ශ්‍රී ලංකාවේ අර්බුදය: ශ්‍රීලනිපය දේශපාලන කුමන්ත්‍රනය ආරක්ෂා කිරීමේ රැලියක් පවත්වයි

Sri Lankan crisis: SLFP holds rally to defend political coup

කේ. රත්නායක විසිනි, 2018 නොවැම්බර් 6

ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ කන්ඩායම් අතර එදිරිවාදිකම් තීව්‍ර වෙද්දී, රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කොට එම තනතුරට මහින්ද රාජපක්ෂ පත්කරමින් ඔක්තෝබර් 26දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකල දේශපාලන කුමන්ත්‍රනය සාධාරනීකරනය කිරීම සඳහා සිරිසේන හා රාජපක්ෂ බත්තරමුල්ලේ දී නොවැම්බර් 5 දා රැලියක් පැවැත්වූහ.

වික්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය (එජාප) යලි බලය ලබාගැනීම සඳහා ගෙනයන උද්ඝෝෂනයේ කොටසක් ලෙස ඔක්තෝබර් 30දා පැවැත්වූ රැලියට ප්‍රතිචාර වසයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) විසින් මෙම රැලිය පැවැත්වී ය. සිරිසේන නොවැම්බර් 16දා තෙක් කල්දැමූ පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස අවධාරනය කරමින් වික්‍රමසිංහ අගමැති නිල නිවස හැරයාම ප්‍රතික්ෂේප කර ඇත.

වැඩෙන ජාත්‍යන්තර පීඩනය අපසරනය කිරීමට උත්සාහ දරමින් පාර්ලිමේන්තුව නොවැම්බර් 14දා යලි විවෘත කරන බව සඳහන් කරන ගැසට් පත්‍රිකාවක් සිරිසේන ඊයේ නිකුත් කලේ ය. පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස සිරිසේනගෙන් ඉල්ලමින් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා යුරෝපා සංගමය වික්‍රමසිංහගේ ආස්ථානයට පිටුබලය දී ඇත.

2015 ජනවාරි ජනාධිපතිවරනයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීම සඳහා වික්‍රමසිංහ සමග අත්වැල් බැඳගැනීමට, 2014 නොවැම්බරයේ දී සිරිසේන හිටපු ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුවෙන් ඉවත් විය.

එකල ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනය හා සමාජ අයිතීන් මත එල්ල කල ප්‍රහාර පිලිබඳ ව රාජපක්ෂ ව විවේචනය කල සිරිසේන “යහපාලනයක්” පොරොන්දු විය. මෙම පූච්චානමට පිටුපසින්, එක්සත් ජනපදය විසින් චීන-හිතවාදී යයි සැලකූ රාජපක්ෂ ඉවත් කිරීමට වොෂින්ටනය විසින් සිදුකල තන්ත්‍ර-මාරු මෙහෙයුමේ කොටස්කරුවන් බවට සිරිසේන හා වික්‍රමසිංහ පත් වූ හ.

2014 දී රාජපක්ෂ සිරිසේනට දේශපාලනික ව පිටුපසින් ඇනීම පිලිබඳ ව චෝදනා කලේ ය.

කෙසේ නමුත් ඊයේ සිරිසේන හා රාජපක්ෂ ජයග්‍රාහී ලීලාවෙන් එකම වේදිකාවේ පෙනී සිටියේ මේ අතීතය ගැන කිසිවක් නො කියමිනි. ඒ වෙනුවට නිල දේශපාලනයේ කුනුවීම පෙන්නුම් කරමින් ඔවුහු එකිනෙකා වගවර්නනා කර ගත්හ.

වික්‍රමසිංහ ව නෙරපා දැමීම ගැන අගතිගාමී ලෙස කතාකරමින් සිරිසේන මෙසේ ප්‍රකාශ කලේ ය: “අපේ සංස්කෘතිය හා වටිනාකම් සමග නො ගැලපෙන විදේශීය න්‍යාය පත්‍රයන්ට අනුව වැඩකරන දැක්මක් ඉවත් කරන්න මම පියවර ගත්ත.” පහුගිය අවුරුදු තුනහමාර පුරා “අන්තගාමී නව ලිබරල් රූපයේ පාලනයක් ගෙනගිය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික හා දේශපාලන දැක්ම විසින් දුප්පත් ජනතාව මර්දනය කලා.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් පනවන ලද දුරදිග යන කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට වික්‍රමසිංහ සමග එක්ව විධානය කල සිරිසේනගේ ආන්තික නරුමත්වය මෙම පූච්චානම් මගින් ප්‍රදර්ශනය කරයි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කම්කරුවන්, ගොවීන් හා ශිෂ්‍යයන්ගේ විරෝධතාවන් මර්දනය කිරීමට පොලීසිය හා මිලිටරිය මුදාහලේ ය.

අර්ථභාරී ලෙස, පෙබරවාරි 10දා පැවති පලාත් පාලන මැතිවරනයෙන් ආන්ඩුව පරාජයට පත්වීමෙන් පසු අගමැති ධූරය වෙනස් විය යුතු යයි සිතා එම තනතුර සඳහා පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරියට තමන් ආරාධනා කල බව සිරිසේන කීවේ ය. ජයසූරිය එම යෝජනාව ප්‍රතික්ෂේප කලේ ය.

පලාත් පාලන මැතිවරනයේ දී සිරිසේනගේ ශ්‍රීලනිප කන්ඩායම තෙවන තැනට පත් ව එජාපය දෙවන තැනට පත්වුනි. බහුතර පලාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුන නමින් රාජපක්ෂ වටා රැලි වී සිටි ශ්‍රීලනිප කන්ඩායමට හිමි විය.

එම මැතිවරන ප්‍රතිඵල පිලිබිඹු කලේ, කම්කරුවන්, ගම්බද දුගීන් හා තරුනයන් අතර ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් කෙරෙහි වැඩෙමින් පවතින විරෝධය යි. බොහෝ ජනයා රාජපක්ෂගේ පක්ෂයට ඡන්දය දුන්නේ ඔහු කෙරෙහි පවතින ධනාත්මක සහයෝගයක් නිසා නො ව, ආන්ඩුවේ පිලිවෙත්වලට හතුරු කම ප්‍රකාශ කිරීමට යි.

වැඩෙන අතෘප්තිය කෙරෙහි කාංසා සහගත වූ සිරිසේන එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ද අගමැති ධූරය සඳහා ආරාධනා කල නමුත් ඔහු ද එයට එකඟ නො වී ය.

රැලියේ දී සිරිසේන මෙසේ ප්‍රකාශ කලේ ය: “මම සොයමින් සිටියේ රටට ආදරය කරන, ඒ වගේ ම මාත් එක්ක එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කල හැකි පුද්ගලයෙක්. රනිල් වික්‍රමසිංහයි ඔහුගෙ ආන්ඩුවයි බිඳවැට්ටවිය හැකි පුද්ගලයෙක් ලෙස මම මහින්ද රාජපක්ෂ තෝරාගත්තා.”

වසර හතරකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන්නෙක් ලෙස සිරිසේන විසින් හෙලාදුටු රාජපක්ෂට දැන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කල හැක්කේ කෙසේදැයි සිරිසේන විස්තර කලේ නැත.

රාජපක්ෂ කෙටියෙන් අදහස් දැක්වී ය. සිරිසේන සමග තමන්ගේ බැඳීම ශක්තිමත් වී ඇති බවත් බොරු කියා එය බිඳ දැමිය නො හැකි බවත් ඔහු කීවේ ය. “සියලු රටවල උදව්වෙන්” ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන තමන්ගේ ආන්ඩුව, ජනතාවගේ සුභසාධනය සඳහා ක්‍රියාකරමින් රට සමෘද්ධිමත් කරන බව ඔහු කියාසිටියේ ය. දෙමල සුලුතරයේ අවශ්‍යතා ඉටුකිරීමට ද ඔහු පොරොන්දු විය.

මෙය නග්න ප්‍රෝඩාවකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කල ප්‍රහාර, ජාමූඅ කප්පාදු පියවරයන් පැටවීම හා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය තුල දෙමල වැසියන්ට එරෙහි මිලිටරියේ අපරාධ හේතුවෙන් 2015 ජනවාරි ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ පරාජයට පත් විය.

පසුගිය දින 10 පුරා, රාජපක්ෂ කඳවුර එජාපයෙන් හා විපාර්ශවික දෙමල ජාතික සන්ධානයෙන් (ටීඑන්ඒ) මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් තමන්ගේ පැත්තට බාගෙන ඇත. මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම කැත ගනුදෙනු දිගට ම පැවතීගෙන යයි. රාජපක්ෂට කාලය ලබාදීම සඳහා සිරිසේන පාර්ලිමේන්තුව කල්දැමී ය. දැන් සිරිසේන හා රාජපක්ෂ විසින් සම-නායකත්වය දෙන ශ්‍රීලනිපයට ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 96ක් සිටින අතර, බහුතරයක් ලබාගැනීම සඳහා තවත් ආසන 17ක් අවශ්‍ය වේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවක දී එජාප මන්ත්‍රී පාලිත රංගේ බන්ඩාර, තමන්ට රාජපක්ෂ කඳවුරේ මන්ත්‍රීවරයෙක් හා තවත් පිරිසක් විසින් රුපියල් මිලියන 500ක් (ඇමරිකානු ඩොලර් මිලියන 2.8ක්) දීමට උත්සාහ දැරීම පිලිබඳ හඩ පටියක් වාදනය කලේ ය. එවැනි හැරයාම් සඳහා රුපියල් මිලියන 200 සිට 300 දක්වා ප්‍රදානයන් මෙන් ම ඉහල ගෙවීම් සහිත අමාත්‍ය ධූර ඉදිරිපත් කෙරෙන බව මාධ්‍ය වාර්තා කරයි. මන්ත්‍රීවරුන් මිලට ගැනීම ශ්‍රී ලංකාවේ දේශපාලනයට අලුත් දෙයක් නො වුනත් දැන් එය කුජීත මට්ටමකට ගිලී ඇත.

“පාර්ලිමේන්තුව තුල සිදුකරන ලද වෙනස්කම් ප්‍රජාතන්ත්‍ර-විරෝධී හා එහි සම්ප්‍රදායන්ට පටහැනි බව බහුතරයේ මතය නිසා” තමන් පිලිගන්නේ ඔක්තෝබර් 26දාට පෙර පාර්ලිමේන්තුවේ පැවති තත්ත්වය පමනක් බව සඳහන් කරන ප්‍රකාශයක් කථානායක ජයසූරිය විසින් ඊයේ නිකුත් කලේ ය. එහි අර්ථය වන්නේ ඔහු මහින්ද රාජපක්ෂ ව අගමැති ලෙස පිලිනොගන්නා බව යි. “නව දේශපාලන සන්ධානය පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්විය යුතු” බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ය.

“මධ්‍යස්ථ සේවකයන් හා තොරතුරු නො සලකා හරිමින් මාධ්‍ය ආයතන හා අනෙක් රාජ්‍ය ආයතනවල පරිපාලනය බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවිධ දීමනා හා වරප්‍රසාද ලබාදෙමින් ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම දැඩි ලෙස උල්ලංඝනය කිරීම” ජයසූරියගේ අවධානයට ලක් විය.

ජයසූරිය වනාහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් පිලිබඳ ව කුප්‍රකට එජාපයේ නායක සාමාජිකයෙකි. පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි ප්‍රධාන බලයන්ගේ රාජ්‍යතාන්ත්‍රිකයන් ඔහු හමුවට පැමිනීමෙන් ඔහු දිරිමත් කෙරී ඇත.

වික්‍රමසිංහ ඊයේ රොයිටර් පුවත් සේවයට මෙසේ කීවේ ය: “රටවල් සංවේදී යි, ඔවුන්ට උත්සුකතාවන් තිබෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී රටවලට උත්සුකතාවන් තිබෙනවා.” යථාර්ථය වන්නේ, විශේෂයෙන් ම එක්සත් ජනපදය ඇතුලු මෙම බලයන් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි කිසිදු උත්සුකතාවක් නැති අතර, රාජපක්ෂ අතීතයේ දී චීනයට සමීප ව සිටීම නිසා ඒවා ඔහුට විරුද්ධ වන බව යි.

රාජපක්ෂගේ පත්වීමට එරෙහි ව එජාප මන්ත්‍රීවරුන් ඉදිරිපත් කල විශ්වාස භංගයක් ජයසූරිය විසින් පිලිගෙන ඇත. යථාර්ථයේ දී එජාපය යලි බලය ලබාගැනීමට දරන උත්සාහය සමග පෙලගැසෙමින් ටීඑන්ඒ හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) එම යෝජනාවට සහයෝගය දෙන බව නිවේදනය කර තිබේ.

වැඩිදියුනු වන ආතතීන් පිලිබඳ ව ඉඟිකරමින් සිදුවිය හැකි “ලේ වැගිරීමක්” ගැන අනතුරු අඟවන සම්මුඛ සාකච්ඡාවක් වික්‍රමසිංහ නොවැම්බර් 2දා ඒඑෆ්පී පුවත් සේවයට දුන්නේ ය. “ප්‍රචන්ඩත්වයට යොමු නො වන ලෙස අපි අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ...මංමුලා සහගත සුලු පිරිසකට ලේ වැගිරීමක් ආරම්භ කල හැකි යි” යනුවෙන් ඔහු පැවසී ය.

මෙම ප්‍රකාශය පාලක පන්තියේ කන්ඩායම් දෙක ම රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා කිරීමට සූදානම් වන මංමුලා සහගත ක්‍රියාවන් පිලිබඳ අනතුරු ඇඟවීමකි. අවසානයේ බලය අල්ලා ගන්නා කවර පක්ෂය හෝ පක්ෂ ජාමූඅ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් ඕනෑ ම විරෝධයක් රුදුරු ලෙස මඩිනු ඇත.

කම්කරුවන් හා තරුනයන් අතර වර්ධනය වන අතෘප්තිය පිලිබඳ ව පාලක ප්‍රභූවේ කොටස් කාංසාව පලකරමින් සිටිති. ඬේලි මිරර් පත්‍රය ඊයේ පලකල කතුවැකියක් ප්‍රකාශ කලේ: “දූෂිතම සමාජ ස්ථරයක් ලෙස දේශපාලනඥයන් දැක ගැනීමට සාමාන්‍ය මහජනතාව පටන් ගනිමින් සිටින අතර, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම තරුන ජනයාගේ, විශ්වාසය ඛාදනය වීම සමස්තයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට නරකය. එබැවින් පාර්ලිමේන්තු පද්ධතිය තුල නරක අතට හැරෙමින් පවත්නා තත්වය අවසානයකට ගෙනඒම වඩවඩාත් අවශ්‍ය කෙරී ඇත.”

“දිග් ගැසෙන අර්බුදය හේතුවෙන් පාලනය කල නොහැකි තත්වයක් ඇතිවුවහොත්, වෙනසක් සඳහා, නැවත වරක් පාර්ලිමේන්තුවට පිටස්තර ක්‍රමයන් සලකා බැලීමට තරුනයන් යොමුවිය හැකි” යයි අනතුරු ඇඟවූ එම කතුවැකිය, “පාර්ලිමේන්තු පද්ධතිය නරක අතට හැරීම” අවසන් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

පාලක ප්‍රභූවේ සැබෑ භීතිය වන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී වහන්තරාව හෙලිදරවු වෙද්දී, කම්කරු පන්තිය ධනවාදය විසින් නිර්මිත සමාජ හා දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විප්ලවීය සමාජවාදී මාවතක් ගනු ඇත යන්න යි.

Share this article: