ශ්‍රී ලංකාවේ ජනාධිපති මිලිටරියට ප්‍රසංශා පුද යි

Sri Lankan president showers praises on the military

කේ. රත්නායක විසිනි, 2018 මැයි 26

2009 දී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කිරීම සැමරීමට පැවති උත්සවයක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මිලිටරිය වර්නනා කිරීමට හා සිංහල වර්ගවාදයට කරන ලද ආයාචනා වෙනුවෙන් සිය කථාව කැප කරන ලදී.

සන්නද්ධ හමුදාවල ආඥාපති ද වන සිරිසේන, 26 අවුරුදු ලේවැකි වර්ගවාදී යුද්ධය අවසන් වීමෙන් නව වසරකට පසුව ඊනියා ජාතික රනවිරු දින උත්සවයේ මූලාසනය දැරී ය.

සිරිසේන විසින් දීන ලෙස මිලිටරිය වර්නනා කිරීම, ඒ මත ඔහුගේ රඳා පැවැත්ම පිලිබඳ මිනුමකි. අගමැති රනිල් වික්‍රමසිංහ සමගින් දේශපාලනික ව හෙලෙත්තාඩු ආන්ඩුවකට නායකත්වය දෙන ඔහු, කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන සමාජ විරුද්ධත්වයට මුහුන දෙමින් සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන එදිරිවාදී කන්ඩායම ද සභාග ආන්ඩුවට අභියෝග කරයි.

යුද, නාවික හා ගුවන් හමුදාපතිවරුන් ඉදිරියේ සිටගෙන සිරිසේන මෙසේ ප්‍රකාශ කලේ ය: “ශ්‍රේෂ්ඨ රනවිරුවන් නිසා අද අපි නිදහස බුක්ති විඳිමු. ම්ලේච්ඡ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් රටේ ඒකීයභාවය, භෞමික අඛන්ඩතාව, ප්‍රජාතන්ත්‍රවාදය හා මවුබිමේ නිදහස ආරක්ෂා කිරීමට නිර්භීත රනවිරුවෝ ඔවුන්ගේ ජීවිත කැප කලා.”

සිරිසේනගේ පුරසාරම ප්‍රතිරාව නංවන්නේ, සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දමමින් හා තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදුකරමින් මිලිටරිය විසින් 2009 මැයි මාසයේ යුද්ධය අවසන් කල විට රාජපක්ෂ දෙඩූ පුරසාරම්ම ය.

යුද්ධයේ අවසානය “නිදහස, සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය” ගෙනආවා යයි කීම පචයකි. උතුරු නැගෙනහිර දෙමල ජනයා තවමත් ජීවත් වන්නේ මිලිටරි ග්‍රහනයේ හා බුද්ධි අංශවල නිරන්තර සෝදිසිය මධ්‍යයේ ය. සමස්ත වැඩකරන ජනයාගේ ජීවන හා සමාජ තත්ත්වයන් විනාශ කිරීම දිගටම සිදු වේ.

යුද සමයේ ද ඉන් පසුව ද රාජපක්ෂ ගෙනගිය අත්තනෝමතික පාලනය කෙරෙහි වූ මහජන විරෝධය නිසා ඔහු 2015 දී පරාජයට පත් විය. ගැටුම අවසන් වූ විට “දැන් අපි ආර්ථික යුද්ධය දියත් කල යුතුයි” යනුවෙන් ප්‍රකාශ කල ඔහු, යෝධ මිලිටරි පිරිවැයෙහි හා 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් නිර්මිත ආර්ථික අර්බුදයෙහි බර ජනතාව මත පැටවීම ඇරඹී ය.

දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), ජනතා විමුක්ති පෙරමුන, ව්‍යාජ-වාම කන්ඩායම් රොත්තක් හා රාජ්‍ය නො වන සංවිධාන වල සහයෝගය ඇතිව, වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය දෙන ලද දක්ෂිනාංශික “යහපාලන” ව්‍යාපාරයක පිටුබලය සහිතව සිරිසේන, රාජපක්ෂ තන්ත්‍රය කෙරෙහි පැවති මහජන විරෝධය ගසාකෑවේ ය.

බලයට පත්වී මාස කිහිපයක් ගත වූ තැන, මුදල් හිඟයෙන් පෙලුනු සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, යුද්ධයෙන් බැටකෑ අයගේ ප්‍රශ්න විසඳීම සහ සමාජ හා ජීවන කොන්දේසි වර්ධනය කිරීම පිලිබඳ පොරොන්දු කුනු කූඩයට දැම්මේ ය. ඒ වෙනුවට ඔවුන් කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කරන ලද කප්පාදු පියවර ක්‍රියාවට නැඟීම යි. ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ කයිවාරු පසෙකට දැමූ ඔවුහු කම්කරුවන්, ගම්බද දුගීන් හා ශිෂ්‍යයන්ගේ අරගල පොලීසිය හා මිලිටරිය ද දරුනු අත්‍යවශ්‍ය සේවා නියෝග ද යොදාගෙන මර්දනය කලහ.

යුද්ධය ඇවිලවීම සඳහා බලයට පත් ආන්ඩුවල භූමිකාව වසං කිරීමට මං සොයමින් ඊට වගකිව යුත්තේ “එල්ටීටීඊ ත්‍රස්තවාදීන්” බවට සිරිසේන කල ප්‍රකාශය තවත් පචයකි.

1983 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ආන්ඩුව යුද්ධය ආරම්භ කලේ, වෙලඳපොල ගැති ආර්ථික පිලිවෙත් ක්‍රියාවට දැමීම පිනිස ජීවන කොන්දේසි වලට ප්‍රධාන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙමිනි. මිලිටරි ගැටුම වනාහි, 1948 දී බ්‍රිතාන්‍ය විජිත පාලනයෙන් නාමික නිදහස ලද තැන් පටන් දෙමල සුලුතරයට එරෙහි ව දශක ගනනාවක් තිස්සේ කල ක්‍රමානුකූල වෙනස්කම්වල කුලුගැන්වීමය.

දෙමල-විරෝධී වෙනස්කම් කිරීම යොදාගනු ලැබුවේ, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා ධනපති පාලනය රැකගැනීමට ය. ධනපති පන්තිය ආර්ථික හා දේශපාලන අර්බුදයන්ට මුහුන දුන් සෑම අවස්ථාවක ම, ආන්ඩු විසින් වාර්ගික ප්‍රකෝපකරන ද උත්සන්න කලේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධනපති ආන්ඩුවට ඇතුලු වෙමින් ලංකා සම සමාජ පක්ෂය (ලසසප) 1964 දී කල පාවාදීම, වාර්ගික ප්‍රහාරයන් සිදුකිරීම සඳහා පාලක පන්තියේ අත් නිදහස් කලේය. සමාජවාදී ප්‍රතිපත්ති අත්හැර දැමූ ලසසප, සිංහල වර්ගවාදයට අනුගත විය.

ධනපති පන්තිය යුද්ධය පවත්වාගෙන ගියේ සිය පාලනය රැකගැනීමට යි. කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් වෙනුවට තම වරප්‍රසාද සඳහා වාර්ගික උද්ඝෝෂනයක් දියත් කරමින් දෙමල ප්‍රභූව එයට ප්‍රතිචාර දැක්වී ය. එල්ටීටීඊ බෙදුම්වාදය උත්සාහ දැරුවේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ද සහයෝගය ඇති ව දෙමල ප්‍රභූව සඳහා කුඩා රාජ්‍ය කැබැල්ලක් වෙන්කර ගැනීමට ය. සිංහල ජනතාවට ප්‍රහාර එල්ල කල එල්ටීටීඊය දෙමල හා සිංහල කම්කරුවන් බෙදීම ට තමන්ගේ පැත්තෙන් මැදිහත් විය.

සිරිසේනගේ කතාවෙන් වැඩි කොටසක් කැපකෙරුනේ, මිලිටරිය යුද අපරාධ නො කල බව අවධාරනය කිරීමට යි. “සමහර මාධ්‍යයන් හා අන්තවාදීන් පෙන්නුම් කරන පරිදි,” තමා බලයේ සිටිය දී සම්මත කල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) වාර්තාවක, මිලිටරිය විසින් සිදුකල යුද අපරාධ ගැන සඳහන් කර නො තිබුනු බව ඔහු ප්‍රකාශ කලේ ය.

යථාර්ථය නම්, එක්සත් ජාතීන් තක්සේරු කරන පරිදි, එල්ටීටීඊයට එරෙහි ප්‍රහාරයේ අවසන් මාස කිහිපය තුල පමනක් අවම වසයෙන් 40,000ක් ජනයා ඝාතනය කරන ලද බව යි. පැරාමිලිටරි කන්ඩායම් ද සමගින් පැහැරගෙන යාම් හා අතුරුදන් කිරීම් ද ඇතුලු නොමිනියහැකි අපරාධයන් ගැන ද ආරක්ෂක හමුදාවන්ට චෝදනා එල්ල වී ඇත.

යුද්ධයට මුලුමනින් පිටුබලය දුන් වොෂින්ටනය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කෙරෙහි අන්ධව සිටියේ ය. එය ආරක්ෂක හමුදාවන් විවේචනය කිරීම ආරම්භ කලේ ගැටුමේ අවසන් මාස කිහිපය තුල පමනි. යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහි යූඑන්එච්ආර්සී යෝජනවකට එක්සත් ජනපදය අනුග්‍රහය දුන්නේ, ප්‍රජාතන්ත්‍ර අයිතීන් කෙරෙහි මොනම තැකීමක් හෝ ඇති නිසා නො ව, රාජපක්ෂ තන්ත්‍රයට චීනයෙන් ඈත්වන ලෙස පීඩනය යෙදීම පිනිස යි. එම උත්සාහය අසාර්ථක වූ විට, 2015 ජනවාරි ජනාධිපතිවරනය හරහා තන්ත්‍ර-මාරුවකට සහයෝගය දුන් වොෂින්ටනය, සිරිසේන බලයේ පිහිටුවීමට උදවු කලේ ය.

සිරිසේන රටේ විදෙස් පිලිවෙත එක්සත් ජනපදයට හා එහි කලාපීය සහචරයා වන ඉන්දියාවට වාසි වන පරිදි මාරු කලේ ය. එයට ප්‍රතිඋපකාර කරනු වස් ඇමරිකාව, සිරිසේනගේ ආන්ඩුවේ “ප්‍රජාතන්ත්‍රවාදී පාලනය දිරිමත් කිරීමට කරන ප්‍රතිපදානයන්” වර්නනා කල තවත් යූඑන්එච්ආර්සී යෝජනාවකට 2015 සැප්තැම්බරයේ දී සහාය දුන්නේ ය. දේශීය අධිකරන විමර්ශනයක් කරන්නේ ය යන කඩතුරාව මත, ආන්ඩුව, ටීඑන්ඒ හා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එක්ව ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ අන්තර්ජාතික විමර්ශනය කුනු කූඩයට දැමූ හ.

එවන් දේශීය විමර්ශනයක් පැවැත්වී නැත. ඒ වෙනුවට සිරිසේන හා වික්‍රමසිංහ, මිලිටරිය, බෞද්ධ නායකත්වය හා වර්ගවාදී කන්ඩායම් සැනසීම සඳහා, කිසිදු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු උසාවි හමුවට පැමිනවීමට ඉඩ නො තබන බවට දිවුරුම් දෙති.

සිවිල් මරන සංඛ්‍යාව ලේඛනගත කිරීමේ හැකියාව සිරිසේන විසින් ගනනට නො ගෙන හැරියත් සමස්ත මරන සංඛ්‍යාව 100,000ක් විය හැක. ආරක්ෂක හමුදා පවසන පරිදි, සොල්දාදුවන් 28,708ක් ඝාතනය වුනු බව හා 40,107ක් ආබාධිත වූ බව ඔහු නිවේදනය කලේ ය. මොවුන් “රනවිරුවන්” නො ව, බොහෝ කොට දුගී බව හා විරැකියාව හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවලින් ආ, ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ආරක්ෂක හමුදාවන්ට බැඳීමට බලකෙරුනු අය යි.

“ත්‍රස්තවාදීන් හා රනවිරුවන් හඳුනාගත නො හැකි අය” සිරිසේනගේ විවේචනයට ලක් විය. ඒ අතරට “ආන්ඩුවේ මෙන් ම විපක්ෂයේ දේශපාලනඥයින් සහ මෙරට හා විදේශවල රාජ්‍ය නො වන සංවිධාන” අයත් වේ.

ජනාධිපති එලෙස සඳහන් කලේ, උතුරේ ජනයාට ඔවුන්ගේ මිය ගිය අය සැමරීමට අයිතිය තිබෙන බවට මාධ්‍ය හමුවක දී මූන බේරා ගැනීමේ ප්‍රකාශයක් කල සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ගැන යි. යුද්ධයට විරුද්ධ නො වුනු සේනරාත්න උත්සාහ කලේ, වර්තමාන ආන්ඩුව යටතේ මහජනයා නිදහස භුක්ති විඳින බව කියාපෑමට යි.

විපක්ෂය, වර්ගවාදී කන්ඩායම් සහ මාධ්‍ය ජාල, ගැටුමේ දී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් හා සිවිල් වැසියන් සැමරීමට අයිතියක් නැතැයි අවධාරනය කරමින්, ඔවුන්ගේ ප්‍රචාරය උත්සන්න කිරීම සඳහා සේනාරත්නගේ ප්‍රකාශය වහා ම ඩැහැගත් හ. වර්ගවාදීන් සැනසීමටත් මිලිටරියට තමන්ගේ ඇති බැඳීම අවධාරනය කිරීමටත් සිරිසේන තමන්ගේ කතාව තුලින් මෙම උද්ඝෝෂනය සමග පෙලගැසුනි.

සිරිසේන මිලිටරිය අහස උසට වර්නනා කලද උතුරේ හා නැගෙනහිරේ “සමූල ඝාතනයන් සැමරීමට” අවසර දීම ගැන ආන්ඩුවට පහර දුන් රාජපක්ෂ හා ඔහුගේ සගයෝ, “රනවිරුවන්ට” ගෞරව දැක්වීමට මහා මිලිටරි සංදර්ශනයන් නැති කම ගැන ආන්ඩුව විවේචනය කල හ. සිංහල-බෞද්ධ අන්තවාදී කන්ඩායම් සංවිධානය කරන අතරතුරේ, මිලිටරියට ආයාචනා කරමින් යලි බලයට ඒමට රාජපක්ෂ කුරුමානම් අල්ලයි.

සිංහල වර්ගවාදයේ ගිලී සිටින පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක් ම මිලිටරියට හිස නම යි. වාර්ගික බෙදීම් කපාගෙන කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමට වෛෂයික කොන්දේසි වර්ධනය වෙද්දී, ඔවුන්ගේ කනස්සල්ල ගැඹුරු වෙමින් තිබේ. දේශපාලන අර්බුදයෙන් කොටුවී සිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, ආඥාදායක පාලනයක් කරා තල්ලු වන තතු තුල, මිලිටරිය තමන් පැත්තේ තබාගැනීමට උත්සාහයක යෙදී සිටියි.

සමාජවාදී සමානතා පක්ෂය පමනක්ම ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය මත පදනම් ව කම්කරුවන්ට හා පීඩිතයන්ට විකල්ප ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරයි. ධනපති පන්තියේ සෑම කන්ඩායමකින් ම ස්වාධීන ව සංවිධානය විය යුතු කම්කරු පන්තිය, පීඩිතයන් හා දුගීන් රැලි කරගෙන, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම්ව දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට සටන් වැදිය යුතු ය.

Share this article: