රජයේ මිනින්දෝරුවන්ගේ වැඩ වර්ජනය ආන්ඩුවේ පුද්ගලිකරන සැලසුම් සමග ගැටෙයි

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2018 මාර්තු 23

ආන්ඩුවට අයත් ප‍්‍රධාන ආයතනයක් වන රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ට්‍රිම්බල් නැවිගේෂන් ලිමඩ් නම්වූ ඇමරිකානු සමාගමකට පැවරීමට විරුද්ධව එහි සේවකයන් විසින් සතියක කාලයක් පුරා දියත් කර තිබූ වැඩවර්ජනය ආන්ඩුව සමග පැවති සාකච්ඡාවලදී “එකඟතාවන්ට” එලැඹුනු බව ප‍්‍රකාශ කරමින් රජයේ මිනින්දෝරු සංගමය (රමිස) විසින් ඉකුත් බදාදා නතර කරනු ලැබීය.

රමිස වර්ජනය නතර කිරීමට තීන්දු කලේ මිනුම් කටයුතුවල ප‍්‍රමාදයන් වලක්වාගැනීම සඳහා වෙනත් විකල්පයක් මිනිදෝරු දෙපාර්තමේන්තුවේ පාර්ශවයෙන්ම ලබාදෙන්නේ නම් ඒ සඳහා ඇමරිකානු සමාගම සම්බන්ධ කරගැනීම නතර කරන බවට ආන්ඩුව ලබාදුන් පොරොන්දුවට එකඟ වෙමිනි. ආන්ඩුවේ යෝජනාවෙන් පෙන්නුම් කෙරෙන්නේ දෙපාර්තමේන්තුව පුද්ගලික සමාගමකට පැවරීමේ තර්ජනය අහෝසි වී නැති බවයි.

රමිස විසින් මාර්තු 14 වනදා කැඳවනු ලැබූ තෙදින සංකේත වැඩවර්ජනයට සම්බන්ධ වෙමින් දිවයින පුරා දෙපාර්තමේන්තුවේ අධිකාරීන් හි අනුයුක්ත කර සිටින 700ක් පමන මිනින්දෝරු නිලධාරීන් අරගලයට අවතීර්න වූ අතර පසුගිය සඳුදා සිට එය අඛන්ඩව වැඩවර්ජනයක් ලෙස දීර්ඝ කෙරින. අරගලයේ කොටසක් ලෙස මාර්තු 16 වනදා කොලඹදී පැවැත්වූ විරෝධතා රැලියට සිය ගනනක් සේවකයෝ සහභාගී වූහ.

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව (රමිදෙ) විසින් අවසන් කල යුතුව පවතින කල්පමා වූ ඉඩම් මැනීමේ කටයුතු කඩිනම් කරගැනීම සඳහා යැයි කියමින් ආන්ඩුව එය උක්ත සමාගමට පැවරීමේ යෝජනා ගෙන ආවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය. යෝජනාව ඉදිරියට ගෙන යමින් ඔක්තෝබර් 3 වනදා ඇමරිකානු සමාගමේ ව්‍යාපෘති යෝජනාවට අමාත්‍ය මන්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

රමිදෙ යනු බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ පිහිටවනු ලැබූ ලංකාවේ ප‍්‍රථම රාජ්‍ය දෙපාර්තමේන්තුවයි. හත් සියයකට වැඩි සේවක පිරිසක් අනුයුක්තව සිටින මෙම ආයතනය, ආන්ඩුවට අයිති ඉඩම් මැනීම, උසාවි නියෝගවලට අනුව කෙරෙන මැනීමේ කටයුතු, මහමාර්ග, නගර සැලසුම, ගුවන් තොටුපල, වරාය ආදී වැඩි ආර්ථික බලපෑමක් සහිත ක්ෂේත‍්‍ර ගනනාවකට සේවා සපයයි.

වැඩවර්ජනය හේතුවෙන් එම ක්ෂේත‍්‍රවල කටයුතු අඩාල වීම ආන්ඩුවට තදින්ම බලපෑ බව එය නතර කිරීමට පෙර දිනයේ පැවති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරු කිහිපදෙනෙකුගෙන්ම ප‍්‍රකාශ කෙරී තිබින. මිනින්දෝරු වැඩවර්ජනය “සංවර්ධන කටයුතු” බරපතල අර්බුදයකට ලක්කර ඇති බැවින් එය නතර කිරීමට ආන්ඩුව වහා මැදිහත්වීම යෝග්‍ය බව ඔවුන් යෝජනා කර තිබින.

කෙසේ වතුදු රමිදෙ විදේශ සමාගමක පැවරීමේ උත්සුකය වූ කලී රජයට අයත් ව්‍යවසායන් පෞද්ගලීක අංශයට පැවරීම සඳහා ආන්ඩුව ගෙනයන පුලුල් වැඩපිලිවෙලක කොටසකි. ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනයේ අධිරාජ්‍යවාදී ආර්ථික පිලිවෙත වෙනුවෙන් කැපවුනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය විසින් නව වටයකින් ආරම්භ කල මෙම වැඩපිලිවෙල වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ වේගවත් කෙරී ඇත.

පසුගිය වසර අගදී හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම, කොලඹ වරායේ පර්යන්තයන් පෞද්ගලික අංශ වෙත පැවරීම සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන වර්ධනය කිරීම ආදී සියල්ල ඊට අනුව ඉදිරියට යන වැඩකටයුතුය.

දේශීය සහ විදේශීය මහ ධනපති ආයෝජකයින්ගේ ලාභ පොට්ටනි තර කිරීම උදෙසා පෞද්ගලීකරනයට ලක්කෙරෙන ආයතනවල සේවකයන්ගේ රැකියා කොන්දේසි දුෂ්කර අඩියකට ඇදදමා ඇත.ඒ යටතේ රැකියාවලින් දොට්ට දැමීම, වැටුප් කප්පාදුව, සූරාකෑම උග‍්‍ර කිරීම සහ කොන්ත‍්‍රාත් පදනම යටතේ පමනක් රැකියාවලට බඳවාගැනීම ආදියට කම්කරුවන් නිරන්තරයෙන් මුහුන දී සිටිති. ඊට ආසන්නතම උදාහරනය ලෙස හම්බන්තොට වරාය, චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින් සමාගමට පැවරීමෙන් පසුව එහි සේවකයන් 438කට එහි රැකියා අහිමිවී ගියේය.

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වසර ගනනාවක් මුලූල්ලේ ඉහල යන පෞද්ගලීකරනය කිරීම් යටතේ දිවයින පුරා දහස් ගනනින් පෞද්ගලික පාසල්, විශ්වවිද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන බිහිවී ඇත. රජයේ විශ්වවිද්‍යාල සහ පාසල් තුල ක්‍රියාත්මක කප්පාදුව හේතුවෙන් ඒවායේ සීමිත බඳවාගැනීම් අතරට නොවැටෙන සිසුන්ට මිල අධික ගාස්තු යටතේ එම පෞද්ගලික ආයතනවල අධ්‍යයන කටයුතු වල නිරතවීමට බල කෙරී ඇත.

මෙම තත්වය නොඉවසන කම්කරුවන්, සිසුන්, තරුනයන් දහස් ගනනින් ආන්ඩුවේ පෞද්ගලීකරනයට එරෙහිව සටන් වැදීම සඳහා පෙරට පැමින තිබේ. ඊට ප‍්‍රතිචාර ලෙස ආන්ඩුව, පොලිස්-මිලිටරි ප‍්‍රහාර සහ නීති රීති දැඩි කිරීම් යොදාගනිමින් එම අරගලයන් මර්දනය කරන්නේ සියලූ ක්ෂේත‍්‍රයන් හි පෞද්ගලිකරනය පෙරට ගෙනයෑම සඳහා තමන්ට පවත්නා උත්සුකය පුන පුනා ප‍්‍රකාශ කරමිනි.

මෙම තතු යටතේ පැන නැගුනු රජයේ මිනින්දෝරුවරුන්ගේ අරගලයද ආන්ඩුවේ පෞද්ගලීකරනය හේතුවෙන් තමන්ගේ ජීවන කොන්දේසි පිරිහී යාමට එරෙහිව කම්කරු, පීඩිත මහජනතාවන් අතර වැඩෙන විරුද්ධත්වයේ කොටසකි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද දෙවතාවක් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමෙන් සේවකයන් සිය විරෝධතා දක්වා තිබුනි.

වෙනත් ක්ෂේතකවලදී වෘත්තීය සමිති කරන්නාක් මෙන්ම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අරගලයේදීත් දකින්නට ලැබෙන්නේ ආන්ඩුවට බලපෑම් දැමීමේ වැඩපිලිවෙලකට සේවකයන් සීමා කිරීමට එහි වෘත්තීය සමිතිය උත්සාහ දැරීමයි.

උද්ඝෝෂන වලදී රමිස විසින් බෙදාහරින ලද පත්‍රිකාවල සඳහන් කර ඇත්තේ ඇමරිකානු සමාගම සමග සිදුවූ ගනුදෙනුව දෝෂ සහගත වීම ගැන චෝදනාවන්ය. එහි සඳහන් වන්නේ “දේශීයව කෝටි 1000ක වියදමෙන් ඉඩම් මැන පිරිසිඳු සින්නක්කර ඔප්පු ලබාදීමක හැකියාව තිබියදී ආන්ඩුව නියමිත ටෙන්ඩර් පටිපාටියකින් තොරව රුපියල් කෝටි 2500ක විදේශ නයක් විශාල පොලී අනුපාතයකට ලබාගෙන යහපාලන ආන්ඩුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු ඇමරිකාවට ලබාදීමට කටයුතු කර ඇති බවයි”. එමෙන්ම ඇමරිකානු සමාගමකට රටේ තීරනාත්මක අංශවලට මැදිහත් වීමට මේ හරහා අවකාශ ලැබෙන බැවින් ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වන බවද එහි සඳහන් වී ඇත.

මිනින්දෝරුවන්ගේ පෙරලිකාරීත්වය පුලුල් අරගලයක් දක්වා වර්ධනය වීමේ තර්ජනය ගැන රමිස ආන්ඩුවට අනතුරු අඟවා ඇත. මාර්තු 13 දින එහි සභාපති දුමින්ද උඩුගොඩ, අගමැති වෙත යැවූ ලිපියක සඳහන් කර තිබුනේ මෙසේය: “තවද දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ සිවිල් සංවිධාන සමග එක්ව පොදු අරගලයකට යොමුවීමට පෙර මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇමරිකාවට පැවරීමේ ක්‍රියාවලිය හකුලා දමන ලෙස කාරුනිකව දැනුම් දෙන්නෙමු.”

ආන්ඩුවට උපදෙස් දීමෙන් හෝ බලපෑම් දැමීම පලල් කිරීමෙන් ආන්ඩුවේ ප‍්‍රතිපත්ති වෙනස් කල නොහැක. ආන්ඩුව මිනුම්දෝරු දෙපාර්තමේන්තුව හෝ අනෙකුත් ආයතන පුද්ගලික අංශයට පවරන්නේ නොදන්නා කමකින් නොවේ. ආර්ථික අර්බුදය මැද සෑම රටකම පාලක ආන්ඩු රජය සතු ලාභ උපයා ගත හැකි හැම අංශයක්ම මෙරට හා විදේශ ආයෝජකයන්ට පවරයි. ආන් ඩුව ක‍්‍රියා කරන්නේ මහා ධනපතියන්ගේ හා විදේශ ප‍්‍රාග්ධනයේ උවමනාවන් ඉටු කිරීමට ය. ඒ සඳහා වැඩ කරන ජනතාව දිනාගෙන ඇති අයිතීන් මහ ව්‍යාපාරිකයන්ට උදුරා දීමට ආන්ඩුව ක‍්‍රියා කරයි.

Share this article: