ආර්ජන්ටිනාවේ මූල්‍ය අර්බුදය පෘතුල කැලඹීමක ඇඟවුමක් විය හැක

Argentine financial crisis could signal broader turbulence

නික් බීම්ස් විසිනි, 2018 මැයි 10

පෙසෝ මුදල කඩා වැටීම වලක්වාගැනීම පිනිස ආර්ජන්ටිනාව 8දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට ගත් තීරනය, අනෙකුත් ඊනියා නැගී එන වෙලඳපොල වලට ද බලපෑ හැකි අර්බුදයක ආරම්භය ද යන ප්‍රශ්නය මතුකර ඇත.

රටේ මහ බැංකුව දින 1ක් තුල පොලී අනුපාත තුන් වතාවක් ඉහල දැමීමෙන් පසුව, අනුපාතය සියයට 40 දක්වා වැඩිවී තිබුන ද විකුනා දැමීම් නතර කර ගැනීමට අසමත් වීමෙන් පසුව ආර්ජන්ටිනාවේ ජනාධිපති මොරිසියෝ මැක්‍රි ජාමූඅ හමුවට යන බව නිවේදනය කලේය.

ආර්ජන්ටිනාව උත්සාහ කරන්නේ, අරමුදලේ කොන්දේසි පැනවීමකින් තොර, “නම්‍යශීලී නය සැපයුමක්” ඇතිකර ගැනීමටය. රටට එවන් පොරොත්තු නය පහසුකමක් ලබාගත හැකිවේ ද යන්න වෙනම ප්‍රශ්නයකි. ජමූඅ පවසන පරිදි එවන් නය පහසුකම් සැලසිය හැක්කේ “ඉතා ශක්තිමත් ආර්ථික මූලධර්ම හා ප්‍රතිපත්ති වාර්තා සහිත” රටවලට පමනි.

ජාමූඅ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලැගාඩි නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ආර්ජන්ටිනාව අරමුදලේ “වටිනා සාමාජිකයෙක්” බවය. එසේම “ආර්ජන්ටිනාවේ ආර්ථිකය සවිමත් කිරීමට අපට හැක්කේ කෙසේදැයි සොයා බැලීමට” සාකච්ඡා ආරම්භ කෙරෙනු ඇති බවය.

එම වචන ආර්ජන්ටිනාවේ ජනතාවට නොවරදින අනතුරු ඇඟවීමක හඬ නගයි. ඔවුන්ට 2001 වසරේ ජාමූඅ මැදිහත්වීමෙන් උදාවූ ව්‍යසනකාරී තත්වය සහිපත් කරනු ඇත. එහිදී කම්කරුවන් පස් දෙනෙකුගෙන් අයෙකුට රැකියාව අහිමි කෙරුනු අතර බැංකු වසා දමා පෙසෝ මුදලේ අගය තුනෙන් දෙකකින් පහත වැටුනි.

ඉහල නය අනුපාතයන් ඇති බොහෝ රටවල්, නැගෙන පොලී අනුපාත හා දේශීය මුදලේ අගයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය වැඩි වීමේ පීඩනයට හසුව ඇති අතර, ආර්ජන්ටිනාවේ අර්බුදය ගෝලීය කැලඹීමක කොටසක් වනු ඇතැයි යන අදහස මතුව ඇත.

මේ සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය සඳහන් කල ආකාරයට 2001 ආර්ජන්ටිනාවේ අර්බුදය අනෙකුත් වෙලඳපොල වලට පැතිර ගියේ නැති නමුත් “මෙවර ආර්ජන්ටිනාවේ ප්‍රශ්න හුදෙකලා ඒවා නොවේ. ශක්තිමත් ඩොලරය හා නැගෙන පොලී අනුපාත සමග එහි ගෝලීය ස්වභාවයක් අත්කර ගැනීමේ හැකියාව ගැබ්ව පවතින අතර, ආර්ථිකය ද පැතිර පවතින දුබලතාවක් පෙන්වයි.”

පෝලිමේ ඊලඟට ඇත්තේ තුර්කිය විය හැකිය. මේ සතිය තුල ලීරා මුදල වාර්තාගත පහත මට්ටමකට වැටුනි. ජනාධිපති ටයිප් එර්ඩොගන් 9දා නිවේදනය කලේ, සිය ආර්ථික උපදේශකයින් ද සමග තමා උද්ධමනය මැඩ පැවැත්වීමටත් මුදලේ අගය කඩා වැටීම වැලැක්වීමටත් පියවර ගන්නා බවය. එහෙත් නිශ්චිත පියවර මොනවාදැයි නිවේදනය කර නැත. කලින් ඒකක 75න් පාදක අනුපාතය වැඩිකිරීමෙන් පසුව තුර්කියේ මහ බැංකුවට යලි වතාවක් පොලී අනුපාත ඉහල නැංවීමට බලකෙරී ඇත.

ආන්ඩුවේ ප්‍රකාශයකින් පවසා ඇත්තේ, මහ බැංකුව තමා සතුව ඇති මෙවලම් අඛන්ඩව උපයෝගී කර ගන්නා අතර, “එලඹෙන කාලයේදී අපේ රට වර්ධනය පදනම් කරගත් පිලිවෙත් අනුගමනය කරනු” ඇති බවයි. මෙම ප්‍රකාශ වලින් වෙලඳපොලේ හැසිරීම සංසුන් කිරීමට නොහැකි බව පෙනී යයි. උද්ධමනය නැගීමත් ජංගම ගිනුමේ හිඟය පුලූල් වීමත් නිසා ලීරාව මාස ගනනාවක සිට පහත වැටෙමින් ඇත.

වසර ආරම්භයේ සිට ලීරාවේ අගය ඩොලරයට සාපේක්ෂව සියයට 13න් පමන පහත වැටී ඇත. මේ මගින් ඩොලරයෙන් නියමවී ඇති විශාල ව්‍යාපාරික නය සඳහා ඉමහත් ප්‍රශ්න ඇතිකල හැකිය යන බිය පලවේ.

ඉන්දුනීසියාව ද දරුනු බලපෑමකට හසුව තිබේ. එරට කොටස් වෙලඳපොල පහත වැටීමේ ප්‍රවනතාවක් පෙන්වන අතර රජයේ බැඳුම්කර පොලී අනුපාතය ද නගිමින් තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියා මුදල 28 මසක පහතම අගය පෙන්වයි. අප්‍රේල් මාසයේ සිට ඩොලර් බිලියන 2.2ක අගයකින් යුත් කොටස් හා බැඳුම්කර ජාත්‍යන්තර ආයෝජකයින් විසින් විකුනා දමා ඇති අතර මහ බැංකුව 2014න් පසුව ප්‍රථම වතාවට පොලී අනුපාතය වැඩිකිරීම ගැන සලකා බලමින් සිටියි.

බ්ලුම්බර්ග් වාර්තාවකට අනුව, ඉන්දුනීසියාවේ රජය සතු බැඳුම්කර වලින් සියයට 40ක්ම හිමිකරගෙන ඇත්තේ විදේශ ආයෝජකයින් විසිනි. එය ආසියාවේ ඉහලම අගයයි. එම තත්වය “ආර්ථිකය පහතවැටීමේ මනෝගතියකට ද තියුනු ලෙස ප්‍රාග්ධනය ඉවත ගලා යාමකට ද තුඩු දෙනු ඇත.”

ආර්ජන්ටිනාව හා තුර්කියට අමතරව, යුක්‍රේනය, චීනය හා දකුනු අප්‍රිකාව “අවදානම් කෑදරකමට” බෙහෙවින්ම ගොදුරු විය හැකි රටවල් බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පවසයි. “හංගේරියාව, දකුනු කොරියාව, තායිලන්තය, පෝලන්තය හා චෙක් සමූහාන්ඩුවේ වත්කම් අගැයීම් වඩාත්ම කරදරකාරී බවක් පෙන්නුම් කරයි.”

පසුගිය මාසයේදී ජාමූඅ අනතුරු ඇඟවූයේ, උප සහරා ආර්ථිකයන්ගෙන් සියයට 40ක්ම, දේශීය මුදල අවප්‍රමානය වීම හේතුවෙන් විදේශ මුදලින් ගනන් බලන නය ගෙවා ගැනීමේ අරගලයක යෙදී සිටින අතර, නය බර පිලිබඳ දැඩි අවදානමක පවතින බවයි.

නැගෙන කලබැගෑනිය උග්‍ර කරන එක් මූලික කාරනයක් වන්නේ, ඇමරිකාවේ පොලී අනුපාත තවදුරටත් ඉහල යනු ඇතැයි යන බලාපොරොත්තුවයි. එරට මහ බැංකුව ජූනි මාසයේ පැවැත්වෙන රැස්වීමේදී පොලී අනුපාතය තවත් සියයට .25න් ඉහල නැංවීමට ගනන් බලයි.

ඇමරිකාවේ පොලී අනුපාත නැගීමෙන්, නැගී එන ආර්ථිකයන් කෙරෙහි ඇතිකරන බලපෑම ගැන මහ බැංකුවේ ප්‍රධානී ජෙරමි පවෙල් මේ සතිය මුල යුරෝපයේදී කල කථාවකදී සඳහන් කලේය. ඔහු ඇමරිකාවේ ප්‍රතිපත්තිවල “උතුරා යාමේ බලපෑම” ගැන කථා කිරීමට සෑහෙන කාලයක් මිඩංගු කලේය.

කථාවේ මාතෘකාව වුනේ, ප්‍රධාන ආර්ථිකයන්හි මූල්‍ය ප්‍රතිපත්තිවල “සාමාන්‍යකරනය” යන්නයි. එම ආර්ථිකයන් නැගී එන ආර්ථිකයන්ට ඔප්පු කල යුත්තේ තත්වය “පාලනයකරගත” හැකි බවයි. “අපගේ බලාපොරොත්තු අනුව එක්සත් ජනපද ආර්ථිකය හැසිරෙන්නේ නම්, අපගේ කටයුතු වලින් වෙලඳපොලවල් මවිතයට පත්විය යුතු නැත.”

එහෙත් ඔහු, “ගෝලීය ප්‍රතිපත්ති සාමාන්‍යකරනයෙන් බලාපොරොත්තු නැංවෙනු ඇතැයි අපේක්ෂා කල නොහැකිය. සමහර ආයෝජකයින් හා ආයතන, වෙලඳපොලවල් පුලුල් වශයෙන් බලාපොරොත්තු තබා සිටින පරිදි පොලී අනුපාත ඉහල යාමේදී, එතරම් හොඳින් එයට මුහුන නොදෙනු ඇත. සත්තකින්ම අනාගතයේ ආර්ථික තත්වයන් හැමවිටම කරනවාක් මෙන් අප සියල්ලන්ම මවිත කරනු ඇත” යනුවෙන් ඒවා ප්‍රතික්ෂේප නොකලේය.

ඇමරිකාවේ පොලී අනුපාත හා ඩොලරයේ අගය ඉහල යාමට අමතරව, තවත් සාධක ද වෙලඳපොල කැලඹීම් වලට දායක වේ. ඒ අතර ඇමරිකාව හා චීනය අතර වෙලඳ යුද්ධය උත්සන්න වීමේ බලපෑම හා ඉරානය සමග වන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වීමේ බලපෑම ද වේ.

ගිනිකොනදිග ආසියාව පුරා මූලික අර්බුදයක් ඇති කරමින්, 1998දී තායි බාට් මුදල කඩාවැටුනු අවස්ථාවේ එවක ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සඳහන් කලේ එය, ගෝලීයකරනය කරා යන ගමනේ එක් “අක්‍රියවීමක්” ලෙසය. එහෙත් ආසියානු මූල්‍ය අර්බුදය, ඇමරිකාවේ ලෝන්ග් ටර්ම් කැපිටල් මැනේජ්මන්ට් ආයතනය බිඳ වැටීමත් සමග එරටට ද කඩා වැදුනි. මහ බැංකුවට එයට ඇප දීමට සිදුවූ අතර ඇමරිකානු මූල්‍ය වෙලඳපොලේ උනුවී යාමක් නිර්මානය කලේය.

වෙලඳපොලවල වත්මන් අස්ථාවරත්වය එවැනිම බලපෑමක් කරයි ද යන්න තවමත් පැහැදිලිව කිව නොහැක. කෙසේ වෙතත්, ආර්ජන්ටිනාවේ අර්බුදය හා නැගී එන ආර්ථිකයන්හි ඇතිවන කම්පනයන්, 2008 අර්බුදයේ පටන් මූල්‍ය වෙලඳපොලවලට මුදා හරින ලද ඩොලර් ට්‍රිලියන ගනනකින් නිර්මානය කල මූල්‍ය අට්ටාලය සෙලවීමට පටන්ගෙන ඇත යන අනතුරු ඇඟවීමේ සලකුනකි.

Share this article: