ලංකාවේ යුද්ධය තුල දී අතුරුදහන් වුවන්ගේ ඥාතීන් ජනාධිපතිට විරෝධතාව පලකරයි

අපේ වාර්තාකරුවන් විසිනි , 2018 මාර්තු 23

අතුරුදහන් වුවන්ගේ ඥාතීහු පසුගිය මාර්තු 20 මුලතිව් හි පැවැත්වූ විරෝධතාව

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වර්ගවාදී යුද්ධය තුලදී ආරක්ෂක හමුදා විසින් පැහැරගෙන යාමෙන් සහ හමුදාවලට භාරවීමෙන් පසු අතුරුදහන් වුවන්ගේ ඥාතීහු පසුගිය මාර්තු 20 අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ තාක්ෂනික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ ඔහුට විරුද්ධව උද්ඝෝෂනයේ යෙදුනාහ. එම උද්ඝෝෂනය අතුරුදහන් වුවන්ගේ ඥාතීන් විසින් වසරකටත් වැඩි කාලයක් තුල ගෙන යන අඛන්ඩ උද්ඝෝෂනයක කොටසකි.

උද්ඝෝෂකයෝ අතුරුදහන් වූ සිය ඥාතීන්ගේ චායාරුප සහ “මෛත්‍රී, අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට උත්තර දෙනු! දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු! අතුරුදහන් වුවන් ගැන හමුදාවෙන් ප‍්‍රශ්න කරනු! හමුදාවට බාරදුන් ඥාතීන් කොහේ ද? ආදී සටන් පාඨ පුවරු සහ කලු කොඩි අතැතිව සිටියහ.

අඟහරුවාදා උද්ඝෝෂනය සංවිධානය කලේ, ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන්ය. විදුහලේ හිටපු විදුහල්පති සහ පුජක ෆ‍්‍රැන්සිස් ජෝශප් ද යුද්ධය තුල දී අතුරුදහන් කෙරී ඇත. හමුදාවට භාර වූ ඔවුන්ට සිදු වූයේ කුමක්දැයි සිසුහු විමසති.

උද්ඝෝෂකයන් අස්වැසීමේ උත්සාහයක කොටසක් ලෙස ජනාධිපති සිරිසේන හමුවීමට ඔවුන්ගෙන් නියෝජිතයන් තුන් දෙනෙකුට විදුහලතුලට යාමට පොලීසිය අවසර දුන් නමුත් සිරිසේන ඔවුන් හමුවීම මග හැර ඇත. ඉන් කෝපයට පත් උද්ඝෝෂකයන් මහා මාර්ගය වාඩිලා ගැනීමට උත්සාහ කල විට පොලිසිය මව්වරුන්, කාන්තාවන් හා වැඩිහිටියන් මාර්ගයෙන් ඉවතට අද දැමීමට කටයුතු කලේ ය.

විදුහලේ උත්සවය ඇමතු සිරිසේන “අතුරුදන් වූවන් පිලිබඳ සත්‍යය සොයා ගැනීමට අප කාර්යාලයක් විවෘත කරලා තියෙනව. ඒ ගැන කමිටුවකුත් පත් කරලා අතුරුදහන් වූවන් සොයා ගැනීමේ කටයුතු පටන් ගෙන තිබෙනවා. ඒ නිසා අතුරුදහන් වූවන් ගැන වැඩි දෙයක් කතා කිරීමට මම කැමති නැහැ”යි ප‍්‍රකාශ කලේ ය.

අතුරුදහන් වුවන් පිලිබඳ සොයා බලන බවට සිරිසේන කරන ප‍්‍රකාශය ප්‍රෝඩාවකි. අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමේ පනත සම්මත කෙරුනේ 2016 දී ය. එහෙත් කාර්යාලය ස්ථාපිත කෙරුනේ 2017 ජුලි මාසයේදී ය. ඒ සඳහා ජනාධිපති සිරිසේන නිලධාරීන් පත්කලේ ගැනුනේ පෙබරවාරි මාසය අග දී ය.

අධිරාජ්‍යවාදී බලයන්ගේ හා ඉන්දියාවේ සහයෝගය ඇතිව කෙරුනු එල්ටීටීඊයට එරෙහි 26 වසරක වාර්ගික යුද්ධය මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රය 2009 මැයි මාසයේ අවසන් කලේ මෘග මිලිටරි ප‍්‍රහාර මගින් ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවලට අනුව යුද්ධයේ අවසන් සති වල දී 40,000 පමන දෙමල සිවිල් ජනයා ඝාතනය කෙරුනි. යුද්ධය තුල දී බලහත්කාරයෙන් පැහැරගෙන යාමෙන්, භාරවීමෙන් හා ඥාතීන් විසින් ආරක්ෂක අංශවලට භාරදීමෙන් පසු අතුරුදහන් වූ දහස් ගනනක් ගැන තොරතුරු සැපයීම රාජපක්ෂ තන්ත‍්‍රය මෙන් ම වර්තමාන ආන්ඩුව ද ප‍්‍රතික්ෂේප කර ඇත.

යුද්ධය තුල දී උතුරු නැගෙනහිර පමනක් නොව, කොලඹ සහ රටේ සෙසු ප‍්‍රදේශ වලදී ද පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් සිදුවිය. එසේ අතුරුදහන් වූ සමහරුන්ගේ මල සිරුරු පසුව හමු විය. ඇතැමෙක් නිදහස් කෙරුනේ දස ලක්ෂ ගනන් මුදල් කප්පම් ලෙස ගැනීමෙන් පසුය.

ආරක්ෂක හමුදාවන් විසින් සිදු කරන ලද මෙම සාපරාධී මෙහෙයුම් වලට ඊලම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සහ දෙමල ජනතා විමුක්ති කොටි සංවිධානයේ යටතේ කි‍්‍රයාත්මක වූ අර්ධ මිලිටරි බලකායන් ද සම්බන්ධ වී ඇති බව හෙලිදරව් වී ඇත.

අතුරුදන්වූ තම ඥාතීන් රහස් කඳවුරු තුල රඳවා තබාගෙන සිටී යයි සිතන උද්ඝෝෂකයෝ ඔවුන් තමන්ට පෙන්විය යුතු බවත් ඔවුන් ජීවතුන් අතර නැතිනම් ආන්ඩුවේ සහතික කල යුතු බවත් ඉල්ලා සිටිති.

2015 දී බලයට පත්වූ සිරිසේන - රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව සිය මූලෝපායට අනුකුල ලෙස කොලඹ විදේශ පිලිවෙත වෙනස් කර ගනිමින්, චීනයට එරෙහි එක්සත් ජනපද රාජ්‍යතාන්ති‍්‍රක සහ මිලිටරි සැලසුම් සමග පෙල ගැසීමත් සමග ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳව මවා පෙන්වූ උත්සුකය එක්සත් ජනපදය අතුලු මහා බලවතුන් පාපිස්ස යටට තල්ලු කර දමා ඇත.

දෙමල ජනයාගේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටින දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඇතුලු සියලු දෙමල ධනපති පක්ෂ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට සෘජුව සහයෝගය දුන් හ. එක්සත් ජනපද මූලෝපායික පිලිවෙත සමග පෙල ගැසෙමින් දෙමල ධනේශ්වර ප‍්‍රභූවේ වරප‍්‍රසාද වෙනුවෙන් පෙනී සිටිනවා මිස දෙමල මහා ජනතාවගේ ප‍්‍රශ්න ගැන හෝ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැන හෝ මොන ම කැක්කුමක් වත් ඔවුන්ට ඇත්තේ නැත.

දෙමල ධනපති පක්ෂවල මෙම ප‍්‍රතිගාමී පිලිවෙත කෙරෙහි බරපතල කෝපයක් දෙමල මහා ජනතාව තුල මතුවෙමින් ඇත. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට දෙමල මහා ජනතාව අතුරුදහන් වුවන් සම්බන්ද උද්ඝෝෂන ආරම්භ කලේ මෙම පක්ෂ වලට පිටස්තරව ය. පෙබරවාරි 24 වැනිදා වව්නියාවේ පැවති උද්ඝෝෂනයේ දී ටීඑන්ඒ නායක ආර් සම්බන්දන් සහ එම්. සුමන්දිරන්ගේ අනුරූ පඹයන්ට සෙරෙප්පු වලින් පහර දී ගිනි තැබීමෙන් ඔවුහු දෙමල පක්ෂ කෙරෙහි පවතින සිය කෝපය ප‍්‍රකාශයට පත් කලහ.

රාජපක්ෂ තන්ත‍්‍රය මෙන් ම සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද කටයුතු කරන්නේ අධිරාජවාදී බලයන්ගේ හා දෙමල ධනපති පක්ෂවල සහයෝගය ඇතිව යුද අපරාධ යට ගැසීමට ය. ඊනියා රනවිරුවන් රැකීමේ නමින් යුද අපරාධ සම්බන්ධව ආරක්ෂක හමුදාවලට එල්ල වී ඇති චෝදනාවලින් ඔවුන් නිදහස් කර ගැනීමට ආන්ඩුව ඉදිරිපත් වී සිටින අතර “රනවිරුවන්” එනම් මිලිටරිය දිවිහිමියෙන් ආරක්ෂා කරන බවට සිරිසේන සහ වික‍්‍රමසිංහ යලි යලිත් ශපථ කරති.

බලහත්කාරයෙන් පුද්ගලයින් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීමේ පනතක් මාර්තු 7 වෙනිදා ආන්ඩුව සම්මත කලේ ය. එහෙත් එය අනාගතයට මිස අතීතයට බල නොපාන පරිදි ය. එය “රනවිරුවන්” දඩයම් කිරීමේ හා පාවාදීමේ පනතක් ලෙස රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විප්ක්ෂය බෙරිහන් දෙන්නේ ආන්ඩුවේ ප්‍රෝඩාව වසන් කිරීමට සහ වර්ගවාදී උත්සන්නිය ඇවිස්සීමට ය.

එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම වසරේ සැසිවාරය පැවැත්වෙන අතරතුර යුද අපරාධ පිලිබඳව සාකච්ඡා තමන්ගේ වාසියට හැරවීමේ මං මුලා සහගත උත්සාහයක් ලෙස සිරිසේන අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලයට නිලධාරීන් පත් කිරීම ප්‍රෝඩාවකි.

පෙබරවාරි 3 දා ත‍්‍රීකුනාමලයේ දී පැවති අතුරුදහන් වුවන් පිලිබඳ උද්ඝෝෂන සංවත්සරයේ දී එහි අතුරුදහන් වූවන්ගේ සංගමේ සභාපති නාගෙන්ද්‍රන් අෂා, මාධ්‍යයට මෙසේ පැවසී ය: “ආන්ඩුවේ අතුරුදහන්වුවන් පිලිබඳ කාර්යාලය පිහිටුවීම කපටි කමක්. ආන්ඩුවට ජාත්‍යන්තරය රවටා ගත හැකි නමුත් අපව රවටන්න බැහැ. දේශපාලනඥයින් විස්වාස කරලයි අපි රැවටුනේ”.

පෙබරවාරි 5 දා යාපනයට පැමිනි ජනාධිපති සිරිසේන අතුරුදහන් වුවන් පිලිබඳව නගන ප‍්‍රශ්නවලින් අත් සෝදා ගනිමින් මෙසේ කිවේය: “පැහැරගෙන ගොස් අතුරුදහන්වූ අය ලංකාව පුරාම හෙවුවා. ඔවුන් කොහෙවත් නැහැ. ලංකාවේ රහස් රැඳවුම් කඳවුරුත් නැහැ; අතුරුදන් වූවන් පිලිබඳ ගැටලුව උතුරේ පමනක් නෙමෙයි දකුනෙත් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ ඥාතීන්ට රජයක් හැටියට වන්දි ලබා දිය හැකියි.”

අතුරුදහන් වුවගේ උද්ඝෝනයේ මුදුනත අරක් ගෙන සිටින දෙමල ධනපති පක්ෂ වලට සම්බන්ධ කොටස්, පූජකයන් හා රාජ්‍ය නොවන සංවිධාන අධිරාජ්‍යවාදී බලයන් ට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආයාචනය කිරීමෙන් විසඳුමක් ලබා ගත හැකි යැයි මිත්‍යාවක් වපුරති.

එහෙත් වසර ගනාවක අත්දැකීම් වලින් සනාත කෙරී ඇත්තේ එවන් ආයාචනා වලින් පලක් නොවන බව ය. තමන්ගේ පුතා වෙනුවෙන් මුලතිවූ සත්‍යග‍්‍රහයේ වාඩිලාගෙන සිටින සත්‍යනාදන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතා කරමින්, “එක්සත් ජනපදය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය, තම උවමනාවන් සඳහා ශ්‍රී ලංකාව යොදා ගන්නවා. ලංකාවේ මහජනවගේ උවමනාවන් ගැන හෝ යුද්ධයෙන් පීඩාවට පත් දෙමල ජනතාවගේ ප‍්‍රශ්න ගැන හෝ ඔවුන්ට මොනම තැකීමක්වත් නැත” යයි පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ “දැන් බලන්න දෙමල ජනතාවගේ නියෝජිතයන් යයි කියාගන්නා ටීඑන්ඒ සහ එහි නායක ආර්. සම්බන්ධන්, විපක්ෂයේ ඉඳගෙන ආන්ඩුව ආරක්ෂා කරනවා. අපේ ප‍්‍රශ්න ගැන ඔවුන්ට උවමනාවක් නැහැ. මැතිවරන තියෙන කාලෙට විතරක් ඔවුන් ගෙවල් ගානෙ වැඳගෙන එනවා. ඔවුන් දේශපාලනයෙන් කරන්නේ පරම්පරා ගනනකට හම්බකර ගන්න එක.”

ඔහු සමග කතාවට සන්බන්ද වූ තවත් අයෙක්: “යුද්ධය අවසන් වුන දා ඉඳන් අපි සටන් කරනවා. මෙතෙක් අපේ ප‍්‍රශ්න විසඳන්න බැරි එක්සත් ජාතීන්ගේ සංගමය, තවදුරටත් අපගේ ප‍්‍රශ්න විසඳයි කියල අපි විශ්වාස කරන්නේ නැහැ. අපි සටන් කරන්නේ අපේ ලමයින් සොයා ගන්න. නමුත් මෙහෙ අපේම සටන ඔවුන් තමන්ගේ අවශ්‍යතා සඳහා පාවිච්චි කරනව ඔවුන්ගේ උවමනාකම් වලට.”

ටීඑන්ඒ කෙරෙහි විශ්වාසභංග වූ විරෝධතා කරුවෙක් මෙසේ පැවසීය: “අපි ආන්ඩුව සහ දෙමල ජාතික සන්ධානය ගැන විස්වාසය තියලයි දිගු කලක් තිස්සේ සටන් කලේ. අපි ඔවුන්ට ඡන්දය දුන්නා. නමුත් අපගේ ගැටලු විසඳීමට පසුගිය අවුරුදු තුනේ ඔවුන් කිසිදු ආකාරයකින් ක්‍රියා කරලා නැහැ. ආන්ඩුව විශ්වාස කරන්න, ඔවුන් ඔබගේ ප‍්‍රශ්න විසඳයි සහ අපි ඔබේ ප‍්‍රශ්න ගැන කතා කරනවා යයි කියමින් දෙමල ජාතික සන්ධානය දිගු කලක් තිස්සේ අපව රවටා තිබෙනවා.”

පුනුක්කුඩියිරුප්පු දෙවිපුරම් හි පදිංචි රසාලිංගම්, වයස අවුරුදු 22 සහ 25 යන වයස්වලදී අතුරුදහන් වූ ඔහුගේ පුතුන් දෙදෙනා සොයයි: “මෙහි සිදුවුනු හැම දෙයක් ම ඔවුන් (එක්සත් ජාතීන්) දන්නවා. අපි ඒක කියන්න අවශ්‍ය නැහැ. අතේ තියන තුවාල බලන්න කන්නාඩිය මොකටද? එහෙත් ඔවුන් කට වහගෙන හිටියේ. දැන් රටේ පවතින තත්වය දෙස බලන්න. මහනුවර මුස්ලිම් ජනතාවට එරෙහිව ප‍්‍රචන්ඩ ක්‍රියා සිදුවුනේ ආන්ඩුවේ, පොලීසියේ, විපක්ෂයේ දැනුවත්කම ඇතිව”

Share this article: