“ඉතිහාසයේ පාඩම් හා අද දින සමාජවාදය සඳහා අරගලය” මැයෙන් යාපනයේ දී සමාජවාදී සමානතා පක්ෂයේ දේශනයක්

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකා) විසිනි, 2018 නොවැම්බර් 21

හතරවන ජාත්‍යන්තරය ආරම්භ කර වසර 80ක් පිරීම හා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ආරම්භ කර වසර 50ක් ගතවීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සංවත්සර රැස්වීම් මාලාවේ කොටසක් ලෙස, සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය නොවැම්බර් 23දා උතුරේ යාපනය නගරයේ දී ප්‍රසිද්ධ දේශනයක් පවත්වති.

“ඉතිහාසයේ පාඩම් හා අද දින සමාජවාදය සඳහා අරගලය” යන මැයෙන් යුත් මෙම දේශනය සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් පවත්වනු ඇත. එය පැවැත්වෙන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් කොලඹ දී සහ මහනුවර දී එම මාතෘකාව මත ම පවත්වන ලද සාර්ථක රැස්වීම් දෙකකින් පසුව ය.

අද දින ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය, එක්සත් ජනපදය හා චීනය අතර තීව්‍ර වන ආතතීන් සහ ජාත්‍යන්තර පන්ති අරගලයන්ගේ පුනර්ජීවනය මධ්‍යයේ පැවැත්වෙන යාපනයේ රැස්වීම, 20වන ශතවර්ෂයේ දැවෙන අදාලත්වයක් සහිත තීරනාත්මක දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කරනු ඇත. ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව තුල රුදුරු කන්ඩායමික අරගලය හා කම්කරු පන්තියේ වැඩෙන අරගල මාලාව මෙම ගෝලීය ක්‍රියාවලීන් ගේ තියුනු ප්‍රකාශනයකි.

1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් හතරවන ජාත්‍යන්තරය ආරම්භ කරන ලද්දේ, සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයට එරෙහි ව ඔහු ගෙනගිය දේශපාලන අරගලයෙහි කූටප්‍රාප්තිය ලෙස යි. සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස), 1968 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස ආරම්භ කරන ලද්දේ, 1964 දී විවෘත ව ට්‍රොට්ස්කිවාදය අතහරිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් ධනේශ්වර ආන්ඩුවට ඇතුල් වූ ලංකා සම සමාජ පක්ෂයේ පාවාදීමට එරෙහි අරගලයකිනි.

ධනවාදය පවත්නේ එහි “මරලතෝනි” යුගයේ බව 1938 දී ට්‍රොට්ස්කි ප්‍රකාශ කලේ ය. අද දින මෙම “මරලතෝනිය,” විප්ලවීය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය විසින් පමනක් වැලැක්විය හැකි න්‍යෂ්ටික යුද්ධයක් දෙසට ලෝකය තල්ලු කරමින් සිටී.

මානව වර්ගයා මෙම අර්බුදයෙන් එලියට මාවතක් සොයද්දී, සමාජවාදය සඳහා වැඩෙන උනන්දුවක් පවතී. එහෙත් සමාජවාදය සඳහා අරගලය ඉතිහාසයේ පාඩම් අවබෝධ කරගැනීම මත පාදක කල යුතු ය. කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයන් යාපනය රැස්වීමට සහභාගි වී හතරවන ජාත්‍යන්තරයේ හා සසපහි ඉතිහාසය පිලිබඳ මෙම තීරනාත්මක සාකච්ඡාවට සම්බන්ධ විය යුත්තේ මේ නිසා ය.

දිනය හා වේලාව: නොවැම්බර් 23 සිකුරාදා, පස්වරු 3.30ට

යාපනය පුස්තකාල ආපනශාලාගාරයේදී

Share this article: