ශ‍්‍රී ලංකාව: ආන්ඩුව ඉන්ධන සහන කැපිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග පනවයි

International Monetary Fund demands Sri Lankan government cut fuel subsidies

සමන් ගුනදාස විසිනි, 2018 මැයි 2

ආන්ඩුව “ස්වයංක‍්‍රීය ඉන්ධන මිල සූත‍්‍රයක්” ක‍්‍රියාත්මක නොකරන්නේ නම්, ජාමූඅ සිය ඩොලර් බිලියන 1.5ක නය පැකේජයේ සිව්වැනි වාරිකය නතර කරන බව කියා ඇත.

ඉන්ධන සහන මාර්තු මාසයේ සිට ඉවත් කරන බවට ආන්ඩුව කලින් පොරොන්දු දී තිබුනි. එය දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අත්‍යවශ්‍ය භාන්ඩ මිල ගනන් ඉහල නංවනු ඇත.

අරමුදලේ ශ‍්‍රී ලංකා ප‍්‍රධානී මැනුවෙලා ගොරිටි අප්‍රේල් 20දා පැවසුවේ, නව මිල සූත‍්‍රයක් හඳුන්වා දීම දීර්ග කරන ලද එහි නය සහන සැලසීමේ වැඩසටහනෙහි කොටසක් වන බවය. එහෙත් ආන්ඩුවේ ඉල්ලීම පරිදි එය ජූනි මාසයේදී ගෙනඒම ගැන තමන් සලකා බලන බව ඇය පැවසුවාය.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ක‍්‍රියාවට නැංවීමට පොරොන්දුවී ඇති කප්පාදු පියවර ගනනාවකින් එකකි මිල සූත‍්‍රය. ජනගහනයේ සෑම අංශයකටම නව බදු පැනවීම, සැප්තැම්බර් වන විට විදුලිබල මන්ඩලයේ සහන අහෝසි කිරීම, ජල සම්පාදන මන්ඩලය, රාජ්‍ය බැංකු, වරාය, ශ‍්‍රී ලංකා ගුවන් සේවය වැනි රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය හෝ වානිජ්‍යකරනය එයට ඇතුලත්ය. කුඩා ව්‍යාපාර, ස්වයං රැකියාවන්හි නිරත සේවකයින්, වෘත්තිකයින් කම්කරුවන් හා විශ‍්‍රාමිකයින් මත මුදල් අමාත්‍යාංශය අප්‍රේල් 1දා සිට සෘජු බදු ක‍්‍රමයක් පනවනු ලැබීය.

පසුගිය සතියේදී ලංකා ඛනිජතෙල් සංස්ථාව ගෑස් මිල සියයට 17න් ඉහල නැංවූ අතර තෙල් මිල නැංවීමට පියවර නොගත්තේ, පුලුල් මහජන විරෝධයකට මුහුනපෑමට සිදුවනු ඇතැයි බියෙනි.

පෙට්‍රෝලියම් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රනතුංග, අමාත්‍යාංශයට මිල ගනන් වැඩි කිරීමේ ක්ෂනික සැලැස්මක් නැතැයි කැබිනට්ටුව හමුවේ අප්‍රේල් 25දා පැවසූ බව වාර්තා විය. පසුගිය සති අන්ත සන්ඬේ ටයිම්ස් ලිපියකින් පවසා ඇත්තේ, “ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට නම්, වියදම් උච්ඡාවචනය වීමට අනුව ක‍්‍රියාත්මක වන මිල සූත‍්‍රයක් අවශ්‍යය. මැතිවරනයක් කරා වන අවසන් අදියරේ, දේශපාලන ජනප‍්‍රියත්වය ඇතිකර ගැනීමේ උත්සාහයක යෙදී සිටින ආන්ඩුවට නම් එය දේශපාලනිකව දිරවාගත හැක්කක් නොවේ” යනුවෙනි.

පසුගිය වසර කිහිපය තුල ජීවන හා සමාජ තත්වයන් කාබාසීනියා කිරීමට එරෙහි මහජන විරෝධයකට ආන්ඩුව දැනටමත් මුහුනපා ඇත. පසුගිය වසර පුරාවටම එය කම්කරු පන්තියේ නැගී එන වැඩවර්ජන රැල්ලකට මුහුනපා සිටින අතර සහන කප්පාදුවට එරෙහි ගොවීන්ගේ විරෝධතා මෙන්ම අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි සිසුන්ගේ විරෝධතා පෙලපාලි ද පැවැත්වින. ආන්ඩුව තෙල් මිල සහන කපාහැරීම ප‍්‍රමාද කරන්නේ එබැවින්ය.

එහෙත් පොරොන්දුවී ඇති පරිදි ජූනි වන විට ආන්ඩුව තෙල් මිල වැඩිකලේ නැත්නම් ජාමූඅ, නය වාරිකය ගෙවීම අත්හිටුවීමෙන් ගෙවුම් ශේෂ අර්බුදයක් පැන නගිනු ඇත.

මහ බැංකුවට අනුව මේ වසරේ ආන්ඩුව, ඩොලර් බිලියන 2.9ක් ද 2019දී බිලියන 4.2ක් ද නය ආපසු ගෙවිය යුතු අතර එය 2020 සිට 2022 වසර දක්වා වසරකට බිලියන 3.6ක් වේ. “සාධාරන” පොලියකට වෙනත් නය ගැනීම සඳහා, ඉතිරි නය කොටස් ලබා දීමට ජාමූඅ දෙන පොරොන්දුව අවශ්‍යය.

මේ මාසය මුල ලෝක බැංකුවේ ශ‍්‍රී ලංකා නියෝජිත ඉඩා සවරායි රිඩිහෝෆ්, “පලදායී නොවන රාජ්‍ය ව්‍යවසායන් රුපියල් බිලියන ගනන් ගිලගන්නා” බව කියමින්, රාජ්‍ය ව්‍යවසායන්ට සහනාධාර දීම පිලිබඳව ප‍්‍රසිද්ධියේම ආන්ඩුව හෙලා දුටුවාය. ඇය පැවසුවේ 2016 වසර තුල රාජ්‍ය ව්‍යවසායන් 400ක් රුපියල් බිලියන 460ක අලාභයක් ලබා ඇති බවයි.

වෙනත් වචන වලින් කිවහොත්, ලෝක බැංකුවට අවශ්‍ය වන්නේ, සහන කප්පාදුව, ඉහල මිල ගනන් හා සෑම රාජ්‍ය ව්‍යවසායක් තුලම සූරාකෑමේ කොන්දේසි දැඩි කිරීම හරහා “පලදායිතාව” ඉහල නැංවීමය.

ජාමූඅ අනකරන කප්පාදු පියවරයන්ගේ එල්ලය 2020 වන විට අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 දක්වා අඩු කිරීමය. පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 3.1 දක්වා පහත වැටුනි. වසර 16ට පසුව අත්විඳි නරකම ප‍්‍රතිපලය එයයි. 2016දී වර්ධන වේගය සියයට 4.4ක් විය.

ආන්ඩුව රුපියල අවප‍්‍රමානය වීමට ද මුහුනපා ඇත. එය පසුගිය සතියේ ඇමරිකානු ඩොලරයකට රුපියල් 159 දක්වා කඩා වැටුනි. 2015 සිට දේශීය මුදල සියයට 20න් තරම් පහත වැටී ඇත. මෑතක සිදුව ඇති කඩා වැටීමට පාර්ශවීය වශයෙන් ආන්ඩුවේ ගැඹුරුවන අර්බුදය ද බලපෑවේය.

පසුගිය මාසයේදී මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දිග්ගැස්සෙන දේශපාලන අර්බුදය ගැන සඳහන් ක්‍ලේය. “ආන්ඩුව කාර්යක්ෂම ලෙස ක‍්‍රියාත්මක වීමට නම් දැන් අවශ්‍යව ඇත්තේ යම ආකාරයක ස්ථාවරත්වයකි.”

රුපියල අවප‍්‍රමානය වීමට ප‍්‍රධාන හේතුව, මුදල වෙලඳපොලේ බලවේගයන්ට අනුව පැවතිය යුතු බවත්, මහ බැංකුවේ විදේශ මූල්‍ය සංචිත රුපියල වැටීම නතර කිරීම පිනිස මුදා නොහැරිය යුතු බවටත් ජාමූඅ කරන නියෝගය. අවප‍්‍රමානය, ආනයන මිල තවත් වැඩි වීමට තුඩු දෙන අතර වැඩකරන ජනතාවගේ ජීවන තත්වය තවත් නරක අතට හරවයි.

ට‍්‍රම්ප් ආන්ඩුව විසින් ඇමරිකාවේ ආනයන සඳහා බදු ඉහල නැංවීම ද ගෝලීය වෙලඳ ගැටුම් ද රටේ ප‍්‍රධාන වෙලඳපොලවල් වන ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා බටහිර යුරෝපයට කරන අපනයන කෙරෙහි බලපා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දරන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කන්ඩායම, ආන්ඩුවේ කප්පාදු පියවර ගැන කිඹුල් කඳුලු හෙලමින්, ජනතා නොසංසුන්තාව ගසාකෑමට උත්සාහ කරයි. ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක හා රාජපක්ෂ ආන්ඩුවේ ඇමතියෙක්ව සිටි බන්දුල ගුනවර්ධන, “ජනතාව දෙකොන ගැටගසා ගැනීමේ අරගලයකෙ” නිරතව සිටින බැවින් පාර්ලිමේන්තු කන්ඩායම ඉන්ධන මිල සූත‍්‍රයට “දැඩිසේ විරුද්ධ” බව අප්‍රේල් 22දා මාධ්‍ය හමුවේ වංචනික ලෙස පැවසීය.

රාජපක්ෂ ආන්ඩුව යටතේ ද එවැනිම පියවර ගත් බව පෙන්වා දෙමින් මාධ්‍යවේදීන් ඊට අභියෝග කල විට ගුනවර්ධන, “එවන් සූත‍්‍රයක් අවශ්‍යතාවක් බවත්, ශ‍්‍රී ලංකාවට ඉන්ධන වැනි ප‍්‍රධාන ආනයන ද්‍රව්‍යයක් වෙනුවෙන් මිල සූත‍්‍රයක් නොමැතිව කටයුතු කල නොහැකි” බවත් කියා සිටීමට සිදුවිය.

Share this article: