ඉන්දීය අධිකරනය මරුති සුසුකි කම්කරුවන්ගේ ඇප අයදුම ඉවත දමයි

Indian court dismisses Maruti Suzuki workers’ bail application

කීත් ජෝන්ස් විසිනි,2018 ඔක්තෝබර් 23

සිරගත කර ඇති මරුති සුසුකි කම්කරුවන් 13 දෙනාගෙන් තුන්දෙනෙක්, බොරු නඩුවේ විනිශ්චය පිලිබඳව ඔවුන් ඉදිරිපත් කර ඇති ඇපෑලේ ප්‍රතිඵලය එන තෙක් තමන් ව නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීම, පන්ජාබ් හා හර්යානා ඉහල උසාවිය විසින් කුරිරු ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

ඉහල උසාවියේ විනිසුරු ඒ. බී. චවුද්‍රි ඔක්තෝබර් 12 වන සිකුරාදා ඇප අයදුම්පත විභාගයට ගත් විට එය ක්ෂනික ව ප්‍රතික්ෂේප කලේ ය. ඇප අයදුම්පතට පක්ෂපාත තර්කයන්ට සවන් දීමටවත් ඔහු සූදානම් නො වී ය.

කම්කරුවන් රාජ්‍ය දඩයමකට ගොදුරු වූවන් බව ප්‍රදර්ශනය කරන සාක්ෂි කන්දරාවකින් සමහරක් පෙන්වාදීමට, සන්දීප් දිලොන්, සුරේෂ් ධූල් හා ධන්රාජ් භම්බි වෙනුවෙන් පෙනී සිටින ඉන්දියාවේ සුප්‍රකට සිවිල් අයිතිවාසිකම් නීතිඥයන්ගෙන් එක් අයෙක් වන ජ්‍යෙෂ්ඨ නීතිඥ රෙබෙකා ජෝන් උත්සාහ දැරුවා ය.

එහෙත් විනිශ්චයකරුවා ඒ කිසිවකට ඇහුම්කන් දීමට සූදානම් නො වී ය.

කම්කරුවන්ට එරෙහි සාක්ෂි ගෙතීමට මරුති සුසුකි කලමනාකාරීත්වය සමග පොලීසිය හවුලේ කටයුතු කල බවට ප්‍රතික්ෂේප කල නො හැකි සාක්ෂි ඇති අතර, කලමනාකාරීත්වය විසින් අවුලුවන ලදුව 2012 ජූලි 18දා කම්හලේ කැරැල්ල හටගත් අවස්ථාවේ, දුම ආඝ්‍රානය වීමෙන් සමාගමේ කලමනාකරුවෙක් ජීවිතක්ෂයට පත්කිරීමට හේතුවූ ගූඪ ගින්නට කම්කරුවන්ගේ කිසිදු සබඳතාවක් ඇති බවට සාක්ෂි නැත. එහෙත් විනිසුරු චවුද්‍රි, නීතිඥ ජෝන් කරුනු දැක්වීම ආරම්භ කිරීමටත් පෙර ඇයව නිශ්ශබ්ද කලේ ය.

දැනටමත් අවුරුදු හයකට වඩා සිරදඬුවම් විඳ ඇති කම්කරුවන් තිදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා ඊලඟ නිමේෂයේ දී සඳහන් කලේ ය. ඉන්දීය පාලක ප්‍රභූව මරුති සුසුකි කම්කරුවන් 13 දෙනා දඩයම් කිරීමේ ඉලක්කය වන්නේ, අනෙකුත් කම්කරුවන්ට ආදර්ශයක් ලෙස එය පාවිච්චි කිරීම යි. හේතුව, එම කම්කරුවන් හර්යානාවේ මනේසාර්හි ජපානයට අයත් මෝටර් රථ කම්හලක දී දරිද්‍ර වැටුප් මට්ටම්, රුදුරු සේවා කොන්දේසි හා අනාරක්ෂිත කොන්ත්‍රාත් ශ්‍රම ක්‍රමයට එරෙහි අරගලයකට නායකත්වය දීම යි. ඉන්දියාවේ අගනුවර හා විශාල ම නගරය වන දිල්ලිය අවට ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත තීරුවක් වන ගුර්ගාඔන්-මනේසාර් කාර්මික තීරුවේ කම්කරු විරෝධයේ කේන්ද්‍රීය ලක්ෂ්‍යයක් බවට මෙම අරගලය පත් විය.

කම්කරුවන් 13 දෙනාගෙන් දොලොස් දෙනෙක් මරුති සුසුකි කම්කරු සමිතියේ (එම්එස්ඩබ්ලිව්යූ) විධායක කමිටුවේ හෝ කෘත්‍යාධිකාරී කමිටුවේ සාමාජිකයෝ වූ හ. මනේසාර් කම්හලේ කම්කරුවන් එම්එස්ඩබ්ලිව්යූ සමිතිය ස්ථාපනය කලේ, ආන්ඩුව පිලිගත් සමාගමට හිතවාදී හොරිකඩ වෘත්තීය සමිතියකට එරෙහි ව කරන ලද කැරැල්ලක් ලෙස 2011-12 සමයේ සිදුකරන ලද සටන්කාමී වර්ජන හා කම්හල් වාඩිලාගැනීම් මාලාවක් හරහා ය.

එම්එස්ඩබ්ලිව්යූ සමිතිය පිලිගැනීමට බලකෙරීමෙන් මාස හතරකට පසුව, පොලීසිය හා කොංග්‍රස් පක්ෂය නායකත්වය දුන් හර්යානා ප්‍රාන්ත ආන්ඩුව සමග සමීප ව ක්‍රියාකල මරුති සුසුකි සමාගම ප්‍රතිප්‍රහාරය ආරම්භ කලේ ය.

එම්එස්ඩබ්ලිව්යූ සටන්කාමීන් සියගනනක් අත්අඩංගුවට ගෙන, කම්කරුවන් 2,400ක් එනම්; මුළු ශ්‍රම බලකයම මෙන් දොට්ට දැමීමට සමාගම සහ ප්‍රාන්ත රාජ්‍යය විසින් 2012 ජූලි 18 සිද්ධීන් ගසාකෑවේ ය.

මරුති සුසුකි කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ ද ලෝකය පුරා ද කම්කරුවන් බලමුලුගැන්වීමට හතරවන ජාත්‍යන්තර කමිටුව ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, බොරු නඩුව පිලිබඳ සවිස්තර හෙලිදරවු කිරීමක් ලෝසවෙඅ විසින් සම්පාදනය කර ඇත (see: “මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි බොරු නඩුව - පලමු කොටස: විකෘත යුක්තිය ”).

කම්කරුවන් 148 දෙනෙකුට මිනීමැරීමේ හා අනෙකුත් බරපතල අපරාධ පිලිබඳ චෝදනා ගනනාවක් එල්ල කරමින් ආරම්භ වූ පොලිස් විමර්ශනය හා කම්කරුවන්ට එරෙහි නඩුව, මුල සිට අග දක්වා ම සාධාරනත්වය විකෘති කිරීමකි.

කම්හල් භූමියේ කැරැල්ල අවස්ථාවේ කම්කරුවන් භාවිතා කලා යයි චෝදනා කරන ලද මෝටර් රථ කොටස් ඇතුලු නඩුව පිලිබඳ ඔවුන්ගේ වෘතාන්තයේ මූලික අංශ යලි යලිත් වෙනස් කිරීමට පොලීසිය හා පැමිනිලි පාර්ශවය කටයුතු කලහ.

මූලික සාක්ෂි යයි පොලීසිය කියා සිටි ඇඟිලි සලකුනු වැනි දේවල් අධිකරන වෛද්‍ය පරීක්ෂනයන්ට බඳුන් කිරීමට පොලීසිය ක්‍රමානුකූලව අසමත් ව ඇති බව විත්තියේ නීතිඥයෝ පෙන්වා දුන්හ.

නඩුවේ විනිශ්චයකාර රාජීන්දර් පාල් ගෝයාල් සාක්ෂි පිලිබඳ වගකීම රාජ්‍යයෙන් කම්කරුවන් වෙත මාරු කිරීම පිනිස යලි යලිත් නීතිය විකෘති කල අතර, පැමිනිල්ලේ සිදුරු හා අසංගතිකභාවයන් අකාමකා දැමීමට තර්ක හා අවස්ථාවන් ඔහු විසින්මත් සම්පාදනය කලේ ය.

2012 ජූලි 18 සිද්ධීන් ඇසින් දුටු හා පරීක්ෂනයේ දී කිසිදු වැරැද්දක් පිලිබඳව චෝදනාවන්ට ලක් නොවූ සාක්ෂිකාර කම්කරුවන්ව, ඔවුන් එක්කෝ එම්එස්ඩබ්ලිව්යූට පක්ෂපාතී යයි හෝ නැතහොත් සමිතියේ ආධාරකරුවන් විසින් බියගන්වා ඇතැයි යන පදනම මත විනිසුරුවරයා විසින් සාක්ෂි දීමෙන් වලක්වනු ලැබී ය.

කම්කරුවන් 89 දෙනෙකු සමාගම විසින් සපයන ලද ලැයිස්තු අනුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනු බවත් ඔවුන්ට එරෙහි “සාක්ෂිකරුවන්” ලෙස මරුති-සුසුකි ශ්‍රම කොන්ත්‍රාත්කරුවන් ඉදිරිපත් කරන බවත් විත්තියේ නීතිඥයා පෙන්වා දුන්විට, ඔවුන් ව නිදහස් කිරීමට විනිසුරු ගෝයාල්ට බලකෙරුනි. පැමිනිල්ලේ එක් සාක්ෂිකරුවෙකුටවත් නිවැරදි ව හඳුනාගැනීමට නො හැකිවූ තවත් කම්කරුවන් 28 දෙනෙකුට එරෙහි සියලු චෝදනා ඉවත දැමීමට ද ඔහුට සිදු විය.

එහෙත් ඔහු එලෙස කරන ලද්දේ, ප්‍රධාන චූදිතයන්වූ එම්එස්ඩබ්ලිව්යූ සමිතියේ නායකයන්ට එරෙහි නෛතික පලිගැනීම පවත්වාගෙන යාමේ එල්ලය ඇතිව ය. ඒ අනුව, පොලීසිය සාක්ෂි ගොතා ඇති බවත් විමර්ශනය භාර පොලිස් පරීක්ෂකවරයාගේ අනකිරීම් මත එලෙස කර ඇති බවත් යන කරුනු, පොලීසියේ අනෙකුත් සාක්ෂි ඛන්ඩනය කිරීමක් හෝ ප්‍රශ්නයට බඳුන් කල යුතු බවක් හඟවන්නේ නැති බව ගෝයාල් සිය විනිශ්චය තුල අවධාරනය කලේ ය.

දඩයමට ලක් වූ මරුති සුසුකි කම්කරුවන් සම්බන්ධ නෛතික ක්‍රියාදාමයන්වල නිරත පැමිනිලිකරුවෝ හා විනිශ්චයකරුවෝ අනවරතව හා නග්නව ප්‍රකාශ කර ඇත්තේ ආයෝජකයන්ට සහතික වීම පිනිස එම කම්කරුවන්ව ආදර්ශයක් ලෙස යොදා ගතයුතු බව යි.

2017 මාර්තුවේ තීන්දුව දෙන අවස්ථාවේ කම්කරුවන් 13 දෙනා එල්ලා මරා දැමිය යුතු යයි තර්ක කරමින් විශේෂ චෝදක අනුරාග් හෝදා මෙලෙස ප්‍රකාශ කලේ ය: “අපේ කාර්මික වර්ධනය පහල ගොස් තිබෙනවා, සෘජු විදේශ ආයෝජන වියලී ගොසින්. අගමැති නරේන්ද්‍ර මෝදි ‘ඉන්දියාවේ නිෂ්පාදනය කරමු’ යයි ආයචනා කරද්දී මෙවැනි සිද්ධීන් සිදුවීම අපේ ප්‍රතිරූපයට කැලලක්”.

මේ මාසය මුල දී කම්කරුවන් තිදෙනාගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් විනිශ්චයකාර චවුද්‍රි ඒ හා සමාන ව “මෙවැනි කැලඹීම් සමස්ත කර්මාන්තයට ම ඇති කරන ගැටලු” ගැන සඳහන් කලේ ය.

දින තුනකට පසුව, ගුර්ගාඔන්-මනේසාර් හා දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර හා ප්‍රධාන නගරය වන චෙන්නායිහි නිරිත දිග ඔරගදාම්-ශ්‍රීපෙරුම්බදූර්හි පිහිටා ඇති ඉන්දියාවේ අනෙක් ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදන මධ්‍යස්ථානයේ “කම්කරු කැලඹිල්ල වර්ධනය වීම” පිලිබඳ උත්සුකතාව පලකරන රොයිටර් වාර්තාවක් ඉන්දීය මාධ්‍ය තුල පුලුල් ව වාර්තා කෙරුනි.

අලුතින් සංවිධිත වෘත්තීය සමිති පිලිගන්නා ලෙස බලකරමින් හා වැඩි වැටුප් ඉල්ලමින්, ඉන්දියාවේ හෝ ආසියාවේ “ඩිට්‍රොයිට්” යනුවෙන් හැඳින්වෙන ඔරගදාම්-ශ්‍රීපෙරුම්බදූර් ප්‍රදේශයේ යමහා ඉන්දියා මෝටර්ස්, රෝයල් එන්ෆීල්ඩ් හා මයොන් ෂින් ඔටෝමෝටිව් යන කර්මාන්තශාලාවල කම්කරුවන් දහස් ගනනක් දැන් වර්ජනයේ නිරත වෙති.

මරුති සුසුකි කම්කරුවන් මෙන් තමිල්නාඩු මෝටර් රථ කම්කරුවෝ ද සමාගම්, පොලීසිය, උසාවි හා ආන්ඩුව යන ඒවායේ ඒකාබද්ධ ප්‍රහාරයකට මුහුන දෙති. සමාගමේ ඉල්ලීම හා උසාවියේ අවසරය ඇතිව කම්කරු වාඩිලාගැනීම් හා විරෝධතාවන් බිඳ දමා ඇති පොලීසිය, වර්ජිත කම්හල් තුල පිකට් කිරීමෙන් කම්කරුවන් වලක්වාලමින් සිටී.

ගුර්ගාඔන්-මනේසාර් කාර්මික තීරුවේ කම්කරුවන් මරුති සුසුකි කම්කරුවන්ව පන්ති-යුද සිරකරුවන් යයි පුලුල් ව පිලිගන්නා අතර, ඔවුන් අතර සමාගම විසින් කම්කරු බලකායෙන් එලියට දමන ලද කම්කරුවන් 2,400 දෙනා ගැන විශාල සහානුමතියක් තිබේ.

එහෙත් සීඅයිටීයූ හා ඒඅයිටීයූසී යන ස්ටැලින්වාදීන් නායකත්වය දෙන වෘත්තීය සමිති සහ ඔවුන් අනුබද්ධ ව සිටින පක්ෂ -ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය හා සීපීඅයි හෙවත් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය- දඩයමට ලක් වූ මරුති සුසුකි කම්කරුවන් ක්‍රමානුකූලව හුදෙකලා කර ඇති අතර, දැන් ඔවුන්ට සලකන්නේ බ්‍රාහ්මනයන් කුලහීනයන්ට සැලකූ ආකාරයට ය.

කම්කරුවන් 13 දෙනාව ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කිරීම ගැන, ස්ටැලින්වාදී මාධ්‍ය සති ගනනාවක් යනතෙක් වාර්තා කිරීමක් වත් කලේ නැත. වර්තමාන තමිල්නාඩු වර්ජනයට සීඅයිටීයූ විසින් නායකත්වය දුන්න ද වර්ජකයන් සමග කතාකිරීමේ දී ලෝසවෙඅ වාර්තාකරුවන් දැන ගැනීමට ලැබුනේ , මරුති සුසුකි නඩුව ඉන්දියාවේ පන්ති සබඳතා සහ උසාවිය, පොලීසිය හා දේශපාලන සංස්ථාපිතය ගැන ප්‍රකාශ කරන්නේ කුමක් ද යන්න කීම පසෙක තැබුව ද එලෙස බොරු නඩු ඇටවීම ගැන ඔවුන්ට දැනුම් දීමක්වත් ස්ටැලින්වාදී සමිති නිලධරයන් විසින් කර නැති බව යි.

ලෝසවෙඅ කලින් පැහැදිලි කල පරිදි, “ස්ටැලින්වාදීහු මරුති සුසුකි කම්කරුවන්ගේ සටන්කාමී ආදර්ශය ගැන බිය වෙති. සියල්ලට මත් වඩා, කම්කරු පන්තිය එහි ආරක්ෂාව සඳහා බලමුලුගැන්වීමට කරන ඕනෑම උද්ඝෝෂනයක්, 2019 ජාතික මැතිවරනයේ දී මහ ව්‍යාපාරික කොංග්‍රස් පක්ෂය සමග දේශපාලන සන්ධානයක් අටවා ගැනීමට තමන් දරන උත්සාහයන් සහ (ඉන්දියාවේ) හින්දු අධිපතිවාදී බීජේපී ආන්ඩුවට එරෙහි ‘ප්‍රජාතන්ත්‍රවාදී මර්මස්ථාන’ වසයෙන් උසාවිය හා අනෙකුත් රාජ්‍ය ආයතන ඉදිරියට දැමීමේ උත්සාහයන් සමග හරහට හිටින බව ස්ටැලින්වාදීහු තේරුම් ගෙන ඇත”.

මරුති සුසුකි කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා ඇඟිල්ලක්වත් එසවීම, ස්ටැලින්වාදීන් හා අනෙකුත් වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කිරීම පාලක ප්‍රභූව ශක්තිමත් කර ඇත. දැන් බීජේපීය නායකත්වය දෙන හර්යානා ප්‍රාන්ත ආන්ඩුව, මරුති සුසුකි කම්කරුවන්ගේ ජීවිතාන්තය දක්වා දඬුවම ඉවත ලා එල්ලා මරන ලෙස ඉල්ලමින් පෙත්සමක් උසාවියට ඉදිරිපත් කර තිබේ. වසර දෙකහමාරක් හිර ගෙදර ගතකිරීමෙන් පසු, විනිසුරු ගෝයාල්ට නිදහස් කිරීමට බලකෙරුනු අනෙක් කම්කරුවන් 117 දෙනාට එරෙහිව යලි නඩු පැවරීමට ද එය උත්සාහ දරමින් සිටී.

මරුති සුසුකි කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා ඉන්දියාවේ හා ලෝකය පුරා කම්කරුවන් ඉදිරිපත් විය යුතු ය. රුදුරු සූරාකෑමට අභියෝග කිරීම මගින් මෙම වීරෝධාර කම්කරුවෝ හුදෙක් ඉන්දියාවේ පමනක් නො ව, ලෝකය පුරා ම ද කම්කරුවන් වෙනුවෙන් ප්‍රහාරයක් එල්ල කරමින් සිටියහ. ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය කරන කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව ගොඩනැගීමේ තීරනාත්මක පලමු පියවරක් වන්නේ ඔවුන් ව ආරක්ෂා කිරීම යි.

Share this article: