ශාස්ත‍්‍රාලිකයන් ජවිපෙ විකල්පයක් ලෙස පිම්බීමේ උත්සාහයක

සකුන ජයවර්ධන විසිනි, 2018 නොවැම්බර් 22

ශාස්ත‍්‍රාලිකයන් සහ කලාකරුවන්ගෙන් සමන්චිත “ජාතික විද්වත් සංවිධානය”, ජනතා විමුක්ති පෙරමුනේ සහභාගීත්වයෙන්, පසුගිය නොවැම්බර් 12 වනදා කොලඹ පදනම් ආයතනයේදී, “ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් විද්වත් පෙලගැස්ම” යනුවෙන් සම්මන්ත‍්‍රනයක් පැවැත්වීය. මෙයට සහභාගි වූ සරත් විජේසූරිය, ලියනගේ අමරකීර්ති සහ හරිනි අමරසූරිය ආදි ශාස්ත‍්‍රාලිකයෝ, ජවිපෙ, පවත්නා දේශපාලන ක‍්‍රමයට විකල්පයක් ලෙස පින්තාරු කිරීමේ උත්සාහයක නිරත වූහ.

මෙය පවත්වනු ලැබූයේ, පසුගිය ඔක්තෝබර් 26 වනදා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් අගමැති ධුරයේ සිටි රනිල් වික‍්‍රමසිංහ නෙරපා එම ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීමෙන් අනතුරුව, ලංකාවේ ධනපති පන්ති කන්ඩායම් අතර ගැටුම් උග‍්‍ර වෙමින්, රටෙ හි දේශපාලන අර්බුදය තී‍්‍රව වෙමින් පැවතියදී ය.

මෙම මධ්‍යම පන්තික නඩයේ ඉතිහාසය දෙස හැරී බැලීම වටී. 1994 ජනාධිපතිවරනයේදී ඔවුන්ගෙන් පිරිසක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සාමය ගෙන එන බව පවසමින් චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙන ඒම සඳහා පෙල ගැසුනි.

එය සිදු කෙරුනේ එවකට පැන නැගී තිබුනු දැවැන්ත දේශපාලන අර්බුදය මධ්‍යයේ ය. වසර 17 ක් පුරා රුදුරු මර්දනකාරී පාලනයක නිරත ව සිටි, විශේෂයෙන්ම 1988-89 කාල පරිච්ෙඡ්දය තුල දහස් සංඛ්‍යාත ගම්බද තරුනයින් ඝාතනය කල, එජාප ආන්ඩුව ඒ වන විට විශාල වශයෙන් ජනතා විරෝධයට ලක් වී තිබුනි. එමෙන්ම දෙමල විරෝධී යුද්ධය අවිලීම හේතුවෙන් උතුරේ සහ දකුනේ කම්කරු-පීඩිත මහජනතාව දැවැන්ත ව්‍යසනයන්ට මුහුන දෙමින් සිටියහ. එම තත්වය යටතේ ඇවිලෙමින් තිබුනු මහජන විරෝධය කුමාරතුංග දෙසට අපසරනය කිරීමට මොවුහු කටයුතු කලහ.

2015 දී නැවතත් මෙම ශාස්ත‍්‍රාලික නඩයම, රාජපක්ෂ තන්ත‍්‍රයට එරෙහිව වැඩෙමින් පැවති විරෝධය ගසා කෑම සඳහා යහපාලනයේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සලු පොරවා පෙරට ගෙනා මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති කරවීමේ උද්ඝෝෂනයට කරබදු විය. ඔවුන් ඉතිහාසය පුරාම වැඩ කර ඇත්තේ පාලක පන්තිය තුල අර්බුදයන් මතු වන විට, මහජන විරෝධයක් ඇතිවන විට එය ධනපති පක්ෂයක් වෙත හරවා යැවීමටය.

2018 පෙබරවාරියේ පැවති පලාත් පාලන මැතිවරනයේදි මෙම ශාස්ත‍්‍රාලිකයෝ හා කලාකරුවෝ “වෙනසක ඇරඹුම” නමින් ජවිපෙ පිම්බීමේ උද්ඝෝෂනයක නිරත විය.

වත්මන් දේශපාලන අර්බුදය පුපුරා යාමත් සමග සංස්ථාපිතයේ වූ ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක හෙලිදරව් වී ඇති තතු තුල මොවුහු නව වටයකින් ජනතාව අවමංගත කිරීමේ උත්සාහයක යෙදී සිටිති. සුලු ධනේශ්වර ව්‍යාපාරයක් ලෙස ආරම්භ වී මේ වනවිට ධනපති පක්ෂයක් බවට පත් වී ඇති ජවිපෙ, ප‍්‍රධාන ධනපති පක්ෂ දෙකට විකල්පයක් ලෙස මවාපෑමට මොවුහු යොමුවී ඇත. මෙම මධ්‍යම පන්තික කන්ඩායම් ජවිපෙ සමග එකතු වී ඇත්තේ තියුනු වෙමින් පවතින අර්බුදය මධ්‍යයේ කම්කරු පන්තිය ධනේශ්වරයෙන් බිදී ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුල බලමුලූ ගැන්වීමට එරෙහිවය.

ඇතිවී තිබෙන අර්බුදය ධනපති පන්තියේ දේශපාලනඥයින්ගේ පුද්ගලික දුශ්ඨකම් නිසා හා විධායක ජනාධිපතිධුරය නිසා ඇතිවූවක් බව මවා පෑමට

මෙම ශාස්ත‍්‍රාලිකයන් සහ කලාකරුවන් උත්සාහ දරයි. අමරසූරිය සඳහන් කලේ මෙය “සදාචාරාත්මක ප‍්‍රශ්නයක්” බවයි. එයටම සම්බන්ධ වෙමින් අමරකීර්ති පැවසුවේ මෙය “ව්‍යවස්ථාමය සදාචාරය” සම්බන්ධ අර්බුදයක් බවයි. මොවුන් මෙම අර්බුදයට හේතු වී ඇති වෛෂයික හේතු පැහැදිලි කිරීම මග හරිමින් මෙය ධනපති ක‍්‍රමයේ අර්බුදයේ ප‍්‍රකාශනයක් බව වසන් කලේය.

මොවුන් ජවිපෙ කෙරෙහි විශ්වාසය තබන්නේ ඇයිද යන්න සිය දේශන වලදී සඳහන් කලේය. කථිකාචාර්ය විජිත් රොහාන් සඳහන් කලේ “බල වියරුවක් වූ” විධායක ජනාධිපති ධුරය ආරම්භ වූ දා සිට “අවංකවම” එය අහෝසි කිරීමට ජවිපෙ කටයුතු කර ඇති නිසා ඔහු ජවිපෙ සමග එක්වූ බවය. විජේසූරිය පැවසුවේ “1978 ව්‍යවස්ථාව” ගෙන ඒමත් සමග ලංකාවේ “විපරීත සමාජයක්” ඇතිවී තිබෙන බව යි. ජවිපෙ විකල්පයක් ලෙස හුවා දක්වමින් අමරකීර්ති පැවසුවේ එය සතුව “සදාචාරමත් දේශපාලනයක්” පවතින බවයි.

ඔවුන් වැමෑරුවේ පච ගොන්නකි. විධායක ජනාධිපති ධුරය 1978 දී ස්ථාපිත කරන ලද්දේ නිශ්පාදනයේ භූගෝලීයකරනයත් සමග ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට අවශ්‍ය පරිදි ලංකාව ලාභ ශ‍්‍රම කඳවුරක් බවට පර්වර්තනය කිරීමේදී එයට එල්ල වන කම්කරු පන්ති විරෝධය මර්දනය කිරීම සඳහාය. මෙය ජාත්‍යන්තරව දක්ෂිනාංශය ශක්තිමත් වීමෙහි කොටසක් විය. මෙම ශාස්ත‍්‍රාලිකයින් 1978 ව්‍යවස්ථාව ගැන සඳහන් කරන්නේ මෙම මූලයන් වසන් කරමිනි.

ජවිපෙ “අවංකවම” විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට උත්සාහ ගෙන ඇතැයි පැවසීම මොනතරම් ප්‍රෝඩාවක්ද යන්න ඔවුන්ගේම ඓතිහාසික වාර්තාව තුලින් පැහැදිලි වේ. විධායක ජනාධිපති ක‍්‍රමය ආරක්ෂා කිරීමට සහ එහි බලතල වැඩි දියනුු කිරීමට සහාය වී ඇති ජවිපෙ විටින් විට විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ සටන් පාඨය ඉදිරියට දැමුවේ විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහිව වර්ධනය වන විරෝධය අවමංගත කිරීම සඳහාය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග දුන් බොරු පොරොන්දු පිලිගෙන ජවිපෙ ජනාධිපතිවරනයෙන් ඉවත් විය.

ඉන් පසු 2001 දී අපකීර්තියට පත් කුමාරතුංගගේ ආන්ඩුවේ ආරක්ෂකයින් හැටියට වැඩ කටයුතු කරමින් පරිවාස ආන්ඩුවක් සෑදීමට කටයුතු කලේය.

2002 වසරේ දී, එජාපය එල්ටීටීඊ සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කල පසු ජවිපෙ එයට විරුද්ධත්වය පල කරමින් එජාප ආන්ඩුව පෙරලා දැමීමටත් නව මැතිවරනයක් පැවැත්වීමටත් විධායක ජනාධිපති ධුරයේ වූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලතල යොදා ගන්නා ලෙස ඉල්ලමින් උද්ඝෝෂනයක නිරත විය.

කුමාරතුංග, 2003 දී, ජාතික ආරක්ෂාවට හානි කෙරෙන බව පවසමින් ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු හා තොරතුරු යන අමාත්‍යංශය වල ඇමතිවරුන් නෙරපා හැරිය විට සහ 2004 දී එජාප ආන්ඩුව විසුරුවා හැරිය විට ජවිපෙ එය යුක්ති සහගත කරමින් හුරේ දැමීය.

2004 මැතිවරනයෙන් පසු චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුව යටතේ ජවිපෙ ඇමතිකම් ලබා ගත්තේය. විධායක ජනාධිපති ධුරයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලතල යොදා ගනිමින් යුද්ධය ඉදිරියට ගෙන යායුතු බවට උද්ඝෝෂනය කල ජවිපෙ යුද්ධයේ කසකරුවා බවට පත් විය.

ඉන් පසු, 2010 ජනාධිපතිවරනයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකීමේ නාමයෙන් සරත් ෆොන්සේකා ජයග‍්‍රහනය කරවීම සඳහා එජාප ය සමග සන්ධානයකටද එලැඹුනි.

2015 දී සිරිසේන ජනාධිපති බවට පත් කිරීමට සහාය දුන් ජවිපෙ ඔහුගේ දින සියයේ ආන්ඩුවේ ජාතික විධායක සභාවට ද සහභාගී විය.

මෙම වාර්තාවට අනුව ජවිපෙ තම ඉතිහාසය පුරා ධනපති පක්ෂ සමග සන්ධාන ගතවූ දේශපාලනික වශයෙන් දූෂිත පක්ෂයකි. ජවිපෙහි “දේශපාලන සදාචාරය” සම්බන්ධයෙන් මෙම ශාස්ත‍්‍රාලිකයන් දෙන ප‍්‍රකාශයන් මහජනතාව නොමග යැවීම සඳහා කරන ප‍්‍රකාශයන් ය.

ඔවුන් ජවිපෙ සම්බන්ධයෙන් මෙතරම් ප‍්‍රසාදයක් දක්වන්නේ එය ධනපති ක‍්‍රමය රැකගැනීමට පසුගිය දශක කිහිපය පුරාම කරගෙන ගිය වැඩකටයුතු හේතුවෙනි. එක් අතකින්, ධනපති ක‍්‍රමයට එල්ල වන මහජන විරෝධය තවත් ධනපති පක්ෂයක් තුලට හරවා යැවීමට ඔවුහු ජවිපෙ ය යොදා ගනිති. අනෙක් අතට, සිය මධ්‍යම පන්තික අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා වේදිකාවක් ලෙස ඔවුන් ජවිපෙ දැක ගනී.

අමරකීර්ති මෙහිදී තව දුරටත් සදහන් කලේ ජවිපෙ විසින් “සදාචාරය” නමැති කරඬුව මහ පාරට ගෙන ආ යුතු බවයි. එයට එම “සදාචාරය” පිලිගන්නා සියලු දෙනා එකතු වී “පලල් මහජන ප‍්‍රගතිශීලී පෙරමුනක්” ගොඩ නැගිය යුතු බව ඔහු පැවසීය. එවන් පෙරමුනකට වාම මුහුනුවරක් දීම සඳහා, “වාමාංශික, ප‍්‍රගතිශීලී, සමාජ සාධාරනත්වය වෙනුවෙන් පෙනී සිටින පෙරමුනක්” සදහා තමා සහයෝගය දෙන බව අමරසූරිය ප‍්‍රකාශ කලාය.

එවන් ධනපති පෙරමුනක් සඳහා වන තම ආධ්‍යාසය ප‍්‍රකාශ කරමින් ජවිපෙ නායක අනුර දිසානායක තම කතාව තුලදී පැවසුවේ “අපේ රට නව දේශපාලන ගමන් මගකට යොමු කල හැකි මහජන ව්‍යාපාරයක ආරම්භක ගති ලක්ෂන මේ මැතිවරන ව්‍යාපාරයේදී ආරම්භ කරන” බවයි.

වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් මහජනතාව ව්‍යාකූල කිරීමේ අරමුනින් මෙය “බල අරගලයේ නිර්මානයක්” බව දිසානායක ප‍්‍රකාශ කලේය. ඔහු තවදුරටත් සඳහන් කලේ “රනිල්ගේ හා මෛත‍්‍රීගේ බලපොරය මහින්දව පෝෂනය” කල බවයි. මෙවන් ප‍්‍රකාශ හරහා ඔහු උත්සාහ කරන්නේ ධනපති ක‍්‍රමය මුහුන දී ඇති අර්බුදය වසන් කොට මෙය සිරිසේන ගේ හෝ වික‍්‍රමසිංහ ගේ පුද්ගලික වැරදි නිසා ඇති වූවක් බවට හුවා දැක්වීමටයි.

උපතේ පටන් ප‍්‍රජාතන්ත‍්‍ර-විරොධී සහ සමාජ විරෝධී ක‍්‍රියා වල නිරත වී ධනපති පක්ෂ “ඓතිහාසිකව යම් ප‍්‍රගතිශීලී කාර්යයක්” ඉටු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් “ඔවුන්ට ඇගයීමක් ඇති” බවත් ප‍්‍රකාශ කලේය. නමුත් ඔහු එවන් “ප‍්‍රගතිශිලී කාර්යභාරයන්” කවරක්ද යන්න සඳහන් කිරීමෙන් වැලකී සිටියේ එවන් කිසිවක් නොමැති බව ඔහු හොඳින් දන්නා නිසාය. ඔහු තතනන්නේ ධනපති පක්ෂ සමග ඔවුන් ඇති කරගත් සන්ධාන සඳහා ආවරනයක් සපයා ගැනීමටයි.

මෙම ශාස්ත‍්‍රාලිකයන්ට සහ කලාකරුවන්ට කම්කරු හා පීඩිත ජනතාවගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සම්බන්ධයෙන් මොනයම් හෝ උත්සුකයක් නොමැත. ඔවුන් “ව්‍යවස්ථා සදාචාරය” ආදී ප‍්‍රකාශ යොදා ගන්නේ කම්කරු පන්තිය ධනපති පන්තියට යටත් කොට තැබීමටය.

මෙම ව්‍යවස්ථාව හෝ වෙනත් ධනපති ව්‍යවස්ථාවක් අටවා කම්කරු පීඩිත මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කල නොහැක. මෙම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කුනුවීම සිදුව ඇත්තේ ධනපතික‍්‍රමයේ පරිහානියේ අනිවාර්ය ප‍්‍රතිඵලයක් ලෙස ය.

කම්කරු හා අනෙකුත් පීඩිත ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ මෙම මධ්‍යම පන්තික කොටස් වලින් සහ ධනේශ්වරයෙන් ස්වාධීනව බලමලු ගැන්වෙමින් අධිරාජ්‍ය ගැති ධනපති ආන්ඩුව සහ ධනපති ක‍්‍රමය පෙරලා දමා ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස ශී‍්‍ර ලංකාව තුල කම්කරු ගොවි ආන්ඩුවක් පිහිටුවාලීමෙන් පමනි.

Share this article: