යාපනයේ පැවති ජනතා විමුක්ති පෙරමුනේ අපකීර්තිමත් මැයි දින රැස්වීම

සුභාෂ් සෝමචන්ද්‍රන් සහ එස්. ජයන්ත්ගේ සටහනක් ,2018 මැයි 15

ලංකාවේ වර්ගවාදය මත පදනම් වූ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මැයි 1දා යාපනය නගරයේ මැයි දින රැලියක් පැවැත්වී ය. එය රැලිය පවත්වන ස්ථානය වෙනස් කලේ ශ්‍රී ලංකාවේ දකුනු ප්‍රදේශයේ මැයි දින රැස්වීම් පැවැත්වීම ආන්ඩුව විසින් තහනම් කිරීම හේතුවෙනි.

මැයි 1 දිනය වෙසක් සැමරුම් සතියට වැටෙන නිසා “ගරුතර බෞද්ධ භික්ෂූන්ගේ උපදෙස් මත” එදිනට පැවැත්වීමට නියමිත මැයි රැලි කල්දැමීමට තීරනය කල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ප්‍රකාශ කලේ ය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඇතුලු අනෙක් පක්ෂවල හා වෘත්තීය සමිතිවල මැයි දින රැස්වීම් හා රැලි පැවැත්වීමට නියමති ව තිබූ ස්ථාන ආන්ඩුව විසින් හිතුමතේ අවලංගු කලේ ය. මෙම තහනමෙහි සැබෑ හේතුව වූයේ කොලඹට කම්කරුවන් රැස්වී ජීවන හා සමාජ කොන්දේසි මත එල්ල කරන ප්‍රහාරයන්ට ඔවුන් විරෝධය පලකරතැයි ආන්ඩුවට තිබූ භීතිය යි.

ආන්ඩුවේ තීරනයට හිස නැමූ ජවිපෙ තමන් ද බෞද්ධ මහානායකයන්ගේ ඉල්ලීමට ගරු කරන බව කීවේ ය. මැයි දිනය යාපනයේ පැවැත්වීමට පක්ෂය ගත් තීරනය නිවේදනය කෙරුනේ එලෙසයි.

යාපනයේ රැස්වීමක් පැවැත්වමින් ජවිපෙ මංමුලා සහගත ව උත්සාහ කලේ එය දෙමල ජනයා අතර පදනමක් සාදා ගැනීමේ අවස්ථාවක් කරගැනීමට යි. රැස්වීම පුම්බා පෙන්වීම සඳහා දකුනු ප්‍රදේශයේ සිට සිය ගනන් ජනයා බස්වලින් රැගෙන යනු ලැබී ය.

දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) නායකයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් රතු කමිසයකින් සැරසී ජවිපෙ නායකයන් සමග පාගමනේ යෙදුනි. දෙමල-විරෝධී වර්ගවාදයේ හා උතුරු-නැගෙනහිර යුද්ධයට සහයෝගය දීමේ කුප්‍රකට වාර්තාව නිසා දෙමල ජනයා අතර වෛරයට පාත්‍ර ව තිබෙන ජවිපෙට මේ මගින් ඇමරිකානු -ගැති ධනේශ්වර දෙජාසය සහතිකයක් ලබා දුන්නේ ය. තමන්ට වරප්‍රසාද ලබා ගැනීම සඳහා සහයෝගය ගොනුකර ගැනීමට ඕනෑ ම නඩයක් සමඟ අවස්ථාවාදී සබඳතා වගාදිගා කරගැනීමට දෙජාස සූදානම් ය. එහෙත් දෙමල ප්‍රභූවට කිසිදු බලය බෙදීමක් ලබාදීමට මෙන්ම පීඩිත සුලුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබා දීමට ද ජවිපෙ විරුද්ධ ය.

රැස්වීමේ දී කුඩා දෙමල ප්‍රජාගනවාදී කන්ඩායමක් වන සමස්ත ලංකා දෙමල සුලුතර මහා සංසදයේ කමලනාදන් දෙමල බසින් කතා කලේ ය.

ජවිපෙට ඉන්දියාවේ ස්ටැලින්වාදී මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඑම්) ආශීර්වාදය ලැබුනි. ජවිපෙ රැස්වීමේ දී සීපීඑම් නියෝජනය කිරීමට එහි තමිල්නාඩු නායක ඒ. සවුන්දරරාජන් එවනු ලැබී ය. කම්කරු අරගල පාවාදීම, කොංග්‍රස් පක්ෂය ඇතුලු ධනේශ්වර සංවිධාන සමග පෙලගැසීම හා ඉන්දීය පාලක පන්තියේ ජාතික අවශ්‍යතා මත පදනම් වන පිලිවෙතක් අනුගමනය කිරීම ගැන මෙම ස්ටැලින්වාදී පක්ෂය කුප්‍රකට ය.

“වෙනසකින් තොරව සියලු කම්කරුවන් මර්දනය කරනු ලබන නිසා බේද නො තකා පීඩනයට හා අසාධාරනයට විරුද්ධ ව එක් වී සටන් කරන” ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක උතුරේ ජනයාට කීවේ ය. යුද්ධය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ කීවේ ය: “ස්වාමිපුරුෂයන්ට බිරින්දෑවරුනුත් බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයනුත් අහිමි වුනා. ඔවුන්ට නිවාස හා ඉඩම් අහිමි වෙද්දී ව්‍යාපාර විනාශ කරනු ලැබුවා. ජීවිතය ඉතියෝපියාවෙ තත්ත්වයට පත්වෙලා.”

කිඹුල් කඳුලු හෙලමින් දිසානායක මෙසේ කියාගෙන ගියේ ය: “උතුරේ ජනයා අවුරුදු 30ක් රුදුරු යුද්ධය මැද්දේ ජීවත් වුනා. හමුදාවෙන්, ඉන්දියානු හමුදාවෙන් හා දෙමල සන්නද්ධ කන්ඩායම්වලින් බෝම්බ ප්‍රහාර එල්ල වුනා.” මිලිටරියට, ඉන්දියානු හමුදාවට හා දෙමල සන්නද්ධ කන්ඩායම්වලට මුහුන දෙමින් සියලු දෙනා බියෙන් ජීවත් වූ බව ඔහු මතක් කලේ ය.

මොන තරම් කුහක මවා පෙන්වීමක්ද! දිසානායක හා ජවිපෙ හිතන්නේ ජනයා අමතක වීමේ රෝගයෙන් පෙලෙන බව යි. පාලක පන්තිය හා අනුප්‍රාප්තික ආන්ඩු මෙන් ජවිපෙ ද දෙමල ජනයා පීඩාවිඳින ව්‍යසනයට වගකිව යුතු ය. ඊලම්වාදීන්ට සහන දීමක් බව කියමින් මෙම පක්ෂය මවා පෑමක් ලෙස ඉදිරිපත්වූ සටන් විරාම ගිවිසුම්වලට පවා විරුද්ධ විය.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට විරුද්ධ යුද්ධය 1983 ජූලි මාසයේ ඇරඹුනු තැන් සිට 2009 මැයි මාසයේ අවසන් වන තෙක් ම ජවිපෙ ඊට සහයෝගය දුන්නේ ය. වර්ගවාදී දේශපාලනයේ ගිලී සිටි මෙම පක්ෂය 2005 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බලයට ඒමට උදවු කර 2006 සිට යුද්ධයට ඍජු ව ම සහභාගි විය. ජවිපෙ රාජපක්ෂට සහයෝගය දුන්නේ සටන් විරාම ගිවිසුම ඉරා දැමීමේ හෙවත් යුද්ධය යලි ඇරඹීමේ පොරොන්දුව පිට ය. උතුරේ හා නැගෙනහිරේ ක්‍රමානුකූල මිලිටරි හා ප්‍රජාගනවාදී ප්‍රකෝපකාරීත්වයන් ඇවිස්සීමෙන් පසු රාජපක්ෂ 2006 ජූලි මාසයේ යුද්ධය යලි ඇරඹුවේය.

ජවිපෙ යුද්ධය සාධාරනීකරනය කිරීමේ ප්‍රචාරයේ පෙරමුනේ සිටියේ ය. උතුරේ හා නැගෙනහිරේ මිලිටරි කඳවුරු තර කරන බංකර් තැනීමට එහි ඊනියා රතු තරුව බලකාය උදවු විය. යුද්ධය විවේචනය කල සිංහල කොටස් “සිංහල කොටි” ලෙස හංවඩු ගසමින් ඔවුන් ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට මිලිටරියට හා පොලීසියට ජවිපෙ උපකාරී විය.

එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු 300,000කට ආසන්න ජනයා කටුකම්බිවලින් වට කරන ලද මිලිටරිය විසින් දුවවන සුභසාධක කඳවුරුවලට ලෙස හැඳින්වූ රැඳවුම් කනදවුරුවල ගාල්කරනු ලැබුනි. ඒවායේදී එල්ටීටීඊ සැකකරුවන් යයි අත්අඩංගුවට ගන්නා ලද 10,000කට වැඩි තරුනයන් හා තරුනියන් පිරිසක් වසර ගනනක් තිස්සේ රඳවාගෙන වධබන්ධනවලට භාජනය කෙරිනි. ආරක්ෂක හමුදා විසින් පැහැර ගන්නා ලද හෝ මිලිටරියට යටත් වූ සිය ගනන් ජනයා එක්කෝ තවමත් අතරුදන් ය, නැතහොත් මරා දමනු ලැබ ඇත. මෙම කඳවුරු පරීක්ෂා කිරීමට ගිය ජවිපෙ නායකයෝ එසේ රඳවාගැනීම අවශ්‍ය යයි ප්‍රකාශ කල හ.

ඉන්දියානු හමුදාව දෙමල ජනයාට එල්ල කල ප්‍රහාර ගැන දිසානායක කරන විවේචනය මුලුමනින් ම ව්‍යාජ ය. නව දිල්ලිය ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන ලෙස කොලඹ ආන්ඩුව පොලඹවා ඉන්දීය මිලිටරිය එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා උතුරට හා නැගෙනහිරට එවී ය. පලාත් සභා ගොඩනගා දෙමල ප්‍රභූවට සීමිත බලයක් ප්‍රදානය කරන ලෙස ද ගිවිසුම යෝජනා කලේ ය. ඉන්දියානු මැදිහත්වීමේ අරමුන වූයේ කොලඹ පාලනය ආරක්ෂා කිරීම හා ශ්‍රී ලංකාවේ දෙමල ජනයා සමග වාර්ගික සබඳතා ඇති තමිල්නාඩු ජනයාගේ සහයෝගී විරෝධතා පැනනැගීම වැලැක්වීම යි.

ජවිපෙ කලේ දෙමල හා ඉන්දියානු-විරෝධී පදනමකින් ගිවිසුමට විරුද්ධ වී කම්කරුවන්ට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ව ෆැසිස්ට් කැරලි මුදාහැරීම යි. අවම වසයෙන් 60,000ක් ජනයා ඝාතනය කරමින් රුදුරු මිලිටරි පොලිස් ප්‍රහාරයක් ගම්බද දුගීන් මත මුදාහැරීමට කොලඹ ආන්ඩුව මැදිහත් වූයේය. ඒ අතර වාරයේ ඉන්දියානු හමුදාව අහිංසක දෙමල වැසියන් දහස් ගනනක් මරා දමමින් අනුකම්පා විරහිත මර්දනයක් මුදා හලේ ය.

තම කතාව අවසානයේ දී දිසානායක පිලිකුල් සහගත පාපෝච්ඡාරනයක් කිරීමට උත්සාහ කලේ ය: “දේශපාලන පක්ෂයක් ලෙස අපි වැරදීම් පිලිගන්නවා. ජවිපෙ යම්කිසි “අත්වැරදි” කලානම් ඒවා පුද්ගලික දේවල් නෙවෙයි, ඒවා කලේ ජනතාව වෙනුවෙන් (!). ඒවා ගැන ජනයාට වැරදි වැටහීම් තිබිය හැකි යි. අපි ඒ ගැන සාකච්ඡා කරමු.”

පාපෝච්ඡාරනය සඳහා කොතරම් සුවපහසු ක්‍රමයක් ද! ඔවුන්ගේ ඊනියා අත්වැරදි වෙනුවෙන් දෙමල හා සිංහල සාමාන්‍ය ජනයා ලේවලින් වන්දි ගෙවූහ. මේ පක්ෂයේ ප්‍රජාගනවාදී හා කම්කරු පන්ති-විරෝධී වාර්තාව මෙහි ලිවීමට නො හැකි තරම් දීර්ඝ ය.

මේවා අත්වැරදි නො වේ. ඒවා ගලා ආවේ එහි ආරම්භයේ පටන් ම ජවිපෙ අනුගමනය කල දේශපාලනයෙනි. 1960 ගනන් අග එය ආරම්භ වූයේ ස්ටැලින්වාදය, කස්ත්‍රෝවාදය හා සිංහල දේශප්‍රේමයේ දෘෂ්ටිමය මිශ්‍රනයක පදනම මත ය. මෙම පක්ෂය දෙමල වතු කම්කරුවන් හංවඩු ගැසුවේ වරප්‍රසාදිත හා ඉන්දියානු ව්‍යාප්තවාදය සඳහා වැඩකරන එරට “පස්වන කොලමක්” ලෙස යි. වාර්ගික වෙනස්කම් කිරීමට හා කම්කරු පන්තිය බෙදීමට ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව භාවිතා කරන ප්‍රධාන ආයුධය වන දෙමල-විරෝධී ප්‍රජාගනවාදය එය මුලුමනින් ම වැලඳගත්තේ ය.

විශේෂයෙන් ම ධනේශ්වර ගෝලීයකරනයේ හා දෙමල-විරෝධී යුද්ධය ඇවිලවීමේ පටන් පසුගිය දශක පහ තුල මෙම පක්ෂය එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් සමග සබඳතා වගාදිගා කරගන්නා ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂයක් බවට සීග්‍රයෙන් පරිවර්තනය වී ඇත.

Share this article: