අවිශිබමය ආන්ඩුවෙන් සාකච්ඡා ඉල්ලා මෙතරම් පොර අල්ලන්නේ ඇයි?

නවීන් දේවගේ විසිනි, 2018 මැයි 21

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) කැලනිය විශ්වවිද්‍යාාලයේ සිට කොලඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා විරෝධතා පා ගමන සංවිධානය කලේ උසස් අධ්‍යාපන ඇමති ලෙස අලුතින් පත් වූ විජේදාස රාජපක්ෂ දිවුරුම් දුන් දිනයේ පොරොන්දු වූවා යැයි කියන සාකච්ඡාවකට සහභාගි වීම සඳහාය. විරෝධතාව සංවිධානය කර තිබුනේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පුුලුල් බලතල සහිත ආයතනයක් බවට පත් කිරීමේ ආන්ඩුවේ පනතට විරුද්ධත්වය පල කිරීමටයි .

වෝඩ් පෙදෙසේ මාර්ග බාධකය වෙත පැමිනි අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර තමන් පැමිනියේ උසස් අධ්‍යාපන ඇමති සමඟ සාකච්ඡාවකට පමනක් බවත් තමන්ට කලහකාරී ලෙස හැසිරීමේ අවශ්‍යතාවක් නැති බවත් එහි වූ පොලිස් නිලධාරියකුට පැවසී ය. ඇමති ඒ මොහොතේ ඇතුලේ නැති බව නිලධාරියා කීවේය. මෙම විරෝධතාව සංවිධානය කලේ දැනුම් දීමකින් පසුව කී වීරසේකර මෙහි එන බව දන්නා නිසා පෙර දින රාත්‍රියේ මේ විරෝධතාවට පහර දීමට කටයුතු සූදානම් කලා නොවේදැයි ප්‍රශ්න කලේ ය. මාර්ග බාධක යොදා බාධා නොකරන්නේ නම් කොමිසම තුලට ගොස් ප්‍රශ්න විසඳා ගන්නා ආකාරය තමන් දන්නා බව වීරසේකර පැවසී ය.

එම ආයාචනා නොතකා පොලිසිය පහර දුන් පසු අවසානයේ වීරසේකර මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ අවිශිබම ඊලඟට බලාපොරොත්තු වන්නේ පාර්ලිමේන්තුව වටලෑමක් සංවිධානය කිරීමට බවයි.

සිය විරෝධතාවලට පොලිසිය පහරදීම නිසා නොයෙකුත් ප්‍රශ්නවලට සිසුන් මුහුන දී ඇති ආකාරය ගැන අවිශිබම ප්‍රකාශකයෙක් මැයි 20 වන ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබුනි. පසුගිය තෙවසර තුල පොලිස් පහරදීම් නිසා හිසට ඇතිවූ හානි සහ දෘශ්‍යාබාධ සිදුවූ වෛද්‍ය සිසුවෙකු ඇතුලු සිසුන් පස් දෙනෙක් සිටින බව ද අධ්‍යාපනය අත්හිටුවීම හා වසරකට වඩා පන්ති තහනමට ලක්වූ සිසුන් 80ක් පමන සිටින බවද ඔහු කියා ඇත.

සාකච්චා ඉල්ලා විරෝධතා දැක්වීම ද ඒවා පොලිස් ප්‍රහාරවලින් අවසන් වූ පසු ඊලඟ විරෝධතා දැක්වීම නිවේදනය කිරීම ද අවිශිබම නායකයන්ගේ සාමාන්‍ය චාරිත්‍රයකි. නැතහොත් ලැබූ ජයග්‍රහන ගැන උදම් ඇනීමද ඉන් පසු ආන්ඩුව හෝ බලධාරීන් පොරොන්දු කඩකල බව ප්‍රකාශකොට තවත් විරෝධතා හා මහා බලපෑම් දැමීම් නිවේදනය ද මේ රටාවේම කොටසකි. සයිටම් උද්ඝෝෂනය ඊට හොඳම උදාහරනයකි.

සැලකිල්ලෙන් හිතනමතන ශිෂ්‍යයෙකුට මෙවන් ප්‍රශ්නයක් මතුවීම ස්වභාවික ය. මෙතරම් රුදුරු ප්‍රහාර එල්ල කරමින් නිදහස් අධ්‍යාපන කප්පාදුව දිගටම ගනයන බව තරයේ පෙන්නුම් කරද්දී, අවිශිබමය හා එහි කැඳවුම්කරු වන වීරසේකර "ප්‍රශ්න විසඳා ගැනීමට" සාකච්චා කිරීමටත් ඒ සඳහා ආන්ඩුවට බලපෑම් දැමීමටත් මෙතරම් පොර අල්ලන්නේ අයි? විරසේකරට කලින් සිටි අවිශිබම කැඳවුම්කරුවන්වන නජිත් ඉන්දික ද සංජිව බන්ඩාර ද අනෙක් අය ද "ප්‍රශ්න විසඳා ගැනීමට" ක්‍රියා කලේ එපරිද්දෙනි. අවිශිබම හා එය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය එකම විෂම චක්‍රයක් වටේ සිසුන් කරකවන්නේ අයි?

ඊට හේතු දෙකකි.

පලමුවැන්න, ශිෂ්‍ය ප්‍රශ්නවලට විසඳුම ලබාගත යුත්තේ ධනපති පාලක පන්තිය අතින් ම බව අවිශිබම තරයේ විශ්වාස කිරීමයි. ඔවුන්ට අනුව විසඳුම ධනපති ක්‍රමය තුල ම සොයා ගත යුතු ය. මෙය ධනපතිවාදයට ගැට ගැසුනු සංවිධානවල ව්‍යාජ ඉදිරි දර්ශනයයි. සිසුන් අවමන්ගත කිරීමේ මෙම ක්‍රියාමාර්ගයෙන් ශක්තිමත්වී අධ්‍යාපනය පුද්ගලිකරනය ක්‍රමානුකුලව අනුප්‍රාප්තික ආන්ඩු විසින් ක්‍රියාවට දමා ඇත. වත්මන් ආන්ඩුව එය ඉදිරියට ගෙන යමින් සිටි.

ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවට අනුව 2017 දී පුද්ගලික පාසැල් 105ක්, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 16ක් සහ කාර්මික හා වෘත්තීය පුහුනු ආයතන 48ක් තිබුනි. මේ නිල සංඛ්‍යා ලේඛන පමනි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත කම්කරුවන් හා දුගීන් මත බරපතල කප්පාදුවක් පටවන ආන්ඩුවක් හා බලධාරීන් බලපෑම් දැමීමෙන් හා සාකච්චා මගින් නම්මා ගැනීමට නොහැකිය. මෙම ධනපති වැඩ පිලිවෙල ලෝක ධනවාදයේ අර්බුදයෙන් තීන්දුවී තිබේ. ධනපති පාලක පන්ති හැම රටකම හැරී සිටින්නේ ආඥාදායක පාලනයන් අටවමින් සමාජ අයිතීන් පාගා දමන ප්‍රතිවිප්ලවවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමටය.

රාජ්‍ය අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය ඇතුලු සමාජ අයිතීන් ද යහපත් ජීවන කොන්දේසි ද රැක ගැනීමට අවශ්‍ය දැවැන්ත මුදල් සම්භාරයන් වියදම් කිරීමට පරපුටු, දුෂිත, ලාභ ගැරීම එකම අරමුන කරගත් ධනපති පන්තියක් හා එහි විධායකය වන ආන්ඩුව ඒත්තු ගන්වා ගත හැකි යයි කිව හැක්කේ පාලකයන් දෙන බොරු පොරොන්දු වැලඳ ගන්නා ධනපති ක්‍රමය තුල විසඳුම් සොයන සිසු සංගම්, වෘත්තීය සමිති සහ ව්‍යාජ වම්මුන් ඇතුලු අවස්ථාවාදීන්ට පමනි.

රාජ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු සමාජ අයිතීන් වැඩිදියුනු කිරීමට අවශ්‍ය ධනය මහජනයාට සොයාගත හැක්කේ ධනපති පන්තිය සතු විශාල වතු, බැංකු හා කර්මාන්ත අල්ලා ගෙන, ආර්ථිකය අතලොස්සකගේ ලාභ ගැරීමට නොව, මනුෂ්‍ය අවශ්‍යතා ඉටු කිරීම සඳහා ප්‍රතිසංවිධානය කිරීමෙනි. මෙම වැඩපිලිවෙල ක්‍රියාවට දැමිය හැක්කේ කම්කරු පන්තිය දුගීන් හා තරුනයන් තමන් වට රැලිකරගෙන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවා ගනු ලැබීමෙන් පමනකි. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයක කොටසකි.

අවිශිබම සිසුන් හුදු විරෝධතා තුල කොටු කිරීමට උත්සුක වී ඇති දෙවන හේතුව මෙයයි: ඉහත කී අරගලය සඳහා සිසුන් කම්කරු පන්තිය වෙතට හැරීම වැලැක්වීමයි. එවෙනුවට අවිශිබම හා පෙසප, සටන් බලවේගය සිසුන් බව පවසමින් ඔවුන් පසුපස පෙලගැසෙන ලෙසද ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා පලල් කරන ලෙස ද කම්කරුවන්ට බලකරයි. සිසුන්ගේ සටන්කාමිත්වය කෙතරම් වුවද ධනපති පන්ති පාලනය අහෝසිකොට නිෂ්පාදන බලවේග සමාජවාදී ආකාරයකට ප්‍රති සංවිධානය කිරීමට හැකි විප්ලවවාදී බලවේගය වන්නේ ඒවා හසුරුවන කම්කරු පන්තියයි.

මාක්ස්වාදය මත පාදකව, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතාශි) කම්කරුවන් හා තරුනයන් ඒ සඳහා බලමුලු ගැන්වීමට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය සමග සටන් වදියි.

Share this article: