මහජනතාවගෙන් පැහැරගත් උතුරේ ඉඩම් මිලිටරිය යටතේ දිගටම පවත්වාගෙන යන අයුරු හියුමන් රයිට්ස් වොච් වාර්තාව පෙන්වා දෙයි

සකුන ජයවර්ධන විසිනි, 2018 නොවැම්බර් 09

“ශ්‍රී ලංකාවේ ඉඩම් මත මිලිටරියේ අධිකාරිය” යන ශීර්ෂය යටතේ හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් පසුගියදා ්නිකුත් කල වාර්තාව, වසර තිහක වර්ගවාදී යුද්ධයේදීත් ඉන් පසුවත් මිලිටරිය මගින් උතුරේ ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන සිටින ආකාරය සහ ඒ හේතුවෙන් එම ජනතාව මුහුන දී සිටින අනේකවිධ දුෂ්කරතාවයන් පැහැදිලි කරයි. රටෙහි වානිජ ක්ෂේත්‍රය තුල මිලිටරියේ ක්‍රියාකාරකමි වඩවඩාත් තීව්‍ර වන ආකාරය ද එම වාර්තාව පෙන්වා දෙයි.

ඉඩම් අහිමිවීමට ගොදුරු වූවන් 110 දෙනෙකු සමග, 2017 ජූනි සහ 2018 අගෝස්තු යන කාලය තුල කරන ලද සම්මුඛ සාකච්ඡා වාර්තාවට පදනම් කරගෙන ඇත. වාර්තාවට අනුව මිලිටරිය විසින් අත්පත් කරගන්නා ඉඩම් තුල වානිජ කටයුතු පවත්වාගෙන යාම, ඉඩම් නැවත හිමිකරුවන්ට ලබාදීමේදි එම දේපල වලට හානි සිදුවී තිබීම හා ඉඩම් නිදහස් කල බවට නිවේදනය කලද මිලිටරිය එම ස්ථාන වලින් ඉවත් නොවීම යන කරුනු වාර්තාවෙන් ඉස්මතු වෙයි. යුධ හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව හා පොලීසිය මෙම ඉඩම් අත්පත් කරගැනීම් සිදුකර ඇත.

වාර්තාවට අනුව 2009 යුද්ධය අවසන් වීමෙන් පසුවද මිලිටරිය විසින් ඉඩම් අත් පත් කරගෙන ඇත. මෙලෙස යුද කාලයේ මෙන්ම ඉන් පසුව ද ඉඩම් අත්පත් කරගැනීම අවතැන් වූවන් බිහිවීම සඳහා ප්‍රධානතම හේතුවක් වී ඇති බව වාර්තාව පවසයි.

2017 වනවිට අභ්‍යන්තර වශයෙන් 40,000 ක් පමන අවතැන් වී සිටි බව රජය විසින් ප්‍රකාශ කර ඇත. ඉන් බහුතරය වෙසෙන්නේ යාපනයේ ය. දහස් ගනනක් ජනතාව තවමත් උතුරේ අවතැන් කඳවුරුවල හා රැකවරනය ලබාදෙන පවුල් යටතේ ජීවත් වෙයි. ඔවුන් තමන්ගේ නිවාස හා ජීවනෝපායන් අහිමි වීම්, දුෂ්කර ජීවන කොන්දේසි සහ අවතැන් කඳවුරු වල දුෂ්කර තත්වයන්ට මුහුන දෙමින් සිටිති.

මෙම අත්පත් කරගැනීම් මගින් උතුරේ දෙමල ජනයා පමනක් නොව සිංහල සහ මුස්ලිම් යන ජන කොටස් ද පීඩාවට පත්ව ඇති බව වාර්තාව පවසයි.

සෘජුවම සිංහල ස්වෝත්තමවාදය අවුලවමින් වසර තිහක් පුරා වර්ගවාදී යුද්ධයක් ගෙන ගිය ධනපති ආන්ඩු සියල්ලම මේ තත්වයට වගකිව යුතුය.

වාර්තාව සඳහන් කරන ආකාරයට මිලිටරිය විසින් මිලිටරි නොවන කටයුතු සඳහා රජය සතු හා සිවිල් වැසියන් සතු ඉඩම් අත්පත් කරගෙන ඇත. මෙම ඉඩම් වල, වගා බිම්, පාසල්, ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන, පොදු ළිං, වෙරල වැනි දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය දෑ පිහිටා තිබුනි.

එමෙන්ම මෙම අල්ලාගත් ඉඩම්, කාර්මික, කෘෂි කාර්මික හා සංචාරක වැනි ලාභ ගැරිය හැකි ව්‍යවසායන් බවට මිලිටරිය විසින් පත් කරගෙන ඇත. වාර්තාව තුල සඳහන් වන ප්‍රදේශ අතරින් අවම වශයෙන් ප්‍රදේශ 4 ක මෙම තත්වය පවතින බව සඳහන් වේ.

පානම ප්‍රදේශයේ අක්කර 365 ක භූමියක ගුවන් හමුදාව විසින් අන්තර්ජාතික සම්මන්ත්‍රන ශාලාවක් හා සංචාරක නිවාඩු නිකේතනයක් සෑදීමට කටයුතු ආරම්භ කර ඇත. උල්පාස්ස, එගොඩයාය, හොරකන්ද යන ප්‍රදේශවල පිහිටි කෘෂිකාර්මික ඉඩම් වලින් අක්කර 300 ක් නාවික හමුදාවට අත්පත් කරගෙන ඇති අතර එහි සංචාරක නිවාඩු නිකේතනයක් ඉදි කිරීමට කටයුතු කරමින් සිටී.

යුද්ධය නිමාවීමෙන් පසු, යටිතල පහසුකම් සවර්ධනය, පරිපාලනය හා සංචාරක කර්මාන්තය වැනි සිවිල් කටයුතු තුල මිලිටරියේ අධිකාරිය වර්ධනය වී ඇත.

විශේෂයෙන් උතුරේ මිලිටරිය හා ජනතාව අතර අනුපාතය, මෙවන් ආකාරයේ ගැටුම් සිදුවු වෙනත් ස්ථාන වලඩ වඩා විශාල අගයක් ගන්නා බව ද වාර්තාව සඳහන් කරයි. එයට අනුව මුලතිවු දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් දෙදෙනෙකුට මිලිටරියේ එක් කෙනෙකු බැගින් සිටී. මිලිටරියෙන් සියයට 25 ක් යොදවා ඇත්තේ ලංකාවේ ජනගහනයෙන් සියයට 0.6 ක් පමනක් සිටින මෙම ප්‍රදේශයටය. මේ තත්වය පෙන්නුම් කරන්නේ ආර්ථිකය හා අනෙකුත් කටයුතු මත ද මිලිටරිය අධිකාරය දරන පොලිස් මිලිටරි රාජ්‍යයක් දිශාවට ධනපති රාජ්‍යයේ ගමන් කිරීමයි.

ඉඩම් නැවත ලබාදීමේ සමහර සිද්ධීන් වලදී මිලිටරි පාලනය තවදුරටත් ගෙන යාමට හේතු නොමැති බැවින් ඉඩම් නිදහස් කරන ලෙස සිවිල් පරිපාලනය පවසා ඇතත් මිලිටරිය එම ඉඩම් නැවත ලබාදී නොමැත. ජනතාවට ඉඩම් ලබා නොදී හමුදාවන් අතර ඉඩම් හුවමාරු වූ අවස්ථා ද වාර්තාව තුල සඳහන් ය. පොලිසිය විසින් අත්පත් කරගෙන සිටි මන්නාරමේ පුල්ලිමුලෙයි ප්‍රදේශයේ පවුල් 23 ක් සතු ඉඩම් ඔවුනට නැවත ලබාදෙන බව පොලීසිය පැවසූ පසු එය නාවික හමුදාව මගින් අත්පත් කරගෙන සැබෑ හිමිකරුවන්ට එම භූමියට ඇතුලු වීමද තහනම් කොට ඇත.

යුද්ධය නිමා වීමෙන් පසුවද ඇතැම් ප්‍රදේශ වලට ආක්‍රමනශීලී ආකාරයෙන් කඩා වැදුුනු මිලිටරිය ඒවායේ ඉඩම් තම ග්‍රහනයට ගෙන ඇත. 2011 ජූලි 17 වන දින මධ්‍යම රාත්‍රියේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම, රාගම්වෙල ගම්මානයට මුහුනු ආවරනය කරගත් ආයුධ සහිත පිරිසක් කඩාපැන අවතැන් කඳවුරු 7 ක් ගිනි තබා ජනතාව පලවා හැර ඇත. එම ජනතාව නැවත එම ප්‍රදේශයට පදිංචි වීමට යාමේදි පොලීසිය විසින් එය වලක්වා ඇත. මේ වන විට එම ප්‍රදේශයේ නාවික හා ගුවන් හමුදා කඳවුරු තනා ගනිමින් ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවක් ගොඩනැගීමේ වැඩ කටයුතු ආරම්භ කර ඇත. හියුමන් රයිට්ස් වොච් වාර්තාව සඳහන් කරන්නේ මෙවන් සිදුවීම් නැගෙනහිර පලාත තුලද සිදුවී ඇති බවයි.

අර්ධ වශයෙන් ඉඩම් නිදහස් කිරීමේදී ඒවාට ආසන්න ඉඩමි මිලිටරි පාලනය යටතේ පැවතීම නිසා ජනතාව ප්‍රශ්න වලට මුහුන දෙන බව ද වාර්තාව සඳහන් කරයි. කන්කසන්තුරේ හී පිහිටි නඬේස්වර් විද්‍යාලය 2016 දී නිදහස් කෙරුනු නමුත් එහි ගොඩනැගිලි දෙකක් මිලිටරි පාලනය යටතේ තවමත් පවතී. මේ තත්වය නිසා පාසලට සිසුන්ගේ පැමිනීම යුද්ධය ඇරඹීමට පෙර පැවති තත්වයට වඩා පහත වැටී ඇත.

ඇතැම් අවස්ථාවලදී මිලිටරිය විසින් ඔවුන් අත්පත් කරගෙන ඇති භූමියේ වූ දේපල වලට හානිකර ඇත. පල්ලිමුනෙයි හි පංදිංචි ෆ්‍රැන්සිස් රීටා ගේ නිවස නාවික හමුදාව විසින් විනාශ කර ඇත. ඒ සම්බන්ධයෙන් අධිකරනයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.

වාර්තාව සඳහන් කරන්නේ වාඩිලාගැනීම් වලට විරුද්ධව ජනතාව විසින් පසුගිය වසර කිහිපය පුරාම විරෝධතා දක්වා ඇති බවයි. වයඹ දෙසින් වූ ඉරනමඩු සහ මුල්ලිකුලම් සිට උතුරේ වූ කෙප්පපුලාවු සහ පුදුකුඩුඉරිප්පු දක්වාද ගිනිකොන දෙසින් වූ පානම දක්වාද විරෝධතාවයන් පැතිර ගොස් තිබේ. යම් යම් අවස්ථා වලදී සීමිත ඉඩම් ප්‍රමානයක් නිදහස් කෙරුනද තවමත් බහුතර ඉඩම් ප්‍රමානයක් නිදහස් කර නොමැති බව වාර්තාව පවසයි.

මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩකටයුතු මගින් පෙන්නුම් කෙරෙන්නේ, දශක හතකට අධික තම පාලන කාලය තුල කොලඹ පාලකයන් විසින් දෙමල පීඩිත ජනතාවට එරෙහිව ගෙනගිය වාර්ගික නොපනත්කම් ඉදිරියටම ගෙන යමින් ඔවුන් මත මිලිටරි ග්‍රහනය වඩාත් තීව්‍ර කිරීමට දැරෙන ප්‍රයත්නය යි.

ඔවුන් දෙමල ජනතාවට එරෙහි ප්‍රකෝපකරනයන් මගින් අවුලුවාගත් රුදුරු යුද්ධය වසර 30 ක් පැවති අතර යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදයේ දී 40,000 කට ආසන්න සිවිල් වැසියන් ප්‍රමානයක් ඝාතනය වූ බව මානව හිමිකම් වාර්තා සඳහන් කරයි.

2015 දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට පත්වූයේ දෙමල ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු දෙමිනි. එනමුදු වසර තුනහමාරකට අධික ඔවුනගේ පාලන කාලය තුල එම ප්‍රශ්න විසඳනු වෙනුවට ඒවා වඩාත් තීව්‍ර කෙරී ඇත.

කොලඹ පාලක පන්තිය සමග ඇතිකර ගන්නා යම් එකඟතාවයකින් තම වරප්‍රසාද තරකර ගැනීමට මාන බලන දෙමල ධනපති පන්තියේ දේශපාලන උපකරනය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), 2015 ජනාධිපතිවරනයේදී, උතුරේ දෙමල පීඩිත ජනයාගේ ඡන්දය සිරිසේන ට හරවා දුන්නේ ඔහුට ප්‍රජාතන්ත්‍රවාදයේ සලුපිලි අන්දවමිනි.

1948 ඊනියා නිදහසේ සිට ශ්‍රී ලංකාව පාලනය කල සිංහල සහ දෙමල ධනපති පන්තීන් යලියලිත් සනාථ කොට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ කවර හෝ මූලධර්මයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඔවුනට ඇති නෙහැකියාවයි.

ඔවුන් මුහුන දී සිටින ආන්තික දේශපාලන සහ ආර්ථික අර්බුදය මධ්‍යයේ බලයට පැමිනෙන කවර හෝ ධනපති කන්ඩායමක න්‍යාය පත්‍රය වනුයේ සිංහල සහ දෙමල කතා කරන කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජමය සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රුදුරුම ලෙස තලා දැමීම සඳහා ආඥාදායකත්වයක් දෙසට වේගයෙන් හැරී ගැනීමයි.

හියුමන් රයිට් වොච් වාර්තාවේ දැක්වෙන යුද්ධයෙන් පසු ආර්ථික හා සිවිල් කටයුතු වල මිලිටරියේ අධිකාරිය වර්ධනය වීම පොලිස් මිලිටරි රාජ්‍යයක් දිශාවට යන පාලක පන්තියේ එම ගමන සම්බන්ධයෙන් අර්ථභාරී ඇඟවුමකි.

Share this article: