ශ‍්‍රී ලංකා ජනාධිපතිගේ “සර්ව පාක්ෂික සම්මේලනය” දේශපාලනික අර්බුදය ජයගැනීමට අසමත් වෙයි

Sri Lankan president’s “all party conference” fails to overcome political crisis

රොහාන්ත ද සිල්වා විසිනි, 2018 නොවැම්බර් 19

රාජ්‍ය බලය සඳහා පොරවැදී සිටින ප‍්‍රතිමල්ලව කන්ඩායම් දෙක අතර බේරුම්කාරයෙක් ලෙස ව්‍යාජ ව පෙනී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, නොවැම්බර් 18දා සර්ව පාක්ෂික සම්මේලනයක් පැවැත්වී ය. තරඟවැදී සිටින කන්ඩායම් අතර කිසිදු එකඟතාවකින් තොර ව සම්මේලනය අවසන් විය.

ඔක්තෝබර් 26 දා සිරිසේන විසින් අගමැති ධුරයෙන් ඉවත් කල රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂ (එජාප) මන්ත‍්‍රීන් කිහිප දෙනෙක්, දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ), ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ හා වතු වෘත්තීය සමිතිවල දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයේ නායකයෝ රැස්වීමට සහභාගි වූ හ.

සිරිසේන විසින් අගමැති ධුරයට පත්කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් අනෙක් පාර්ශවයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ‍්‍රීලපොපෙ), ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ‍්‍රීලනිප) හා වතු මත පදනම් වන ලංකා කම්කරු කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරු ඇතුලත් වූ හ.

පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරියට ද ආරාධනා කලමුත් එය දේශපාලන පක්ෂ සඳහා වූ රැස්වීමක් යයි කියමින් ඔහු එයට සහභාගි නො වී ය. සිරිසේන හා ජයසූරිය අතර තියුනු ආතතීන් පවතී. ජනාධිපතිවරයා රාජපක්ෂ පාර්ශවයට සහයෝගය දෙන අතර, ජයසූරිය, වික‍්‍රමසිංහගේ එජාපයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.

“අර්බුදය නිර්මානය කලේ” සිරිසේන බව ද ඒ නිසා එය විසඳිය යුත්තේ ඔහු බව ද කියමින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) රැස්වීමට සිරිසේන කල ආරාධනාව ප‍්‍රතික්ෂේප කලේ ය. වික‍්‍රමසිංහගෙන් දුරස්ථ බව පෙන්නීමට තතනන ජවිපෙ, එජාපය යලි බලයට ඒම සඳහා දරන ප‍්‍රයත්නයට පිටුබලය දෙමින් සිටියි.

සිරිසේනගේ රැස්වීම කැඳවන ලද්දේ, පාර්ලිමේන්තුව තුල නොකඩවා දින තුනක් රාජපක්ෂගේ හා වික‍්‍රමසිංහගේ ආධාරකරුවන් අතර කටුක ගැටුම් ඇතිවීමෙන් ඉක්බිත්තේ ය. ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරනය ආපසු හරවමින් ශ්‍රේෂ්ඨාධිකරනය අතුරු නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව, නොවැම්බර් 14දා පාර්ලිමේන්තුව යලි කැඳවනු ලැබී ය.

නොවැම්බර් 14 දා හා 16 දා රාජපක්ෂට හා ඔහුගේ නව ආන්ඩුවට එරෙහි ව එජාපය හා විරුද්ධ පක්ෂ විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කල විට ශාරීරික ප‍්‍රහාර හා ප‍්‍රචන්ඩ ගැටුම් පුපුරා ගියේ ය. එම දින දෙකේ ම කථානායක ජයසූරිය නිගමනය කලේ යෝජනාවන් බහුතරයෙන් සම්මත වූ බව යි. නොවැම්බර් 15දා රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයක් කල ද එම කතාව ප‍්‍රතික්ෂේප කරන යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය උත්සාහ කල විට එය බිඳවැටුනි.

පලමු විශ්වාසභංගය ප‍්‍රතික්ෂේප කල සිරිසේන, ඔහු විසින් රාජපක්ෂ පත්කිරීම “ව්‍යවස්ථා-විරෝධී” යනුවෙන් සඳහන් කරන කොටස ඉවත් කරන ලෙස එජාපයෙන් ඉල්ලා සිටියේ ය. ඊයේ පැවති සර්ව පාක්ෂික සමුලූවේ දී නොවැම්බර් 16 දා ඉදිරිපත් කල “සංශෝධිත” විශ්වාසභංගය ඔහු ප‍්‍රතික්ෂේප කලේ, එය “ජනතාව විසින් හා ජාත්‍යන්තර ව විශ්වාසනීය” යයි පිලිගැනීමට නම්, ඡන්ද විමසීම විද්‍යුත් ක‍්‍රමයට හෝ නම් කතා කොට සිදුකල යුතු බව කියමිනි.

“විනීත ව” ක‍්‍රියාකරන ලෙස සිරිසේන මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිය ද ඔහුගේ ආධාරකරුවන්ගේ ප‍්‍රචන්ඩ හැසිරීම සම්බන්ධ ව ඔහු කිසිදු විස්තරයක් ඉදිරිපත් නො කලේ ය. රූපවාහිනියේ සජීවී ව විකාශය කෙරෙන පාර්ලිමේන්තු රැස්වීමේ දී අශික්ෂිත ගැටුම් ඇති කරගැනීම, ශ‍්‍රී ලංකාවේ මහජනයා මත ඇති කරන දේශපාලන බලපෑම පිලිබඳ ව සිරිසේන හා ප‍්‍රතිමල්ලව කන්ඩායම්වල නායකයෝ විපිලිසර වෙති.

“විශ්වාසභංග යෝජනාවට” සහයෝගය දුන් මන්ත‍්‍රීවරු 113 දෙනා සිරිසේන හමුවට ගෙන ආ හැකි යයි එජාප නායකත්වය ඔහුට කීවේ ය. සිරිසේන එම යෝජනාව ප‍්‍රතික්ෂේප කලේ ය.

රැස්වීමෙන් පසුව එජාප නායකත්වය අවධාරනය කලේ අද දින පාර්ලිමේන්තුවට තවත් යෝජනාවක් ඉදිරිපත් කරන බව යි. එවන් යෝජනාවක් “නියමිත පරිදි” ඉදිරිපත් නො කලහොත් එයට ඉඩ නො දෙන බව රාජපක්ෂගේ ආධාරකරුවෝ කියා සිටිය හ.

එක්සත් ජනපදයේ හා එහි සගයන්ගේ පිටුබලය ලබන වික‍්‍රමසිංහ, බලය සඳහා සිය ප‍්‍රයත්නය අත් නො හැරීමට අධිෂ්ටාන කරගෙන සිටී. ඊයේ පැවති සර්ව පාක්ෂික සම්මේලනයෙන් පසුව, අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරියේ දී කොලඹ සිටින එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ, එක්සත් රාජධානියේ, ඕස්ටේ‍්‍රලිියාවේ හා ජපානයේ රාජ්‍යතාන්ත‍්‍රිකයෝ වික‍්‍රමසිංහ හමු වූ හ.

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියාන් සමුලූවට ප‍්‍රථමයෙන්, නොවැම්බර් 15දා ඇමරිකානු, ජපාන, ඕස්ටේ‍්‍ර‍්‍රලියානු හා ඉන්දීය ආන්ඩුවල නිලධාරීහු ශ‍්‍රී ලංකාවේ තියුනු වන දේශපාලන අර්බුදය පිලිබඳ ව සාකච්ඡා කල හ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශයක් සඳහන් කලේ, “නව මාලදිවයින් ආන්ඩුවට සහයෝගය දීම සහ ප‍්‍රජාතාන්ත‍්‍රික මූලධර්මවලට ගැලපෙන පරිදි ශ‍්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන්ට විසඳුමක් සොයාගැනීම සඳහා උනන්දු කිරීම ඇතුලු බෙදාහදා ගත් කලාපීය අවශ්‍යතා ඉදිරියට දැමීමට” ඒකාබද්ධ ප‍්‍රයත්නයක් දැරීම එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අවධාරනය කල බව යි.

වොෂින්ටනයට හා එහි ආධාරකරුවන්ට “ප‍්‍රජාතාන්ත‍්‍රික මූලධර්ම” ගැන උත්සුකයක් නොමැති නමුත්, ඔවුන් පෙලඹෙනුයේ ඔවුන්ගේ ම අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන් ගේ උත්සුකයන්ගෙනි. විශේෂයෙන් ම ආසියා-පැසිෆික් කලාපය තුල චීනයේ ආර්ථික හා දේශපාලන අනුහසට වලකැපීමට ඔවුන් අධිෂ්ඨාන සහගතය.

මෑත දී තේරී පත්වූ මාලදිවයින් ජනාධිපති ඊබ‍්‍රාහිම් මොහොමඩ් සොලී පසුගිය මාසයේ බලයට පැමිනියේ වොෂින්ටනය හා නව දිල්ලිය විසින් තිරයෙන් පිටුපස දුන් පිටුබලය හරහා ය. හිටපු මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් බීජිනය සමග පවත්වාගෙන ගිය සමීප සබඳතාවන්ට එක්සත් ජනපදය හා ඉන්දියාව විරුද්ධ විය.

සිරිසේන 2105 දී ශ‍්‍රී ලංකා ජනාධිපති ධුරයට පත්වූයේ වික‍්‍රමසිංහගේ ආධාරය සහිත ව වොෂින්ටනය ක‍්‍රියාවට දැමූ තන්ත‍්‍ර-මාරු මෙහෙයුමක් හරහා රාජපක්ෂ ඉවත් කිරීමෙන් පසු ය.

රාජපක්ෂගේ ආඥාදායක පාලන ක‍්‍රම සම්බන්ධයෙන් විරෝධයක් නො තිබූ වොෂින්ටනය, ඔහු බීජිනය සමග ගොඩනගාගෙන තිබූ සමීප සබඳතාවන්ට හතුරු විය. රාජපක්ෂ විසින් නායකත්වය දෙන ඕනෑම ආන්ඩුවක් එක්සත් ජනපදය චීනයට එරෙහි කරන දේශපාලනික හා මිලිටරි සූදානම්වීම්වලට වලකපතැයි එක්සත් ජනපදය සලකයි.

කොලඹ ආන්ඩුවට ලබා දෙන ඩොලර් බිලියන 1.5 ඇප නයේ අවසන් වාරිකය පමා කිරීම නිවේදනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ද සිරිසේන හා රාජපක්ෂ මත පීඩනය යොදමින් සිටී. දේශපාලන අර්බුදය නිමාවන තෙක් ජාමූඅ වාරිකය කල්දමා ඇති බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නොවැම්බර් 14 දා හෙලිදරවු කලේ ය. නිසැකව ම මෙම තීරනය පිටුපස වොෂින්ටනය සිටින්නට ඇත.

රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ චීන ජනාධිපති ෂී ජිංපිං එවූ සුභපැතුම් පනිවුඩය ද බීජිනයේ බලපෑම “සාධනයක්” ලෙස ජාත්‍යන්තර මාධ්‍ය විසින් භාවිතා කරයි. එක්සත් ජනපදයේ භූ-දේශපාලනික ක‍්‍රියාකාරකම්වලට විරුද්ධ ව උපාමාරු දමමින් සිටින චීනය, රාජපක්ෂ තන්ත‍්‍රයක් බීජිනය සමග කොලඹ සබඳතා වැඩිදියුනු කරතැයි අපේක්ෂා කරයි.

එහෙත් තමන්ගේ ආන්ඩුවක් එක්සත් ජනපදය හා ඉන්දියාව සමග වැඩකිරීමට සූදානම් බව රාජපක්ෂ සංඥා කර ඇත. සැප්තැම්බර් මාසයේ නව දිල්ලියට සංචාරය කල ඔහු අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුලු ඉන්දීය නායකයන් හමු විය. 2017 දී ඩොනල්ඩ් ට‍්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වූ විට, රාජපක්ෂ වහා ම සුභපැතුම් පනිවුඩයක් යැවී ය.

පාර්ලිමේන්තුව තුල විසකුරු ගැටුම් “ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ප‍්‍රහාරයක්” බවත් “ස්වෛරීත්වය දරන ශ‍්‍රී ලංකාවේ ඡන්ද දායකයන් වන අප සියලු දෙනාට පහරක්” බවත් නොවැම්බර් 16 දා වික‍්‍රමසිංහ නරුම ලෙස මාධ්‍යයන්ට කීවේ ය. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ව අවුරුදු 30 කට ආසන්න කාලයක් ඇදී ගිය යුද්ධය ආරම්භ කල එජාපය, ශ‍්‍රී ලංකාවේ අනෙක් සියලු ධනේශ්වර තන්ත‍්‍රයන් මෙන් ම මහජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ක‍්‍රමානුකූල ව මර්දනය කර ඇත.

නව මැතිවරනයක් සඳහා සිරිසේන කල කැඳවුම අනුමත කල රාජපක්ෂ, දේශපාලන අර්බුදය විසඳීමට ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නො හැකි නම්, ”මහජනතාවට ඉඩ දිය යුතු බවත්, ඡන්ද දායකයන්ට බලය දුන් විට කිසිවෙකුට ප‍්‍රශ්නයක් නැති” බවත් කියමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ගේ “ආරක්ෂකයෙකු” ලෙස දිගට ම පෙනී සිටී.

මෙම කියාපෑම් ව්‍යාජ ය. සමාජ හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් මත ඔහු එල්ල කල ප‍්‍රහාර ද යුද්ධයේ දී දෙමල සුලුතරයට එරෙහි ව සිදුකල අපරාධ ද හේතුවෙන් 2015 ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ පරාජයට පත් විය.

වික‍්‍රමසිංහ සහ සිරිසේන-රාජපක්ෂ කන්ඩායම්වල ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී” පූච්චානම් ව්‍යාජ ය. ඔවුන්ගේ සැබෑ උත්සුකය වන්නේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” නො ව, කම්කරුවන්, තරුනයන් හා දුගීන් අතර පුපුරා යන විරෝධතා සහ වැඩ වර්ජන ද පුලුල් ව පැතිරුනු සමාජ අතෘප්තිය ද යන ඒවා ය.\

කන්ඩායම් දෙක ද ඒවායේ අනෙකුත් ආධාරකරුවෝ ද ශ‍්‍රී ලංකාවේ දූෂිත ධනපති පන්තියේ දේශපාලනික නියෝජිතයෝ ය. කවර කන්ඩායමේ ආන්ඩුවක් පත්වුව ද ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ ද පිටුබලය සමගින් එය පියවර ගනු ඇත්තේ සියලූ වැඩකරන ජනයාගේ අයිතීන් මත රුදුරු ප‍්‍රහාර දියත් කිරීමට ය.

සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පාදක වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම සඳහා වැඩකරන ජනයා, තරුනයන් හා ගම්බද දුගීන් රැලි කරගැනීමට, සමාජවාදී සමානතා පක්ෂය විසින් ඉදිරිපත් කරන විප්ලවවාදී ඉදිරිදර්ශනය මත කම්කරු පන්තිය ක්ෂනික ව මැදිහත් විය යුතු ය.

Share this article: