අධ්‍යාපන කප්පාදුවට එරෙහි විරෝධතාවට දහසකට අධික සිසු සහභාගිත්වයක්

සකුන ජයවර්ධන විසිනි, 2018 මාර්තු 29

දිවයිනේ සියලු විශ්ව විද්‍යාල නියෝජනය කරන ශිෂ්‍ය, ශිෂ්‍යාවන් සහ ඔවුනගේ දෙමාපියන්ගෙන් සමන්චිත දහසකට ආසන්න පිරිසක් මාර්තු 26 වනදා කොලඹට රැස්ව, අධ්‍යාපනයේ පුද්ගලීකරනයට සහ අධ්‍යාපන වියදම් කප්පාදු කිරීමට විරුද්ධත්වය පලකරමින් හා විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ වැඩ වර්ජනයට සහය දෙමින් උද්ඝෝෂනයක නිරත වූහ.

“කොතලාවල (ආරක්ෂක විශ්ව විද්‍යාලය) ට අනුබද්ධ කර සයිටම් පවත්වාගෙන යෑමේ කුමන්ත්‍රනය නවතනු! අනධ්‍යන සේවක ගැටලූ වහා විසඳනු! විශ්ව විද්‍යාල යථා තත්වයට පත් කරනු!” යන සටන් පාඨ යටතේ මෙම උද්ඝෝෂනය සංවිධානය කර තිබුනේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මගිනි.

විරෝධතාවයේ නිරත වූ සිසුන්ට ඕනෑම මොහොතක පහරදීමේ අරමුනින් උද්ඝෝෂනය සිදුවන ප්‍රදේශයට පොලිස් භටයින් යොදා තිබූ අතර ඔවුහු විරෝධතාකරුවන් ආසන්නයේම රැඳී සිටියහ.

2017 නොවැම්බර් 9 වනදා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සමග ඇතිකරගත් එකඟතාවයක් මත අවිශිබම, සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධතා සියල්ල අත්හැර දැමීය.

තමා කලේ, ආයතනයේ කොටස් හිමියන්, එහි සේවකයන් හා එයට නය දුන් මූල්‍ය ආයතන ඇතුලු සයිටම් ආයතනයට සම්බන්ධ සියලු කොටස් වල එකඟතාවයකින් සයිටම් හි සියලු වත්කම්, දේපොල සහ සිසුන් වෛද්‍ය විද්‍යාල සම්බන්ධව අවම ප්‍රමිතීන්ට අදාලව රාජ්‍ය නොවන ලාභ නොලබන නව ආයතනයක් නිර්මානය කරන බවට ආන්ඩුව කල ප්‍රකාශය යලි පැහැදිලි කිරීමක් බව, ද සිල්වා පසුව ප්‍රකාශ කලේය. එම එකඟතාවයට අනුව සයිටම් අහෝසි කිරීම යනු සයිටම් නමින් පැවති පුද්ගලික වෛද්‍ය පීඨය වෙනත් නමකින් ඉදිරියට ගෙන යාමයි.

කෙසේ වෙතත්, සිසුන් විසින් නැවත වරක් පෙන්නුම් කර ඇත්තේ අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහි සටන ඉදිරියට ගෙනයාම සඳහා ඔවුන් තුල පවත්නා උවමනාව සහ අධිෂ්ඨානය යි.

පුද්ගලීකරනයට එරෙහිව සටනේ යෙදෙන සිසුන් ද, පිම්මේ ඉහල යන ජීවන වියදම සහ සමාජ අනාරක්ෂිතභාවය හමුවේ වැඩි වැටුප්, වෛද්‍ය රක්ෂනයක් සහ විශ්‍රාම වැටුපක් ඉල්ලා වර්ජනයේ යෙදී සිටින විශ්ව විද්‍යාල සේවකයන් ද පොදුවේ මුහුන දී සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත ආන්ඩුව ක්‍රියාවට නංවන කප්පාදු පිලිවෙත් වලටයි.

සිසුන්ගේ සහ මහජනතාවගේ විරෝධය නොතකා අධ්‍යාපනයේ පුද්ගලීකරනය වැඩපිලිවෙල ඉදිරියටම ගෙන යන්නේ ද, අනධ්‍යන කම්කරුවන්ගේ ඉල්ලීම් එක දිගට ප්‍රතික්ෂේප කරන්නේ ද, එම පිලිවෙත් මත දැඩිව පිහිටා සිටින ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආන්ඩුවට විධානය කරන බැවිනි.

සිසුන්ගේ සහ අනධ්‍යන කම්කරුවන්ගේ අරගල සෘජුව අභිමුඛ වන්නේ ගැඹුරු ආර්ථීක අර්බුදයක ගිලී සිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට සහ එහි පිලිවෙත් වලට බැවින්, ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනකින් තොරව එම අරගල ජයගත නොහැක. එවන් දේශපාලන සටනක් අවශ්‍යයෙන්ම කම්කරු පන්තික නායකත්වය යටතේ සිසුන්, තරුනයන් සහ ගොවීන් බලමුලු ගන්වා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටනකි.

අනධ්‍යන කම්කරුවන්ගේ අරගලය සම්බන්ධයෙන් මාසයකට ආසන්න කාලයක් ගතවනතුරු උදාසීන පිලිවෙතක් අනුගමනය කල අවිශිබම මෙම සිසු විරෝධතාවයේදී අනධ්‍යන කම්කරුවන්ගේ ගැටල විසඳන ලෙස මතු කල ඉල්ලීම් කවර ලෙසකින් හෝ එවන් දේශපාලන සටනක් සඳහා කම්කරු පන්තිය දෙසට සිසුන් යොමු කිරීමක් නොවේ.

එයට විපරීතව, අන් සෑම අවස්ථාවකදී මෙන්, ශිෂ්‍යයන් ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් දෙසට හැරීම වලක්වන ආන්ඩුවට බලපෑම් දැමීමේ දේශපාලනයට එය සීමා කිරීමට අවිශිබම හා එය මෙහෙයවන ව්‍යාජ වාම සංවිධානය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙහිදී ද කටයුතු කර තිබුනි.

උද්ඝෝෂනය අවසානයේදී අවිශිබම යේ හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයෝ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේදී තමන් කල පාවදීම් වසන් කරමින් සිසුන් ඇමතූහ.

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මන්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද මෙසේ කීවේය: “අපි කිව්වෙ සයිටම් එක අහෝසි කරන්න කියලා. නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරන්න කියලා. එහෙම නොකරොත් අපි රට පුරාම විරෝධතා පවත්වනවා˜

සුගතානන්ද ගේ පූච්චානම් තිබියදී ඔහුගේ කතාවෙන් තහවුරු කෙරුනේ, බලපෑම් දැමීමේ බංකොලොත් දේශපාලනය හැර අන් කවර හෝ ක්‍රියා මාර්ගයක් ඔවුනට නොමැති බවයි.

සයිටම් අරගලයේදීත්, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවයේ නියුතු කම්කරුවන්ගේ අරගලයේත් මූලය පවතින්නේ ආන්ඩුවල බල ලෝභය නිසා යැයි සඳහන් කල ඔහු ප්‍රහාරයේ සැබෑ මූලය වසන් කිරීමට කටයුතු කලේය.

“ආන්ඩුව ලබාදුන් එකඟතාවය සයිටම් අහෝසි කරන එක. ආන්ඩුව සයිටම් එක ගැන කමිටු පත් කර කර වාර්තා ඉදිරිපත් කරනවා. එක වාර්තාවකවත් නෑ, සයිටම් අහෝසි කරන්න කියලා. සයිටම් එක කොතලාවලට අනුබද්ධ කරලා උපාධි කඩය පවත්වා ගෙන යන්න හදනවා.” යැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ප්‍රකාශ කලේය.

“එකඟතාවය” හරහා ආන්ඩුව අධ්‍යාපනයේ පුද්ගලීකරනය සඳහා නව මාවත් විවර කර ගත්තේය. එම “එකඟතාවය” පාවාදීමක් බව හෙලිවන බැවින් ජයලත් ඒ සම්බන්ධයෙන් එකදු වචනයක් ප්‍රකාශ කලේ නැත.

පසුගිය නොවැම්බර් 9 වනදා නියෝජ්‍ය අමාත්‍ය ද සිල්වා සමග සාකච්ඡා කර ඔහු දුන් පොරොන්දු ජයග්‍රහනයක් යැයි ප්‍රකාශ කරමින් සිසුන්ගේ අධිෂ්ඨානවත් අරගලය පාවා දීමට හවුල් වූ ඔහු ඒ බව අමතක වූවෙකු මෙන් “උඹලගෙ කුමන්ත්‍රන වලට අපි රැවටෙන්නෙ නෑ” යැයි ප්‍රකාශ කලේය.

“”ජීවිත පරිත්‍යාගය බලය ඉදිරියේ අයිතියක් බවත් ඒ අයිතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගය කල යුත්තක් බව” ශිෂ්‍ය ව්‍යාපාරය ඔප්පු කල බවත් ප්‍රකාශ කරමින් සිය පූච්චානම ආරම්භ කල අවිශිබමයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අරගලය එකම විසඳුම බවත් ප්‍රකාශ කලේය.

අවිශිබමයේ “අරගලය” වනාහිි, ශිෂ්‍යයන්ගේ අරගල කම්කරුවන්ගේ හා අනෙකුත් පීඩිතයන්ගේ අරගලවලින් හුදෙකලා කරන, ශිෂ්‍යයින්ගේ සටන්කාමිත්වය කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුලට ගොනුවීම වලකාලමින් ධනපති පක්ෂ සමග අටවන මහජන පෙරමුනු තුල දියකර හරින සහ අවසානයේදී ධනපති ප්‍රහාරයන්ට සිසුන් යටත් කරන “අරගලයක්” බව එහි ඉතිහාසය මගින් ඔප්පු කර ඇත.

ඔහු අනධ්‍යන කම්කරුවන්ගේ අරගලය හුදෙකලා අරගලයක් නොව මෙය ශිෂ්‍යයින් විසින් ආරක්ෂා කල යුතු අරගලයක් බව පැවසීය. මෙම ප්‍රකාශය සහමුලින්ම කුහකය.

අනධ්‍යන කම්කරුවන්ගේ අරගලය ආරක්ෂා කල හැක්කේ ආන්ඩුවේ ප්‍රහාරයන්ගෙන් බැටකන අවශේෂ කම්කරුවන් සහ ශිෂ්‍යයන් මෙන්ම පීඩිත ගොවීන් ද බලමුලු ගන්වා ගනිමින්, ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් දියත් කිරීමෙන් පමනි.

එසේ නොමැතිව, අවිශිබම කරන ආකාරයේ හුදු විරෝධතා කිහිපයක් සංවිධානය කිරීමෙන් හා මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිිරීමෙන් නොවේ.

Share this article: