ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය පිලිබඳ ජවිපෙහි මවා පෑම්

The JVP’s empty posturing over Sri Lanka’s executive presidency

විජිත් සමරසිංහ විසිනි, 2018 මැයි 14

ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ව්‍යවස්ථාවට ගෙනෙන 20 වන සංශෝධනයක් හරහා රටෙහි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා උද්ඝෝෂනයක යෙදී සිටී. මෙම උද්ඝෝෂනය දේශපාලන ප්‍රෝඩාවකි.

මේ මස අග දී 20 වන සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මැයි 7දා පැවති පක්ෂයේ මැයි දින රැලියේ දී කීවේ ය. (බෞද්ධ ධුරාවලිය විසින් කරන ලද “ඉල්ලීමකට” ප්‍රතිචාර වසයෙන්, වෙසක් සතිය තුල මැයි දින සැමරුම් පැවැත්වීම තහනම් කිරීමට ආන්ඩුව පියවර ගත් නිසා ජවිපෙ මැයි 1දා රැලිය කොලඹ දී පැවැත්වූයේ නැත.)

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආරක්ෂකයෙකුගේ විලාසයක් මවා පෑ දිසානායක, තම සංශෝධනය ගැන “පුලුල් සංවාදයක් නිර්මානය කරන බව” හා එයට සහයෝගය “දිනාගැනීමට උත්සාහ කරන බව” රැලියේ දී පැවසී ය. එහෙත් පක්ෂයේ සිංහල ස්වෝත්තමවාදී පදනම සපථ කරමින්, “රටට හානි වන කිසිවක්” නො කරන බව කී ඔහු, සංශෝධන යෝජනාව ගැන “මහා සංඝයා හා බුද්ධිමතුන්” සමග සාකච්ඡා කිරීමට පොරොන්දු විය.

ස්ටැලින්වාදය, මාඕවාදය, කස්ත්‍රෝවාදය හා සිංහල දේශප්‍රේමය කලතා තනාගත් දෘෂ්ටිමය මිශ්‍රනයක් මත පදනම් වෙමින් ග්‍රාමීය තරුනයන්ට ආයාචනා කරන සුලු ධනේශ්වර රැඩිකල් කන්ඩායමක් ලෙස 1960 ගනන් මැද ජවිපෙ ඉස්මතු වූයේ ය. මෙම ජාතිකවාදී දේශපාලනයේ තර්කානුකූල ප්‍රතිඵලය ලෙස මුලුමනින් ම ධනේශ්වර පක්ෂයක් බවට පරිනාමය වී ඇති එය, පාලක සංස්ථාපිතයට ගැඹුරින් ඒකාග්‍ර වී සිටී.

1978 ව්‍යවස්ථාව විසින් ඇති කල ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවට ආඥාදායක බලතල ලබා දුන්නේය. එහි අරමුන වූයේ, “නිදහස් වෙලඳපොල” ප්‍රතිසංස්කරන ක්‍රියාවට දමමින් මහජනයාගේ ජීවන කොන්දේසිවලටත්, සමාජ හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ටත් දරුනු ප්‍රහාරයක් එල්ල කිරීම යි. දෙමල සුලුතරය ද සමස්ත කම්කරු පන්තිය ද කෲර ලෙස මඩිමින්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව වාර්ගික යුද්ධයක් දියත් කිරීමට ජයවර්ධනය මෙම බලතල යොදාගත්තේ ය.

එවක් පටන් සෑම ආන්ඩුවක් ම, වෙනසකින් තොර ව විධායක ජනාධිපති බලතල භාවිතා කොට ඇත. අවම වසයෙන් 1994 පටන් සෑම පාර්ලිමේන්තු විපක්ෂයක් ම එය අහෝසි කිරීමට පොරොන්දු වී බලයට පැමිනි වහා ම එය කුනු කූඩයටට දැම්මේ ය.

2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වූයේ, ඔහුගේ පූර්වගාමියා වූ මහින්ද රාජපක්ෂ කෙරෙහි පැවති මහජන විරෝධය ගසාකමිනි. 2015 මැයි මාසයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද, විධායක ජනාධිපති ධුරයෙහි බලතල කිහිපයක් කප්පාදු කල 19වන සංශෝධනයට ඔහු එකඟ විය. ජනාධිපති ධුරය අහෝසි කිරීමට දුන් පොරොන්දුව ඔහු අත්හැර දැම්මේය.

මෙම ආඥාදායක ක්‍රමය කෙරෙහි මහජනයා අතර පවතින ගැඹුරු හතුරු කම ගසාකෑමට ජවිපෙ අපේක්ෂා කලත් එහි සංශෝධනයේ අවසන් ලේඛනය තවමත් සකසා නැත. මැයි 3දා ඩේලි මිරර් පත්‍රය සමග පැවති දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක දී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඒ පිලිබඳ වැටිසනක් සම්පාදනය කලේ ය.

පාර්ලිමේන්තුව විසින් පත්කරන හා කිසිදු ඇමති ධුරයක් නො දරන ජනාධිපති, “රාජ්‍යමය කටයුතුවල දී දිගටම සහභාගි වනු ඇති” බව හා “සන්නද්ධ හමුදා ප්‍රධාන අනදෙන නිලධාරියා ලෙස” දිගටම කටයුතු කරනු ඇති බව ඔහු කීවේ ය. කැබිනට්ටුවේ ප්‍රධානියා වනු ඇත්තේ අගමැති ය.

වෙනත් වචනවලින් කිවහොත් ජවිපෙ යෝජනා කරමින් සිටින්නේ එක්සත් රාජධානියේ වෙස්ට්මින්ස්ටර් වැනි පාර්ලිමේන්තු ක්‍රමයකි. මහජනයා රැවටීම සඳහා ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලන පක්ෂ විසින් මේ හා සමාන යෝජනාවන් ඉදිරිපත් කරනු ලැබ ඇත. එහෙත් බ්‍රිතාන්‍යයේ පුරවැසියන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරක්ෂිත නො කරන මෙම ක්‍රමය, දේශපාලන අර්බුදයකට මුහුන දී ඇති සෑම අවස්ථාවක දී ම දුෂ්ට හදිසි නීති පියවරයන් භාවිතා කර ඇති පාලක ප්‍රභූවක් සිටින ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ද එලෙස ම වනු ඇත.

මැයි 7දා පැවති මාධ්‍ය හමුවක දී තම පක්ෂය ආරම්භයේ පටන් ම විධායක ජනාධිපති ධුරයට විරුද්ධ වී ඇති බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් බින්නයක් ඇද බෑවේ ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට දුන් පොරොන්දුවක් පිලිගනිමින් 1994 දී ජවිපෙ තම අපේක්ෂකයා ඉවත් කරගත්තේ ය. වහා ම ඇය එම පොරොන්දුව කුනුකූඩයට දැම්මා ය.

කුමාරතුංග 2003 දී එජාප ආන්ඩුවේ අමාත්‍යාංශ තුනක් අල්ලා ගැනීමට ඇයගේ විධායක බලතල භාවිතා කල අතර, පසුව එම ආන්ඩුව එල්ටීටීඊයට සහන දෙන්නේ යයි ප්‍රකාශ කරමින් වාර්ගවාදී හේතූන් මත විසුරුවා හැරියා ය. කුමාරතුංගගේ පියවරයන් උත්කර්ෂයට නැංවූ ජවිපෙ, 2004 දී ඇය සමග සභාගයකට ඇතුලු විය. 2005 දී රාජපක්ෂට ජනාධිපති ධුරයට පත්වීමට පිටුබලය දුන් එය, යුද්ධය ගෙන යාම සඳහා ඔහු විධායක බලතල යොදාගන්නා විට ඊට ප්‍රසංශා කලේය.

එලෙසින් ම, 2015 දී ආඥාදායක් පාලනය අවසන් කරන බවට හා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට සිරිසේන දුන් ව්‍යාජ පොරොන්දුවලට ජවිපෙ සහයෝගය දුන්නේ ය. සිරිසේනගේ පාලනය ස්ථාවර කිරීමට ජවිපෙ නායක දිසානායක “ජාතික විධායක සභාවට” පවා සම්බන්ධ වුනි. “2015 ජනවාරි 8 ජනවරම” පසෙකට දමන බවට සිරිසේනට දැන් චෝදනා කරමින් සිටින ජවිපෙ, එම ජනවරම “ඉෂ්ට කිරීමට” තමන් සූදානම් යයි සපථ කරයි.

කම්කරු පන්තියේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ගැන ජවිප‍ෙ තුට්ටුවකට ගනන් ගන්නේ නැත. එහි 20වන සංශෝධන උද්ඝෝෂනය ඉදිරියට දමන එහි මෑත කාලීන ප්‍රකාශ එහි වර්ගවාදී දෘෂ්ටිය හා යෝජිත සංශෝධනයේ ප්‍රතිගාමී ස්වභාවය හෙලිදරවු කරයි.

අන්ත දක්ෂිනාංශික බෞද්ධ භික්ෂූන් කන්ඩායමක් වන ජාතික විද්වත් සංඝ සභාව පසුගිය සතියේ ජවිපෙහි 20 වන සංශෝධන උද්ඝෝෂනයට විරුද්ධත්වය ප්‍රකාශ කලේ ය. මේ නිසා ද අනෙකුත් සිංහල ස්වෝත්තමවාදීන්ගේ විවේචන නිසා ද කම්පනයට පත් ජවිපෙ, බෞද්ධ සංස්ථාපිතය සංසිඳවීමට හතරගාතෙන් වැටුනේය.

පනතෙහි ඉලක්කය ජනාධිපතිගේ “ආඥාදායක බලතල” අහෝසි කිරීම වුවත් බිය විය යුතු නැති බව ජවිපෙ ප්‍රචාරක ලේකම් හේරත් එයට ප්‍රතිචාර දක්වමින් අවධාරනය කලේ ය. ජනාධිපතිවරයා, සන්නද්ධ හමුදාවල ප්‍රධාන අනදෙන්නා ලෙසත් ශ්‍රී ලංකාවේ පලාත් සභා පාලනයට අදාල 13වන සංශෝධනය යටතේ සියලු බලතල සහිත ව සිටිනු ඇති බවත් ඔහු කීවේ ය.

“රට බෙදීමට හේතුවන කිසිවකට” හෝ බුද්ධාගමේ ප්‍රමුඛතාව වෙනස් කරන කිසිවකට අප ඉඩතබන්නේ නැතැයි ඔහු ප්‍රකාශ කලේ ය. එනම්, සියලු ප්‍රජාතන්ත්‍ර-විරෝධී හා වාර්ගික වෙනස්කම් කරන නීති ජවිපෙ විසින් ආරක්ෂා කරනු ඇත.

ජවිපෙහි 20වන සංශෝධන උද්ඝෝෂනය, කම්කරුවන්, ගම්බද දුගීන් හා තරුනයන් අතර ආන්ඩුවට හා ධනපති ක්‍රමයට එරෙහි ව වැඩෙන සමාජ විරෝධය අපසරනය කිරීමේ උත්සාහයකි. එය වනාහි, පාලක පන්තිය මතට පීඩනය යෙදීමෙන් හා ආන්ඩු ක්‍රමය ප්‍රතිසංස්කරනය කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන දිනාගත හැකිය යන මායාව යලිත් ඉදිරියට දැමීමේ උත්සාහයකි.

එක්සත් ජනපදයේ සිට ප්‍රන්සය හා ඉන්දියාව දක්වා සෑම රටක ම ධනේශ්වර පාලක ප්‍රභූන්ගේ ක්‍රියාවන් මගින් මෙම කියාපෑම නිෂ්ප්‍රභා වේ. ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය හා නව යුද්ධ සඳහා සූදානම් වීම් මගින් ධාවනය කරනු ලබන ඔවුන් වඩ වඩා ආඥාදායක පාලන රූපයන්ට හැරෙමින් සිටී.

පෙබරවාරි මාසයේ පැවති ශ්‍රී ලංකාවේ පලාත් පාලන මැතිවරනයේ දී ජවිපෙ අනුගමනය කලේ දූෂන-විරෝධී ආස්ථානයකි. මාධ්‍ය හා විවිධාකාර බුද්ධිමතුන් විසින් පුම්බන ලද එය, රටෙහි දේශපාලන හා ආර්ථික ව්‍යාධීන් පැවති රාජපක්ෂ තන්ත්‍රයේ සහ වත්මන් සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලනයේ දූෂනයේ ප්‍රතිඵලයක් යයි ඇඟවී ය.

එහි අතීත උපාමාරු සමග එකපෙලට පිහිටන ජවිපෙ 20 වන සංශෝධනය සඳහා වන උද්ඝෝෂනය, ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනයට මුක්කු ගැසීමට දරන තවත් මංමුලා සහගත උත්සාහයකි. ප්‍රජාතාන්ත්‍රික හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම උගුල ප්‍රතික්ෂේප කල යුතු කම්කරුවන් හා තරුනයන්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ඒමේ සටන සියතට ගත යුතු ය.

Share this article: