වැඩකරන ජනතාවගේ ජීවන කොන්දේසි තලා දමමින් ආන්ඩුව බඩු මිල පිම්මේ නංවයි

සමන් ගුනදාස, 2018 මැයි 13

පසු ගිය දින කිහිපයක සිට අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල නැංවීමට පටන්ගත් ආන්ඩුව සියලු භාන්ඩ හා සේවා මිල ඉහල යාමට බලපාන පරිද්දෙන් මැයි 10 වනදා වන විට ඉන්ධන මිල ඉහල දැමීය.

අප්‍රේල් 27 දා කිලෝ 12 ගෑස් ටැංකියක මිල රුපියල් 1676 දක්වා සියයට 17 කින් ඉහල දැමූ ආන්ඩුව අනතුරුව වැඩ කරන ජනයාගේ එදිනෙදා ආහාර ද්‍රව්‍ය වන කිරි පිටි කිලෝ ග‍්‍රෑමයක මිල රුපියල් 50 කින්ද, අල සඳහා රුපියල් 30 සිට 40 දක්වාද ලූනු සඳහා රුපියලේ සිට රුපියල් 40 දක්වාද, පරිප්පු සඳහා රුපියල් 3 සිට 12 දක්වාද බදු ඉහල දමා ඒවායේ මිල ගනන් ද ඉස්සුවේය.

වැඩ කරන ජනයා ගමන් පහසුව සලසා ගන්නා ප‍්‍රවාහන මාධ්‍යයක් වන ත්‍රී රෝද රථ ගාස්තුව පලමු කිලෝ මීටරය සඳහා රුපියල් 10න් ඉහල දමන බව එම සංගම් වහාම නිවේදනය කලහ. බස්, පාසැල් ලමුන් ප‍්‍රවාහනය කෙරෙන වෑන් ඇතුලු සියලු ප‍්‍රවාහන ගාස්තු ඉදිරි දිනවල ඉහල දැමීමට නියමිතය.

ඩීසල් හා පෙට්රල් වල මිල පිලිවෙලින් රුපියල් 137 හා 109 දක්වා සියයට 17 කින් හා 15 කින් ඉහල දමා ඇති ආන්ඩුව භූමිතෙල් මිල රුපියල් 101 දක්වා සියයට 130 කින් ඉහල දමා ඇත.

එතෙකුදු නොව මාස දෙකකට වරක් මිල සංශෝධනය කෙරෙන අයුරින් ජාමූඅලේ නිර්දේශය පරිදි මිල සූත‍්‍රයක් හඳුන්වා දී ඇත. සිංගප්පූරුවේ ප්ලැට්ස් නම් දර්ශකය අනුව මිල ගනන් පදනම් කරන බව මුදල් ඇමති මංගල සමරවීර ප‍්‍රකාශ කලේය. ඔහු සඳහන් කලේ තෙල් මිල ලෝක වෙලඳ පොලේ ඉහල පහල යන ආකාරයට ලංකාවේ මිල ගනන් ද වෙනස් වනු ඇති බවයි.

ඇමරිකානු ට‍්‍රම්ප් ආන්ඩුව ප‍්‍රකෝපකාරී ලෙස ඉරානයට සම්බාධක පනවමින් ඊස්රායලයට පිටුබලය සපයමින් ලොව ප‍්‍රධාන තෙල්බිම් සහිත මැද පෙරදිග අලලාගත් යුද්ධයකට පාර කපමින් සිටින පසුබිම තුල ලෝක තෙල් මිල එලඹෙන සති වල තියුනු ලෙස ඉහල යාමට නියමිතය. එම මිල සෘජුව වැඩ කරන ජනයා මතට හෙලීම මෙම මිල සූත‍්‍රයේ එල්ලයයි. කෙසේ වෙතත් මේ මිල ඉහල දැමීම සිදුවන්නේ සියලු සහනාධාර කපා දමන ලෙස ජාමුඅ කර ඇති නියෝග මතයි.

යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර ජනයා, ගම්බද, වතුකරයේ හා ධීවර කර්මාන්තයේ යෙදෙන ජනයා වැඩි වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නා වූ භූමි තෙල් වල මිල නැවීම ඔවුන්ගේ ජීවන කොන්දේසිවලට එල්ල කල බරපතල ප‍්‍රහාරයකි.

පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩු සමයේ සිදුකල භූමිතෙල් මිල ඉහල දැමීම් සමඟ ඇති වූ ධීවර විරෝධතා මැඩලනු ලැබුවේ හමුදාව යෙදවීමෙනි. එවන් ධීවර විරෝධතා වලක්වා ගැනීමේ උප්පරවැට්ටියක් ලෙස සමෘද්ධිලාභීන්ට හා ධීවර ජනයාට පෙර මිලට භූමිතෙල් සපයන බව පවසා ඇතත් ඒ සදහා ක‍්‍රමවේදයන් සකසා නැත.

ඉන්ධන මිල ඉහල දැමීම පිලිබඳ දැනුම් දීමට මුදල් ඇමති මංගල සමරවීර විසින් කැඳවනු ලැබූ මාධ්‍යයන් අමතා මෙසේ මැත දෙඩවූයේය: “යමෙකු මෙය (ඉන්ධන මිල ඉහල දැමීම) අප කලේ ජාමූඅ එය කරන ලෙස කොන්දේසියක් පනවා ඊට දින නියම කල නිසා යැයි කිවහොත් එම ප‍්‍රකාශය අයුක්ති සහගතය. අප මෙය කලේ මෙරට ජනතාවගේ හා ආර්ථිකයේ යහපත උදෙසාය”.

ඇමති වරයා මෙසේ සඳහන් කරන්නේ මීට යන්තම් සති තුනකට පෙර ශ්‍රී ලංකාවේ ජාමූඅ ප‍්‍රධානියා වන මැනුඑලා ගොරෙට්ටි නිකුත් කල මාධ්‍ය නිවේදනයේ පැහැදිලි වශයෙන්ම මෙම අවසන් නිවේදනය දක්වා ඇති පසුබිමකය. එහි මෙසේ සඳහන් විය: ජාමූඅහි නය වාරිකය පිලිබඳ “2018 ජූනියේදී සිව්වන විමර්ෂනය අවසන් කරන ලෙස කර ඇති ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලෙනු ඇත්තේ, විස්තෘත මූල්‍ය පහසුකම් සැපයීමේ වැඩ සටහනට අනුකූල වන පරිදි ස්වයංක්‍රිය ඉන්ධන මිල ගනන් වල යාන්ත‍්‍රනයට කැබිනට් මන්ඩලයේ අනුමැතිය ලැබීමට යටත්වය.”

මෙම මිල ඉහල දැමීම් යුක්ති සහගත කිරීම සඳහා සමරවීර තව දුරටත් පවසා ඇත්තේ ආන්ඩුව පැරනි මිලටම ඉන්ධන සැපයුවහොත් රටේ සංවර්ධනයට, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්ට සපයන මුදල් අඩු කිරීමට සිදු වන බවයි. මෙය අමූලික බොරුවකි.

මේ ආකාරයට කම්කරු හා දුගී ජනයා ඇට පොත්තටම සූරා කමින් ලබා ගන්නා ධනය අති මූලිකව වැය කරනු ඇත්තේ අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතනික නය දෙන්නන්ට හා පුද්ගලික මහා ව්‍යාපාරික නය දෙන්නන්ගේ නය හා පොලී ගෙවීමටය. මෙම නය පසුගිය සමය තුල වර්ගවාදී යුද්ධය කරගෙන යාම සඳහා ගත් නය වල සිට 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් සංලක්ෂිත වූ ආර්ථික සංකෝචනය තුල රටේ අපනයන පහත වැටීමෙන් උද්ගතවූ ගෙවුම් ශේෂ අර්බුදයන් පියවා ගැනීම සඳහාද විදේශ ආයෝජන පහත වැටීම තුල මහා ව්‍යාපාරික ආයෝජකයින් ආකර්ෂනය කර ගැනීමට ගොඩ නැගුනු යටිතල පහසුකම් සඳහාද ආන්ඩුවේ එදිනෙදා වියදම් සඳහාද ගත් නය වේ.

2017 මහ බැංකු වාර්තාවට අනුව 2017 අග වන විට රටෙහි නය ප‍්‍රමානය රුපියල් බිලියන 10,313ක් වූ අතර ඉන් බිලියන 4718ක් එනම් ඇ. ඩොලර් බිලියන 51.8ක් විදේශ නයවේ. නය ගෙවීම සඳහා නය ගැනීමේ විෂම චක‍්‍රය ඉස්මතු කරමින් මෙම විදේශ නය ප‍්‍රමානය 2016 පැවති නයට වඩා සියයට 10න් පමන ඉහල ගොස් ඇති බව වාර්තාවෙන් පෙන්වා ඇත. මෙම නය සඳහා වාරික හා පොලී ගෙවීමට (නය සේවා) පමනක් ඇ. ඩොලර් බිලියන 17.8ක් මේ වසරේ සිට 2022 දක්වා අවශ්‍ය බවට මාධ්‍ය වාර්තා පල කෙරී තිබේ.

ඉන්ධන සහනාධාර කැපීම මෙන්ම ජාමූඅලේම නියෝගයන්ට අනුකූලව සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා ආන්ඩුව වෙන් කරන මුදල් පිලිවෙලින් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 හා 1.9 මට්ටමට පහත හෙලා ඇති ආන්ඩුව මේ සෑම ක්ෂේත‍්‍රයකම පුද්ගලීකරන වැඩ පිලිවෙල ක්‍රියාවට දමමින්, රාජ්‍ය භාන්ඩාගාරයෙන් වැඩ කරන ජනයා සඳහා වූ සේවාවන්ට වෙන් කෙරෙන යම් සහනාධාරයක් ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමේ යෙදී සිටී.

2017 මහ බැංකු වාර්තාවට අනුව දැනට රට තුල පුද්ගලික රෝහල් 181ක් ඇති අතර සමස්තයක් ලෙස ඇඳන් 5792ක් තිබේ. ජනගහනයෙන් 1000ට රජයේ රෝහල් වල ඇඳන් ඇත්තේ 3.6කි. 2017 හිදී ගුරුවරුන් 10ට අඩු රජයේ පාසැල් 3148 ක් පැවති බව සඳහන් කරන මහ බැංකු වාර්තාව අනෙක් පසින් පුද්ගලික පාසැල් 245ක ලමයින් 81,103ක් ඉගෙන ගනිමින් සිටින බව සඳහන් කරයි.

2020 වනවිට අයවැය පරතරය දදේනින් සියයට 3.5ක් බවට පත් කිරීම ජාමූඅලේ ප‍්‍රධාන කොන්දේසියකි. මෙලෙස තියුනු අයුරින් සියලු සහනාධාර කප්පාදු කිරීම කෙරෙන්නේ එම ඉලක්කය සඳහාය. තෙල් සංස්තාව මෙන්ම විදුලි බල මන්ඩලයද, ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයද, රජයේ බැංකු හා වරායද පුද්ගලීකරනයට හා වානිජකරනයට ලක් කිරීමට නියමිතය. විදුලි බල ගාස්තු සඳහාද ලබන සැප්තැම්බරයේ මිල සූත‍්‍රයක් හඳුන්වා දීම ජාමූඅහි කොන්දේසි වලට ඇතුලත්ය.

කම්කරු-දුගී ජනයාගේ ජීවන කොන්දේසි මත මෙම ප‍්‍රහාරයන් සූදානම් කෙරෙන්නේ පසුගිය අප්‍රේල් පලවෙනිදා සිට ජාමූඅලේ නිර්දේශ මත සැකසුනු රුදුරු බදු පනතකින් කම්කරුවන්, ස්වයං රැකියා කරන්නන්, වෘත්තිකයන් හා විශ‍්‍රාමිකයන් ඇතුලු සමාජයේ සැමකෙක් මතම බදු දැල එලමින් තිබෙන අතරවාරයේදීය. වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම බදු ලිපිගොනුවක් විවෘත කිරීමට නියමිතය.

ජාමූඅහි බලපෑම පරිදි රුපියල වෙලඳ පල බලවේගයන්ට අත හැරීම නිසා මේ වනවිට රුපියලේ අගය තියුනු ලෙස කඩා වැටීමට භාජනය වී පවතින අතර එම තත්වය සියලුම බඩු භාන්ඩ වල මිල ඉහල යාමට තුඩුදී ඇත. මෙම වසර තුල පමනක් රුපියල ඇ. ඩොලරයට සාපේක්ෂව සියයට 3.3න් පහත වැටී ඇති අතර අප්‍රේල් මස පහත වැටීම සියයට 1.1කි.

2017 මහ බැංකු වාර්තාවට අනුව 2017 වසරේ විධිමත් පුද්ගලික අංශයේ මූර්ත වැටුප සියයට 5.9න් පහත වැටී ඇති අතර 2016 දී එම පහත වැටීම සියයට 3.6කි. රාජ්‍ය අංශයේ වැටුප් 2015 න් පසුව කැටි කොට ඇත. මින් පැහැදිලි වන්නේ මෙම ආන්ඩුව යටතේ දශ ලක්ෂ දහයකට ආසන්න රාජ්‍ය හා පුද්ගලික අංශයේ කම්කරු පන්තියේ ජීවන මට්ටම් තලා දමා ඇති ආකාරයයි.

පසුගිය මාස ගනනාව තුල ප‍්‍රවාහන, සෞඛ්‍ය, බල ශක්ති, උසස් අධ්‍යාපන, තැපැල් ආදී ක්ෂේත‍්‍ර ගනනාවක පැන නැගුනු කම්කරු පන්ති අරගල තුල මෙම පීඩාකාරී ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ කැකෑරෙන වෛරය ප‍්‍රකාශයට පත්වී ඇත. උත්සන්න කෙරී ඇති ප‍්‍රහාරයන් මාලාව කම්කරු පන්තිය හා දුගීන් ආන්ඩුවට එරෙහි සම්මුති විරහිත තියුනු අරගලයන්ට කැඳවනු ඇත.

Share this article: