිබෙන තතු තුල ය. ඔහුගේ ආන්ඩුව රටපුරා අධ්‍යාපනය ඇතුලූ වැඩකරන ජනයාගේ අයිතීන් පාගා දමන තතු යටතේ උතුරේ අධ්‍යාපනය නගා සිටුවන බවට කරන කතා අමු රැවටිල්ලක් පමනි.

ස්වේච්ඡා ගුරුවරුන්ගේ අරගලය, උතුරු සහ නැගෙනහිර පලාත්වල පවතින දුගී සමාජ කොන්දේසි ගැන මෙන්ම උග්‍ර විරැකියාව පිලිබඳව ද දර්ශකයකි. උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් තුන්දහසකට අධික සංඛ්‍යාවක් සහ නැගෙනහිර දහස් ගනනක් පසුගිය වසරේ මාස ගනනාවක් තිස්සේ නිරන්තරව සත්‍යග්‍රහ ඇතුලූ විරෝධතා පවත්වා තිබේ. උතුරේ නගර සභා සහ සෞඛ්‍ය සේවාවන්හි සිය ගනනක් තාවකාලික කම්කරුවන් සථිර පත්වීමක් නොමැතිව සේවයේ නියැලී සිටිති.

2009 දී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය ලේවැකි අවසානයට ගෙන යාමෙන් පසු, හිටපු එල්ටීටීඊ සටන්කරුවන් සිය ගනනක් ශ්රී ලංකා යුද හමුදාවේ සිවිල් ආරක්ෂක බලකායට බඳවාගෙන, මිලිටරි-පාලිත ගොවිපොලවල්වල වැඩ කරති.

අරගලයේ නියලී සිටින බොහෝ ස්වේච්ඡා ගුරුවරුන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කතා කලෝ ය:

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායන් මහා විද්‍යාලයේ උගන්වන 34 හැවිරිදි ගුරුවරයෙක් සඳහන් කලේ තමා වසරකට අධික කාලයක් තිස්සේ එල්ටීටීඊය විසින් බලහත්කාරයෙන් රඳවාගන සිටි බවත් යුද්ධය අවසානයේ දී මිලිටරිය විසින් අත් අඩංගුවට ගෙන, “පුනරුත්ථාපනය” නමින් තවත් වසර දෙකහමාරක් රඳවාගෙන සිටි බවයි. ඔහු නිදහස් කරන ලද්දේ 2012 දී ය.

2013 වසරේ රැකියා නාම යෝජනා ලැයිස්තුවට ඔහුගේ නම ද ඇතුලත් කර තිබු නමුත්, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රයේ කොටස්කරුවෙකු වූ ඊලම් ජනතා ප්‍රජාතන්ත්රවාදී පක්ෂය (ඊපීඩීපී) විසින් ඔහුගේ සහ තවත් ගුරුවරියකගේ නම ඉවත් කර, ඊපීඩීපීයේ ආධාරකරුවන්ට පත්වීම් ලබා දුන් බවට චෝදනා කලේය.

ඔහු මෙසේ ද පැවසීය: “2004 සිට මම උගන්වනවා. අපේ පවුලේ 5 දෙනෙක් පමන ඉන්නවා. යුද්ධයේ අවසන් සටන්වලදී මගේ තාත්තා ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය දා ඉඳලා පවුලේ වගකීමට කරගහන්නේ මමයි. මගේ ශරීරයේ සහ දකුනු අතේ යුද්ධයෙන් ඇතිවූ හානි තිබෙනවා. මට පත්වීම් ලැබුනේ නැහැ. එහෙත් මගෙන් අධ්‍යාපනය ලැබූ සිසුන්ගෙන් සමහරෙක් විශ්ව විද්‍යාලයේ සේවය කරනවා. සමහරෙක් මා උගන්වන පාසලටම ගුරුවරුන් ලෙස පත්වීම් ලබාගෙන ඇවිත් වැඩ කරනවා. අපට පත්වීම් දෙන්න ලේඛන 13ක් අවශ්‍ය යි කියනවා. අපි යුද්ධයෙදී ජීවිත බේරාගැනීමට අවතැන්වී දිව්ව අවස්ථාවල අපේ වත්කම් සමග ලේඛන ද නැතිවුනා. කෙසේ වෙතත්, ලේඛන තමන් අතේ තියාගෙන සිටින අයට පවා පත්වීම් ලැබිලත් නෑ.

“අපි ඡන්දය දුන් දෙමල දේශපාලන නායකයින්, දකුනේ සිංහල දේශපාලනඥයින් සමග ඤදේශපාලන% ඥාති සම්බන්ධකම් පවත්වාගෙන යනවා. ඔවුන්ගේ අවශ්යතාවන් වෙනුවෙන් ඔවුන් අප ඒවාට භාවිතා කරනවා. මෙහි තිබෙන දේශපාලන පක්ෂවල වෙනසකට තියෙන්නේ නම විතර යි. මගේ වයස අවුරුදු 34 යි. මම තවමත් විවාහ වී නැහැ. රැකියා විරහිතයකුට මනමාලියෙක් දෙන්නේ කවුද? අපට ස්ථීර පත්වීමක් ලබා දී, අපේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ උවමනාව මෙහෙ කිසිවෙකුටත් නැහැ.”

වයස අවුරුදු 38ක් වූ, මුලතිව් කුමුලූමුනයි සිට පැමිනි යසෝ, අවුරුදු 18 ක් ස්වේච්ඡා ගුරුවරියක ලෙස කටයුතු කර ඇත. 2013 දී තමන් ඇතුළු 9 දෙනෙකුට ලැබුනු පත්වීම් වෙනස්කර, ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද තමන්ට පක්ෂ අයට සහ මුදල්වලට වෙනත් පුද්ගලයින් නව දෙනෙකුට දුන් බවට ඇය චෝදනා කලාය. යසෝගේ පවුලේ බොහෝ දෙනාට යුද්ධයෙන් ශාරීරිකව හානි සිදුවී තිබේ. “තාත්තාගේ ආදායමෙන් යැපෙමින් ඉඳපු අපිට අවසාන සටනේදී ඔහුගේ මිය යාම විශාල පාඩුවක් උනා. අම්මා තුවාල වුනා. සහෝදරයාට ඔහුගේ ඇස් අහිමි වුනා. කකුල ආබාධිත තත්වයට පත් තවත් සහෝදරයෙකුට ඇවිදින්න බැහැ,” යසෝ වේදනාවේන් කීවා ය.

ඇය වැඩිදුරටත් පැවසුවේ: “අපේ පවුලේ හත් දෙනෙක් ඉන්නවා. තාත්තා ධීවරයෙක්. මම ඔහුගේ ආදායමෙන් ජීවත් වුනු නිසා ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස ඉගැන්වීම් කටයුතුවල නිරත වුනා. උසස් පෙල අවසන්කරනවත් එක්කම මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා ගුරු හිඟය නිසා මට උගන්වන ලෙස ඉල්ලා සිටියා. නමුත් මට තවමත් පත්වීම් ලැබුනේ නැහැ. මට ආදායමක් නැති නිසා, හවස් වරුවේ ප්ලාස්ටික් මල් හදලා ඒවා සාප්පු වලට දාලා මුදල් ලබාගන අපගේ අවශ්‍යතා සපුරාලීමට උත්සාහ කරනවා. විවාහ වෙන්නේ පත්වීම් ලැබුනොත් පමන යි.”

තම සහෝදර ස්වේච්ඡා ගුරුවරුන් ගැන සිත් සසලවන සුලු තවත් බොහෝ දෑ යසෝ විස්තර කලා ය. ගැබ්බරව සිටි එක් ගුරුවරියක්, පසුගිය 16 වන දා අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහින් අවාට පසුව, ගමන් මහන්සිය සහ අඛන්ඩ මානසික පීඩන නිසා ගබ්සා වීමක් සිදු විය.

ඔඩ්ඩුසුඩාන්හි කනේශ්වරන් තවරන්ජනීට පත්වීම් නොලැබුනු සොවින් සිය දිවි නසාගෙන තිබේ. මෙම ගුරුවරියගේ අභාවය ගැන කිසිවෙකුත් තකා නැත. එවෙනුවට, ඇය වෙනත් හේතු නිසා සිය දිවි නසා ගත්බවට කටකතා පතුරුවා හැර ඇතැයි විරෝධතාකරුවෝ පැවසුහ.

දරුවන් දෙදෙනෙකුගේ මවක් වන වව්නියාවේ ස්වේච්ඡා ගුරුවරියක්, කඳුලු සලමින් අදහස් පලකලා ය: “අධ්‍යාපන රාජ්‍ය ඇමති රාධක්‍රිෂ්නන් කීවේ, 676 දෙනෙකුට පත්වීම ලබා දීමට නියමිත බවත් ඒ සඳහා මුදල් වෙන් කර ඇති බවත් ය. ඒත් දැන් උතුරු පලාත් මහ ඇමති සහ උතුරු පලාත් අධ්‍යාපන ඇමතිගේ ද තීරනය වෙලා තියෙන්නේ 182 දෙනෙකුට පමනක් පත්වීම් දීමට යි. ගුරුවරුන් බහුතරයකුගේ අනාගතය ඒ විදියට ප්‍රශ්නයට බඳුන් කරලා තියෙනවා. තවත් අයට අප්‍රේල් මාසයේදී පත්වීම් දෙනවා කියලා කියනවා. එහෙත් මේ දූෂිත පුද්ගලයින් කියන දේ විශ්වාස කිරීමට අපි ලැහැස්ති නැහැ.”

තවත් ස්වේච්ඡා ගුරුවරියක වන නිශාන්තිනිට යුද්ධයේදී ඇයගේ දෙමව්පියන් හා සහෝදරයා අහිමි වී තිබේ. “මම අවුරුදු දහයකට වැඩි කාලයක් තිස්සේ ස්වේච්ඡා ගුරුවරියක්. චක්‍රලේඛන වල අපේ නම් තියෙද්දිත් අපට ස්ථීර පත්වීම් දුන්නේ නැහැ. බලධාරීන් අපට පත්වීම් ලැබෙන දවසක් තාමත් කිව්වෙත් නැහැ. අපි දිගටම සටන් කරනවා. කිලිනොච්චි, මුලතිව්, වව්නියාව සහ මන්නාරම වල ස්වේච්ඡා ගුරුවරුන්ගේ ලියාපදිංචි පොත් (ලොග් බුක්) යුද සංක්‍රමනය නිසා නැතිවෙලා. ලොග් පොත නැති අයට ස්ථිර පත්වීමක් ලබා ගත නොහැකි බව රජය පවසනවා.”

කිලිනොච්චියේ පදිංචි ගුනබාලාසිංහම් මතිවදනන් තිදරු පියෙකි. ඔහු මෙසේ විස්තර කලේ ය: “මම 2003 සිට ඉගැන්වීම් කරනවා. වරින්වර රුපියල් 1,000, 800, සහ රු. 2000 වැටුපත් ලැබුනා. 2007 වසරේ ඉඳලා අපි විශ්වමඩු, උඩියාර්කට්ටු, සුදන්දිරපුරම්, ඉරනයිපාලම්, මාත්තලන්, වලයිඥර්මඩම් සහ මුල්ලිවයිකාල් වැනි ප්‍රදේශවලට එකදිගටම අවතැන්වුනා. 2009 අරුනාචලම් කඳවුරේ රඳවාගෙන ඉඳිද්දි මම කඳවුරේදී ඉගන්නුවා.

“2010 දී නැවත පදිංචි කරවීමෙන් පසු රජය අර්ධ වශයෙන් හානියට පත්වුනු නිවස හදාගන්න රුපියල් ලක්ෂයක් ලබා දුන්නා. ප්‍රතිසංස්කරන කටයුතුවලට අපිත් රුපියල් ලක්ෂ තුනහමාරක් නයට ගත්තා. ජීවන වියදම සඳහා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක උගැන්වීම මගින් ලැබෙන ආදාමත් සමග අපි ජීවත් වෙන්නේ බොහොම දුෂ්කරතා මධ්‍යයේ. අපෙන් ඉගෙන ගත් සිසුන් රාජ්‍ය අංශය තුල වැඩ කරනවා. අපේ අධ්‍යාපන දියුනුව සඳහා අපි පුහුනුවත් ලබාගෙන තිබෙනවා. මගේ ජීවිතේ වැඩි කාලයක් අධ්‍යාපන කටයුතු සමගම ගෙවී ගියා.”

Share this article: