ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධ වනු! අධ්‍යාපන පුද්ගලීකරනය එපා!

Oppose Sri Lanka’s National Defence University Act! No privatisation of education!

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (ශ‍්‍රී ලංකාව) විසිනි, 2018 මැයි 08

ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල (කේඩීයූ) පනතට විරුද්ධ වන ලෙස සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී. මෙම නීති උසස් අධ්‍යාපනය පුද්ගලීකරනය හා රට මිලිටරීකරනය කිරීම සඳහා තැබුනු තවත් ඉදිරි පියවරකි.

1981 දී කොතලාවල ආරක්ෂක ඇකඩමිය ස්ථාපනය කරන ලද්දේ ත්‍රිවිධ හමුදාවල ඉහල නිලයන්ට බඳවා ගන්නන් පුහුනු කිරීමට ය. 1986 දී එය විශ්වවිද්‍යාලයක තත්ත්වයට උසස් කරන ලද අතර, 2012 වසරේ පටන් ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්ෂනය හා නීතිය ඇතුලු පාඨමාලා මුදල් ගෙවා හැදෑරීමට සීමිත සිවිල් සුසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීම ආරම්භ කෙරුනි.

කොතලාවල ආරක්ෂක ඇකඩමිය පිහිටුවේ 1981 පනත අවලංගු කරන නව පනතෙහි ඉලක්කය වන්නේ කේඩීයූව අංග සම්පූර්න විශ්ව විද්‍යාලයක් බවට පරිවර්තනය කිරීම ද ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සහ රාජ්‍ය සේවයේ සේවය කිරීමට අපේක්ෂා කරන තැනැත්තන්ට අමතර ව “වෙනත් තැනැත්තන්ට” ද “ශාස්ත‍්‍රීය සහ වෘත්තීය සුදුසුදුකම් ලබා ගැනීමට සැලැස්වීමේ අවස්ථා මුදුන් පමුනුවා ගැනීම සඳහා ඇති අවශ්‍යතාව” සපුරාලීමට හැකිවනු පිනිස එහි අරමුනු හා බලතල පුලුල් කිරීම යි. පනතට අනුව විශ්ව විද්‍යාලයේ බලතලවලට පහත සඳහන් දේවල් අඩංගු වේ:

1.“විශ්ව විද්‍යාලයට අවශ්‍ය විය හැකි පරිදි වූ මන්ඩප, විද්‍යාල, පීඨ, අධ්‍යනාංශ, මධ්‍යස්ථාන, ශාස්ත‍්‍රීය ආයතන සහ වෙනත් යම් විශේෂිත ආයතන පිහිටුවීම.”

2. විශ්ව විද්‍යාලය විසින් නියම කර ඇති නිර්නායකවලට අනුකූලව සහ විශ්ව විද්‍යාලයේ අධීක්ෂනය යටතේ, වෙනත් යම් නීතියක් යටතේ පිහිටුවන ලද හමුදා පුහුනු ආයතන හෝ මේ පනත යටතේ පිහිටුවන ලද වෙනත් ශාස්ත‍්‍රීය ආයතන විසින් පවත්වන ලද පාඨමාලා පිලිගැනීමට සහ එම පාඨමාලා සඳහා උපාධි ප‍්‍රදානය කිරීම.

3. විශ්ව විද්‍යාලයේ අරමුනුවලට අවශ්‍ය විය හැකි පරිදි කාර්මික, වෘත්තීය හෝ වෘත්තීමය ආයතන ද ඇතුලු ව දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන ආයතන සමග අනුබද්ධ ව කටයුතු කිරීම.

4. සපයන පාඨමාලා සඳහා විශ්ව විද්‍යාලය විසින් නීර්නය කරනු ලබන ගාස්තු අය කිරීම.

දුප්පත් සිසුන්ට දරාගත නො හැකි තරම් අය කරන ගාස්තු අධික වීමට නියමිතය. සිව් අවුරුදු ඉංජිනේරු පාඨමාලා ශිෂ්‍යයෙකුගෙන් දැනට මත් රුපියල් මිලියන දෙකකට (එක්සත් ජනපද ඩොලර් 13,000කට) ආසන්න මුදලක් අය කරනු ලැබේ.

මෙම විශ්වවිද්‍යාලය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වීමට නියමිත අතර එයට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින රජයේ අනෙකුත් විශ්ව විද්‍යාල පාලනය කරනු ලබන “1978 විශ්වවිද්‍යාල පනතේ කුමක් සඳහන් වුව ද, එය නොතකා” ක‍්‍රියාකල හැකි ය.

කේඩීයූව පාලනය කරනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ හා සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පාලක මඩුල්ලක් විසිනි. ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධරයන් අතරින් තෝරාගෙන ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන උප කුලපතිවරයෙක් විසින් එම මන්ඩලයේ ප‍්‍රධානත්වය දරනු ඇත.

විශ්ව විද්‍යාලය මත මිලිටරි විනය පටවනු ලැබෙනු ඇත. යුද හමුදා වෙබ් අඩවියට අනුව, කේඩීයූවේ සූරියවැව මන්ඩපය “එහි මිලිටරි කාර්ය මන්ඩලය විසින් කරන සමීප අධීක්ෂනය නිසා දැඩි විනයක් යටතේ පවතී.” සිසුන්ට හා කාර්ය මන්ඩලයට නියමිත නිල ඇඳුමක් තිබෙනු ඇති අතර, “ජාතික ආරක්ෂක” හේතූන් මත පරීක්ෂාවට භාජනය කෙරෙනු ඇත.

“විශ්ව විද්‍යාලය තුල පවතින යම් තත්ත්වයක් ජාතික ආරක්ෂාවට අනතුරුදායක වීමේ නැඹුරුවක් පවතින බවට හෝ ජාතික ප‍්‍රතිපත්තියට අහිතකර හෝ අගතිදායක බව” හෝ නැතහොත් එම තත්ත්වය මගින් විශ්ව විද්‍යාලයේ නිසි ක‍්‍රියාකාරීත්වය බිඳ වැටීමේ නැඹුරුවක් ඇති බවට අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක, “එම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය විය හැකියයි ඔහු විසින් සලකනු ලබන පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් පාලක මන්ඩලයට විධාන කරනු ලැබිය හැකි ය.” යයි පනතේ සඳහන් වගන්තිය බරපතල ඇඟවුම් සහිතය.

මෙම පනත අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීම හා සමාජය මිලිටරීකරනය කිරීම ගැඹුරු කිරීමේ කොටසකි. පකිස්තාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ ජාතික විද්‍යා හා තාක්ෂන විශ්ව විද්‍යාලය යන නම්වලින් මිලිටරිය විසින් පාලනය කරනු ලබන එවන් විශ්වවිද්‍යාල දශක ගනනාවක් තිස්සේ පකිස්තානයේ ක‍්‍රියාත්මක වේ.

රටෙහි දේශපාලන හා ආර්ථික තීන්දු ගැනීමේ ප‍්‍රධාන බලයක් වන පකිස්තාන මිලිටරිය ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් පාලනය කරයි. ශ‍්‍රී ලංකාවේ මිලිටරිය අයවැයෙහි වැඩිම පංගුව පරිභෝජනය කරමින් -2018 වසර සඳහා එයට වෙන්කල මුදල රුපියල් බිලියන 290කි- බලගතු ස්ථානයක් භජනය කරන අතර, ආර්ථික ක‍්‍රියාකාරකම් ද ක‍්‍රමානුකූල ව වර්ධනය කරගනිමින් සිටී. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි 30 අවුරුදු වර්ගවාදී යුද්ධය මිලිටරිය පිම්බීම සඳහා යොදාගන්නා ලදී.

අධ්‍යාපනය සඳහා රාජ්‍ය වියදම වැඩි කරන බවට පොරොන්දු වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන 2015 ජනවාරියේ බලයට ආවේ ය. එම කයිවාරුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මර්දනීය පාලනයට එරෙහි සමාජ විරුද්ධත්වය අපසරනය කිරීම සඳහා සිරිසේන වටා සංවිධානය වූ දක්ෂිනාංශික “යහපාලන” ව්‍යාපාරය විසින් ඉදිරියට දැමූ ව්‍යාජ පොරොන්දු මාලාවෙන් එකකි.

පසුගිය වසර තුන තිස්සේ අධ්‍යාපනය සඳහා පිරිවැය ආන්ඩුව විසින් වැඩිකර නැති අතර, 2017 දී එය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9ක පැවතියේ, අධ්‍යාපන පහසුකම් සීඝ‍්‍රයෙන් පිරිහෙමින් තිබෙද්දී ය.

විදේශීය විශ්ව විද්‍යාල සමග අනුබද්ධිත මුදල් අයකරන පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වන දකුනු ආසියානු තාක්ෂන හා වෛද්‍ය ආයතනය (සයිටම්) අහෝසි කරන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ උසස් අධ්‍යාපනය පුද්ගලීකරනයට විරුද්ධ ව දීර්ඝ විරෝධතා උද්ඝෝෂන ගෙන ගියහ. මාස නවයක් තිස්සේ දේශන වර්ජනය කරමින් වෛද්‍ය ශිෂ්‍යයෝ මෙම උද්ඝෝෂනයට එක් වූහ.

එහෙත් ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම), සිසුන්ගේ උද්ඝෝෂන සයිටම් අහෝසි කිරීම පිනිස ආන්ඩුවට පීඩනය යෙදීමට සීමා කලේ ය. ආන්ඩුවට යොදන පීඩනය වැඩි කිරීමේ නාමයෙන් ඔවුන් වෘත්තීය සමිති හා දක්ෂිනාංශික විපක්ෂ දේශපාලනඥයන් සමග පවා එක් විය.

සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුවේ පිලිතුර වූයේ ශිෂ්‍ය විරෝධතා මතට කෲර පොලිස් ප‍්‍රචන්ඩත්වයක් මුදාහැරීම හා ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගැනීම යි.

උපාමාරුවක් ලෙස සයිටම් “අහෝසි කරන” බව හා එහි ශිෂ්‍යයන්ට වෙනත් විසඳුමක් ලබාදෙන බව ආන්ඩුව ප‍්‍රකාශ කලේය. ආන්ඩුවේ තීරනය ජයග‍්‍රහනයක් ලෙස උත්කර්ෂයට නැංවූ අවිශිබම, ශිෂ්‍ය විරෝධතා අවසන් කලේ ය. පසුව ආන්ඩුවේ තීරනය වූයේ සයිටම් ශිෂ්‍යයන් ව මුදල් අයකරන පාඨමාලාවක් සඳහා කේඩීයූ වෙත අනුයුක්ත කිරීම යි.

වෛද්‍ය විද්‍යාල පුද්ගලීකරනය ගැන වෛද්‍යවරුන් අතර පවතින විරුද්ධත්වය අපසරනය කිරීම පිනිස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම් ඕඒ) වැඩ වර්ජන කිහිපයක් කැඳවී ය. එහෙත් පසුව සයිටම් සිසුන් ව කේඩීයූව වෙත අනුයුක්ත කිරීම යෝජනා කල එය, තමන්ගේ යෝජනාව ක‍්‍රියාත්මක කිරීම ගැන ආන්ඩුවට ප‍්‍රශංසා කලේ ය.

ආන්ඩුව සයිටම් ආයතනය වෙනත් නමකින් ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වන බව හා කේඩීයූව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව නො තකා හැරිය හැකි නිසා තමන් නව පනතට විරුද්ධ වන බව ජීඑම් ඕඒ දැන් කියා සිටී.

එහි කැඳවුම්කාර ලහිරු වීරසේකර ද ඇතුලු අවිශිබම නායකයෝ අධ්‍යාපන පුද්ගලීකරනය සහ මිලීටරීකරනය ගැන ආන්ඩුව විවේචනය කරමින් “විශාල විරෝධතා” දියත් කරන බව ප‍්‍රකාශ කර ඇත.

රාජ්‍ය අධ්‍යාපනය කපාහැරීම, 2016 දී ලබාදුන් ඩොලර් බිලියන 1.5 ඇප නය මුදලේ කොන්දේසියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් පැනවූ සන්ධාන ආන්ඩුවේ පුලුල් පරිමාන ආර්ථික “ප‍්‍රතිසංස්කරන” වැඩසටහනේ කොටසකි.

ජාමූඅ නියමයන්ට අනුව 2020 වන විට ආන්ඩුවේ අය-වැය හිඟය දල ජාතික නිෂ්පාදිතයෙන් (දජානි) සියයට 3.5කට කැපිය යුතු ය. මෙහි අර්ථය වන්නේ, අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලු සුභසාධන හා සමාජ වැඩසටහන් කප්පාදුව, රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරනය හා බදු ඉහල දැමීම ආදිය යි.

අර්බුද ග‍්‍රස්ත ලෝක ධනවාදයේ බර මහජනයා මත පැටවීමේ දී රාජ්‍ය අධ්‍යාපනය සෑම රටක් තුල ම ප‍්‍රධාන ඉලක්කයක් බවට පත් වී ඇත. වැඩි වැටුප් හා පාසල් අරමුදල් ප‍්‍රතිස්ථාපනය කිරීම ඉල්ලා සිටිමින් සිසුන්ගේ ද සහයෝගය සහිත ව ඇමරිකාවේ සිය දහස් ගනන් ගුරුවරු ප‍්‍රාන්ත කිහිපයක ම අරගලයේ නිරත ව සිටිති. එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල ආචාර්යවරු විශ‍්‍රාම වැටුප් කැපීමට එරෙහි ව අරගලයක නිරත වෙති. විශ්ව විද්‍යාල මුදල් අයකරන ආයතන බවට පරිවර්තනය කිරීම පිනිස ඉන්දියාවේ ආන්ඩුව ඒවා මතට පනවන ඊනියා ස්වතන්ත‍්‍රභාවයට විරුද්ධ විශ්ව විද්‍යාල ආචාර්යවරු හා ශිෂ්‍යයෝ උද්ඝෝෂන දියත් කර ඇත.

ධනවාදයේ අර්බුදය හා ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් නීර්නය කරනු ලබන ආන්ඩුවේ පිලිවෙත් කවර හෝ පීඩනය යෙදීමකින් වෙනස් නො වනු ඇත. ආන්ඩුවේ ප‍්‍රහාර පරාජය කිරීමට දේශපාලන අරගලයක් අවශ්‍ය බව විස්තර කරමින් සසජාතශි ශිෂ්‍යයන්ගේ හා වෛද්‍යවරුන්ගේ අරගල තුල මැදිහත් වී තිබේ.

සියල්ලන්ට ගුනාත්මක ව වර්ධිත අධ්‍යාපනයක් සම්පාදනය කල හැක්කේ රුපියල් බිලයන ගනන් වියදම් කිරීමෙන් පමනි. මෙම ක‍්‍රියාමාර්ගයට අවශ්‍ය මුදල් සම්පාදනය කරගත හැක්කේ බැංකු, මහා සමාගම් හා විශාල වතුවල ධනය අත්පත් කරගැනීමෙන් හා විදේශ නය ප‍්‍රතික්ෂේප කිරීමෙන් පමනි. එවැනි පියවර ක‍්‍රියාවට දැමිය හැක්කේ දුගී පීඩිතයන් හා තරුනයන් තමන් වටා රැලි කරගන්නා කම්කරු පන්තිය විසින් ස්ථාපනය කරනු ලබන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට පමනි.

ධනේශ්වර පද්ධතියට බැඳී සිටින එම පද්ධතිය තුල විසඳුම් සොයන අවිශිබම, පෙසප හා අනෙකුත් ව්‍යාජ-වාම කන්ඩායම් ද වෘත්තීය සමිති ද එවැනි අරගලයක් වැලැක්වීමට උත්සාහ කරමින් සිටිති. ශිෂ්‍යයන් ධනවාදයේ මෙම හෙංචයියන් ප‍්‍රතික්ෂේප කල යුතු ය.

සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් සඳහා වන අරගලයට නායකත්වය දියහැකි විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය දෙසට හැරෙන ලෙස සසජාතශි ශිෂ්‍යයන්ට ආයාචනා කරයි. පසුගිය මාස කිහිපය තුල අරගලවල පිවිසි විවිධ ක්ෂේත‍්‍රවල කම්කරුවන්ගේ අත්දැකීම වන්නේ ආන්ඩුවට ආයාචනා කිරීම මගින් ඔවුන්ට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගත නො හැකි බව යි. අවශ්‍ය ව ඇත්තේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා වන අරගලය යි.

මෙම විප්ලවවාදී ඉදිරි දර්ශනය සඳහා අරගල කරන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට එක්වන ලෙස අපි ශිෂ්‍යයන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු. සසජාතශි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන ව්‍යාපාරය යි. මෙම ක‍්‍රියාමාර්ගය සඳහා අරගල කරන සසජාතශි ශාඛාවන් ගොඩනගන ලෙස අපි ශිෂ්‍යයන්ට ආයාචනා කරමු.

Share this article: