මීතොටමුල්ල කසල කන්ද අවට ජීවත්වෙන සෙසු නිවැසියන්ද ඉවත් කිරීමේ සූදානමක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 මැයි 19

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් ඇති කෙරුනු ව්‍යසනයෙන් මාස 13 ක් ගතවී ඇති නමුදු නිවාස සුන් වී අවතැන් වූ සහ අනතුරුදායකයයි ඉවත්කල බහුතර ජනතාවකට ස්ථිර වාසස්ථාන මෙතෙක් ලැබී නොමැත. මේ අතර තවමත් කසල කන්ද අවට පදින්චිව සිටින ඇතැම් නිවැසියන්ට ද ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට, මැයි මස මුල් සතියේ නාගරික සංවර්ධන අධිකාරියෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ පොලීසියෙන් පැමිනි නිලධාරීන් විසින් වාචිකව දැනුම් දී ඇත. මීට එරෙහිව මහජන විරෝධය වැඩෙමින් පවතී.

නිවැසියන්ගේ අවධානයට යොමුව අති තවත් ප්‍රශ්නයක් වන්නේ පලාතේ ලමුන්ගේ අධ්‍යාපනයට වින කටිමින් වසා දමා අති රාහුල විද්‍යාලය හමුදා කඳවුරක් කිරීමට සූදානම් වන බවයි.

එක් නිවැසියෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ කියා සිටියේය: “මේ ප්‍රදේශයෙන් අපිව ඉවත් කිරීමට කිහිප විටක් උත්සාහ කලත් ක්‍රියාත්මක කරන්න බැරිවුනා. ආන්ඩුවේ එල්ලය වන්නේ මෙම ප්‍රදේශය ආයෝජකයන් සඳහා මුදා ගැනීමටයි. මේ පාර පදිංචියට සුදුසු ගෙයක් ලබා නොදී ඉවත් කලොත් පලාත ලේ ගංගාවක් වනු නිසැකයි.”

ප්‍රදේශවාසීන් කියා සිටියේ කන්ද නාය යෑමෙන් පසු පවා ජන ජීවිත නොතකා ආන්ඩුව ක්‍රියාත්මක වන බවය. කසල කන්දේ රැඳී තිබෙන විනාශකාරී මීතේන් වායුව ඉවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති අතර කසල කන්ද තවදුරටත් එලෙසම පවත්වාගෙන යයි.

පසු ගිය අප්‍රේල් මාසයේදී දහම්පුර පලාතේ යලි දෙදරීම් සිදුවන බව වාර්තාවුන අතර ඒ පිලිබඳව කිසිදු විද්‍යාත්මක පරීක්ෂනයක් පවත්වා නැත. මහජනයා පවසන්නේ ආන්ඩුව තවත් විනාශයක් සිදුවන තුරු නිහඬව සිටින බවයි.

2017 ජූනි මාසයේ නිකුත් කල කොලඹ නගර සංවර්ධන ව්‍යාපෘති වාර්තාවට අනුව මීතොටමුල්ලේ අක්කර 15 භූමි භාගයක උද්‍යානයක් ගොඩනැගීමට ද තවත් අක්කර 2 ක් ව්‍යාපාරික කටයුතු සඳහා වෙන් කිරීමට ද යෝජනා කෙරී ඇත. ආන්ඩුව සූදානම් වන්නේ ආයෝජකයන් සඳහා කොලඹ හා ඒ අවට ප්‍රදේශ ලබා දෙමින් දුගීන් පලාතෙන් ඉවත් කිරීමටයි.

මහජනයා ඒ පිලිබඳ අවධානය යොමු කරමින් ලෝසවෙඅ ට කරුනු දැක්වීය.

පලාතේ සුලු ව්‍යාපාරිකයකු වන මොහිදීන්: “මේ ලඟදී මන්ත්‍රී කෙනෙක් පැවසුවා ඉදිරි හය මාසයක් පමන ගතවන විට සියලුම නිවැසියන් මේ ප්‍රදේශයෙන් ඉවත් කරනවා කියා. රාහුල විද්‍යාලය හමුදා කඳවුරක් බවට පත්කරනවා කියලා ආරංචියි. බෝපගේලාගේ සංවිධානය (පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායකත්වය දෙන මීතොටමුල්ල කුනු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය) දැන් මුකුත් කරන්නේ නැහැ.

කාට ආන්ඩුව ගියත් වැඩක් නැහැ. සෑම ආන්ඩුවකම දේශාපාලනඥයින් කරන්නේ තමන්ගේ පරම්පරාවටම සෑහෙන්න මුදල් හම්බ කරගන්න එකයි. අපේ ප්‍රශ්න විසඳන්න ඔවුන්ට සැබෑ උවමනාවක් නැහැ. ජනතා විමුක්ති පෙරමුනත් අපේ ප්‍රශ්න විසඳන්න පුලුවන් ක්‍රමවත් වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්නේ නැහැ.”

මහජනතාවගේ නිවාස ප්‍රශ්නය ඇතුලු අනෙකුත් දැවෙන ප්‍රශ්න ලාභය මත පදනම් වූ ධනපති ක්‍රමය තුල කවර ලෙසකින් හෝ විසඳිය නොහැකි බැවින් ඒ සඳහා ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදිය යුතු බවට සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන වැඩපිලිවෙලට ඔහු එකඟතාවය පල කලේය.

අවදානම් කලාපයක් ලෙස නම්කර ජනයා ඉවත් කෙරුනු දහම්පුර ප්‍රදේශයේ මෙතෙකුදු රැඳී සිටින පවුලක කම්කරු කාන්තාවක් වන කෞෂල්‍යා මෙසේ පැවසුවාය: “මැයි මාසයේ 3,4,5 දිනයන්හි නිවාස අධිකාරියෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ පොලීසියෙන් ඇවිල්ල අපේ ගෙය ඇතුලු ගෙවල් 8 ක් ඉදිරි අවුරුදු 02 කට පෙර කඩා ඉවත් කරන බව කියලා ගියා. මේ ගෙවල් පේලියේ තවත් ගෙවල් 14ක් පමන තිබෙනවා. ඒවාත් කඩා දමාවි. ගෙවල් කැඩුවාට අපට වන්දි මුදල් ලැබේවි කියා ස්ථිර විශ්වාසයක් නැහැ. මීට පෙර කඩා දැමූ ගෙවල්වල සිටි අයට සිදු වූ දේ අපි දන්නවා. ඉඩමට වන්දි පස්සේ දෙන්නම්, නිවසට වන්දි පස්සේ දෙන්නම් කියා රැවැට්ටුවා.”

“කසල කන්ද නාය යෑමට පෙර සිටම නොකඩවා මේ දක්වාම අප මුහුන දෙන ප්‍රශ්න පිලිබඳව සොයා බැලීමට එන්නේ ඔයගොල්ලෝ විතරයි. සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන, වැඩපිලිවෙල ගැන අපි මීට වඩා උනන්දු වී කටයුතු කල යුතු යැයි හිතනවා.”

පලාතේ තවත් ගෘහනියක්: “ආන්ඩුව කියපු විදියට අපේ ඉඩම් සහ නිවාස තක්සේරු කර තවම මුදල් දුන්නේ නැහැ. ගංවතුර ආධාර බොහෝ දෙනෙකුට ලැබිලා නැහැ. කසල පටවාගත් බර වාහන ගමන් කිරීම නිසා, අපේ නිවසේ බිත්ති සහ බිම් පුපුරලා ගිහිල්ලා.”

“රාහුල විද්‍යාලය දැන් වසා දමලා. අපේ ලමයින්ට ඉගෙන ගන්න පහසුකමක් නෑ. එම විද්‍යාලයේ වටිනා කොටස් වෙනත් අය ගලවාගෙන ගිහිල්ලා. මේ ප්‍රදේශයේ කානු ගොඩවෙලා. ඒ නිසා සුලු වැස්සකට පවා යටවෙනවා.”

පසුගිය දා වැඩිකල ඉන්ධන මිල ගැන සඳහන් කරමින් ඇය මෙසේ ද පැවසුවාය: “දැන් තවත් වටයක් සියලු බඩුවල මිල වැඩිවේවි. අපේ දරුවන්ගේ අනාගතය අඳුරුයි. මොන ආන්ඩුව ආවත් සිදුවන්නේ, තිබුනාට වඩා වැඩියෙන් අපේ ජීවිත ගෙනයාමට බැරි දුෂ්කර තත්වයකට ඇද වැටීමයි. පීඩාවට පත් වී සිටින අපි සියලු දෙනා ඒකරාශී වී සමාජවාදී සමානතා පක්ෂයේ අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලොත්, මේවාට විසඳුම් ලබාගත හැකිය කියා හිතෙනවා.”

ව්‍යසනය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කසල කන්ද අසල නිවාස තනාගත් මිනිසුන් බවට පාලකයන් කරන චෝදනා සම්බන්ධයෙන් විරුද්ධත්වය පලකරමින් ඔහු මෙසේ පැවසුවේය: “අපට අවදානම නැති තැනක ඉඩම් ගන්න වත්පොහොසත්කම නැති නිසානෙ මෙතන ගෙවල් හැදුවෙ. එයාලට මුලදි ම තිබ්බනේ අපිට අවදානම නැති තැන් වලින් ගෙවල් ලබා දෙන්න.”

ඉවත්වන පවුල් වලට ලබා දෙන්නේ ලක්ෂ පහලොව බැගින් වූ සොච්චමක් බවත් එය නිවසක් මිලදී ගැනීමට කිසිසේත්ම ප්‍රමානවත් නොවන බවත් ඔහු පැවසීය. “එයාලා බලාගෙන ඉන්නේ ලක්ෂ පහලොව දීලා අහිංසක මිනිස්සු මෝඩයා කරලා අයින් කරන්න. අපි අයින් වෙන්නේ නැහැ.”

ආන්ඩුව ඇතැමෙකුට ලබාදී ඇති මහල් නිවාසයන්හි තත්වය ද ඔහු පෙන්වා දුන්නේය. “මගේ අම්මා ඉන්නේ ඔය දීපු මහල් නිවාසයක. ඔප්පුවක් නෑ, තමන්ට කියලා අයිතිවාසිකමක් තවම නැහැ. සම්පූර්න ප්‍රෝඩාවක් තමයි මේ හැම ආන්ඩුවකින් ම කරන්නේ. එයාලා කියන්නේ පැල්පත් අයින් කරලා දුගීබව නැති කරනවා කියලා. ඒත් මේ පැල්පත් හොඳයි. එතන ඊට වඩා දුගීබවක් තියෙන්නේ.”

එම මහල් නිවාසයන් හි නිසි ප්‍රමිතියක් නැති බවත් ඒවායේ පදිංචියට බහුතරයක් අකමැති බවත් ඔහු පැවසීය.

උතුරේ යුද්ධය නිසා අවුරුදු 23 කට පෙර යාපනයේ සිට කොලඹ පදිංචියට පැමිනි කාන්තාවක් පැවසූවේ යාපනයේ තමන්ටම නිවසක් තිබූ නමුත් මෙතෙක් කොලඹ ජීවත් වන්නේ කුලී නිවාස වල බවයි. ඇය මෙසේ පැවසුවාය. “කුනු කන්දට එරෙහි උද්ඝෝෂන වලට අපිත් සම්බන්ධ වුනා. ආන්ඩුව පොලීසි යොදා අපිව එලවා දැමුවා. කන්ද නාය ගියේ ආන්ඩුව කුනු දැමීම නතර නොකල නිසයි.”

තවත් ගෘහනියක් තම විරෝධය මෙසේ ඉදිරිපත් කලාය:

“අද ජීවත් වෙන්නත් බැරි කාලයක්. මිනිස්සු කොහොමද ඉන්න හිටින්න තැනක් අරගන්නේ? කොයි රජය ආවත් එන්න එන්න බඩු මිල ඉහල යනවා. පේනවද විශ්ව විද්‍යාලයේ ලමයින්ට ගහනවා කඳුලු ගෑස් දාලා. උපාධි අරගෙනත් අන්තිමට ලමයින්ට පාරේ සටන් කර කර තමයි ඉන්න වෙන්නේ.”

“ජනතාව අයින් කරලා මෙතන උද්‍යානයක් හදනවා කියන එක නම් මහින්ද රාජපක්ෂ කාලේ ඉඳලම කිව්වා. ඒක දැන් ක්‍රියාත්මක කරනවා. මහින්ද රාජපක්ෂ කාලේ අපේ ගෙවල්වලත් අංක ගහලා ගියේ මේවා අනවසර ඉදිකිරීම් කියලා. මම අහන්නේ මේවා අනවසර වෙන්නේ අද ඊයේ ඉඳලද කියලා. එතකොට අපි දෙන ඡන්දයත් අනවසරද කියලා තමයි අහන්න තියෙන්නේ.”

Share this article: