ශ‍්‍රී ලංකාව: ජමූඅ නියෝග පරිදි ආන්ඩුව අත්‍යවශ්‍ය භාන්ඩ මිල නංවයි

Sri Lankan government imposes IMF-dictated increases on essential items

සමන් ගුනදාස විසිනි, 2018 මැයි 17

පසුගිය සති තුන තිස්සේ ආන්ඩුව, වැඩකරන ජනතාවගේ හා ගම්බද පීඩිතයින්ගේ ජීවන කොන්දේසි තවදුරටත් කාබාසීනියා කරමින්, අත්‍යවශ්‍ය භාන්ඩ මිල දරුනු ලෙස ඉහල නංවා ඇත.

* පෙට‍්‍රල් හා ඩීසල් මිල පිලිවෙලින්, ලීටරය රුපියල් 137 හා 109 දක්වා සියයට 17න් හා 15න් ද භූමිතෙල් ලීටරයක් රුපියල් 101 දක්වා සියයට 130න් ද වැඩි කලේය.

* කිරිපිටි කිලෝවක් රුපියල් 50න් ඉහල නැංවීය.

* අර්තාපල් හා රතුලූනු කිලෝවක බද්ද රුපියල් 10න් හා රුපියල් 39කින් ඉහල නැඟුනි.

* පරිප්පු කිලෝවක බද්ද රුපියල් 3 සිට 12 දක්වා වැඩි විය.

* පසුගිය මාසයේදී ලීටර් 12 ගෑස් ටැංකියක මිල රුපියල් 1676 දක්වා සියයට 17න් නැංවීය.

මැයි 10දා ඉන්ධන මිල වැඩිකිරීම නිවේදනය කරමින් මුදල් ඇමති මංගල සමරවීර, මිල වැඩිකිරීම ජමූඅ නියම කල අවසාන දිනයට ගැලපෙන පරිදි සිදුවූවා යයි පැවසීම “අසාධාරන” බව පැවසීය. “අප එය කලේ රටේ ජනතාවට හා ආර්ථිකයට වාසි සැලසීම සඳහාය.”

මෙය අමූලික මුසාවාදයකි. අප්‍රේල් 20දා ජාමූඅ මෙරට දූත මන්ඩල ප‍්‍රධානී මානුවෙල් ගොරටි පැවසුවේ, එහි සිව්වැනි නය වාරිකය ලබාදීම “කැබිනට් මන්ඩලය ඉන්ධන මිල සූත‍්‍රය අනුමත කිරීම සමඟ බැඳී ඇති” බවයි.

මේ අනුව ඉන්ධන මිල සෑම දෙමසකට වරක්ම සංශෝධනය කෙරේ. ඒ, ලෝක බොරතෙල් මිලට හා රුපියලේ විනිමය අගයට අනුවය. ඉරානයට එරෙහි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රකෝපකරන හා මැද පෙරදිග පූර්න පරිමානයේ යුද්ධයක් ඇවිලවීමේ තර්ජනය හමුවේ, ජාත්‍යන්තර තෙල් මිල තවදුරටත් වැඩිවේ යයි අපේක්ෂිතය.

ධීවර ජනතාව භූමිතෙල් හා ඩීසල් විශාල ලෙස භාවිතා කරති. ගම්බද ජනතාව හා වතු කම්කරුවන් ආහාර පිසීමටත් ලාම්පු දැල්වීමටත් භූමිතෙල් යොදා ගනිති.

සමරවීර තවත් බොරුවක් කීවේය. එනම්, තෙල් මිල වැඩි නොකලොත් ආන්ඩුවට, සංවර්ධන කටයුතු, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්ට සැපයෙන අරමුදල් කපා හැරීමට සිදුවන බවයි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව දැනටමත්, සෞඛ්‍ය, අධ්‍යාපනය හා අනෙකුත් ක්ෂේත‍්‍රයන්ගේ සහන දරුනු ලෙස කපා හැර ඇත.

සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා දරන ආන්ඩුවේ වියදම, දල දේශීය නිෂ්පාදිතයෙන්, පිලිවෙලින් සියයට 1.5ක් හා 1.9ක් පමනි. මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාවට අනුව, ඒ වසරේ රජයේ පාසැල් 3148ක සිටියේ ගුරුවරුන් 10ට අඩුවෙනි. රජයේ රෝහල් වලින් ජනතාවට සැපයුනේ 1000ට ඇඳන් 3.6ක් පමනි.

අලුත්ම මිල වැඩිකිරීම් සිදුකර ඇත්තේ, දැනටමත් පිරිහෙමින් ඇති ජීවන තත්වයන් හා සමාජ කොන්දේසි හමුවේය. මහ බැංකු වාර්තාවට අනුව, පෞද්ගලික අංශයේ කම්කරුවෙකුගේ සාමාන්‍ය වැටුප අඛන්ඩව පිරිහෙමින් ඇත. එය ආර්ථිකයේ වැඩිම ශ‍්‍රම බලකායක් යොදවා ඇති අංශයයි. මූර්ත වැටුප් 2016දී සියයට 3.6න් හා 2017දී සියයට 5.9න් පහත වැටී ඇත. රාජ්‍ය අංශයේ කම්කරු වැටුප් 2015 වසරේ පටන් එකතැන පල්වෙයි.

රුපියල ද වේගයෙන් අවප‍්‍රමානය වෙමින් ඇත. පසුගිය වසරේදී එය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.5න් පිරිහුනි. වසරේ මේ දක්වා රුපියල සියයට 3.3න් පහත වැටී ඇත. පසුගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 3.1 දක්වා පහත වැටුනි. එය වසර 16ක්ට පසු අඩුම අගයයි.

ජාමූඅ ආන්ඩුවට උපදෙස් දී ඇත්තේ, රුපියලට මුක්කු ගැසීම සඳහා විදේශ මුදල් සංචිත උපයෝගී කර නොගන්නා ලෙසය. එසේම ඔවුන් කියා ඇත්තේ, 2020 වන විට අයවැය හිඟය දදේනින් සියයට 3.5 දක්වා අඩුකරන ලෙසය. මෙය කල හැක්කේ වැඩකරන ජනතාව හා පීඩිතයින්ගේ ඉතිරිව ඇති යම් සහනයක් වේ නම්, ඒවා ද කපා හැරීමෙන් පමනි.

මූල්‍ය අරමුදල නියෝග කර තිබෙන අනෙකුත් “ප‍්‍රතිසංස්කරන” අතර, ලංකා විදුලිබල මන්ඩලය, ජල සම්පාදන මන්ඬලය, රාජ්‍ය බැංකු, වරාය හා අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය වේ.

ආන්ඩුවේ නය ඉහල යාමට ප‍්‍රධාන වශයෙන් හේතුවී තිබෙන්නේ, එල්ටීඊයට එරෙහිව ගෙනගිය පාලක පන්තියේ යුද්ධයටත්, පහත වැටෙන අපනයන ආදායම හේතුකොටගෙන ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීමට, නය ගැනීමත් ය. මහ බැංකුව සඳහන් කරන්නේ, 2017 වන විට රටේ නය රුපියල් බිලියන 10313ක් වන බවයි. මින් බිලියන 4718ක් (ඇ ඩො. බිලියන 51.8ක්) විදේශ නයයි. එක් තක්සේරුවකට අනුව, ආන්ඩුවට මේ වසරේ සිට 2022 වන විට නය ගෙවීම පිනිස ඩො. බිලියන 17.8ක් අවශ්‍ය වේ.

යුරෝපීය සංගමය විසින් ලබා දුන් තීරු බදු සහනය වන ජීඑස්පී+ හා අනෙකුත් සහන නිසා අපනයන වර්ධනය වීමක් තිබෙන බව කියා ඇතත්, 2016දී ඩො. බිලියන 8.9ක්වූ වෙලඳ ශේෂය 2017දී 9.6 දක්වා වැඩිවී ඇත. ජනතාවට එල්ල කරන ප‍්‍රහාර, ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ හා ග‍්‍රීසියේ කම්කරු පන්තියට, යුරෝපීය මහ බැංකුව, යුරෝ සංගමය හා ජාමූඅ නියෝග මත ක‍්‍රියාත්මක කර තිබෙන කප්පාදු පියවර සමඟ එක පෙලට සිටී

වැඩකරන ජනතාවගේ වැඩෙන විරෝධතා, පෙලපාලි හා වැඩවර්ජන, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව හා පාලක පන්තියේ අනෙකුත් නියෝජිතයින් සමග ඔවුන් සෘජු ගැටුමකට පෙලගස්වනු ඇත.

Share this article: