ධනවාදයේ නියාම සහ ගෝලීය ආර්ථිකයේ බිඳවැටීම

The laws of capitalism and the breakdown of the global economy

නික් බීම්ස් විසිනි, 2018 මැයි 10

ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රධාන සාමාජිකයෙකු වන නික් බිම්ස් විසින් 2018 ජාත්‍යන්තර අන්තර්ජාල මැයිදින රැලියේ දී පවත්වනලද දේශනය පහත පලවේ.

විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ වන කාල් මාක්ස්ගේ ද්වීශතසංවත්සර සැමරුමේදී, ධනේශ්වර ලෝක ආර්ථිකය පිලිබඳව ඔහු වර්ධනකල විශ්ලේෂනයේ රාමුව තුල, මගේ අදහස් ඉදිරිපත් කරමි.

The laws of capitalism and the breakdown of the global economy

සිය මහා කෘතිය වූ Das Kapital හි දෙවන මුද්‍රනයේ පෙරවදන තුල මාක්ස්, එහි ප‍්‍රථම මුද්‍රනය පිලිබඳව රුසියානු විශ්ලේෂකයෙකු, සිය භෞතිකවාදී විධික‍්‍රමය ගෙනහැර දක්වමින් පල කල අදහස් මෙසේ උපුටා දැක්වීය.

“මාක්ස්ට වැදගත් වන එක් දෙයක් නම්, තමාගේ පරික්ෂනය ට භාජනය වන ප‍්‍රපංචයේ නියාමය, දෘඪ විද්‍යාත්මක ආකාරයකින් සොයා ගැනීම වේ.”

එවන් පර්යේෂන විධික‍්‍රමයක වටිනා කම, “රඳා පවතින්නේ, එවන් දෙන ලද සමාජ සන්තතියක උපත, පැවත්ම, වර්ධනය සහ අභාවය ද, වඩා ඉහල සන්තතියක් විසින් එය විස්ථාපනය කර එහි තැන ගැනීමද වේ.

මෙහි අර්ථය, ගෝලීය ධනේශ්වර ආර්ථික වර්ධනයේ වර්තමාන අවධිය ඇගයීමේ දී අප කල යුතු වන්නේ, ඒ හෝ මේ ආර්ථික සංඛ්‍යා මතූපිටින් අතපතගෑම නොව තත්වය පිලිබඳ ඓතිහාසික භෞතිකවාදී විශ්ලේෂනයක පිහිටා ගැනීම යන්න ය. මා මින් අදහස් කරන්නේ කුමක් ද යන්න විදර්ශනය කිරීමට, මෙයට විසන්දනාත්මකව, ධනේශ්වර අර්ථ ශාස්ත‍්‍රඥයින් ද පන්ඩිතයන්න් ද ඔවුන්ගේ ගනන් නැති චින්තන පර්ෂදයන් ද මේ කටයුත්තේ දී වැඩ කරන ආකාරය පෙන්නුම් කිරීමට මට ඉඩ දෙන්න.

මෙයට වසර දහයකට පෙරාතුව ලෝක මුල්‍ය පද්ධතිය ද, ඉන් ඉක්බිතිව ලෝක ආර්ථිකය ද 1930 ගනන්වල මහා අවපාතයෙන් මොබ එය අත්දැක ඇති දරුනුම අර්බුදයට මුහුනපෑවේය. එවන් ව්‍යසනයක් මුලුමනින්ම අනපේක්ෂිත වූවා පමනක් නෙව, එයට පෙරාතුව “පශ්චාත් යුද කාලීන ආර්ථික ප‍්‍රසාරනයෙන් පසුව එලඹී හොඳම ආර්ථික වර්ධනයේ අඛන්ඩ කාල පරිච්ඡේදයක්, අඩු උද්ධමනය, අඩු පොලි අනුපාතික සහ ඊනියා නැගෙමින් පවත්නා වෙලඳ පලවලට වාසි ලබා දුන්නාවූ අඛන්ඩ ආර්ථික සමුර්ධියේ කාලපරිච්ඡේදයක් පිලිබඳ ප‍්‍රීතියෝත්සවයකින් ද සංලක්ෂිත විය. වෙනත් වචන වලින් කිවහොත්, කරුනු අවිවේචනාත්මකව පිලිගනිමින් ඔවුන් නිගමනය කලේ, සියල්ල ඉතා හොඳින් පවතින බවත්, එලඹෙමින් තිබෙන්නේ ලෝකයන්ගේ හොඳම ලෝකය බවත්ය.

එහෙත් ඉක්බිති මුලු පර්යායම බිඳ වැටුනේ, බොහෝ දුරට මාක්ස් විස්තර කල ලෙසින් ය. එනම් නිවසක් අප දෑස් හමුවේ බිඳවැටෙන තතුතුල ගුරුත්වාකර්ශන නියාමය ක‍්‍රියාත්මකව ආධිපත්‍යය දරන ආකාරයටමය. අනපේක්ෂිත සිද්ධීන් ට මුහුන දීමට ඔවුන්ට බල කෙරුනු එම අන්ධ විධික‍්‍රමයම අනුගමනය කල ඔවුහු, පද්ධතිය රැක ගැනීමට නම්, අර්බුදය කඩාපාත්වීමට වගකිවයුතු එම බැංකු සහ මූල්‍ය ආයතනයන්ට ම ඩොලර් ට්‍රිලියන ගනනක් ලබා දිය යුතුයයි තීන්දු කලෝය. එයින් අවුරුදු දහයකට පසුව උද්ගත වී තිබෙන තත්වය කුමක්ද ? ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අලුත්ම ලෝක ආර්ථික දැක්ම පුරෝකථනය කර ඇත්තේ, ලෝක ආර්ථිකය මුල්‍ය අර්බුදයෙන් ඉක්බිති හොඳම ආර්ථික වර්ධනය සහිත දෙවසර දැන් අත්විඳිමින් සිටින බව ය. එහෙත් මේ තක්සේරුව කරද්දී, එහිම වචන වලින් කිවහොත්, එක්තරා “ජරබර” නාදයකට කන් දෙන්නට එයට සිදුවි ය. එනම් 1930 ගනන් වල පුපුරා ගිය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවන වෙලඳ යුද්ධයේ බරපතලම ගැටුම් වල හඬට යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකර අධ්‍යක්ෂක සඳහන් කල පරිදි ලෝක ආර්ථිකය, මෙම ගැටීම් වලින් “කැබලි වලට ඉරාදැමීමේ තර්ජනයට” මුහුනදී සිටී. ප‍්‍රමුඛ ආර්ථිකයන් ආර්ථික ප‍්‍රසරනයේ තත්වයක පවතිද්දී, එය පදනම්ව ඇති එම වෙලඳාම හා ආයෝජනයටම තර්ජනය කරන යුද්ධය සමග “සෙල්ලමේ යෙදී” ඉන්නා තත්වය, අරමුදලේ ප‍්‍රධාන විධායක අර්ථශාස්ත‍්‍රයා විසින් පෙන්නුම් කරදී ඇත.

ඒ සමගම මුල්‍ය අරමුදල, නය ඉහල නැගීම කෙරෙහි ද අවධානය යොමු කලේය. එය 2007-2008 ට වඩා සියයට 40 කින් ඉහලගොස්, දැන් ඩොලර් ට්‍රිලියන 164ට නැඟී තිබේ. මෙය වනාහි, 2008 මුදල් වෙලඳපොල උනුවී යාමට හේතුවූ ප‍්‍රවනතාවන් පරාජය කරනු ලැබ නැති බවත්, යලි හිස ඔසවමින් තිබෙන බවත්, පිලිබඳ පැහැදිලි ඇඟවීමකි. මේ සතියේ නෝබෙල් ත්‍යාගලාභින් 14 ට වැඩි ගනනක් දෙනෙකු ද ඇතුලු ආර්ථික විද්‍යාඥයින් 1,000ට වැඩි සංඛ්‍යාවක් අත්සන් කොට ට‍්‍රම්ප්ට ඉදිරිපත්කල ලිපියක්, වෙලඳ යුද්ධ පියවර 1930ස් ගනන් වල කරන ලද “වරද” එනම්, ස්මූට් හව්ලි බදු පනත ලෝක ආර්ථිකය මහා අවපාතයට ඇද දැමු තත්වය හා සමාන තත්වයක් යලිත් උද්ගත කරනු ඇති බවට අනතුරු අඟවා සිටියේ ය. එහෙත් ලෝක ආර්ථිකය කැබලිවලට ඉරාදමන වෙලඳ යුද්ධය පිලිබඳව ධනේශ්වර ආර්ථිකඥයන්ට ඇත්තේ, එය වනාහි කිසියම් ආකාරයකට ධනවාදයේ ක්‍රියාකාරිත්වයට අසම්බන්ධිත, “බාහිර” සාධකයක්ය යන දෘෂ්ටියයි. එය වනාහි, හේතුවාදය සහ තර්ක බුද්ධියට ඉඩ දුන්නොත් මගහැරගත හැකි දෙයකි.

මෙම විශ්ලේෂනයේ ඇති මූලික දෝෂය නම්, ධනේශ්වර ආර්ථිකය මෙම සික්ෂා පද උඩ ක‍්‍රියාත්මක නොවීම යි. මාක්ස් පෙන්වාදුන් පරිදි එය දුවවනු ලබන්නේ, පුද්ගලික අයිතියට යටත් වූ මහා සංගතවල අරගලය තුලිනි. සියල්ලට ප‍්‍රථම, ලෝක නිෂ්පදකයින් වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ ශ‍්‍රමයෙන් අතිරික්ත වටිනාකම උපුටා ගැනීමට ද ඉක්බිතිව, ඉවරයක් නැතිව නිර්දය ලෙස බලුරැලක් සේ කාගනිමින් වෙලඳපොලවල්, ලාභය හා මූල්‍ය වාසි සඳහා කෙරෙන තරගය ද විසින් එය දුවවනු ලබන බවත්ය. වත්මන් ආර්ථික තත්වය වටහාගැනීමට ද කම්කරු පන්තියට ඉදිරි දර්ශනයක් සම්පාදනය කිරීමට ද හැරීගත යුත්තේ මාක්ස්ගේ භෞතිකවදී විශ්ලේෂනයේ කේන්ද්‍රිය පදනම දෙසට ය.

ධනේශ්වර නිෂ්පාදන විධියේ සාරභුත ප‍්‍රතිඝතිතාවය, එම ක‍්‍රමය විසින් සිදු කරනු ලබන නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය සහ පුද්ගලික අයිතිය මත පදනම් වන නිෂ්පාදන මාධ්‍ය සමග වැටුප් ශ‍්‍රමයේ පවත්නා සාරභුත ප‍්‍රතිඝතිතාවය බව ඔහු පැහැදිලි කලේ ය. ධනවාදය වනාහි ඓතිහාසිකව, සදාකාලික පද්ධතියක් නොව, එය විසින්ම නීර්මානය කරනු ලැබූ සිය මිනීවල හරන්නා වන කම්කරු පන්තිය විසින් පෙරලා දමනු ලැබීම ට නියමිත වූ පර්යායක් බව හෙලි කරනු ලැබුවේ මේ ප‍්‍රතිඝතිතාවය විසිනි.

ධනේශ්වර ආර්ථිකයේ ඓතිහාසික වර්ධනය මෙම දෘෂ්ටි ආස්ථානයෙන් සලකා බලන්න. 19 ශතවර්ෂයේ දී ධනේශ්වර සමාජ සම්බන්ධතා පැතිර යාමද නුතන ජාතික රාජ්‍ය පද්ධතිය පිහිටුවීම ද නිෂ්පාදන බලවේගවල වර්ධනය ට යෝධ ගැම්මක් සම්පාදනය කලේය. එහෙත් ඒ වර්ධනයම එහි වර්ධනයට පදනම දැමූ ජාතික රාජ්‍ය පද්ධතිය සමග ඝට්ටනයට ද මග පෑදීය. මෙම ප‍්‍රතිඝතිතාවය 1914 අගෝස්තුවේ ලෝක යුද්ධය ලෙස පුපුරා ගියේ ය.

එහෙත් ලෝක යුද්ධයට මග පැදූ එම ප‍්‍රතිඝතිතාවන්, ලෝක සමාජවාදී විප්ලවයට ද කොන්දේසි සම්පාදනය කල අතර එහි ආරම්භක ප‍්‍රකාශනය 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවය තුල සොයා ගත්තේය.

කම්කරු පන්තියේ නායකත්වයන්ගේ, ප‍්‍රථමයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ලේබර් පක්ෂ ද, පසුව ප‍්‍රථම කම්කරු රාජ්‍යය තුල පැනනැගි ප‍්‍රතිවිප්ලවවාදී ස්ටාලින්වාදයේ ද පාවා දීම නිසා, ධනේශ්වර පන්තිය ට බලයේ රැඳී සිටීමට ඉඩ ලබුනි. එහෙත් යුද්ධයට හේතු වූ ආර්ථික ප‍්‍රතිඝතිතා සමනය වූයේ නැත. ඒ වෙනුවට සිදුවුයේ ඒවා උග‍්‍රවීමයි. එය 1930 ගනන්වල මහා අවපාතටද දෙවන ලෝක යුද්ධයට ද මග පෑදුවේ ය.

ලෝක යුද්ධයෙන් ඉක්බිත්තේ, ධනේශ්වරයට බලයේ රැඳී සිටීමට හැකි වීනම් ද ඉක්බිතිව පශ්චාත් යුද්ධ සමයේ ධනේශ්වර උත්පාතයට උපත දුන් ආර්ථික පියවර වලට මුල පිරිය හැකි වී නම් ද ඒ, කම්කරු පන්තියේ නායකත්වයන් ධනේශ්වර පර්යායට දුන් සහය නිසා ය.

එහෙත් ධනවාදය “කලමනාකරනය කරගත හැකිය” යිද ලාභ සූරාකෑමේ පද්ධතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ඉහල යන ජිවන තත්වයන් සමග සමහන් කලහැකි යයි ද යන එකල සුපුරුදු ලෙස පැවති සාම්ප‍්‍රදායික බුද්ධියට එරෙහිව සැබවින්ම සිදු වුයේ පශ්චාත් යුද කාලීන ආර්ථික පර්යාය යාන්තම් අවුරුදු 30ක් වත් නොපැවතීමයි.

1968 -1975 අතරතුර සමයේ ලෝකය ආර්ථික අර්බුද ගනනාවකින් බැටකෑ අතර එය කම්කරු පන්තියේ විප්ලවවාදී නැගිටීම් මාලාවක් යලි ජනනය කලේ ය. එය ඇරඹුනේ මෑත ඉතිහාසයේ සුවිසල්ම හා දීර්ඝතම වැඩවර්ජනය වූ 1968 ප‍්‍රන්ස මහා වැඩ වර්ජනය සමගය.

මෙම නැගිටීම් පාවා දීම, කම්කරු පන්තියේ ජීවන මට්ටම් වලට එරෙහිව අඛන්ඩ ප‍්‍රහාරයක් ද නිෂ්පාදනයේ ගෝලීයකරනය ද මත පදනම්ව, ගෝලීය ආර්ථිකයේ මූලික ප‍්‍රතිව්‍යුහ කරනයන් සඳහා ධනේශ්වරයට ඉඩ සලසා දුන්නේ ය. එසේ කරන ලද්දේ විශේෂයෙන්ම සෝවියට් සංගමය දියකර හැරීමෙන් ද චීනයේ ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් ද පසුව ප‍්‍රාග්ධනයට වඩ වඩාත් ලාභ ශ‍්‍රම උල්පත් සූරාකෑමට ඉඩ ලද තත්වයක් තුල ය. එහෙත් ජාතික රාජ්‍ය පද්ධතිය හා ගෝලීය ආර්ථිකය ද සමාජිකෘත නිෂ්පාදනය සහ ලාභය පෞද්ගලිකව අත්පත් කරගැනීම ද, වැඩකරන ජනතාවගේ වියදමෙන් උදුරාගත් ඉමහත් ධනසම්භාරයක් ධනේශ්වර කතිපයාධිකාර අත ගොඩ ගසා ගැනීම ද අතර ධනවාදයේ මූලික ප‍්‍රතිවිරෝධතා, උත්සන්න කර ඇත. ඒවා, මුල්‍ය අර්බුදයන්ගේ ද ආර්ථික අවපාතයේ අවතාරයේ ද වෙලඳ යුද්ධ ඇතිවීමේ හා තුන්වන ලෝක යුද්ධයක් පුපුරායමේ ද ස්වරූපය ගෙන ඇත.

ඒ සමගම දැන් මෙම ප‍්‍රතිවිරෝධයන්, ලෝක සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික කොන්දේසි නිර්මානය කරමින් තිබේ. උග‍්‍ර වෙමින් ඇති එම ප‍්‍රතිවිරෝධතා, සියල්ලටත් වඩා, ආර්ථික ගෝලීකරනය මඟින් දැවැන්තව ප‍්‍රසරනය කරනු ලැබ ඇති අතර, කම්කරු පන්ති අරගල දශක ගනනාවක් තිස්සේ යටපත් කරනු ලැබීමෙන් පසුව, දැන් නව වටයකින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලයන් තුල ප‍්‍රකාශනය අත්කරගනිමින් ඇත.

එබැවින් මෙම මැයි දිනයේදී ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක ප‍්‍රශ්නය නම්, සියල්ලට ම ප‍්‍රථම මෙම වෛෂයික යථාර්තය, එනම්, සිද්ධීන්ගේ ආර්ථික තර්කනය ග‍්‍රහනය කර ගැනීම යි; එම වැටහීම උඩ ක‍්‍රියා කරමින්, ඉදිරියේ එන බලය සඳහා අරගලයට නායකත්වය සම්පාදනය කරමින් ජාත්‍යන්තර සමාජවාදය පිහිටුවීමට අත්‍යවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩ නැගීමයි.

සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඇමතීම සඳහා මෙතැනින් පිවිසෙන්න http://wsws.org

Share this article: