ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ව්‍යායාමය වෙනුවෙන්!

For international action to defend Julian Assange!

2018 අප්‍රේල් 28

විකිලීක්ස් කතෘ ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමට ලෝකය පුරා හදිසි ව්‍යායාමයක් දියත් කරන මෙන්, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය ද ඉල්ලා සිටි. එක්සත් ජනපද ආන්ඩුව ද එහි සගයන් ද විසින් සිදු කරනලද රුදුරු මර්දනයට එරෙහිව අවුරුදු අටකට ආසන්න කාලයක් සටනේ යෙදුනු මේ ඕස්ට්‍රේලියානු ජන්මයක් සහිත පුවත් පත් කලා වේදියා, ඔවුන්ගේ ග්‍රහනයට හසු වීමේ ඉමහත් අනතුරට දැන් මුහුන දී සිටි.

ඇමරිකානු පාලක පන්තිය ද එහි ජාත්‍යන්තර සගයන් ද විකිලීක්ස් සහ එහි කර්තෘ ට සතුරු වන්නේ, ඔහු ඔවුන්ගේ යුද අපරාධ, ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රන දූෂනය පිලිබඳව එලිදරව් කරන කාන්දුවූ රහස් තොරතුරු ලෝකයා ඉදිරියේ ප්‍රසිද්ධියට පත්කල හෙයිනි.

අසාන්ජ් “ඔත්තුබැලීම” පිලිබඳ ව බොරු චෝදනා මත, අධිකරන ක්‍රියාවලියක් හමුවට පමුනුවා, වංචනික ලෙස වැරදිකරු කිරීම මගින් ඔහු නිහඬ කිරීමටත්, සියලු සප්‍රතිපත්තික මාධ්‍යවේදීන් සහ තොරතුරු හෙලිකරන්නන් බියගැන්වීමටත්, එක්සත් ජනපද ආන්ඩුව අදිටන් කරගෙන සිටී. සත්‍යය හෙලිකිරීම නිසා දැන් අසාන්ජ්, දිර්ඝකාලීන සිරදඬුවමකට හෝ මරන දඬුවමකට පවා මුහුන දී සිටින්නේ ය.

2010දි බ්‍රිතාන්‍යයේ සිටිමින් ඔහු, ඇමරිකා එක්සත් ජනපදයේ සාපරාධී කටයුතු එලිදරව් කලේ ය. ඉන් ක්ෂනික ඉක්බිත්තේ, ස්වීඩන් ජාතික නඩු පවරන නිලධාරියෙක් ඔහු ලිංගික අපරාධ කරන්නට ඇතැයි ඔහුට විරුද්ධව තුච්ඡ වෝදනා ගෙතී ය. මේ චෝදනා වනාහි, අසාන්ජ්ගේ කටවසා, විකිලීක්ස් කෙරේ වන සැලකියයුතු ජාත්‍යන්තර සහයෝගය බිඳලීමට දියත් කල කුමන්ත්‍රනයක කොටසකි. ඔහු බලහත්කාරයෙන් ස්වීඩනයට පිටුවහල් කර එතැනින් එක්සත් ජනපදයට භාර දීමට ක්‍රියාත්මක කල සැලස්මකට විරුද්ධව සටන් කිරීමට අසාන්ජ්ට සිදු වුනි. 2012 ජුනි මාසයේ දී, පිටුවහල් කිරීමේ තීන්දුවට එරෙහි ඔහුගේ අන්තිම නීතිමය අභියාචනය ප්‍රතික්ෂේප කරන, දේශපාලනිකව මෙහෙය වුනු තීන්දුවක් බ්‍රිතාන්‍ය උසාවියක් මගින් දෙන ලද කල්හි, ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යලය තුල දේශපාලන සරන සෙවීමට ඔහුට සිදු විය.

2016 දී ස්වීඩන අධිකාරීහු ලන්ඩනයේ දී අසාන්ජ්ගෙන් ප්‍රශ්න කිරීමට එකඟ වූ නමුත්, ගිය අවුරුද්දේ දී තමන් කරන බව කියූ පරීක්ෂනය අතහැර දැමුවේ එකදු චෝදනාවක් හෝ ඉදිරිපත් නොකර ය. කෙසේ වෙතත් අසාන්ජ් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරන සොයන අතරතුරේ බ්‍රිතාන්‍ය ආන්ඩුව වොෂින්ටනය සමග සහයෝගයෙන්, ඇප ඉල්ලීම මඟහැරීම පිලිබඳව ඔහුට නඩු පවරා සිරගත කිරීමේ සිය අධ්‍යාසය අතහැර දැමීම ප්‍රතික්ෂේප කර ඇත.

තත්වය දැන්, තීරනාත්මක සන්ධිස්ථානයක් කරා එලඹ තිබේ. 2012දී අසාන්ජ් ට දේශපාලන සරන සැලසීමට නිර්භීතව ඉදිරිපත්වූ ඉක්වදෝර් ආන්ඩුව, එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය යොදන උග්‍ර පීඩනයට දනගසා ඇත. සති 9කට පෙර මාර්තු 28දා එරට ආන්ඩුව, අසාන්ජ්ගේ සියලු සන්නිවේදන කපා දමා අමුත්තන් හමුවීම වලක්වාලී ය.

ඉක්වදෝර් ආන්ඩුව, “ස්වේච්ඡාවෙන්” සිය තානාපති කාර්යාලයෙන් පිටව යන ලෙස අසාන්ජ්ට දැඩි සේ බලකරමින් සිටි. ඔහු මුලුමනින්ම පාහේ හුදෙකලා කිරීමට පෙරාතුවවම අසාන්ජ්ගේ සෞඛ්‍ය තත්වය බරපතල අන්දමින් පිරිහී තිබුනි. හිරු එලිය නොලැබ ඉතා කුඩා ඉඩක් තුලට සීමාකොට සැබවින්ම සිරගත කර තැබීමෙන් , අවුරුදු 6ක්ම ඔහු පීඩාවට පත්ව සිටියේය. අසාන්ජ් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කලහොත්, දැනට ඔහු වෙත ප්‍රදානය කර ඇති සරන අහෝසි කොට, ඇප ඉල්ලීම මඟහැර සිටියේය යන බොරු චෝදනා උඩ බ්‍රිතාන්‍ය රහස් පොලිසියට බාර දීමට රහසිගත සාකච්ඡාවල නිරතව සිටින බව ඉක්වදෝර් නිලධාරීන්ගේ ප්‍රකාශ වලින් පෙනී යයි.

අසාන්ජ් බලෙන් පිටමං කිරීමේ වරෙන්තු ද අතැතිව ඇමරිකානු සීඅයිඒ සහ වෙනත් පොලිස්-ඔත්තු සේවා ඒජන්තයෝ ඔහු වටා කරක් ගසමින් සිටිති. තොරතුරු හෙලිකරන්නන්ගේ කට වසා, සිය අපරාධ ලෝකයෙන් වසන්කර තැබීමට ඇමරිකානු පාලක පන්තියේ අධිෂ්ඨානය සලකුනු කරමින්, අසාන්ජ් අත්අඩංගුවට ගැනීම ප්‍රමුඛ කටයුත්තක් යයි ප්‍රකාශ කර තිබේ. සීඅයිඒ සංවිධානය, විකිලීක්ස් වනාහි “රාජ්‍ය නොවන සතුරු බුද්ධි ඒජන්සියක්” යයි හංවඩු ගසා ඇත.

ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමට ලෝකය පුරා පෙලපාලි, විරෝධතා, ප්‍රකාශ සහ වෙනත් ප්‍රසිද්ධ ක්‍රියා සංවිධානය කලයුතු වේ, අසාන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලයට ඇතුලුව වසර 6ක් ගතවූ දිනය සලකුනු කරමින්, ජුනි 19 දා විකිලීක්ස් ආධාරකරුවන් සංවිධාන කර තිබෙන විරෝධතාවන් ට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද සහාය පල කරයි. වෙනත් නගරවල ද එවන් ක්‍රියා සංවිධානය වෙමින් තිබේ.

අදහස් දැක්වීමට ද ආගන්තුකයින් හමුවීමට ද අසාන්ජ්ට ඇති අයිතිය ඉක්වදෝර ආන්ඩුව විසින් යලි ලබාදිය යුතුය. ඔහුට දේශපාලන රැකවරනය සැපයූ එම ආන්ඩුවට, ඔහු ඔහුට විරුද්ධව නඬු පවරන්නවුන් වෙත බාරදීමේ අයිතියක් ඇත්තේ නැත. ඇපය උල්ලංඝනය කිරීම ගැන අසාන්ජ්ට එරෙහිව බ්‍රිතාන්‍ය ආන්ඩුව එල්ලකර ඇති චෝදනාවන් ඇත හැර දැමිය යුතු වේ. මන්දයත් ඔහු ගත් ඒ පියවර, තමා එක්සත් ජනපදයට බලෙන් යවනු ඇති ය යන සාධාරන උත්සුකය හේතුකොටගෙන ගන්නාලද අවශ්‍ය පියවරක් වූ හෙයිනි. ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් හා බ්‍රිතාන්‍යයෙන් පිටවී යාමට ඔහුට ඉඩ දිය යුතු වේ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඕස්ට්‍රේලියානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය, ජුනි 17 වන ඉරිදා පස්වරු 1.00 ට සිඩ්නි නුවර මධ්‍යම නාගරික චතුරශ්‍රයේ පෙලපාලියක් කැඳවා ඇත. සුප්‍රසිද්ධ ප්‍රවෘත්ති වේදි ජෝන් පිල්ජර් සහ තවත් විකිලීක්ස් හි සප්‍රතිපත්තික ආධාරකරුවන් විසින් සහයෝගය දක්වා තිබෙන මේ පෙලපාලිය, අසාන්ජ් ගේ නිදහස ලබා ගැනීමට වහා ක්‍රියා කරන ලෙස ද ඕස්ට්‍රේලියාවට යලි පැමිනීම සඳහා ඔහුට ඇති නිදහස සුරක්ෂිත කරන ලෙස ද ආන්ඩුවට බලකරනු ඇත. ඔහු එක්සත් ජනපදයට පිටමං කර ගැනීමට දරනු ලබන කූමන හෝ ප්‍රයත්නයකට එරෙහිව ඔහුගේ ආරක්ෂාව සලසන ලෙස ද එය අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ ආන්ඩුවට, බලකරනු ඇත.

බලයට පත් ඕස්ට්‍රේලියානු ආන්ඩු ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු ලෙස ජුලියන් අසාන්ජ් ආරක්ෂා කල යුතු වුවත් ඒ හැම එකක්ම එය අති මහත් පිලිකුලකින් යුතුව නොතකා හරිනු ලැබ තිබේ. ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙකු වූ ජුලියන් අසාන්ජ්, ඇමරිකානු යුද අපරාධ සහ මානව අයිතීන් උල්ලංඝනය කිරීම එලිදරව් කිරීම නිසා එරට ආන්ඩුව ඔහුට එල්ල කරන ලද මර්දනයෙන් ඔහු ආරක්ෂා කිරීම කැන්බරා හි ඕස්ට්‍රේලියානු ආන්ඩු වල යුතු කමව පැවතුනි.

එහෙත් අගමැති ජුලියා ගිලාර්ඩ්ගේ ලේබර් ආන්ඩුවේ පටන් සියලුම ආන්ඩු, ජුලියන් අසාන්ජ් වෘකයන්ට අතහැර දමා තිබේ.

ඔබමා පාලනාධිකාරය විසින් විකිලීක්ස් දඩයම් කොට මර්දනය කිරීම ට ගිලාර්ඩ් එලිපිටම සහයෝගය දුනි. විකිලීක්ස් විසින් එක්සත් ජනපද යුද අපරාධ පිලිබඳ කාන්දුවූ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම “නීති විරෝධීයයි” ලේබර් ආන්ඩුව විසින් හෙලා දකින ලදී. එපමනක් නොව, එක්සත් ජනපදය විසින් අසාන්ජ්ට එරෙහිව කෙරෙන ඕනෑම අපරාධ චෝදනා විමර්ෂනයකට උදව් කරන බව ද එය ප්‍රකාශ කලේය.

සිය පාර්ශවයෙන් එවකට විපක්ෂයේ සිටි හවුල, ලේබර් ආන්ඩුව විකිලීක්ස් කතුවරයාට එරෙහිව එල්ල කල නිර්දය මර්දනය පිලිබඳ නාමික විවේචනයක් කල නමුත් එය බලයට පත් වහාම කලින් ආන්ඩුව විකිලීක්ස් ට එරෙහිව එක්සත් ජනපදය සමග ගෙනගිය සහයෝගය තවදුරටත් පවත්වාගෙන ගියේ ය.

මීට හේතුව සරල ය. ඕස්ට්‍රේලියානු පාලක සංස්ථාපිතය සහ එහි අති -ධනවත් කොටස ද එහි දේශපාලන පක්ෂ ද, ඔස්ට්‍රේලියාව- එක්සත් ජනපදය අතර යුද සන්ධානය, ප්‍රජාතන්ත්‍ර අයිතීන් ට හෝ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගේ ජීවිත වලට වඩා මහත් වැදගත් කමක් දරන බව සලකති. එතකුදු නොව ඕස්ට්‍රේලියානු ආන්ඩුව, ඉරාකය, ඇෆ්ඝනිස්ථානය, සහ වෙනත් සෑම තැනකම එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් සිදු කරන ලද සෑම යුද අපරාධයකට ම සහයෝගය දී තිබෙන අතර විකිලීක්ස් වැනි මාධ්‍ය සංවිධාන පාගා දැමීමට දැන් නොඅඩුව උනන්දු වෙයි.

කතාවේ නිදහස, ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා නිදහස ආරක්ෂා කරන්නාවූ කම්කරු පන්තිය ද ශිෂ්‍යයින් ද අන් සෑම සංවිධානයකට ම ද තව දුරටත් මෙම තත්වය ඉවසා සිටිය නොහැකිය. අසාන්ජ්ට හා විකිලීක්ස් ට එරෙහි ප්‍රහාරය වනාහි, පාලක පන්තියට ද සමාජ අසමානත්වයේ හා යුද්ධයේ ඔවුන්ගේ පිලිවෙත් වලට ද එරෙහි විරුද්ධත්වය මර්දනය කිරීම අරමුනු කරගත් වඩා පෘථුල ව්‍යායාමයක සුවිශේෂයෙන් තියුනු ප්‍රකාශනය වනවා පමනි.

ජුනි 17දා සිඞ්නි නුවර පැවැත්වීමට නියමිත පෙලපාලිය ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ මහජන දේශපාලන ව්‍යායාමයක ආරම්භක ලක්ෂ්‍යය කරගත යුතු වේ.

කැන්බරා පාලනය මැදිහත්වීමට තරම් බල රහිතය යන කුමන කියමනක් වුව බොරුව කි. අසාන්ජ්ට වහාම ඔස්ට්‍රේලියානු රාජ්‍යතාන්ත්‍රික තත්වයක් හා ගමන් බලපත්‍රයක් ලබාදී, ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාල වාහනයකින් ඉක්වදෝර් තානාපති කාර්යාලයේ සිට, රාජ්‍යතාන්ත්‍රික නිර්බාධිත අයිතිය යටතේ බ්‍රිතාන්‍ය ආගමන පාලනය ඉක්මවා ඔස්ට්‍රේලියාවට ගමන් කරන ගුවන් යානයකට ඔහු ඇතුලු කල හැකි ය.

ජුලි 17 දා පෙලපාලිය පිලිබඳ තොරතුරු හැකිතාක් පුලුල් ලෙස ප්‍රචාරය කරනමෙන් අපි වීකිලික්ස් සහ ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් ආරක්ෂා කරන සෑම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු. මෙම පෙලපාලිය අනුමත කරන්නා වූ ද, ඊට සහභාගී වීමට අපේක්ෂා කරන්නා වූ ද සංවිධාන සසප [ඕස්ට්‍රේලියා] sep@sep.org.au වලට දැනුම්දෙන මෙන් ඉල්ලා සිටිමු. හෙටින් පටන්ගෙන මෙම අනුමතිය පලකිරීමේ වාර්තා ලොසවෙඅ පලකෙරෙනු ඇත.

ජුලියන් අසාන්ජ් නිදහස් කරනු !

ඔහු ට ඕස්ට්‍රේලියාවට ආපසු පැමිනීමේ අයිතිය ඉල්ලා සිටිනු!

හජාජාක සහ ලොසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ය.

Share this article: