පලාත් පාලන මැතිවරන ප‍්‍රතිඵලය පිලිබඳව ජවිපෙ මහජනයාට බැන වදී

නවීන් දේවගේ විසිනි, 2018 මාර්තු 2

පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පලාත් පාලන මැතිවරනයේ ප‍්‍රතිඵල නිකුත්වීමත් සමග මාධ්‍ය සාකච්ජාවක් කැඳවූ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), මහජනතාවට තුච්ඡ ලෙස දෝෂාරෝපනය කලේ ය.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එහි දී මෙසේ ප‍්‍රකාශ කලේ ය: “ඉදිරියේ දී ගොඩනැගෙන ජනතාවගේ පීඩාවන්, ජනතාවට එරෙහිව එල්ල වන දේ පිලිබඳව ජනතාවටත් වගකීමක් තියෙනවා. මෙවැනි දේශපාලන සංස්කෘතියක්, ආර්ථික ක‍්‍රමවේදයක්, අපරාධයක් නම් මේ රටේ ජනතාව අනුමත කරන්නේ ඒ හරහා දිග ඇරෙන ක‍්‍රියාදාමයන් පිලිබඳව ජනතාවටත් අත් නොහල හැකි වගකීමක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා”.

ඔහුගේ කතාවට අලගු තබමින් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පලාත් පාලන ආයතන පිහිටුවීමෙන් පසු “[මහින්ද] රාජපක්ෂ සුලඟ” අකුලා ගෙන ගොස් ඇත්තේ කුමක්දැයි මහජනතාවට පෙනී යනු ඇතැයි ඔලොක්කුවට කීවේ ය.

ජවිපෙ නායකයකු හා ඌව පලාත් සභා මන්ත‍්‍රීවරයකු වන සමන්ත විද්‍යාරත්න අවලාද නැගුවේ ලංකාවේ මහජනතාව “දේශපාලනය කියවන්න, ලියන්න නොතේරෙන, දේශපාලන සාක්ෂරතාවය පහත් මට්ටමක ඇති” පිරිසක් ලෙස හඳුන්වමිනි.

දිසානායක ප‍්‍රමුඛ ජවිපෙ නායක නඩය කොටින් ම කියන්නේ මෙයයි: මහජනතාව පලාත් පාලන මැතිවරනයේදී මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ‍්‍රීලංපොපෙ) ඡන්දය දී ඔහුගේ කන්ඩායම අනුමත කර ඇත. එමගින් අපරාධකාරී රාජපක්ෂ කන්ඩායමට බලයට ඒමට පාර කපා තිබේ. ජනතාව “අනුමත කරන්නේ” එවන් අපරාධකාරී පාලනයක් නම් ඉන් ඇතිවන ප‍්‍රතිවිපාක වලට වගකිවයුත්තන් ඔවුන් ම ය.

මැතිවරනයේදී රාජපක්ෂගේ පක්ෂය වැඩි ඡන්දයක් ලබා ගැනීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මහජනතාව ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය “අනුමත කිරීමකි” යන දිසානායක සමාගමේ ප‍්‍රකාශය අමු කෙප්පයකි. මහජනයා සිදුකර ඇත්තේ රාජපක්ෂ පාලනයෙන් එල්ල වූ ප‍්‍රහාර මුලුමනින් නතර කර “යහපාලනය” ඇති කරන්නේ යැයි පොරොන්දු දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඒවා බිඳ දමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීමට හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාර වලට විරෝධය පල කිරීමක් ලෙස ශ‍්‍රීලංපොපෙට ඡන්දය ප‍්‍රකාශ කිරීමයි.

මහජනයාගේ විරුද්ධත්වය අව්‍යාජව ප‍්‍රකාශයට පත් කල හැකි සමාජවාදී විකල්ප නායකත්වය තවමත් තහවුරු නොවී ඇති තත්ත්වය තුල, එය අතිශය විකෘත ලෙස සටහන් වී ඇත. මහජනයාට විකල්පයක් නැති කර ධනේශ්වර සංස්ථාපිතයට බැඳ තැබීමට එම සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්ව ඇති ජවිපෙ ද ව්‍යාජ වම ද ක‍්‍රියා කරති.

කම්කරුවන්ට, දුගීන්ට හා තරුනයන්ට එරෙහි ජවිපෙ වෛරී සහගත ප‍්‍රකාශ වැගිරෙන්නේ ප‍්‍රකාශිත ඡන්ද වලින් සියයට හයක් තරම් පහල ප‍්‍රතිශතයක් ලැබීමෙන් ඇති වී තිබෙන වියරුවෙනි. මැතිවරන ව්‍යාපාරයේ දී ඉහල බලාපොරොත්තු තබා ගනිමින් දිසානායක ප‍්‍රකාශ කලේ තමන්ට සෑහෙන බලයක් දුන්නොත් “යකා බැඳ ගෙන වැඩ ගැනීමට”, එනම් ආන්ඩුව බැඳගෙන වැඩ ගැනීමට පවා හැකි තත්ත්වයක් උදා කරගත හැකි බවයි!

මැතිවරන උද්ඝෝෂනයේ ජවිපෙ තේමාව වූයේ “ගම ගොඩනගන දූෂනය පරදන ජවය” යන්නයි. දූෂිත පාලනයෙන් ගිලගෙන ඇති රට ඉන් මුදා ගත හැකි පාරිශුද්ධ පක්ෂය ලෙස, නිර්මාල් රංජිත් දේවසිරි, හරිනි අමරසූරිය, ලියනගේ අමරකීර්ති හා ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි වැනි ශාස්ත‍්‍රාලිකයන් රොත්තක් විසින් පුම්බා තැබුවේ දේශපාලනිකව අතිශයින් ම දූෂිත ජවිපෙයයි.

ජවිපෙ සමග හරි හරියට සිරිසේන ද වික‍්‍රමසිංහ ද රාජපක්ෂ ද ඔවුන්ගේ ම ගන්දස්කාර දූෂන හා වංචා අහෝසි කරන බවට බෙරිහන් දුන් හ. ධනපති ජනමාධ්‍ය ඊට ඉහලින් ම ප‍්‍රචාරක බැකිම දුන් හ.

මෙලෙස ජවිපෙ ප‍්‍රමුඛව මෙම පක්ෂ හා ජනමාධ්‍ය පලාත් පාලන මැතිවරනය යොදා ගත්තේ කුමකට ද? ජීවන හා සමාජ කොන්දේසි තලා දමන ප‍්‍රහාරවල මූලය ධනපති අර්බුදය බව ද, ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා එම අර්බුදය පැටවීම සඳහා බව ද, ලංකාව ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් චීනයට එරෙහිව සූදානම් කෙරෙන යුද්ධයට ඇද බැඳ ඇති බව ද ආදී වන යථා ප‍්‍රශ්නවලින් මහජනයාගේ ඇස් ඉවතට හැරවීමට ය.

මහජනයා මුග්ධයන් ලෙස රාජපක්ෂ අනුමත කර ඇතැයි යන්න පහත් ම ගනයේ අවලාදයකි. 2015 දී මෙම මහජනයා ම මිලියන ගනනින් රාජපක්ෂ පාලනය පරාජය කිරීමට ඡන්දය දුන් හ. ඡන්දයටත් එහා කම්කරුවන්, දුගීන් හා තරුනයන් රාජපක්ෂ ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට විරුද්ධව අරගලයට ආ හ. එදා ජනාධිපතිවරනය කල් තියා ම කැඳවූයේ ගොනුවන මහජන විරෝධය පුපුරා ඒමට පෙරාතුව බලයට පත්ව පොලිස් පාලනයක් අටවා ගැනීමටයි.

මෙම මහජනතාවන් ම ජවිපෙ, ව්‍යාජ වාම හා ශාස්ත‍්‍රාලිකයන් කන්ඩායමක (දේවසිරි, අමරසූරිය, අමරකීර්ති, මල්ලිකාරච්චි ආදි) කර උඩින් බලයට ආ සිරිසේන ගේ හා වික‍්‍රමසිංහ ගේ ආන්ඩුවට විරුද්ධව වැඩි කල් යන්නට මත්තෙන් අරගලවලට ආ හ. තෙල්, විදුලිය, වරාය, ජල සම්පාදන, තැපැල්, දුම්රිය, වතුකරය ආදී තැන්වල කම්කරුවන් ගේ අරගල පැන නැගුනි. සිසුන් අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි විරෝධතා එක දිගට ගෙන ගිය අතර ගම්බද ජනයා අත්‍යාවශ්‍ය සහනාධාර අහෝසිය ඇතුලු පීඩනයන්ට එරෙහි විරෝධතා දැක්වූ හ. උතුරේ දෙමල ජනයා තමන් මුහුන දෙන විනාශකාරී කොන්දේසි වලට එරෙහි අඛන්ඩ උද්ඝෝෂනවල නිරත වූහ.

වෛෂයිකව මෙම මහජනතාවන් රාජපක්ෂ පාලනය යටතේ දී මෙන් ම සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ දී ද පෙන්නුම් කර ඇත්තේ ධනපති පන්තියේ අපරාධකාරී පාලනය නොඉවසන බවයි. මෙම ජනයා ආන්ඩුවට බලපෑම් දමා වෙනස් කර ගැනීමේ වැඩපිලිවෙලක කොටු කිරීමට තමන් පාලනය කරන වෘත්තීය සමිති ද යොදාගෙන මුඛ්‍ය ක‍්‍රියාකලාපයක් ඉටු කලේ ජවිපෙ යි.

සැබැවින්ම නම්, රාජපක්ෂ ගේ පමනක් නොව සිරිසේන ගේ වත්මන් ආන්ඩුවේ හා අනුප‍්‍රාප්තික ආන්ඩු ගනනාවක ම “අපරාධකාරී” පාලනයට වගකිව යුතු එක් සංවිධානයක් නම් ජවිපෙ ය. පසුගිය ශත වර්ෂ කාර්තුව ගත්ත ද මෙය පැහැදිලි කරගැනීම අපහසු නොවේ.

ජවිපෙ 1987-1989, ඉන්දු-ලංකා ප‍්‍රතිගාමී ගිවිසුමට එරෙහිව සිංහල වර්ගවාදී “දේශප්‍රේමී” උද්ඝෝෂනයක යෙදෙමින් දේශපාලන විරුද්ධවාදීන්ට හා කම්කරුවන්ට එරෙහි ෆැසිස්ට් ප‍්‍රහාර එල්ල කලේ ය. එම ප‍්‍රහාරයන් උදව් කර ගත් එවක ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව මුදා හල රාජ්‍ය භීෂනයෙන් ගම්බද තරුනයන් 60,000ක් පමන ද ජවිපෙ නායකයන් හා සාමාජිකයන් ද රුදුරු ලෙස ඝාතනය කෙරුනි.

ඉන් අත්වූ විනාශයෙන් පසු ශේෂ වූ කොටස් එකතු කරගෙන ජවිපෙට යලි කරලියට ඒමට ඉඩ සලසා දුන්නේ ජනාධිපති ඩී. බී. විජේතුංග හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායක කමට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග ඇතුලු පාලක ප‍්‍රභූවේ කොටසකි. ඔවුන්ගේ ඉලක්කය වූයේ නැගෙන මහජන විරෝධය මැද, 1993 එජාප ආන්ඩුව පතුරු යන්නට පටන් ගැනීමත් සමඟ ඇති වූ අර්බුදයෙන් ධනපති පන්ති පාලනය රැකගැනීමේ ආරක්ෂක ඉපියාවක් ලෙස ජවිපෙ පිරියම් කර ගැනීමයි.

මෙම අර්බුදය තුල, එම පක්ෂයේ ප‍්‍රථම ක‍්‍රියාව වූයේ 1994 ජනාධිපතිවරනයේ දී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කුමාරතුංග ගේ ව්‍යාජ පොරොන්දුවට එකඟ වෙමින් ඇය බලයට ගෙන ඒමට කැපවීමයි. 2001 දී ඇගේ ආන්ඩුව අර්බුදයට යන විට එය ආරක්ෂා කිරීම සඳහා කුමාරතුංග සමග ඊනියා පරිවාස ආන්ඩු ගිවිසුමකට ජවිපෙ ඇතුලූ විය.

2003 දී හා 2004 දී, එජාප ආන්ඩුව බලයෙන් පහකිරීම සඳහා කුමාරතුංග විධායක බලතල පාවිච්චි කරන විට ඊට ජවිපෙ මුලූමනින්ම සහය දුන්නේ ය. කුමාරතුංග ගේ ශ‍්‍රීලනිපය සමඟ සන්ධානයකට ඇතුලූව 2004 මැතිවරනයට තරඟ කල ජවිපෙ ඇගේ ආන්ඩුවේ ඇමැතිකම් හතරක් ද භාරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක‍්‍රියාවට දැමීමට පිටුබලය දුන්නේ ය.

අවුරුද්දකට පසු ඉන් එලියට බට ජවිපෙ, වර්ගවාදී යුද්ධය යලි ඇරඹීම සඳහා රාජපක්ෂ බලයට ගෙන ඒමට උද්ඝෝෂනය කලේ එජාප ආන්ඩුව එල්ටීටීඊය සමඟ ඇති කරගෙන තිබූ සාම ගිවිසුම කටු ගා දමන බවට ලබාගත් පොරොන්දුව මතයි. ජවිපෙ දේශපාලන වැඩකටයුතු වල හරි මැදින් තිබුනේ 1983 පටන් ගත් දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට සහයෝගය දීමයි. එය, ජවිපෙ උපතේ පටන් ගුවේරා හා මා ඕ වාදයන් සමඟ කලතා ගත් සිංහල දේශපේ‍්‍රමී දෘෂ්ටියේ විසකුරු දිගුවකි.

ඊලඟ අවුරුදු වල ජවිපෙ රාජපක්ෂ යලි ආරම්භ කල යුද්ධයේ පෙරමුනේ රාල විය. එවක පැන නැගුනු කම්කරු අරගල යුද්ධයට විරුද්ධව “කොටින්ට සහයෝගය දෙන කඩාකප්පල්කාරී ක‍්‍රියා” ලෙස හංවඩු ගසමින් දේශපාලන විරුද්ධවාදීන් සිර කිරීමට ද ජවිපෙ සහයෝගය රාජපක්ෂ ආන්ඩුවට ලැබුනි. දැන් ජවිපෙ හුවා දක්වන අපරාධ, රාජපක්ෂ සිදු කලේ ඔවුන්ගේ ම පූර්න සහයෝගයෙන් ශක්තිමත් කරගත් මිලිටරි-පොලිස්-මැර කල්ලි උපයෝගී කරගනිමිනි.

ආන්ඩුව ද තම පක්ෂය ද අපකීර්තියට පත්වන තත්ත්වය තුල ඉන් දුරස්ථ වූ ජවිපෙ 2010 ජනාධිපතිවරනයේ දී එජාපය සමඟ සන්ධානගත වී ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පොදු අපේක්ෂක උද්ඝෝෂනයේ සහායකයා විය.

ඉන් පසුව තවත් කරනමක් ගසමින් 2015 දී සිරිසේන බලයට ගෙන ඒමට ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටුකල ජවිපෙ ඇමරිකානු ගැති සිරිසේන ගේ හා වික‍්‍රමසිංහ ගේ ආන්ඩුව තහවුරු කිරීමට ජාතික විධායක සභාවක් පිහිටුවීමට යෝජනා කලේ ය. මෙම ජාතික විධායක සභාව අභාවයට පත්වන තුරු ම ජවිපෙ නායක දිසානායක එහි සාමාජිකයකු ලෙස ක‍්‍රියා කලේ ය.

ඉතිරි අවුරුදු තුන ගත වී ඇත්තේ කම්කරුවන් ගේ, ගම්බද ගොවීන් ගේ හා සිසුන්ගේ අරගල පැන නැගුනු හැම තැනකම පාහේ පක්ෂයේ හා එහි වෘත්තීය සමිතිවල සම්පත් යොදා මැදිහත් වී, එම අරගල ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් ලෙස වර්ධනය වීම වැලැක්වීමටයි.

සිරිසේන බලයට ගෙන ඒමට සහයෝගය දීමෙන් ඔවුන් ඇත්තෙන් ම තම සහයෝගය දුන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්, ඉන්දියාවේ සහයෝගය ඇතිව සිදුකල පාලන තන්ත‍්‍ර මෙහෙයුමකටයි. රාජපක්ෂ ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට හා යුද්ධයට සහයෝගය දුන්නේ තමා නමුත් ඔහු අවි සහ අරමුදල් ලබාගැනීම සඳහා චීනය සමඟ සම්බන්ධතා තහවුරු කර ගැනීමට ඇමරිකානු පාලකයන් විරුද්ධ විය. වොෂින්ටනයට අවශ්‍ය වූයේ චීනය තම අනසකට යටත් කර ගැනීම සඳහා ගෙන යන යුද සූදානමේ කක්ෂය තුලට ලංකාව ද ඒකාග‍්‍ර කර ගැනීමටයි.

කම්කරුවන්, තරුනයන්, සමාජවාදයට ලැදි බුද්ධිමතුන් මේ සියලූ දේශපාලන සාපරාධී ක‍්‍රියාවලට සහයෝගය දුන් ජවිපෙ හා එහි අවලාද පිලිකුලෙන් ප‍්‍රතික්ෂේප කල යුතු ය.

ගෝලීය ධනවාදයේ වත්මන් අර්බුදය තුල ජාත්‍යන්තරව ම පැන නැගී වැඩෙන කම්කරු පන්ති රැඩිකලීකරනයේ කොටසක් ලෙස ලංකාවේ කම්කරුවන් ගේ අරගල ඉස්මත්තට එමින් තිබේ. කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය මාක්ස්වාදයෙන් පන්නරය ගන්වා ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස ලංකාවේ සමාජවාදී විප්ලවය බලමුලු ගැන්වීම ද දුගීන් හා තරුනයන් එම අරගලයට රැලි කරගැනීම ද හදිසි භාවයකින් යුක්තව පැන නැගී තිබේ.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ මංමුලාවත් රාජපක්ෂ නඩයේ “ස්ථාවර පාලනයක්” සඳහා මොරදීමත් පෙන්නුම් කරන්නේ ලංකාවේ ධනපති පන්ති පාලනය මුහුන පා ඇති දරුනු අර්බුදයයි. ධනපති සංස්ථාපිතයේ කොටසක් වන ජවිපෙ වියරුව එහි ප‍්‍රකාශනයකි.

සමාජවාදී විප්ලවවාදී අරගලය සඳහා කම්කරුවන් හා තරුනයන් බලමුලු ගැන්වීමට සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය හා එහි සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය පමනක් ම ය.

Share this article: