ශ්‍රී ලංකාව: ආන්ඩුවේ තහනම නො තකා සසප හා සසජාතශි සාර්ථක මැයි දින රැලියක් පවත්වති

Despite government ban, Sri Lankan SEP and IYSSE hold successful May Day meeting

අපගේ වාර්තාකරුවන් විසිනි, 2018 මැයි 3

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජවාදී සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ මැයි 1දා කොලඹ දී බලගතු මැයි දින රැස්වීමක් පැවත්වූහ. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් සියලු මැයි දින රැස්වීම් හා පෙලපාලි තහනම් කිරීමට ප‍්‍රසිද්ධියේ විරෝධය දක්වමින් රැස්වීම නව නගර ශාලාවෙන් පිටත පැවත්වුනි.

ආන්ඩුවේ මග පෙන්වීමට ප‍්‍රතිචාර දක්වමින් කොලඹ මහනගර සභාව, සසප ඒ වන විටත් මුදල් ගෙවා තම රැස්වීම සඳහා වෙන් කර ගෙන තිබූ නව නගර ශාලාවේ රැස්වීම පැවත්වීම අවලංගු කලේ ය. මැයි දින සැමරුම් සඳහා තැන් වෙන් කර ගෙන සිටි අනෙකුත් පක්ෂ හා වෘත්තීය සමිති ද ඒ ආකාරයේ ම තහනමකට මුහුන දුන්හ.

කම්කරුවෝ, තරුනයෝ, වෘත්තීය වේදීහු හා ගෘහනියෝ මෙන් ම පක්ෂ සාමාජිකයෝ හා ආධාරකරුවෝ 100 ට වඩා මැයි 1වැනිදා රැස්වීමට සහභාගී වූහ. යුද්ධයෙන් හානියට පත් යාපන අර්ධද්වීපයේ හා වතුකරයේ දෙමල කතා කරන කම්කරුවෝ ද ඔවුන් අතර වූහ. එදින පැවැත්වූ වෙනත් මැයි දින රැස්වීම්වලට ද දහස් ගනනක් පිරිස් සහභාගී වූහ.

කොලඹ පැවති මැයි දින රැස්වීම

රැස්වීමේ සභාපතිත්වය දරමින් ලෝසවෙඅ ජාතික කර්තෘ කේ. රත්නායක සහභාගී වූවන්ට ස්තුති කල අතර හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛාවලට ද, ජාත්‍යන්තර කම්කරු පන්තියට මෙන් ම විශේෂයෙන් ම බොරු චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරදඬවම් පමුනුවා ඇති ඉන්දියාවේ මරුති-සුසුකි කම්කරුවන් 13දෙනාට ද විප්ලවවාදී ශුභපැතුම් පිරිනැමී ය.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරුද්ධත්වය කම්කරු පන්තියේ ජාත්‍යන්තර පිබිදීමේ කොටසක් යයි රත්නායක පැහැදිලි කලේ ය. මෙම වර්ධනයන්ගෙන් බිය ගැනුනු ආන්ඩුව, කම්කරු පන්තිය සෘජුවම ඉලක්ක කරමින්, තමන්ගේ ම ව්‍යවස්ථාව මෙන් ම නීතිය ද උල්ලංඝනය කරමින් මැයි දිනය තහනම් කලේ යයි රත්තනායක පැවසී ය.

කපිල ප්‍රනාන්දු

සසජාතශි කැඳවුම්කරු කපිල ප‍්‍රනාන්දු ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දින තහනමේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය යට ගසමින් සිටින බව පැවසී ය. “මේ ආකාරයෙන් පෙසප සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ කම්කරු පන්තිය මුහන දෙන සැබෑ අනතුර වසන් කිරිමට වැඩ කරනවා” යැයි ඔහු පැවසී ය.

සසප දේශපාලන කමිටු සාමාජිකා විලානී පීරිස්, අද ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන දේශපාලන තත්වය, පනස් වසරකට පෙර, 1968 විප්ලවවාදී අරගල පිපිරී යාම සමග සන්සන්දනය කලා ය. දශක පහකට පෙර කම්කරු පන්තිය මත අධිකාරය දැරුවාවූ ද ජාත‍්‍යන්තර ව්‍යාපාරය පාවාදුන්නා වූ ද ස්ටැලින්වාදී හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ අද වන විට පරිහානිගතව ඇතැ යි ඈ පැවසුවා ය.

විලානි පීරිස්

“සසප පුරෝගාමී විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂය 1968දී පිහිටුවන ලද්දේ, ජාත්‍යන්තරව කම්කරු අරගල පුපුරා යන කොන්දේසි හමුවේය. එය දකුනු ආසියාව තුල ට්‍රොට්ස්කිවාදී ධජය ද එමෙන් ම එහි විප්ලවවාදී ඉදිරිදර්ශනය හා වැඩසටහන ද ඉහලට එසෙව්වා.” සසප එම උරුමය මත පාදක වෙමින්, ඒවා පෙරට ගෙන ගියේ යැයි පීරිස් පැවසුවා ය. “ඒ නිසයි පක්ෂය, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත මැයි දින තහනමට එරෙහිව කම්කරු පන්තිය ඒකරාශී කිරීමට මූලිකත්වය ගෙන තියෙන්නේ.”

සසප ප‍්‍රධාන ලේකම් හා ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සාමාජික විජේ ඩයස් රැස්වීමේ ප‍්‍රධාන කථාව පැවැත්වීය. ශී‍්‍ර ලංකාවේ දහස් ගනනක් කම්කරුවන්, තරුනයන් හා පීඩිත මහජනයා ආන්ඩුවේ තහනම නො තකා මැයි දින රැස්වීම්වලට සහභාගී වන බව ඔහු පැවසී ය.

“ආන්ඩුවේ නීති විරෝධී තහනමට එරෙහිව කම්කරුවන් හා තරුනයන් අතර පලල් විරුද්ධත්වයක් තියෙනවා” යි ඔහු පැවසී ය. “නමුත් විප්ලවවාදීන් හැටියට අපගේ වගකීම වන්නේ මැයි දින තහනමේ සැබෑ අර්ථයත් පුලුල්ව පැතිරුනු කෝපයේ දේශපාලන අර්ථභාරයත් පැහදිලි කර දීම යි.”

ලෝක ධනවාදයේ ගැඹුරුවන ආර්ථික හා දේශපාලන අර්බුදය හා ශී‍්‍ර ලංකාවේ ධනේශ්වර පාලනයේ පරිහානිගත අවධිය, වැඩෙන්නා වූ විප්ලවවාදී අර්බුදයේ කොටසක් බව ඩයස් පැවසී ය. “ශී‍්‍ර ලංකාවේ ආන්ඩුවට තමන්ගේ ඔලුව හැරෙන්නේ කොහාට ද තමන් කරන්නට අදහස් කරන්නේ කුමක් ද කියා අදහසක් නෑ. එහි දකුනු අත කරමින් ඉන්නේ මොකක් ද කියලා වම් අත දන්නේ නෑ.”

ඩයස් දෙවැනි ලෝක යුද්ධය පිපිරීමට පස් වසරකට පෙර කරන ලද, 1934දී ලියොන් ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනයක් උපුටා දැක්වී ය. එම මූලික දේශපාලන කි‍්‍රයාවලීන් අද දිනයේ ද දිග හැරෙමින් ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

“යුද්ධය හා ජාත්‍යන්රය”තුල ට්‍රොට්ස්කි මෙහෙම ලිව්වා: “අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධයන්ගේ පීඩනය මගින්, එක් රටකට පසු තවෙකක් ෆැසිස්ට්වාදයට තල්ලු කෙරේ. අනෙක් අතට, එම ෆැසිස්ට් තනත්‍රවලට ජාත්‍යන්තර පිපිරීම් සූදානම් කිරීමකින් තොරව බලයේ රැඳී සිටිය නො හැකිය. සෑම ආන්ඩුවක් ම යුද්ධයට බිය වන නමුත් කිසිම ආන්ඩුවකට, ඒ ගැන තේරීමක් කිරීමට නිදහසක් ඇත්තේ නැත. කම්කරු පන්ති විප්ලවයකින් තොරව, නව ලෝක යුද්ධයක් වැලක්විය නො හැක.”

විජේ ඩයස්

ඩයස්, 2014ජූලි මස “අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන හා සමාජවාදය” නම් හජාජාක ප‍්‍රකාශනය උපුටා දැක්වී ය:

“යුද්ධයට එරෙහි අරගලයකින් තොරව සමාජවාදය සඳහා සටනක් තිබිය නො හැකි අතර සමාජවාදය සඳහා සටනකින් තොරව යුද්ධයට එරෙහිව සටනත් තිබිය නොහැක. සමාජවාදී කි‍්‍රයාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය, තමන් පිටුපසින් තරුනයන් හා පීඩිත මහජනයා මෙහෙයවමින් අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ විය යුතු ය: එනම් දේශපාලන බලය ගැනීමේ සටන, බැංකු හා ප‍්‍රධාන සංගත අත්පත් කර ගැනීම හා කම්කරු රාජ්‍යයන්ගේ ලෝක සමූහාන්ඩුවක් ගොඩනැගීමේ කර්තව්‍යය ඇරඹීම.”

පැමින සිටින සියලුදෙනාම මැයි 5වැනිදා හාජාජාක අන්තර්ජාල මැයි දින රැලියට ලියාපදිංචි වී එයට සහභාගී වන ලෙස ඉල්ලමින් සසප ප‍්‍රධාන ලේකම් තම කතාව අවසන් කලේ ය. “මෙම වැඩ කටයුතු තුලින් අපි ජාත්‍යන්තර සමාජවාදයට සටන් කරන දැවන්ත විප්ලවවාදී කම්කරු පක්ෂයක පදනම ගොඩනගමින් සිටිමු. මෙම කර්තව්‍යයට උර දෙන ලෙස ඔබ හැමගෙන් මම ඉල්ලා සිටිනවා.”

මැයි දින ශ්‍රාවකය ජාත්‍යන්තර ගීතය ගායනය කරයි

සජීව මැයි දින රැස්වීම සසප ගොඩනැගීමේ අරමුදලට රුපියල් 17,000ක් එකතු කල අතර ජාත්‍යන්තර ගීය ගැයීමෙන් රැස්වීමේ කටයුතු අවසන් කෙරුනි.

Share this article: